Home » » නිශාන්ත මුතුහෙට්‌ටිගම කළේ කුමක්‌ද?

නිශාන්ත මුතුහෙට්‌ටිගම කළේ කුමක්‌ද?

Written By Sri Lanka Guardian on Sunday, October 4, 2009 | 10:20 PM

ආරියසෝම නාගොඩවිතාන

(October 04, Colombo, Sri Lanka Guardian) දකුණු පළාත් සභා මැතිවරණයේ පුවත් මවන්නා බවට පත් වූයේ නිශාන්ත මුතුහෙට්‌ටිගම ය. ඔහුට සම්බන්ධ ප්‍රවෘත්ති පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධානම ප්‍රවෘත්තිය හැටියට ද පළවූවා පමණක්‌ නොව කතුවැකි ද ලියවිණි. ඔහු කඩාකප්පල්කාරයකු, මැරයකු පමණක්‌ නොව "පිස්‌සු පොරක්‌" හැටියට වුවද සිතීමට ඉඩකඩ එම බොහෝ ප්‍රවෘත්තිවල ගැබ් වී තිබිණ. සන්ධානයෙන් පිටස්‌තර පක්‍ෂවල ක්‍රියාකාරිකයන් පමණක්‌ නොව, සන්ධානයේ සමහර අයගේ ගෝල බාලයන් ද මහත් අභිරුචියෙන් ප්‍රකාශ කළේ "නිශාන්ත මේ සැරේ ඉවරයි" යන්නය. එහෙත් ප්‍රදේශය තුළ සැරිසරණ අපට පසක්‌ වූයේ ඒ සියලුම ප්‍රවෘත්ති වලින් පාහේ කියෑවුණේ නිශාන්ත කළ කී දේ පමණක්‌ බවය. ඔහු හිටි ගමන් එවැනි තත්ත්වයකට පත් වූයේ ඇයි ද යන්න පමණක්‌ නොව ඔහුට එරෙහිව සිදු වූ දේ ද ඔහුට කෙණෙහිලි කම් කළ අය ද අනාවරණය වූයේ නැත.


නිශාන්ත මුතුහෙට්‌ටිගම දිනුවත් පැරදුනත් මහ ඇමැති වුවත් නැතත් අපට ප්‍රශ්නයක්‌ නැත. එහෙත් මේ රටේ දේශපාලන බිස්‌නස්‌ එක තුළ ඇති ප්‍රෝඩාකාරී ස්‌වභාවය සහ මනාප ක්‍රමයේ ඇති තුච්ඡත්වය ද මෙහිදීත් ඉස්‌මතු වූ බව අපගේ හැඟීමය.

නිශාන්ත පටලවා ගත් බව බැලූ බැල්මට සැබෑවකි. ඔහු පොලිසියට බැන්නේය. පොලිස්‌පතිට බැන්නේය. දේශපාලනය රඟපෑමක ස්‌වරූපයෙන් කරන සජින් සමඟ මෙන්ම රඟපෑම ජීවිතය කරගත් අනර්කලී නළඟන සමඟ ද ඔහු පටලවා ගත්තේය. නළඟන ගැන සත පහකට වැඩක්‌ නැති කථා කීවේය. අත් දෙකෙන්ම වෙඩි තැබිය හැකි බව කීවේය. මේ සියල්ල තමන්ට වුවමනා පරිදි උලුප්පා පෙන්වීම සඳහා ජනමාධ්‍ය ඉතා හොඳින් යොදවා ගැනීමට ඔහුට එරෙහි බලවේග ඉතා සූක්‍ෂම විය. පසුගිය 10 වැනිදා නිශාන්ත මුතුහෙට්‌ටිගම උඩුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්‌ථාව එයට හොඳ උදාහරණයකි. මුතුහෙට්‌ටිගම සිද්ධිය උසාවියේ දිග හැරෙන අතර තුර සජින් උසාවියට ආවේය. අධිකරණය ඉදිරිපිට මහා මාර්ගය ඔහුගේ වාහන වලින් සහ ආරක්‍ෂකයන්ගෙන් පිරී ගියේය. ඔහු උසාවි බිමෙන් පිටවන විට අධිකරණ ගේට්‌ටුව ඉදිරිපිට රොක්‌ වී සිටි මාධ්‍යකරුවන් සංඛ්‍යාව අති විශාලය. ගාල්ල සහ අවට සිටින සියලුම මාධ්‍යකරුවන් එතැන සිටියාට සැක නැත.

නිශාන්ත පීරිස්‌ පොලිසිය සමඟ පටලවා ගත්තේය. ඔහු කිහිප වතාවක්‌ අත්අඩංගුවට ගැනිණ. උසාවියට ඉදිරිපත් කෙරිණ. ලක්‍ෂ ගණනක මුදල් ඇපයට තැබිණ. නිශාන්තට "ඔලුවේ අමාරුවක්‌" තිබේ දැයි පරීක්‍ෂා කරන ලෙස ද උසාවියෙන් නියෝග කෙරිණ. නිශාන්තගේ මුළු පවුලේම වාසනාවට දෝ එවැන්නක්‌ නැති බව වෛද්‍ය මතය විය.

නිශාන්තගේ මල පැන්නේ ඇයි? නිශාන්තගේ මල පැන්නේ එක්‌ රාත්‍රියකදී ඔහු උපන් ගමට පැමිණි විශාල පිරිසක්‌ ඔහුගේ කාර්යාල, කටවුට්‌, පෝස්‌ටර් සුන්කර දැමීම නිසාය. නොකඩා තිබුණේ නිශාන්තලාගේ මහගෙදර ඉදිරිපිට තිබුණු කාර්යාලය පමණි. පසුදා උදේ මෙය කණ වැටුණු විට "මට එකක්‌ වත් ඕන නෑ. ඕකත් කඩල දාපල්ලා" ඔහු ඔහුගේම ගෝලබාලයන්ට කීවේය. ඔවුහු කාර්යාලයේ ඉදිරිපිට තිබූ එක පුවරුවක්‌ ගලවා පැත්තකින් තැබූහ. නිශාන්තගේ කාර්යාල කැඩුවේ එදින රාත්‍රි දෙකට පමණ වාහන විස්‌සකින් පමණ පැමිණි මැරයන් පිරිසක්‌ බව ද සමහරුන් අත නවීන ගිනි අවි තිබූ බව ද උඩුගම ප්‍රදේශයේ කිහිපදෙනෙක්‌ පැවසූහ. තවත් ආරංචි මාර්ග සඳහන් කළේ කැටගොඩ හන්දියේ කාර්යාලය කඩන විට එම ස්‌ථානය අසල පොලිස්‌ නිලධාරීන් සිටි බවය. පැමිණි අය ඔවුන්ට ද සත්තම දැමූ විට ඔවුන් නිහඬව පසෙකට වී සිටි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. වැඩසටහන මෙහෙයවූ ලොක්‌කන් දෙදෙනෙක්‌ උඩුගම රෝහල අසල හරස්‌ පාරේ වාහනයකට වී සිටි බව ද පැවසිණ. නිශාන්තගේ මිනිසුන් පසුදා පොලිසියට ගිය නමුත් ඔවුන්ගේ පැමිZණිලි භාර නොගත් බවත්, අන්තිමට ඒ සඳහා නිශාන්තට පොලිසියට යැමට සිදු වූ බවත් ඔවුහු සඳහන් කළහ.

නිශාන්ත දැමූ පැමිණිලි පිළිබඳව ක්‍රියාත්මක වන බවක්‌ දක්‌නට නොලැබුණ නමුත් නිශාන්තට එරෙහි බරපතල පැමිණිලි ක්‍රියාත්මක විය. ගිනි අවි භාවිතය මිනිසුන් පැහැර ගෙන යැම වැනි බරපතල චෝදනා ඒ අතර විය. එහෙත් පැහැරගෙන යැමට ලක්‌ වූ බව පැවසුන අය සමථයකට කැමැත්ත පළ කළහ. නිශාන්ත පොලිසියට බැනීමේ මූලික පදනම වූයේ මේ සිදුවීම් පෙළය. ඊට පසු නිශාන්ත කළ කී දේ ජනමාධ්‍ය හරහා උණු උණුවේ විකිණින.

නිශාන්තට පළමු ගැහිල්ල ගැසුවේ මෑතකදී කරළියට ආ අපේක්‍ෂකයකු හා ඔහුට උදව්වට බස්‌නාහිර පළාතෙන් ආ කෙළිකාරයකුගේ පිරිස්‌ බව ආරංචි විය.

සජින් වාස්‌ගේ ආගමනය සහ අනර්කලී නළඟනගේ කඩාපාත්වීම ගැන කතා කරන්නේ නිශාන්ත පමණක්‌ නොවේ. අනික්‌ සන්ධාන අපේක්‍ෂකයන් ද පමණක්‌ නොවේ. සන්ධානයේ දේශපාලනය ගැන උනන්දුව දක්‌වන හැම දෙනාම කතා කරති. සජින් රඟන්නේ රාජපක්‍ෂ පවුලේ ප්‍රබලයකු පරිද්දෙනි. ඩිෆෙන්ඩර් රථ සහ ආරක්‍ෂකයන් පිරිවරා ගෙන ඔහු සැරිසරන්නේ ඔහුට දේශපාලනයේ ඇති දැවැන්ත උරුමයක්‌ නිරූපණය කරමිනි. රූප මදයෙන් ඔදවත් වූ අනර්කලී තවත් කැරොකේ ගීතයකට සපයන රංගන දායකත්වයක අසිරිය කියා පාන්නා වැනිය. මේවා ගැන අනිකුත් සන්ධාන අපේක්‍ෂකයන් කතා කරන්නේ ප්‍රසිද්ධියේ නොවේ. එහෙත් නිශාන්ත කරුවලේ රවන්නේ නැත. ඔහු එළිපිට කතා කළේය. නිශාන්තට හරහට හිටියේ මේකය. පළමු ගැහිල්ල නොගැසුවා නම් නිශාන්ත ද ප්‍රසිද්ධියේ කතා නොකරන්නට ඉඩ තිබිණි. අනර්කලී සමඟ පටලවා ගැනීම ගැන උඩුගම හා අවට ප්‍රදේශවලට කිසිදු හැඟීමක්‌ නැතත් නිශාන්ත මාධ්‍යවලට සැපයූ විහිළු ගැන සමහරුන් අර්ථ දැක්‌වූයේ "ගහන්න බැරි තැනදී කෙළ ගැසීමේ පොඩි එවුන්ගේ න්‍යාය" ක්‍රියාත්මක කිරීමක්‌ හැටියටය.

අනර්කලී ජ්‍යෙෂ්ඨයන්ට ගරු නොකරන බව නිශාන්ත කීවේය. නිශාන්තලාගේ අතීත දේශපාලනය ගැන දන්නා මිනිසුන්ට ඒ ප්‍රකාශයේ වරදක්‌ නොපෙනේ. නිශාන්තලාගේ පවුලට පළමු දේශපාලන ප්‍රහාරය එල්ල වූයේ 1977 දී ය. ශ්‍රීලනිපයේ හැත්තෑ හතේ පරාජයේදී නිශාන්තලාගේ පියාගේ ව්‍යාපාරික ස්‌ථානය කුඩුපට්‌ටම් කළේය. මිනිසුන් කියන්නේ හෝටලය ඇතුළට ට්‍රැක්‌ටර් ගිය බවය. එජාපයේ බලය ඉහින් කනින් පිට වූ අසූ ගණන්වල බාර් හන්දියේ ශ්‍රී ලංකා කළේ නිශාන්තලාය. රැස්‌වීම් තැබුවේ නිශාන්තලාගේ මිදුලේය. කතා කළේ එවකට විපක්‍ෂ මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසය. ටිකෙන් ටික වයසට යන තාත්තාගෙන් දේශපාලනය කරට ගත්තේ වේගයෙන් කර දණ්‌ඩ වැඩෙන නිශාන්තය. ඔහු නාගොඩ ප්‍රාදේශීය සභාවෙන් වැඩ පටන් ගත්තේය. අමරසිරි දොඩංගොඩලා රිචඩ් පතිරණලා, පියසේන ගමගේලා, ආරියතිලකලා, විඡේපාල හෙට්‌ටිආරච්චිලා සමඟ දේශපාලන කඳ මුලට කර ගැසූ නිශාන්ත මහින්ද රාජපක්‍ෂලාගේ ජන ඝෝෂා වැඩසටහන්වලට උඩුගමින් මිනිසුන් රැගෙන ගියේ දහස්‌ ගණන් අතින් වියදම් කරගෙනය. පක්‍ෂයට හිතවත් ඕනෑම කෙනෙකුගේ ප්‍රශ්නයකට නිශාන්ත තමන් ම කෙළින්ම අත දැම්මේය.

ඊයේ පෙරේදා අලුතින් පැමිණි මිනිසුන් එක එක ජාතියේ කලර් දමන විට නිශාන්තට තද වුණේ ඒ නිසාය. අනෙක්‌ අයට ද තද නොවුණා නොවේ. ඔවුහු ඒවා එහෙමම තද කර ගත්හ. නමුත් නිශාන්ත බුරුල් කළේය.

ශාන් මහ ඇමැති වුවත්, නිශාන්ත මහ ඇමැති වුවත් නළුවෙක්‌ මහ ඇමැති වුවත්, නිළියක්‌ මහ ඇමැති වුවත් අපට අමුතු සෙතක්‌ නැත. එහෙත් වඩාත් සාධාරණ මිනිසකු වීමට මිනිසකුට ඇති ඉඩකඩ කුහක ලෙස අහුරා දමා තමන් ගොඩ ඒමට දරන ප්‍රයත්නයන් නිරාවරණය කිරීම පත්තරකාරයකුගේ වගකීමක්‌ හැටියට සැලකීමට මා වඩාත් කැමතිය.

නිශාන්තලා, ආරියතිලකලා මහ ඇමැති කමට උත්සාහ ගැනීම වරදක්‌ විය හැක්‌කේ කෙසේද? ඔවුන් වසර ගණනක්‌ තිස්‌සේ දේශපාලනයට දර දිය සැපයූහ. නුසුදුස්‌සන් බුරුතු =පිටින් සුදුස්‌සන් බවට පත් වී සිටින මේ රටේ නිශාන්ත මහ ඇමැතිකමට නුසුදුසු යෑයි කිව හැකි නම් එසේ කිව හැක්‌කේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ කතිරය ගැසීමකට සුදුස්‌සන්ට පමණි.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger