Home » » සේවක වැටුප් වැඩිකරන්න බැහැ කියන ආණ්ඩුවේ කුප්‍රකට තෙල් හෙජින් සූදුවේ පාඩුව රුපියල් කෝටි 20000 ඉක්මවයි.

සේවක වැටුප් වැඩිකරන්න බැහැ කියන ආණ්ඩුවේ කුප්‍රකට තෙල් හෙජින් සූදුවේ පාඩුව රුපියල් කෝටි 20000 ඉක්මවයි.

Written By Sri Lanka Guardian on Friday, October 30, 2009 | 11:20 PM

දැන් මෙම ගිවිසුම් අර්බුදයක් කරා ගමන් කර ඇත. අදාල ගෙවීම ආණ්ඩුව විසින් ගිවිසුම් ප්‍රකාරව සිදු නොකිරීමත් ඒ සඳහා වැල් පොලී එකතුවීමත් විදේශ බැංකු 3 ක් මෙම ගිවිසුම් උල්ලංඝනය කිරීමට එරෙහිව ආණ්ඩුවට සහ ඛණිජ තෙල් සංස්ථාවට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා තිබීමත් මෙම අර්බුදයට හේතු වී තිබේ.
________________________

(October 30, Colombo, Sri Lanka Guardian) ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින්ගේ වැටුප් ඉදිරි වසර 3 ක් සඳහා රු.5000 කින් වැඩිකිරීමට බැහැ කියන ආණ්ඩුවේ දූෂිත කුප්‍රකට හෙජින් ගිවිසුම නිසා මේ වන විට අහිමිවීමට යන මුදල රුපියල් කෝටි 20000 ඉක්මවන බව වාර්තා වේ. ආණ්ඩුව පඹ ගාලක පැටලී සිටින කුප්‍රකට හෙජින් ගිවිසුම පිළිබඳ විශේෂ හෙලිදරව්වක් පහත පලවේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විදේශ බැංකු 3 ක් ඇතුළුව බැංකු 8 ක් සමග ලංකාවට ඛණිජ තෙල් ආනයනයේදී ජාත්‍යන්තරව සිදුවන මිල උච්චාවචනය වීමේ පාඩුව අවම කර ගැනීම සඳහා යයි පවසා වසරකට බලපැවැත්වෙන ගිවිසුම් 8 ක් අත්සන් කර තිබුණි. පසුගිය කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වූ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවකදී මෙම හෙජින් ගිවිසුම මුළුමනින්ම අවාසිදායක සහ නීති විරෝධී බවට හැඟවෙන බැවින් ඒවා අත්හිටුවීමටත් එමගින් ලැඛෙන සහනය ඛණිජ තෙල් මිල පහත දමා ජනතාවට ලබාදෙන ලෙසත් නියෝගයක් නිකුත් කෙරිණි. නමුත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මහින්ද රාජපක‍ෂ ජනාධිපතිවරයා විසින් හිතුවක්කාරී ලෙස නොසලකා හැරීම නිසා එම නඩු විභාගය ඉවත දැමීමට අධිකරණයට සිදු විය. දැන් මෙම ගිවිසුම් 8 ම කල් ඉකුත් වී ඇති අතර එම වසර පුරා ගිවිසුම අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 10.5 ක් වන විට බැංකු සඳහා ගෙවීමට සිදු වී ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 490 ක් වී ඇත. මේ අනුව අදාල ගිවිසුම්වල අවාසිදායක බව මොනවට පැහැදිලිවේද?

දැන් මෙම ගිවිසුම් අර්බුදයක් කරා ගමන් කර ඇත. අදාල ගෙවීම ආණ්ඩුව විසින් ගිවිසුම් ප්‍රකාරව සිදු නොකිරීමත් ඒ සඳහා වැල් පොලී එකතුවීමත් විදේශ බැංකු 3 ක් මෙම ගිවිසුම් උල්ලංඝනය කිරීමට එරෙහිව ආණ්ඩුවට සහ ඛණිජ තෙල් සංස්ථාවට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා තිබීමත් මෙම අර්බුදයට හේතු වී තිබේ. විදේශ බැංකු මෙසේ අධිකරණයට යෑම වැළැක්වීම සඳහා තිබූ අවස්ථාව අහිමි වූයේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලූ කරමින් එහි නියමයන් නොසලකා හැරීම නිසාය. එසේ නොවිනි නම් මෙම විදේශ බැංකු ජාත්‍යාන්තර අධිකරණයට ගියත් එහි වාසිය ආණ්ඩුවට සතු වීමට බොහෝ දුරට ඉඩ තිබුණි. කෙසේ වෙතත් දැන් සිටි බෑන්ක් සහ ස්ටෑන්ඩඩ් චාටඩ් බෑන්ක්, එක්සත් රාජධානියේ අධිකරණයක ලංකා ඛණිජ තෙල් සංස්ථාවට එරෙහිව නඩු පවරා ඇති අතර ඩිස්චේ බෑන්ක් ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයක ශ්‍රී ලංකා රජයට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.

මෙම බැංකු සමග අත්සන් කර ඇති ගිවිසුම් කාලය පසුගිය ජූලි මාසය වන විට අවසන් කර ඇති අතර පිළිවෙලින් සිටි බෑන්ක්, ස්ටෑන්ඩඩ් චාටඩ් බෑන්ක්, ඩිස්චේ බෑන්ක් සඳහා ඒවන විට ගිවිසුම් අනුව ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 204, 180 සහ 67 ක් විය. මෙම මුදල් මෙතෙක් නොගෙවීම නිසා මේ වන විට අය විය යුතු වැල් පොලිය අනුව ගෙවීමට ඇති මුදල් පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් මිලියන 800, 720 හා 270 දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව මේ වන විට ආණ්ඩුව මෙම බැංකු 3 සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1790 ක් හෙවත් රුපියල් කෝටි 20000 කට අධික මුදලක් ගෙවීමට සිදු වී තිබේ. මෙම නඩු විභාගය ආණ්ඩුවට අවාසිදායක වුවහොත් නඩු විභාගය අවසන් දිනය වන විට මෙම ගෙවීම මීටත් වඩා ඉහළ යා හැකිව තිබේ. මීට අමතරව මෙම නඩු වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාව නීතීඥ ගාස්තු වශයෙන් පමණක් රුපියල් දශලක‍ෂ 85 ක් වියදම් කර තිබේ.

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger