Home » » ඔටුනු අහිමි ගොවි රජවරුන්ගේ කතා වස්‌තුව

ඔටුනු අහිමි ගොවි රජවරුන්ගේ කතා වස්‌තුව

Written By Sri Lanka Guardian on Sunday, October 4, 2009 | 4:34 PM

ආරියසේන කෝනාර

(October 04, Colombo, Sri Lanka Guardian) 70% කටත් වැඩිය කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන ජනතාවක්‌ සිටින රටක ගොවි ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීමේ වැඩපිළිවෙළක්‌ රජයට තිබිය යුතුය. වෙළෙඳ සමාජයේ ග්‍රහණයෙන් ගොවියා මුදා ගත යුතුය. මෙය වී වගාවට පමණක්‌ අදාළ වන ගැටලූවක්‌ නොවේ සමස්‌ත කෘෂිකර්මාන්තයටම පොදු වූ ගැටලූවක්‌ බව තේරුම් ගත යුතුය. ඒ නිසා වී ඇතුළු අනිකුත් කෘෂිබෝග වලටද සහතික මිල ක්‍රමයක්‌ ක්‍රියාත්මක කළ යුතුව තිබේ. කිසියම් ඉමක්‌ දක්‌වා හෝ ගොවියාට නිෂ්පාදන සහනාධාර ලබාදිය යුතුය.


"රජකම නැතිනම් ගොවිකම" මඩ සේදූ කල ගොවියා රජකමටත් සුදුසුය", "ගොවියා දෙවියාය", "වවන්නෝ දිනන්නෝ" මේ ගොවිතැනට එදා සමාජයේ හිමිව තිබූ තත්ත්වය සහ ගොවියාට තිබූ සමාජ තත්ත්වය පිළිබිඹු කෙරෙන උපහැරණයන්ය. මේවා ඔහු ඇන්දවීමට හෝ අත්ත උඩ තැබීමට හෝ මූනිච්චාවට කියන ලද ප්‍රලාප නම් නොවීය. රටක්‌ කුසගින්නේ වේලෙන්නට හැරීම හෝ බඩ කට පුරා යහමින් ආහාර ගෙන සුවසේ ජීවත්වීම තීරණය වන්නේ ඔහුගේ ශ්‍රමය මතය. ඒ ශ්‍රමය වගුරුවන ගොවියා හෙළන දහදිය නිකම්ම දහදිය නොවේ. ඒවා රන් දහදියයි. ඒ දහදියෙන් සාරවත් වන පොළව මසුරන් පොළවයි. පොළව මසුරන් පොළව බවට පත්වුණේ දහදියෙන් එයට එක්‌වූ වටිනාකම නිසාය. නිසරු මුඩුබිමක්‌ දහදියෙන් තෙත් වී එය සරුකෙතක්‌ බවට පත්වන්නට නම් කොපමණ ප්‍රමාණයක්‌ ඔවුන් දහදිය වගුරුවන්නට ඇද්ද? එයින් අදහස්‌ වන්නේ ඔවුන් අනලස්‌ව රට දැය වෙනුවෙන් තම යුතුකම ඉටුකළ බවය. ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වූයේ, වැව් බැඳි රාජ්‍ය නමින් විරුදාවලියන් පට බැඳුනේ මෙකී ගොවියාගේ ශ්‍රමය නිසාය. මේ මහ පොළව සරුසාර වූයේ ඔවුන් හෙළුE දහදියෙන් පමණක්‌ නොවේ. ඔවුන්ගේ ශරීර කූඩුද මේ ඝණ බොල් පොළව තුළ මිහිදන්ව ඇත. කෙත්වතු සරුසාර වූයේ ඒවායේ සාරයෙනි. මේ නිසා ඔවුන් මිය ගියත් ඔවුන්ගේ ජීවිතවලට එක්‌වී තිබෙන වටිනාකම මසුරන්වලින් තක්‌සේරු කළ හැකිද? ඔවුන් වෙනුවෙන් පිළිම නෙළා නැතත් පස්‌ කඳුයට සැතපෙන මේ විරුවන් ඉතිහාසයේ ඔටුනු නොපළන් රජ දරුවෝය.

රටක සංස්‌කෘතියට මුල් වන්නේද ගොවියාගේ ශ්‍රමයයි. රටක නිෂ්පාදන අතිරික්‌තයක්‌ බිහි නොවන්නේ නම් එතැන සංස්‌කෘතියක්‌ උපදින්නේ නැත. මුළු ශ්‍රම කාලයම ආහාර වෙනුවෙන් වැය කිරීමට සිදුවන හෙයිනි. නිෂ්පාදන අතිරික්‌තයක්‌ බිහිවීමත් සමග ඔවුන්ට ලැබෙන විවේකය වැඩි වේ. සංස්‌කෘතියක උපතට මුල් වන්නේ මේ විවේකයයි. ඒ විවේකය තුළ ඔහු වෙහෙසන්නේ මනසයි. ලෝකයට විශිෂ්ට කලා නිර්මාණ දායාද වූයේ මේ ආකාරයට මනස වෙහෙසීමට පටන් ගත්දා සිටය. ඒ අනුව අවසන් වශයෙන් මුළුමහත් සංස්‌කෘතියම නිෂ්පාදන අතිරික්‌තයේ ප්‍රතිඵලයකි.

නූතනයේ කෘෂිකර්මාන්තය විශාල පරිවර්ථනයකට භාජන වෙමින් පවතී. ඒ පරිවර්ථනයට හේතුව එයට තාක්‍ෂණය එක්‌වීමයි. මුලින්ම එය ශිල්පීය ක්‍රම අතින් ශ්‍රමයෙන් ප්‍රාග්ධනයට මාරුවිය. ඒ සමගම ගොවියාට ඉහළින් සිටින යෙදවුම් හිමි වෙළෙඳ පන්තියක්‌ද බිහිවිය. සමහරුන් කියන්නේ කෘෂිකර්මාන්තය නවීකරණයට භජන වී ඇතැයි කියාය. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවී තිබෙන්නේ එය වානිජකරණයට ගොදුරුවීමයි.

මුලින්ම සී සෑම සිදුකළ ගොන් නඟුල වෙනුවට ට්‍රැක්‌ටරය එයට ආදේශ විය. අත්තම් ක්‍රමයට ශ්‍රමය වැඩි කොට ගොයම් කපනවා වෙනුවට ගොයම් කපන යන්ත්‍ර වලටද, මී ගොන් යොදා කොල දක්‌කනවා වෙනුවට මැෂිම යොදා කොල දැක්‌කීමට ද, ගොම පොහොර වෙනුවට රසායනික පොහොර වලටද, පලිබෝධ නාශනය සඳහා එදා යොදාගත් විවිධ කෙම් ක්‍රම වෙනුවට කෘමිනාශක භාවිතයටද, ගොවියා තමා විසින්ම නිපදවා ගත් බිත්තර වී වෙනුවට වෙළෙන්දා විසින් සපයන බිත්තර වී වලටද තමා නොදැනුවත්ම ගොවියා හැරවූයේ වානිජකරණයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. නමුත් මේ වැඩපිළිවෙළ ගොවිජනයා අතරට ගමන් කළේ "නවීකරණය" "හරිත විප්ලවය" වැනි වදන් හරහාය. සැබවින්ම එය නවීකරණය වූවා නම් එහි වාසි ගොවිජනයා අතරම ගමන් කිරීමට ඉඩ තිබිණි. එහෙත් එවැන්නක්‌ සිදුවූයේ නැත. අපගේ කල්පනාවේ හැටියට ගොවියා නොසිතූ විරූ ෙ€දාන්තයකට ගමන් කරන්නේ මෙතැන් සිටය. ඔහුගේ නිෂ්පාදන අතිරික්‌තය ඔහුට අහිමිවූයේ විවිධාකාර වූ අතරමැදියන් විසින් එය පැහැර ගැනීම හේතුකොට ගෙනය. එදා වී නිෂ්පාදනයේ සියලු කටයුතු ගොවියා සපුරා ගත්තේ අත්තම් ක්‍රමයටය. උදව් කළ අයට උදව් කළේ ශ්‍රමයෙනි. නමුත් අද ඇති වෙළෙඳ සමාජය තුළ එබඳු ශ්‍රම හුවමාරුවකට ඉඩක්‌ නැත. සියලු ගෙවීම් මුදලින් සිදුකළ යුතුව ඇත. ඒ නිසා වර්තමාන ගොවියාට අස්‌වැන්න කපා පාගාගත් සැනින්ම ඒවා මිල කිරීමට සිදුව තිබේ. දහදුක්‌ විඳ ඔහු වගා කළ ද ඒකට මිල කරණය කිරීමේ අයිතිය ගොවියාට නැත.

