By Taboo
(November 20, Colombo, Sri Lanka Guardian) සති කිහිපයකට ඉහත ලේඛකයාගේ දුර ඥාතියෙක් මිය ගියේය. කිලෝමීටරවලින් පමණක් නොව සියළු ආකාරයෙන්ගෙන් කොළඹින් බොහෝ ඈත, දකුණු පළාතේ පිටිසර ගම්මානයක විසූ, ‘අමරසේකර මාමා/සීයා’ ලෙස හඳුන්වනු ලැබූ මේ ඥාතියා ලේඛකයා සමඟ හෝ ඔහුගේ පවුල සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගත්තකු නොවේ. මේ ඥාතියා දුප්පත්ය. ඔහු තමන්ගේ හා බිරිඳගේ කුස පුරවා ගත්තේ කුලී වැඩ කිරීමෙන් ලද සීමිත ආදායමිනි. එතකුදු වුවත් ඔහු නොවේ අනුන්ට අතපාන්නට කැමති වූයේ, කරදරයකදීවත්. අළුත් අවුරුද්දට හෝ මුදලක් ඔහු අත තබනු හැකිවූයේ පෙරැත්තයකින් පසුය. ලද පමණින් සතුටු වීමට හැකිවීම උත්තම ගුණාංගයක් නම් ඔහු උතුම් මිනිසකු විය.
මේ ඥාතියාගේ අභාවයෙන් පසු එතෙක් කිසිවකු නොසිතූ තත්වයක් උද්ගත වූයේය. ඔහුගේ බිරියගේ යැපීම සඳහා ආදායම් මාර්ගයක් නොමැති බව කාටක් පසක් වූයේ හත්දොහේ දානය දුන්නාට පසුවය. (ඔවුනට දරුවෝ නොවූහ.) ඇය ජීවිතයේ කිසිදිනෙක රැකියාවක්, අඩු තරමේ ස්වයං රැකියාවක් හෝ කර නොතිබුණාය. සැමියාගේ ඉපැයීම් ඇගේ එකම ආදායම් මාර්ගය විය. කුඩා ගෙපැලක් ඉදිකර තිබුණාට අමතරව, ඔහු සතු ඉතිරිකිරීම් කිසිවක් වීය නොසිතමි. (අමාරුවෙන් එදා වේල සරි කර ගන්නා මිනිසුන්ට ඉතිරිකිරීම් සිහිනයක් පමණකි.) වයස අවුරුදු පනස් පහක මේ දිළිඳු නූගත් කාන්තාවට කවර ලෙසකින් නම් දිවි සුරැකීම පිණිස රැකියාවක් සොයා ගත හැක්කේද?
ඇයට හිමි එකම ඉරණම තම ස්වාමි පුරුෂයා අභිමානයෙන් පිළිකෙව් කළ අනුන්ට අතපා ජීවත්වීමේ මාර්ගයට අවතීර්ණ වීම පමණකි. කිසි ලෙසක ‘පොහොසත්’ යන විශේෂණය භාවිතා කොට විස්තර කළ නොහැකි ඇගේ ඥාතීන්ට එය අමතර බරක් වෙයි. දැන් ඔවුන්ට කරන්නට සිදුව ඇති කැපවීම අළුත් අවුරුද්දට දාහේ නෝට්ටුවක් හෝ සීයේ නෝට්ටු කිහිපයක් අතමිට මොළවනවාට කිහිප ගුණයෙකින් වැඩිය. වයස අවුරුදු පනස් පහක මහළු කාන්තාවකට අවශ්‍ය කුසට අහර පමණක් නොවේ. ඇගේ ඖෂධ සඳහාද මාසයකට නියමිත මිලක් වේ. මින් යම් කොටසක් රජයේ රෝහලින් නොමිළේ ලැබුනද ඊට යාමට පවා බස් වියදම් දැරුව මනාය. ඊට අමතරව ඈ ගිලන් වන කල්හි තනි නොතනියට කිසිවකු රඳවා තැබිය යුතු වේ. මේ සියල්ල මූල්‍යමය වටිනාකම් වලට පරිවර්තනය වන්නේය. ඒ දැරිය යුත්තේ ඥාතීන්ය. තමන්ගේද, තම දෙමාපියන්ගේද, තම දරුවන්ගේද, කුස පිරවිය යුතු, ලෙඩට බෙහෙත් ගත යුතු, කප්පරක් අමතර අවශ්‍යතාවලට උරදිය යුතු ඥාතීන්ය. ඒ තමන් දවසේ පැය අටක් දහයක් කඹුරා, ඉන්පසු තවත් පැය දෙක තුනක් බස්රියට දුම්රියට වියදම් කොට දුෂ්කර ක්‍රියා කොට උපයන සොච්චමිනි. ටික කලකට නොව අවම ලෙස තව වසර පහළොවක් විස්සක් ඔවුන් මේ බර ඇදිය යුතු වේ. මෙසේ පැවසීම අනුකම්පාවිරහිත කුරිරුකමකැයි කෙනකුට පෙනී යා හැකිය. එහෙත් ඒ වගකීම දරන්නට සිදු වන්නන්ට එය කිසි ලෙසකින්වත් ප්‍රසන්න කටයුත්තක් නොවේ. ඔවුන් මේ සමාජ කටයුත්ත කළ යුතු වන්නේ තමන්ගේ දහසකුත් එකක් සිහින ඊට යට කරමිනි. සමාජවාදය දේශනාවට වඩා භාවිතය ඉතා අසීරුය.
