Home » » පංචායුධය- සත්‍යය සහ මිත්‍යාව

පංචායුධය- සත්‍යය සහ මිත්‍යාව

Written By Sri Lanka Guardian on Monday, March 22, 2010 | 3:17 PM

ජනක බණ්ඩාර

අප රටේ ''බුද්ධිමත්'' ජනතාව බොහෝ දෙනෙකු තවමත් කොහේ හෝ දේවාලයක හාස්කම් තිඛෙනවා යයි ආරංචි පැතිර ගිය විට වැල නොකැඩී ඒ දෙසට දිවයති. කොහේ හෝ බෝ ගසක බුදු පිළිමයක් මතු වී ඇතැයි ප්‍රචාරය වූ විට හෝ බුදුපිළිමයකින් බුදුරැස් විහිදෙනවායැයි ආරංචි වූ විට ඒ දෙසටද දිවයති. දේව ගැති වරයකු හෝ එලොවින් ආ විස්මකර්මයෙකු ලෙඩ රෝග සුවකරනවා යැයි ජාතික යැයි කියාගනිමින් පාඨකයන් ගොනාට අන්දවා මුදල් ගරන පත්තරයක මාධ්‍යවේදියෙකු යැයි කියාගන්නා කවුරු හෝ තක්කඩියෙකු කියූ විට ආගම් බේදයකින් තොරවම ඒ දෙසට දුවගෙන යති. එහෙත් මෙවැනි මිත්‍යාවන් විශ්වාස කරන අය අතරින් පවා කිසිවෙකුත් පංචායුධයකින් දරුවන්ට ආරක්ෂාව සැළසෙනවායැයි කියනා මිත්‍යාව ප්‍රායෝගිකව විශ්වාස නොකරයි. ප්‍රායෝගිකව විශ්වාස නොකරනවා යැයි කියන්නේ ඔවුන් කිසිවෙකුත් තම කුඩා දරුවාගේ ගෙලේ සැබෑ රත්තරං වලින් සැදූ පංචායුධයක් බැඳ එය ගැන විශ්වාසය තබා දරුවා දෙමවුපියන්ගේ හෝ විශ්වාසවන්ත වැඩිහිටියකුගේ අවධානය නොමැති තැනක තැබීමට තරම් මුග්ධ නොවන බැවිනි. ඒ පංචායුධයෙන් දරුවාට සැළසෙන ආරක්ෂාව කෙසේ වෙතත් පංචායුධයේ ආරක්ෂාව සළකාය. වසර දෙදහස් පන්සීයක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති අප ධර්මද්වීපයේ කිසියම් දැහැමියෙකු එම පංචායුධය ගලවාගෙන ගොස් තම නිවසේ අල්මාරියේ පරිස්සමට තබාගැනීමට ඉඩ ඇති බව ඔවුහූ දනිති. කාගේ හෝ බලකිරීමකට හෝ වෙනත් අයට පෙනීමට හෝ පංචායුධයක් දමන්නේ නම් බොහෝවිට කරනුයේ බාල ලෝහ වලින් සාදා රත්තරන් ගා වෙලඳපොළේ විකිනීමට තබා ඇති එකක් දැමීමය. එය වුවද දරුවා තනි පංගලමේ සිටී නම් ගලවා තබන්නේ එය දමා ගෙන සිටීම දරුවාගේ ඛෙල්ලේ ආරක්ෂාවට අහිතකර විය හැකි බැවිනි. පංචායුධයෙන් ආරක්ෂාවක් ලැඛෙනවායයි බොරුවට හෝ කියන්නේ අපට අබා පෙන්නා දැන් බබා පෙන්නන ජැකා (මුක්කුවා) වැනි අය පමණි.

කොළඔ දිස්ත්‍රික්කයේ අයටද මේ දිනවල පංචායුධයක් නිතරම දක්නට ලැඛෙයි. මේ පංචායුධය ඇත්තේ දරුවන්ගේ ඛෙල්ලේ නොව හන්දි ගානේ ඇති කටවුට්වල, තාප්පවල, කුණු බක්කි සහ පොදු වැසිකිලිවල බිත්ති වැනි තැන්වලය. කටවුට් එකේ සිටින දේශප්‍රේමියාගේ අදහස නම් එය දකින්නන් ඔහු මවුබිමේ ආරක්ෂකයාය යන හැඟීම ඇති කරගනු ඇති බවය. දශක ගනනාවක් නා නා ප්‍රකාර කපටි ආරක්ෂකයන්ට රැවටී මනා පළපුරුද්දක් ඇති අප රටේ ''බුද්ධිමත්'' ජනතාවගේ හැටි දන්නා ඕනෑම තක්කඩියෙකුට එවැනි සිතුවිල්ලක් පහළවීම අසාධාරණ නැත. තවමත් මොහුගේ කපටී ආරක්ෂක භූමිකාවට රැවටී සිටින පිරිසක් සිටින බැවින් හුදීජන පහන් සංවේගය පිණිස මේ ගැන තවදුරටත් සළකා බැලීම වැදගත් යයි සිතමි.