මේ ආකාරයට අස්‌වැන්න විකුණා උපයාගත් ආදායමින් අතරමැදියන්ට ගෙවීම් සිදු කළ පසු ඔහුට ඇත්තේ හිස්‌ දෑත පමණි. දශක ගණනාවකම සිට වී නිෂ්පාදකයා මේ ගැටලුවට මුහුණ දී ඇත. ආර්ථිකය තුළ උද්ධමනය අනුපාතය දිගින් දිගටම ඉහළ නඟින තත්ත්වයක්‌ නිර්මාණය වී තිබීම හේතු කොට ගෙන වී නිෂ්පාදනයට සම්බන්ධ යෙදවුම් මිල ගණන්ද දිගින් දිගටම ඉහළ යමින් පවතී. නමුත් යෙදවුම් මිල එසේ ඉහළ ගියද නිමවුම් මිල ඒ ආකාරයට ඉහළ ගොස්‌ නැත. රජය වෙළෙඳපොළ ක්‍රමය මත වී මිල තීරණය වීමට ඉඩ හැර තිබීම මෙයට හේතුවයි. මෙහිදී සිදුවන්නේ වී මිලේ සිදුවන උච්චාවචනයට අනුව ගොවියාගේ ජීවිතයද විචලනයට භාජන වීමයි. මේ තත්ත්වය නිසා සමහර අවස්‌ථාවල ගොවියාගේ ජීවිතය යෑපුම් මට්‌ටමටත් වඩා පහළට ඇද වැටී සියදිවි හානි කරගන්නා තත්ත්වයට පත්ව තිබේ. මේ ආකාරයට ගොවියාගේ ජීවිත ඉරණම ෙ€දනීය අන්තයකට තල්ලු වෙද්දී පොහොර වෙළෙන්දෝ, බෙහෙත් කඩ හිමියෝ, වී මෝල් හිමියෝ බලා සිටියදීම ධනයෙන් ආඪ්‍ය වෙති. හිත් පිත් නැති වානිජකරණයේ යකුළු පහරට ගොවියා ගොදුරු වූයේ එසේය.

නූතන පාරිභෝගික සමාජ ක්‍රමය තුළ ගොවියා මෙවැනි ඉරණමකට ඇද වැටුනේ ඇයි. 70% කටත් වැඩිය කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන ජනතාවක්‌ සිටින රටක ගොවි ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීමේ වැඩපිළිවෙළක්‌ රජයට තිබිය යුතුය. වෙළෙඳ සමාජයේ ග්‍රහණයෙන් ගොවියා මුදා ගත යුතුය. මෙය වී වගාවට පමණක්‌ අදාළ වන ගැටලුවක්‌ නොවේ සමස්‌ත කෘෂිකර්මාන්තයටම පොදු වූ ගැටලුවක්‌ බව තේරුම් ගත යුතුය. ඒ නිසා වී ඇතුළු අනිකුත් කෘෂිබෝග වලටද සහතික මිල ක්‍රමයක්‌ ක්‍රියාත්මක කළ යුතුව තිබේ. කිසියම් ඉමක්‌ දක්‌වා හෝ ගොවියාට නිෂ්පාදන සහනාධාර ලබාදිය යුතුය. මේ මොනවා තිබුණද නිෂ්පාදනවලට සුරක්‍ෂිත වෙළෙඳපොළක්‌ නැතිනම් අපේක්‍ෂිත ඉලක්‌ක වලට ළඟාවීමට නොහැකි වේ. ඒ නිසා වෙළෙඳපොළ ගැටලුව විසඳීම ඉතා වැදගත්ය. අනික්‌ අතර වෙළෙඳපොළ පාලන උපකරණ වලට නිදහසේ හැසිරීමට ඉඩ නොදී ඒක රටට හිතකර ආකාරයට මෙහෙයවීමට රජය කටයුතු කළ යුතුව තිබේ.

1970 දශකයේ පැවති සමගි පෙරමුණ රජය ගොවියා ආරක්‍ෂාකර ගැනීම සඳහා මැදිහත් වූ හැටි අපට මතකය. වී සඳහා සහතික මිලක්‌ ලබා දුන්නේය. ගොවි නිෂ්පාදන මිලට ගැනීම සඳහා අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවක්‌ද පිහිටුවා තිබිණි. ගොවීන් නිෂ්පාදනය කළ ගොවි ද්‍රව්‍ය, අලෙවි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ වාහන ඔවුන් ළඟට ඇවිත් ඒවා මිලට ගත්තේය. මේ නිසා අතරමැදියන්ගේ ගසා කෑමෙන් ගොවියා නිදහස්‌ විය. ඔහුගේ නිෂ්පාදන වලට සාධාරණ මිලක්‌ ලැබිණි. අනික්‌ අතට රජය වෙළෙඳපොළ බලවේග පාලනය කළේය. ලංකා ආර්ථික ඉතිහාසයේ ගොවිජනයා ඉහළම ආදායමක්‌ වාර්තා කළේ මේ යුගයේදීය. එහෙත් අද සිදුවන්නේ කුමක්‌ද? සියල්ල කනපිට පෙරළිණි. කන්කුන් මිටිය පවා පිට රටින් ගෙන්වන ආර්ථිකයක්‌ නිර්මාණය කෙරිණි. ගොවියාට සෙනසුරා ලැබුවේය.