මේ හුදෙකලා ප්‍රශ්නයකැයි නොසිතමි. අද යම් රැකියාවකින් මුදලක් උපයන හැම කෙනකුටම පාහේ තම ආසන්නතම පවුලට (immediate family) අමතරව තව කටවල් කිහිපයකට ආහාර සොයන්නට සිදුවීම සාමාන්‍ය සිද්ධියකි. සමහරවිට ඒ මහළු දෙමාපියන් විය හැකිය. (රජයේ විශ්‍රාම වැටුපක් කියා එකක් තිබුණාට, අපේ රටේ විශ්‍රාමිකයන්ගෙන් 90%ක්ම ලබන්නේ රුපියල් 3,000ට අඩු මාසික ආදායමකි. මේ නිසා අති බහුතරයක් විශ්‍රාමිකයන්ට අනිවාර්යයෙන් අනුන්ගෙන් යැපීමට සිදුවේ. දරුවන් සෙවනෙහි සිටිය යුතු දෙමාපියන්ගෙන් මහළු නිවාස පිරී යන්නේද එනිසා විය යුතුය.) සමහරවිට ලේඛකයාට මෙන් දුර ඥාතීන්ය. සමහරවිට ආබාධිත දරුවන්, සහෝදරයන්ය. තම ලේ නෑයින්ගේ නැති බැරිකමට පිහිටක් නොවී ස්වාර්ථය සලසා ගත හැක්කේ අප අතුරින් ඉතාම ආත්මාර්ථකාමී සුළු කොටසකට පමණකැය සිතමි.
තනිව නැඟීමට පවා අසීරු කඳු ගැටයක් වන ජීවිතය තවත් කෙනකු උසුළාගෙන කෙලෙස නම් තරණය කළ හැක්කේද?
අපේ පැත්ත සම්පූර්ණයෙන් අමතක කොට යැපෙන්නන්ගේ පැත්තෙන් බැලුවද මේ පිළිගත හැකි තත්ත්වයක් නොවේ. තමන්ගේ බත්පත පිණිස අනුන් මත යැපෙන්නට කැමති කවර මිනිසාද? ගැහැණියද? තමන් “පිං” හැර නැවත යමක් සමාජයට නොදෙන බව දැන දැනම අනුන්ගේ යමක් බලපොරොත්තු වන්නට වීම ඔවුන්ගේ අභිමානයට පහරක් නොවන්නේද, විශේෂයෙන්ම අනුන්ට අතපා ජීවත් වීම අනුනොදක්නා සංස්කෘතියක් තුළ?
අපේ රටේ මේ ගැටළුව තවදුරටත් උග්‍ර වීමට හේතුව දිනෙන් දින වයස්ගතවන ජනගහණයයි. වඩා දියුණු වූ සෞඛ්‍ය සේවාවන්හි පිළිසරණ ලබන ජනතාව දීර්ඝායු ලබති. එහෙත් යම් වයස් මට්ටමකදී, ආර්ථික හා සාමාජීය හේතූන් නිසා ඔවුන් ශ්‍රම බලකායෙන් ඉවත් කරනු ලබති. මෙහි නොවැලැක්විය හැකි ප්‍රතිඵලය රටේ වැඩකරන්නන්ට සාපේක්ෂව නොකරන්නගේ (යැපෙන්නන්ගේ) ප්‍රතිශතය ඉහළ යාමය. අඩු වයස නිසා ශ්‍රම බලකායට ඇතුළු කරගත් නොහෙන ළමුන්ද, ආර්ථික වශයෙන් සඵලදායී නොවන ශිෂ්‍යයන්ද ඊට එක්වූ විට යැපෙන්නන්ගේ ප්‍රතිශතය තවත් ඉහළ යයි. (වෙන රටවල මෙන් පාර්ට් ටයිම් ජොබ්ස්, සමර් ජොබ්ස් කර ආදායමක් උපයා ගන්නා සිරිතක් නැති අපේ රටේ බොහොමයක් තුන්වන වසර හතරවන වසර සරසවි ශිෂ්‍යයන්ගේ පවා බරපැණ දරන්නේ දිළිඳු දෙමාපියන්ය. ඔවුහුද කිසිම ලජ්ජාවකින් තොරව තම දෙමාපියන් දවස තිස්සේ කඹුරා උපයන මුදල තම පැවැත්මට පමණක් නොව පෙම්වතියට සුවඳ විලවුන් මිලට ගැනීමටද වැය කරති.)
මාක්ස්වාදියකු ලෙස හිතන පතන සමයේ ලේඛකයාට මේ සියල්ල ධනේශ්වර ක්‍රමයේ වැරදි ලෙස සිතා ලෙහෙසියෙන්ම හිත හදා ගැනීමට පුළුවන්කම තිබුණේය. ලෝකයේ සියළු ප්‍රශ්න ඇතිවන්නේ ධනපති ක්‍රමය විසින් පීඩිතයන් සූරාකන නිසාය යන්න ප්‍රායෝගික නොවුනද අතිශයින් සුන්දර සිතිවිල්ලකි. දුකට මුල පෙර භවයන්හි කළ කර්මය යැයි බෞද්ධයන්ගේ කල්පනාවට සමාන සොඳුරු සිතිවිල්ලකි ඒ. එයින් මේ සියල්ලන්ගෙන් අපට අත සෝදාගෙන ඉවත් වීමට හැකිවෙයි. ධනපති ක්‍රමය අපේ නිර්මාණයක් නොවන නිසාය. කවදාවත් ඇති නොවන බව දන්නා විප්ලවයක් මාර්ගයෙන් මේ සියළු ප්‍රශ්න දූරිභූත වේයැයි අප පැරැන්නන් දියසේන කුමාරයා ගැන තැබූ විශ්වාසයෙන්ම විශ්වාස කරන්නෝද වෙති. ලේඛකයාට ඇති ගැටළුව තව දුරටත් එවැනි රෝමෑන්තික සුරංගනා ලෝකයක ජීවත් වීමට ඇති නොහැකියාවය.
යැපෙන්නන්ගේ ගැටළුවට මුල (ඕනෑම අර්ථ ක්‍රමයකට පොදු) සූරාකෑම නොවේ. සූරාකෑම (exploitation) ගැන ගැටළුවක් මතුකළ හැක්කේ පවා මේ පිරිස ආර්ථික ක්‍රියාවලියෙහි කොටසක් නම්ය. එහෙත් මේ කිසිවෙක් ආර්ථික ක්‍රියාවලියෙහි කොටස්කරුවෝ නොවෙති. ඔවුන් විසින් කරනු ලබන කිසිම නිෂ්පාදනයක් නැත. ඔවුන් සමාජයට බරක් වන්නේද එනිසාය. මොන තරම් යහපත් ලෙස ආදායම් බෙදීයන අර්ථක්‍රමයක් නිර්මාණය කළද මොවුන්ට අනුන්ට බරක් වීමට සිදුවේ. බෙදී යනු ඇත්තේ අනුන් උපයන ආදායම්ය. න්‍යායාත්මක පූර්ණ කොමියුනිස්ට් ක්‍රමයක් තුළදී ඔවුන්ගේ බර ඥාතීන්ට නොව සමස්ත සමාජයට ඉසිළීමට සිදුවනු ඇත. එය කිසිසේත් ගැටළුවට විසඳුමක් නොවේ. චීනයේ සිදුවන්නට ඇත්තේ මෙයයැයි සිතමි. ග්‍රාමීය චීනය තවමත් අපටද වඩා දුප්පත් එනිසාය. තමන් රැකියාවක් නොකොට අනුන්ගේ යැපෙන්නන් විශාල ප්‍රතිශතයක් ඉන්නා ප්‍රජාවන්, කවර අර්ථ ක්‍රමයක් යටතේ වුව සඵලදායී (productive) නොවේ.
යැපෙන්නන් විසින් ඔවුනට පමණක් නොව සමස්ත සමාජයටම ඇති කරනු ලබන ගැටළුවට ලේඛකයා දකින්නේ එකම විසඳුමක් පමණකි. ඒ ඔවුන්ගෙන් කොටසක් වත්, පාර්ශ්විකව හෝ නිෂ්පාදන කාර්යයට දායක කර ගැනීමය. මෙය වසර හැට ඉක්මවූ කාන්තාවන් ගාමන්ට් ෆැක්ටරියක සේවයට යැවීමට අනුබල දීමක් සේ වරදවා තේරුම් නොගත යුතුය. එහෙත් ‘ආකාස කුසුම්’ හි සන්ධ්‍යා රාණි පැටිස් තනා වෙළඳපළට නිකුත් කර දිවි සරි කරගන්නවාක් සේ යැපෙන්නන්ද ආදායම් මාර්ග විවෘත කර ගැනීමට උත්සුක විය යුතුය. මේවා අනිවාර්යයෙන්ම කය වෙහෙසා කරන රැකියා විය යුතු නොවේ. දියුණු අර්ථක්‍රමයන්හි කය නොවෙහෙසා වුව, ආබාධිතයකුට වුව කළ හැකි රැකියා අවස්ථා වේ. රජයෙන් ඔවුන්ට ඒ සඳහා පහසුකම් ලැබෙන ආකාරයේ ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුය. එසේ නොවන්නේ නම් යැපෙන්නන් සමාජයට පමණක් නොව ඔවුනටද බරක් වීම නොවැළැක්විය හැක්කේය. -Sri Lanka Guardian
Post a Comment