අප මාතෘකාවට බාහිර බොහෝ හේතූන් සහ ජාතීන් දෙකේම කපටි ආරක්ෂකයන්ට පිං සිදු වන්නට සියවස් ගනනක් තිස්සේ අප රටේ සමගියෙන් ජීවත් වූ සිංහල සහ දෙමළ ජන කොටස් අතර පැවති සුළු සුළු විරසකයන් ලේ වැකි යුද්ධයක් කරා වර්ධනය විය. සැබැවින්ම කියනවා නම් ජාතියේ ආරක්ෂකයන් සහ දේශප්‍රේමීන් ලෙස පෙනීසිටිමින් ජනතාව ගොනාට අන්දවමින් තම ස්වාර්ථය සාදා ගන්නා කපටියන් එය යුද්දයක් දක්වා වර්ධනය කළේය. කෙසේ වුවද රට ඛෙදීමේ ඉම දක්වා පැමිණි එම යුද්ධය ගිය වසර මැද දී එල්.ටී.ටී.යේ යුධමය පරාජය සමග අවසන් විය. සිදුවිය යුතුව තිබුනේ ජාතීන් දෙකටම අයත් දසදහස් සංඛ්‍යාත තරුණයන්ට, ළදරුවන්ගේ සිට මහල්ලන් දක්වා සිවිල් වැසියන්ට ජීවිත අතපය සහ තම හිතෛෂීන් අහිමි කළ දශක ගනනක එම සිදුවීම් ඛේදවාචකයක් ලෙස සලකා නැවත එවැනි ඛේදවාචකයන් නැවත සිදුවීම වැළැක්විය හැකි පුළුල් වැඩ පිළිවෙලක් වටා ලාංකීය ජාතිය පෙළගැස්වීමය. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ දේශපාලකයන්ද, ජනතාව දැනුවත් කරනවායයි කියන බොහෝ ජනමාධ්‍යයන්ද, ඔවුන් පසුපස අවිචාරයෙන් දිව යන ජනතාවද, එය පාටි දැමීම සඳහා අවස්ථාවක් කරගැනීමය. යුධ ජයග්‍රහණ ඛෙදා ගැනීමට සහ ලකුණු දමා ගැනීමට පොරකෑමය.

එම යුධ ජයග්‍රහණය මගින් මවුබිමේ ආරක්ෂාව තහවුරු වී යයි මොහොතකට සිතුවද ඒ සඳහා වැඩිම දායකත්වය ලබාදුන්නේ ජීවිත සහ අතපය අහිමි කර ගනිමින් යුධබිමේ සටන් කල සෙබළුන් සහ ඔවුන් මෙහෙය වූ සෙනෙවියන්ය. ඔවුන් සැබවින්ම සටන් බිමේ සිටි බැවින් ඔවුනට කෝටි ගණන් වටිනා මාළිගා සැදීමට මුදල් සෙවීමට තරම් විවේකයක් නොවීය. එහෙත් ජයග්‍රහණයේ ගෞරවය තම මල්ලට දමා ගැනීමට වෙහෙසෙන අයගේ තර්කයට අනුව දරුණුම සටන සිදුවූයේ පුදුකුඩුඉරිප්පුවේ හෝ නන්දිකඩාල්වල නොව දේශපාලන බිමේ ජාත්‍යන්තරයට එරෙහිවය. එය එසේම යයි මොහොතකට සිතමු. ජාත්‍යන්තරය සමග කටයුතු කිරීම සදහා ජනාධිපති, විදේශ ඇමති බෝගොල්ලාගම මානව හිමිකම් කටයුතු පිළිබදව මහින්ද සමරසිංහ සහ විදෙස් රටවල ශ්‍රී ලංකා තානාපතිවරුද දයාන් ජයතිලක, පාලිත කොහොන වැනි නිළධාරීන් සහ එක්සත්ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යාන්තර සංවිධාන වල ශ්‍රී ලංකා නියෝජිතයන්ද නම ප්‍රසිද්ධ නොවූ තවත් බොහෝ දෙනෙකුද දායක වූහ. ජාත්‍යාන්තරයෙන් එන බලපෑම්වලට මුහුණ දෙමින් අදාළ කටයුතු කලේ ඔවුන්ය. මක් නිසාද යත් එම කටයුතු සදහා වාචාලකම නොව ජාත්‍යාන්තර කටයුතු පිළිබඳ මනා පරිචයක් සහ ප්‍රමාණවත් භාෂා ඥානයක් ඇවැසි බැවිනි. කෙසේ වුවද ඉහත නම සදහන් කළ ජාත්‍යාන්තරය සමග කටයුතු කළ දේශපාලකයන් දෙදෙනාවත් තමන් මවුබිමේ පංචායුධ බවට හඳුන්වාගන්නේ නැත.

