By Shan
(November 12, Colombo, Sri Lanka Guardian) ඇමෙරිකා එක්සත් ජනපදයේ මර්මස්ථානයන්ට අල්කයිඩා ප්‍රහාර එල්ලවීමත් සමග මුළු ලෝකයම “ත්රස්තවාදයට එරෙහි යුද්ධයට ” පෙළ ගැසී තිබුණි. තවදුරටත් සාමකාමී දේශපාලන විසදුමකට අවස්ථාවක් ලබා නොදී යුදමය ලෙස “ත්‍රස්තවාදය” මුලුනුපුටා දැමීමට උපාය උපක්‍රම වෙනස් කෙරිණි.බලය බෙදා කල් පවත්නා දේශපාලන විසදුමක් ජාතික ප්‍රශ්නයට ලබාදීමට 2003 දී ගත් අවසන් උත්සාහයද එල්.ටී.ටී.යේත් චන්ද්‍රිකා – රනිල් හවුලේත් පටු දේශපාලන දැක්ම නිසා අහෝසි වුණි. එල්.ටී.ටී.ඊ සංවිධානය ද දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බවට ගෝලීය ධනේෂ්වරය ඒ වනවිට එකගතාවකට පැමිණ තිබුණි.ඒ එතිහාසික අවශ්‍යතාව ඉෂ්ඨ කිරීමේ වගකීම පැවරුණේ මහින්ද රාජපක්ෂට ය.වර්ෂ 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත් කරවන එකම අවශ්‍යතාව එල්.ටී.ටී.ඊ.ය යුදමය ලෙස විනාශ කිරීම සදහා යැයි කිවහොත් එය වඩා නිවැරදි ය.
වර්ෂ 2006 දී රාජපක්ෂ රෙජීමය හා ගිවිසුමක් අත්සන් කරමින් එක්සත් ජාතික පක්ෂය පෙන්නුම් කළේ ගෝලීය ධනවාදයේ බලාපොරුත්තුවට තමන් එකග බවකි. ඒ එකගතාව කොතෙක් ශක්තිමත් දැයි වූවාදැයි කිවහොත් එක අකුරක්වත් නොදුටු 2007 අය වැය යෝජනා වලට සම්පූර්ණ සහාය දීමට ද සූදානම් යැයි ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. සුවිශාල පන්ති ඉවකින් යුත් වික්‍රමසිංහයන්ගේ මේ දේශපාලන තීන්දුව තේරුම් ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ අපොහොසත් වුණි. ඔහු පන්ති දැක්මකින් දේශපාලනය දකින්නේ නැතිව කට්ටිවාදීව දේශපාලනය තේරුම් ගත්තේය. එම වියවුල් දැක්ම රජයේ මතවාදය වූ නිසා රාජපක්ෂයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නන් ගේ ද මතවාදය වූයේ පක්ෂයක් වශයෙන් එ.ජා.ප.යේ සහාය ලබා නොගෙන එ.ජා.ප මන්ත්‍රීවරුන් සමූහයකගේ සහායෙන් රෙජීමය ශක්තිමත් කිරීම නිවැරදි බවයි.
ජාතික ධනේශ්වරය බල මුළු ගන්වා රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කරමින් දේශීයව අවශ්‍ය දේශපාලන යටිතලය සකස් කළේය. එසේම එල්.ටී.ටී.ඊයේ අවි ආයුධ ලබා ගැනීමේ සබදතා ද මුදල් එකතු කිරීමේ ජාලය ද ඇතුළු සියළු සැපයුම් ජාලයන් පිළිබද බුද්ධි තොරතුරු රාජපක්ෂ රෙජීමයට ලබාදීමට ගෝලීය ධනෙශ්වරය පසුබට නොවෙමින් ත්රස්තවාදයට එරෙහි යුද්ධයට ශ්‍රී ලංකාව ද සම්බන්ධ කර ගත්තේ ය. එපමණක් නොවේ. මූල්‍යමය ලෙස ද භොතිකමය ලෙස ද අවශ්‍ය සියළු ප්රාග්ධනය මෙරටට ලබාදුනි. ඉන්දියාවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ද චීනයේ සිට ජපානය දක්වා ද සියළු ධනපතීන් රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කිරීමට එක පෙළට සිට ගත්තේ ඒ අනුව ය.සම්ප්‍රදායි උදාහරණයකින් ඇති වූ දේ පැහැදිලි කළහොත් මතු වන්නේ මෙවැනි ච්ත්රයකි. දේශීයව එදා සිටියේද මේ හමුදාවම ය. මේ දේශපාලකයන්ම ය. එහෙත් වෙනස් වූයේ ගෝලීය දේශපාලන මතවාදයයි. ඒ මතවාදය ශක්තිමත් කරමින් එය මෙහේය වූ ගෝලීය දේශපාලන නායකත්වයයි. ඒ අර්ථයෙන් එල්.ටී.ටී.ඊ. විනාශ කිරීමේ ගෞරවය යා යුත්තේ ගෝලීය ධනේශ්වරයටයි.ඇත්තෙන්ම එල්.ටී.ටී.ඊ.ය විනාශ කළ රණකාමියා වන්නේත් දේශපාලන නායකයා වන්නේත් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් බව නොරහසකි.
ගෝලීය ප්රාග්ධනයේ නිදහස් සංචලනයට බාධාවක් වූ එල්.ටී.ටී.ඊ.ය ද එහි නායකයා ද තවදුරටත් වලංගු දේශපාලන ප්රපංචයන් නොවේ. එය ලෙයින් හා යකඩෙන් මර්දනය කරමින් තම එතිහාසික පැවරුම සම්පූර්ණ කිරීමට රාජපක්ෂ රෙජීමය කටයුතු කළේ ගෝලීය ප්රාග්ධනය ද මවිතයට පත් වන අන්දමිනි. එල්.ටී.ටී.ඊ.යේ අවසානයත් සමගම ගෝලීය දේශපාලනයේ ද වෙනසක් ඇති වුණි. එතෙක් යුදවාදී දේශපාලනයට යටව තිබූ ලෝකය එම මතයෙන් ඉවත්වෙමින් වෙනස් දැක්මකින් යුතුව කටයුතු කරන්නට මුල් පියවර තබා තිබුණි. තවදුරටත් යුද දේශපාලන දැක්මකින් කටයුතු කිරීම ප්‍රාග්ධන සංචලනයට හානියක් බව ගෝලීය ධනේශ්වරය තේරුම් ගනිමින් සිටියහ. ඒ නිසා ගෝලීය දේශපාලනය වෙනස් කරමින් ජෝර්ජ් බුෂ් වෙනුවට බරක් ඔබාමා තීන්දු තීරණ ගනිමින් සිටී.
we_can_do_it (1)
යුද දේශපාලනය විසින් ත්රස්තවාදයට එරෙහි යුද්ධය කරා රාජපක්ෂ රෙජීමය තල්ලු කරද්දී පවා යම් කිසි තිරිංගයන් කිහිපයක් මගින් රෙජීමය පාලනය කර තිබුණි. බලය බෙදීමේ දේශපාලන විසදුමක් වහා ඉදිරිපත් කිරීම, සරණාගතයන් හැකි ඉක්මනින් යළි තම ගම් බිම් හි පදිංච් කිරීම හා හැකි උපරිම අයුරින් මානව අයිතීන්ට ගරු කිරීම ඒ අතුරින් ප්‍රධාන කාරණා කිහිපයකි. එල්.ටී.ටී.ඊ ය මර්දනය කිරීම සදහා රාජපක්ෂ රෙජීමයට කොතෙක් වරදාන ලබාදුන්න ද යම් යම් සමාජ අගයන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රෙජීමය හා ගෝලීය ප්රාග්ධනය අතර ගැටුම් ඇතිවුණි. එහෙත් ප්‍රධාන ප්රස්තූතය ජය ගැනීමේ ඉලක්කයට ඉන් කිසිම හානියක් සිදු නොවුණි.
ගෝලීය දේශපාලනයේ වු්යහාත්මක වෙනස්කම් අවබෝධ කර ගැනීමට රාජපක්ෂ රෙජීමය අසමත් වීම නිසා පැවති සුළු සුළු අමනාපකම් දුර දිග යෑම කළමනාකරණය කර ගැනීමට ද එය අසමත් වුණි. යුද්ධය ජයග්‍රහණය කිරීම තුළින් ඇති වූ උද්දච්ඡ මනෝභාවය ද ඊට හේතු වන්නට ඇත. ඉන්දියාව කිහිපවිටක්ම රවටා ඇති අතර කලාපයේ ඉන්දියානු අභිලාෂයන් නොසලකා හරිමින් කලාපයේ බල තුලනය වෙනස් වන පරිදි ශ්‍රී ලංකාව තම විදේශ ප්‍රතිපත්තිය හසුරුවමින් සිටී. එසේම බටහිර රාජ්‍යයන්ට ඉහළම මට්ටමින් අභියෝග කරමින් ගෝලීය යුගයේ මුරණ්ඩු තරුණයාගේ චරිතය ශ්‍රී ලංකාව රග පාමින් සිටී. ඒ නිසා තමන්ගේ පැවරුම සාර්ථකව අවසන් කළ ද රාජපක්ෂ රෙජීමය සම්බන්ධයෙන් දැඩි තීරණයකට ගෝලීය ධනේශ්වරය පැමිණ ඇති බව පෙළ ගැස්වෙන දේශපාලන කාරණා පවසන ච්ත්‍රයයි. ගෝලීය ධනේශවරය එක් මතයක ද රාජපක්ෂ රෙජීමය තවත් මතයක ද සිටීමේ නොගැලපීම විසින් එම දැඩි තීරණය තවත් ශක්තිමත් කරමින් පවතී.
ජී.එස්.ටී ප්ලස් අර්බුදය මත යුරෝපා කොමිසම ඉදිරිපත් කළ වාර්තාව ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නොසලකා හැරීම මත එක්සත් ජනපදයේ උනන්දුව පළ කළ වාර්තාව ද රෙජීමයේ දේශපාලන පදනමට ඉල්ල කළ ප්රබළ අභියෝගයන් ය. එවැනි විවේචනශීලී වාර්තාවක් මෑත කාලය තුළ විපක්ෂය තුළින් පවා ඉදිරිපත්ව නැත.එක් අතකින් එවැනි බරසාර විවේචනයකට යෑමට තරම් ජාතික ධනේශ්වරය මේ අවස්ථාවේ දී විචාරශීලී නැත. අනෙක් අතින් වාමාංශය එපමණකට හෝ ගෝලීය ධනේශ්වරය ගැන සබුද්ධික නැත. ජාතික ධනේශ්වරය මෙන්ම වාමාංශිකය ද වර්ථමානයේ දේශපාලනය කරන්නේ එදිනෙදා පැන නගින්නා වූ ගැටලු ඉලක්ක කර ගනිමිනි. එසේ නැතිව තමන්ගේම වූ වැඩපිළිවෙළක් තුළින් සංවර්ධන ඉලක්කයන් ජය ගැනීම සදහා වූ වැඩපිළිවෙළක් ඔවුන්ට නොමැත. මේ මොහොත තුළ ගෝලීය දේශපාලනය තේරුම් නොගෙන ජාතික දේශපාලනයේ යෙදීම හුදු හාස්‍යජනක නාඩගමක් වන්නේ එබැවිනි.
රාජපක්ෂ රෙජීමයේ අභ්‍යන්තරයට දැනෙන්නා වූ බලපෑමක් කිරීමට ජාතික දේශපාලනය තවමත් සමත්ව නැත. පොදු දේශපාලන වේදිකාව තුළින් එල්ල වන්නා වූ අභියෝගයන්ට මුහුණ දීමට තරම් රාජ්‍යයේ පදනම ශක්තිමත් ය. නව ලිබරල්වාදය කර පින්නා ගත් ගෝලීය ධනේශ්වරය ඒ පදනම් අවශ්‍ය තරමටත් වඩා ශක්තිමත් කර තිබේ. ඒ නිසා රෙජීමයේ පැවැත්මට සැබෑ ලෙස අභියෝග කළ හැක්කේ ගෝලීය දේශපාලනය සම්බන්ධයෙන් සබුද්ධික විකල්ප දේශපාලන හෙජමොනියකට පමණි. එහෙත් ඒ සදහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට ලාංකික ධනපති පන්තිය හා පීඩිත පන්තිය තවමත් තම මොළය වෙහෙසවීමට මැළිකමක් දක්වති. එනිසා රාජපක්ෂ රෙජීමය ඉවත් කර තමන්ට ගැලපෙන රෙජීමයකට ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය ලබාදීමට ගෝලීය ධනේශ්වරය කටයුතු කරමින් සිටින බවක් දක්නට ලැබේ.
මේ මොහොත තුළ තීන්දු තීරණ ගැනීමේ ලා ජාතික දේශපාලනයට ශක්තිමත් භූමිකාවක් නොමැත. මේ අර්ථයෙන් නිරීක්ෂණය කළ විට රාජපක්ෂ රෙජීමයේ හෙජමොනියට ශක්තිමත්ම අභියෝගයක් එල්ල කරන්නේ දේශීය දේශපාලනය තුළින් නොව ගෝලීය දේශපාලනය තුළින් බව අවධාරණයෙන් පැවසිය යුතුය. -Sri Lanka Guardian
Home »
» තීරණාත්මක වන්නේ “ලොකු තාත්තාගේ” කාර්ය භාරයයි.
Post a Comment