වර්තමානයේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන් රාශියකි. "අපි වවමු රට නඟමු" "වප් මගුල" "අලුත් සහල් මංගල්‍යය" ක්‍ෂිර විප්ලවය ආදී වශයෙන් මේවා විවිධය. ඒවායේ අඬහැරය තරමට ඒවා ජනතාව අතරට ගොස්‌ නැත. පසුගිය මාසවල අල, ළුEණු, තක්‌කාලි වැනි ගොවි නිෂ්පාදන අලෙවිකරගත නොහැකිවූ ගොවියන් ඒවා තොග ගණනකින් විනාශකර දැම්මේ ඒවා මිල කිරීමට ක්‍රම වේදයක්‌ නොතිබූ නිසාය. අප මුලින් සඳහන් කර ඇති පරිදි ගොවි නිෂ්පාදනවලට සුරක්‍ෂිත වෙළෙඳපොළක්‌ හෝ සහතික මිල ක්‍රමයක්‌ හෝ ඔවුන්ගේ ආදායම් ස්‌ථාවර කිරීමේ ක්‍රමවේදයක්‌ රජය විසින් හඳුන්වා දී තිබුණේ නම් ඔවුන්ගේ මහන්සිය අපතේ යන්නේ නැත. ඒ වියදම ඔවුන් විඳදරාගත යුතුය. වෙනත් ව්‍යාපාරිකයන්ට නම් රක්‍ෂණයෙන් එබඳු අලාභ පාඩු පියවා ගැනීමට හැකියාව ඇතත් ගොවියාට සිදුවන අලාභයට වගකිව යුත්තෙක්‌ නැත.

විෂයභාර ඇමැතිවරුන් මේ ගැටලුවේදී විහිළු කතා කියමින් ඇඟ බේරා ගැනීමට උත්සාහ දරති. එළවළු මිල ඉහළ යන කාලයට සැපයුම අඩුවීමෙන් එවැන්නක්‌ සිදුවන බවත් එවැනි අවස්‌ථාවල තමාට හිනා වන්නන් මෝඩයන් බවත් ඉහළ මිලක්‌ ඇති එළවළු මිලට නොගෙන මිල අඩු එළවළු මිලට ගැනීම ගුණදායක බවත් පවසයි. අනික්‌ අතට එළවළු මිල අඩුවන විට ඔහු කියන්නේ එය සැපයුම වැඩිවීමේ ප්‍රතිඵලයක්‌ බවයි. එවැනි අවස්‌ථාවල තමාට සිනා නොවී තත්ත්වය මැනවින් අවබෝධ කර ගැන්නැයි කියයි. එළවලු තොග ගණනින් ගොවීන් විනාශකර දමන විට ඔහු සතුටට පත්වන්නේ වෙළෙඳපොළ න්‍යායට අනුව යළිත් මිල යථා තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙන බැවිනි. අනපේක්‌ෂිත කාරණයකින් එළවළු මිල ඉහළ ගොස්‌ ගොවීන්ගේ අතට කීයක්‌ හරි ලැබෙන විට ඔහු රූපවාහිනියට පැමිණ සිනා මුහුණ පෙන්වමින් කියන්නේ එය තමාගේ වික්‍රමයක්‌ කියාය.

ගෑස්‌ මිල ඉහළ යන්නේ ඇමතිතුමාගේ වැරැද්දකින් නොවේ. මිල සූත්‍රයට අනුවය. එළවළු මිල ඉහළ පහළ යන්නේ කුමන මිල සූත්‍රයට අනුව දැයි එතුමා විසින්ම පැහැදිලි කර දිය යුතුව තිබේ.

ඉතින් මේ සියල්ල සිදුවන්නේ සූත්‍රවලට අනුව නම් ඇමැතිතුමාට කළ යුතු දෙයක්‌ නැත. එතුමාට කළ යුතුව තිබෙන්නේ පසෙකට වී බලා සිටීම පමණි. බඩු මිල ඉහළ යැම, ජීවන වියදම අඩුකිරීම සක්‍රයාටවත් කළ යා හැකි දේවල්ය. රටේ ගොවි ජනතාවගේ ජීවිත ඉරණම මෙවැනි රැවටිලිකාර ඇමැතිවරුන්ගේ ක්‍රියා කලාපය සමග ගැටගැසී තිබීම තරම් තවත් අභාග්‍යයක්‌ මේ ගොවි ජනතාවට තිබේ දැයි අපි නම් නොදනිමු.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger