මහාචාර්ය නලින් ද සිල්වා
(October 04, Colombo, Sri Lanka Guardian) නිවන ගැන මා ලියා ඇති දේ වැරැදි යෑයි ඇතැම්හු කියති. නිවන් නොදැක නිවන ගැන ලියන්නේ ඇයි ද යන්න ද ඇතැමුනට ප්‍රශ්නයකි. ඒ තර්කය පිළිගතහොත් නිවන් නොදුටු අය මා නිවන ගැන ලියා ඇති දේ වැරැදි බව දන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. දැනට සති කිහිපයකට පෙර සියපත අතිරේකයෙහි නිවන අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයක් ද පාරභෞතික සංකල්පයක් ද යන මැයෙන් ලිපියක් පළවිණි. ඒ මා වෙනත් සඟරාවකට ලියන ලද ලිපියක් නැවත පළකිරීමක් විය. පසුගිය සතියෙහි එයට ප්‍රතිචාරයක් පළවිණි. ඒ ප්‍රතිචාරය කිසිසේත් ම ලිපියට පිළිතුරක් නොවීය. ප්‍රතිචාරය පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයකු ව සිට විශ්‍රාම ලැබ සිටින ඒ. එන්. ද එස්. අමරතුංග මහතා ගෙනි.
විශ්‍රාම යැමට අවුරුදු කිහිපයකට පෙර නින්දෙන් අවදිවීමෙන් ජාතික ව්‍යාපාරය ගැන උනන්දුවක් දැක්‌වීමට පටන්ගත් ඒ මහතා මා සංස්‌කෘතික ඌනිතවාදියකු ලෙස දැක මා විවේචනය කරමින් දි අයිලන්ඩ් පුවත්පතට ලිපියක් සැපයීය. ඒ පිළිබඳ මගේ පිළිතුර කොටස් වශයෙන් මේ දිනවල එම පුවත්පතෙහි මිඩ්වීක් රිවීව් අතිරේකයෙහි බදාදා දිනවල පළවෙයි. දැනටමත් එහි කොටස් හතරක් පළ වී ඇත. එහි පළමු කොටසට පිළිතුරක් ලෙස අමරතුංග මහතා නිවන ඇතුළුව බුදුදහම පිළිබඳ මා ලියා ඇති දේ ලෙස ඒ මහතා දන්නා කරුණු (නින්දෙන් අවදි වී ඒ මහතාට කියවන්නට ලැබී ඇත්තේ කරුණක් දෙකක් පමණක් බව පැහැදිලිය.) විවේචනය කරමින් මිඩ්වීක් අතිරේකයට ම ලිපියක් ලීවේ ය. පසුගිය සතියෙහි සියපතෙහි පළවූයේ එහි සාරංශයක පරිවර්තනයකි. එයට පිළිතුරු යථා කාලයේ දී සියපත අතිරේකයට යවමි. එහෙත් එයට පෙර එහි ඉංගිරිසි මුල් ලිපියට පිළිතුරු දිය යුතුය. ඒ සඳහා තව සති කිහිපයක් ගතවනු ඇත්තේ මිඩ්වීක් අතිරේකයට මා ලියන පිළිතුර තරමක් දීර්ඝ බැවිණි.
ඒ අතර කපිල පීරිස් නම් ඉංජිනේරුවරයෙක් විදුසර පුවත්පතට ලියූ ලිපියක (ඔහු අප මතවාද විවේචනය කරමින් ඒ සංශෝධනය කිරීමට වෙර දරන්නෙකි.) මා බුදුදහම හිතුමතේ විවරණය කරන බවට භයානක චෝදනාවක් එල්ල කරයි. ඒ චෝදනාවට ද විදුසර පුවත්පතෙන් මා පිළිතුරු ලබා දෙමි. අමරතුංග මහතා මෙන්ම කපිල පීරිස් මහතා ද ජාතිකවාදීහු වෙති. මෙතෙක් කල් අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්‌සේ පුවත්පත්වල හා වේදිකාවල මා සමග වාදයට එළඹුණේ විජාතික මත දරන මාක්‌ස්‌වාදීහු, ලිබරල්වාදීහු, පශ්චාත්නූතනවාදීහු, පශ්චාත්මාක්‌ස්‌වාදීහු, දෙමළ ජාතිවාදීහු ආදීහු ය. මොවුහු දැන් දිවයින පුවත්පතෙහි හා අපේ වේදිකාවල හොල්මන් නො කරති. සිංහල ජාතිකවාදීන් (ජාතිවාදීන්නොවේ.) මෙතෙක් කල්මා කී දේ ඉවසා ඇත්තේ මගේ අදහස් සමග එකඟවන නිසා නොව ඔවුන්ට මා අවශ්‍ය වූ නිසා බව පැහැදිලිය. ත්‍රස්‌තවාදය පරාද කර ඇති මෙකල සිංහල ජාතිකවාදීහු මගේ මත අදහස් සංකල්ප ප්‍රවාද ආදිය විවේචනය කිරීමට ඉදිරියට එති. ඒ ඒ වේදිකාවෙහි හා පුවත්පතෙහි මම ඔවුන්ට ද පිළිතුරු දෙමි. මේ සියලු විවේචකයන් අතර සමානත්වයක් වෙයි. මාක්‌ස්‌වාදීන් ආදීන් මෙන්ම සිංහල ජාතිකවාදීහු ද බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ දරුවෝ වෙති. ඔවුන්ට ඉන් කැඩීමට නො හැකිය. බොහෝ බටහිර ඉංජිනේරුවන්ට, වෛද්‍යවරුන්ට, දන්ත වෛද්‍යවරුන්ට පමණක් නොව විශ්වවිද්‍යාලවල දර්ශනය උගත් බොහෝ දෙනාට ද අවසාන විග්‍රහයෙහි දී තම වෘත්තීන්ට හා ක්‍ෂෙත්‍රවලට පදනම් වූ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙන් කැඩීමට නො හැකිය. ඔවුහු බොහෝ විට බෞද්ධයෝ වෙති. එහෙත් ඔවුන්ගේ බුදුහාමුදුරුවන් හා මගේ බුදුහාමුදුරුවන් අතර වෙනසක් වෙයි.
අප එකිනෙකාගේ බුදුහාමුදුරුවරු ද අප එකිනෙකාට සාපේක්‍ෂ වෙති. අප සියලු දෙනාම බුදුදහම හා බුදුහාමුදුරුවන් තේරුම් ගන්නේ තම තම නැණ පමණින් ය. ඒ බුදුදහම පිළිබඳ හෝ බුදුහාමුදුරුවන් පිළිබඳ හෝ ඊනියා කියවීම් නො වේ. මේ අප විසින් ගොඩනඟා ඇති නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙහි කියෑවෙන කොටසකි. සියල්ල අප එකිනෙකා සාපේක්‍ෂක ව නිර්මාණය කරගත් දෑ පමණය. මා අනුගමනය කරන්නේ මා දන්නා බුදුහාමුදුරුවන්ය. උන්වහන්සේ බුදුවීමට පෙර පාරමිතා පුරන සමයෙහි බෝධිසත්වයන් විරුද්ධවාදීන්ට ඇතැම් අවස්‌ථාවල හොඳින් සලකා ඇත. මහෞෂධ පඬිතුමා කේවට්‌ටයාගේ හොම්බ බිම ඇතිල්ලවීම ඇතැම් විට ඕල්කට් බෞද්ධයකුට ප්‍රශ්නයක් වනු ඇත. එහෙත් මට එය ප්‍රශ්නයක් නොවේ. කේවට්‌ටයන් සම්බන්ධයෙන් වෙනත් කළහැකි දෙයක් නැත. මගේ වීරයන්ගේ ලැයිස්‌තුවෙහි මහෞෂධ පඬිතුමා ඉතා ඉහළින් ඇත. එහෙත් එහි ඉහළින් ම ඇත්තේ බුදුහාමුදුරුවන් ය. ඊළගට ඇත්තේ සැරියුත් හාමුදුරුවන්ය. උන්වහන්සේලා වීරයන් ලෙස සැලකීම නුසුදුසු යෑයි කෙනකුට සිතෙනු ඇත. බෝසතාණන් වහන්සේ කිනම් අර්ථයකින් ගත්ත ද වීර්ය පාරමිතාව ද පුරා ඇති බව පමණක් මෙහි දී සඳහන් කළ යුතුය. රහත් නොවූ භික්‍ෂුන් වහන්සේලා අතර මාගේ වීරයන්ගේ ලැයිස්‌තුවේ ඉහළින් ම ඇත්තේ නාගර්ජුන හාමුදුරුවන්ය. උන්වහන්සේගේ ශුන්‍යතාව මම ප්‍රතික්‍ෂෙප කරමි. එහෙත් බුදුහාමුදුරුවන් ද දෙසූ ශූන්‍ය ඉතා අගය කරමි. සංකල්පීය වශයෙන් ගත්කල සියල්ල ශූන්‍ය බව මා ඉගෙන ගත්තේ නාගර්ජුන හාමුදුරුවන්ගෙනි. මගේ වීරයන්ගේ ලැයිස්‌තුවෙහි නම් සඳහන් නොවන මහාවිහාරික භික්‍ෂුන් වහන්සේද පඬුඅබා, ගැමුණු, විජයබා ආදීහු ද ඉතා ඉහළින් ම වෙති. එහෙත් නාගර්ජුන හා හාමුදුරුවන් සමග සසඳන විට ආකිමිඩිස්, නිව්ටන්, අයින්ස්‌ටයින්,ඇරිස්‌ටෝටල්, ගණිතඥයන් වූ ගර්ඩ්ල්, හිල්බට්, ආදීන් ඇත්තේ ඉතා පහළින් බව නොකියා ම බැරි ය. ඩෙරීඩා, ෆුකෝ, ෆේරdයිඩ්, ලකාන්, මාක්‌ස්, ඩාවින් ආදීන් ඒ ලැයිස්‌තුවේ සොයා ගැනීමටවත් නො හැකි ය.
සෑම ආගමක ම කියෑවෙන්නේ එකක් බවට සර්ව ආගමිකයන් කියන බයිලා කෙසේ වුව ද බුදුහාමුදුරුවන් දේශනා කළ දේ වෙනත් කිසිවකු කියා නොමැත. සත්ත්වයාට විමුක්‌තිය ලබාගැනීම, පිළිබඳ බොහෝ ආගම්වල කතා කෙරෙයි. සෑම ආගමක ම නැවත ඉපදීමක් (අවශ්‍ය නම් භවයක්) ගැන සඳහන් වෙයි. ඇතැම් ආගමක සියලු සත්ත්වයන් කෙසේ වෙතත් මිනිස්‌සු එක්‌කෝ සදාකාලික ස්‌වර්ගයට යති. නැත්නම් සදාකාලික අපායට යති. එය ද ඉපදීමක් වෙයි. කෙසේ වෙතත් අවසාන ඵලය අමරණීය වෙයි. ස්‌වර්ගයට ගිය තැනැත්තා මරණයට, අභාවයට පත් නො වෙයි. හින්දු ආගමේ ද අද්වෛත වේදාන්ත ආගමේ ද බ්‍රහ්මන් නිර්ගුණ් වුවත් නැතත් බ්‍රහ්මන් සමග එකතුවීම යන්න වැරැදි ව්‍යවහාරයක් වුවත් නැතත් අවසානයේදී බ්‍රහ්මන් සමග අමරණීය තත්ත්වයකට පත්වෙයි. ඒ සෑම ආගමක ම අවසාන අරමුණ වන්නේ නොමැරී ජීවත්වීමය. සර්ව ආගමික කැරොල් කරත්තකරුවන් කුමක් කීවත් බෞද්ධයන් උත්සාහ කරන්නේ නොමැරී ජීවත්වන තැනක් සොයා ගැනීමට නොව නූපදින්නට ය. මෙය සුළු වෙනසක් නොව තදබල වෙනසක් බව සර්ව ආගමිකයන්ට නොතේරේ නම් ඔවුන්ට දෙවියන්ගේ ම පිහිටය.
සිදුහත් කුමරු ඉපදෙන කාලයෙහි දඹදිව සංසාරය යන සංකල්පය තිබිණි. සංකල්පීය ව ගත්කල පුටුව මෙන්ම සංසාරය යන්න ද ශූන්‍ය වෙයි. එහෙත් පුටුව මෙන් ම සංසාරය ද සම්මුතියෙන් (මනස ද ඇතුළු) ඉන්ද්‍රියවලට සාපේක්‍ෂව පවතියි. පෘථග්ජන අපේ දැනුම මනස ද ඇතුළු ඉන්ද්‍රියවලට හා සංස්‌කෘතියට සාපේක්‍ෂ වෙයි. සංසාරය යන්න ප්‍රාග් බෞද්ධ සංකල්පයක් වුවත් එය බෞද්ධයනට ද සංකල්පයක් වෙයි. ඇතැම් පඬි බෞද්ධයෝ සංසාරය යන්න නො පිළිගනිති. සංසාරයෙහි පැවැත්ම නොපිළිගන්නා අය එසේ කරන්නේ ඒ සංකල්පීය වශයෙන් ශූන්‍ය නිසා නොව ඔවුන්ගේ ඊනියා ප්‍රත්‍යක්‍ෂයට ඒ හසු නොවන නිසා ය. සසර බටහිර විද්‍යාවට හසු නො වීම ද ඔවුන්ට ප්‍රශ්නයක් වෙයි. සාමාන්‍ය මිනිසාට භවයෙන් භවයට යන සත්ත්වයකු නො පෙනෙයි. තමන්ගේ ඉන්ද්‍රිය ගැන අධිතක්‌සේරුවක් කරන මොවුහු මුළු ලෝකය ම ඔවුන්ගේ මනස ද ඇතුළු ඉන්ද්‍රියවලට ග්‍රහණය විය යුතු යෑයි සිතති. කිසිම තර්කයකට නැති බොරු පඬි කතා කියන මොවුහු මේ භවයෙන් සියල්ල කෙළවර වන්නේ යෑයි කියති. බල්ලන්ට ඇති ඉව නැති මොවුන්ගේ ඉන්ද්‍රිය ගෝචර දැනුම ගැන බල්ලන්ගෙන් ම අසා දැනගත යුතුය.
සංසාරයක් නැත්නම් බුදුදහමෙන් වැඩක් නැත. සිදුහත් කුමරු බුදු වූයේ සත්ත්වයන් සසරින් එතර කිරීමට මිස (එතර කළ සත්ත්වයා එතර වී යන්නේ කොහාට ද යනුවෙන් පඬියන් ප්‍රශ්න කිරීමට ඉඩ ඇත) බලු බල්ලකුගේ ඉවක් නැති පඬියන්ට සාකච්ඡා කිරීමට මාතෘකා සැපයීමට නො වෙයි. සසරින් එතරවීමට බුද්ධිය කරදරයක් විය හැකි වුවද පඬියන්ට සසරින් එතරවිය නොහැක්‌කේ බුද්ධියක් ඇති නිසා නොවන බව පඬියන් ඇසුරුකර ඇති මම දනිමි. ඒ කෙසේ වෙතත් නාගර්ජුන හාමුදුරුවෝ සසර නිවනට සාපේක්‍ෂව ගැනීමෙන් වරදක් කළහ. සංකල්පයක් වූ සසර සංකල්පයක් නොවූ නිවනට සාපේක්‌ෂව ගැනීම උන්වහන්සේ කළ වරදය. උඩ යන්නට සාපේක්‌ෂව පහළ හෝ අඳුර යන්නට සාපේක්‌ෂව ආලෝකය යන්න හෝ ගත හැක්‌කේ ඒ සියල්ල සංකල්ප බැවිනි. (මේ සාපේක්‌ෂතාව අයින්ස්‌ටයින්ගේ සාපේක්‌ෂතාව සමග සංසන්දනය කරන බටහිර විද්‍යාවේ ගැත්තෝද වෙති.) නිවන සංකල්පයක් නොවන බැවින් එය (එය යනුවෙන් යෙදීමෙහි වරදක් වෙයි.) සසරට සාපේක්‌ෂව ගත හැකි නොවේ. ප්‍රාග් බෞද්ධ සමාජයේ සසර නම් සංකල්පය තිබුණ ද සසරින් එතෙරවීම, ගැලවීම පිළිබඳ ඒ සමාජයේ තිබූ දැනුම බුදුහාමුදුරුවන් විසින් ප්‍රතික්‌ෂේප කරන ලදී. එකල සසර තේරුම් ගැනුනේ නැවත නැවත ඉපදෙන නිත්‍ය වූ ආත්මයක් ඇසුරෙන්ය. බුදුහාමුදුරුවන්ට වැදගත් වූයේ අනිත්‍යය දුක්‌ඛ හා අනාත්මය. -Sri Lanka Guardian
Home »
» බුදුහාමුදුරුවන් හඳුනාගැනීම
Post a Comment