අප පංචායුධ කුමාරයාට ඉතිරි වූයේ හමුදාව උතුරේ නගර අල්ලාගන්නා විට පාර්ලිමේන්තුවට ගොස් පපුවට ගසා ගැනීමත්, ITN එකට ගොස් බැරෑරුම් මුහුණින් යුතුව එම ජයග්‍රහණ ගැන කතාකර ලකුණු දා ගැනීමත්, මාධ්‍ය සාකච්ඡා තබා සුද්දන්ට බැනීමත් ජාතික පුවත්පත්වල කුලියට තමාගේ චරිත කතා ලියන මාධ්‍යවේදීන් කියා ගන්නා පත්තරකාරයන් ලවා ඒවායේ ඡායාරුප සහ වාර්තා පළකරවා ගැනීමත් පමණකි. සමහර ඔලමොට්ටලයන් මොහු රට බේරා ගත්තා යයි සිතන්නේ මේවා දිහා බැලීමෙනි. යුධ ජයග්‍රහණය ප්‍රශ්ණයට සැබෑ විසඳූමක් යැයි අප පිළිගත්තද පිළිනොගත්තද යුධ ජයග්‍රහණ සඳහා ඔහුගේ දායකත්වය ලෙස දැක්විය හැක්කේ සාම සාකච්ඡා සහ දේශපාලන විසඳූමකට එරෙහිව යුධමය විසඳූමක් වෙනුවෙන් හඬ නැගීම සහ දේශ හිතෛශී ව්‍යාපාරය සහ මානෙල් මල් ව්‍යාපාරය හරහා කල කටයුතුය. ඒ බොහෝ දේවල් සිදුවූයේ ඔහු ජවිපෙ සිටි කාලයේ වන අතර ඔහු එම ව්‍යාපාරවල ප්‍රමුඛ කටහඬ විය. එම ව්‍යාපාර යනු ඒ සඳහා පෝස්ටර් ගැසීම, වේදිකා සැදීම, මුදල් එකතු කිරීම ඇතුළු බොහෝ වැඩකටයුතු සිදුකල දහස් සංඛ්‍යාත ජවිපෙ සාමාජිකයන්ගේ සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලය බව ජවිපෙ වැඩ ශෛලිය ගැන දන්නා අය දනිති. එහි යම් කොටසක් ඔහුටද අයත් බව සත්‍යයකි. එහෙත් ඒ මුළු අයිතිය නොවේ. ඒ යුධ ජයග්‍රහණ වල සම්පූර්ණ ගෞරවය එය රටට ප්‍රකාශ කරන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකට හෝ රජයේ යම් ජයග්‍රහණයක අයිතිය රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ලට පමණක් අයත් නොවන අයුරෙනි. එහෙත් පංචායුධ රටට අඟවන්නේ දේශ හිතෛශීය සහ මානෙල් මල් ව්‍යාපාරය තනිකර ඔහුගේ වැඩ බවය. තම කථිකත්වය මෙන්ම කෛයිරාටිකකමද දක්ෂ ලෙස යොදාගනිමින් මේ කටයුතු වලදී ලැබුන පිළිගැනීම සහ හමු වූ යම් යම් ව්‍යාපාරිකයන් සහ මාධ්‍යවේදීන් ද තම සාක්කුවේ දමාගෙන ජවිපෙන් පැන ගත් මොහු එම වැඩවල තම දායකත්වයට සරිලන ප්‍රමානයටත් වඩා බොහෝ දේ මුදලින් උපයා ගෙන ඇති බව මොහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සහ සැළසුම් කර ඇති නිවසේ සැලැස්ම පුවත්පත්වලින් දැක ගත් සාමාන්‍ය බුද්ධියක් ඇති කිසිවෙකුට සිතාගැනීම අසීරු නැත.

ඉතින් දැන් (අව)ජාතික පුවත්පත් සහ ජාතික නාලිකාවල සිටින ඔහුගේ අප්‍රසන්න ඇම්බැට්ටයන්ගේ උදව්වෙන් පුම්බාගත් චරිතයක්ද සහිතව මේ පුද්ගලයා මවුබිමේ ගැළවුම්කාරයාගේ වේශයෙන් ඔබ හමුවට පැමිණ සිටී. මෙ වැනි තක්කඩින්ට රටේ අනාගතය තීරණය කිරීමේ වගකීම භාරදීම දරුවාගේ ආරක්ෂාව පතා කරේ පංචායුධයක් එල්ලීමටත් වඩා භයානකය. මෙවැනි පංචායුධ පැළඳවූවොත් මවුබිමේ ඛෙල්ලම ගැලවී යන දවස වැඩි ඈතක නොවනු ඇත. දැන් ඔබට ඇත්තේ බාල ලෝහයෙන් සදා රත්තරන් ආලේප කර ඇති මේ පංචායුධයට තවත් රැවටෙනවාද යන්න තීරණය කිරීමේ වාරයයි. ගල් පිළිම සහ බොල් පිළිම වෙන්කර හඳුනාගැනීමේ ඉව ඔබ සතුව ඇතැයි අප විශ්වාස කරමු.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger