By Taboo
ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි.
(November 2, Colombo, Sri Lanka Guardian) සරත් ෆොන්සේකාගේ දේශපාලන ආගමනයේ හෝ අඩු තරමින් එවන් රාවයක් පැතිර යාමේ ලේඛකයා දකින එක් සාධනීය ප්‍රතිඵලයක් නම් මෙතෙක් සිවිල් සමාජයට අනවශ්‍ය හිරිහැරයක් වූ ‘මිලිටරි වන්දනාව’ නතර වීමය. මෙය හොඳ දෙයකි. පසුගිය සිව් වසරක කාලය තුළ සිදුවූයේ නිදහසෙන් පසු තියා අප දන්නා කාලයක් තුළ ඉන් පෙරවත් නොවූ විරූ ලෙස සොල්දාදුවා සිවිල් වැසියාගේ කරට නැඟ ගැනීමය. සිවිල් වැසියාට එය මුවින් නොදොඩා ඉවසීමට සිදුවූයේ දැවැන්ත රාජ්‍ය අනුග්‍රහයක් යටතේ ‘රණවිරු’ යන ආකර්ෂණීය යෙදුමට මුවා වී මිලිටරීකරණය පුම්බා තබා බයිනෙත්තුවක් අමෝරාගෙන තමන් මරන්නට එන හෝ තමන්ගේ පුතු, දියණිය ත්‍රස්තවාදී ලේබලය අලවා අනිවාරතයේ මරා දමන ලද සොල්දාදුවකුට පවා එරෙහිව වචනයක් ලිවීම මහා ව්‍යසනයකට අත වැනීමක් වූ නිසාය. තිස්සනායගම් වසර විස්සකට බරපතළ වැඩ ඇතිව සිරගත කරන ලද්දේ සොල්දාදුවා දෙවියකු සේ සලකා වැඳ නොවැටී ඔහුගේ අන්තනෝමතික ක්‍රියා කලාපය ප්‍රශ්න කළ නිසාය. ත්‍රිකුණාමලයේදී අපොස උසස්පෙළ හදාරන දෙමළ සිසුන් පස්දෙනකු ශ්‍රී ලංකා හමුදාව මඟින් ඝාතනය කරනු ලැබුවායි කියන ලද කල්හි අසාධාරණය දැක දැක ඔවුන්ගේ මාපියන්ට නිහඬ වීමට සිදුවූයේ එනිසාය. දෙමළකු මිලිටරීකරණය ප්‍රශ්න කිරීම යන්තම් මාස කිහිපයකට ඉහත ආනන්තරිය පාප කර්මයකට සම විය.
සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තමන්ට ඇති අයිතිය භාවිතා කොට දේශපාලනයට පිවිසීම මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කළ ආකාරය සිනහ උපදවන සුළුය. යාන්තම් මාස කිහිපයකට පෙර ගැබ්බර කාන්තාවක් තම අසුනින් නැඟිට සොල්දාදුවකුට එය පරිත්‍යාග කිරීම අනුදත් සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජයම, සොල්දාදුවන්ට මිනරල් වෝටර් බෝතල් යවන්නට පාසල් ළමුන් මාර්ගයෙන් මුදල් එකතු කිරීමේ වරදක් නොදුටු සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජයම, දැන් පත්ව ඇත්තේ “ප්‍රභාකරන් අල්ලන්න ආමි එක මොන බම්බුවද කළේ; අපේ මහරජතුමා නොහිටින්න ආමි එකෙන් අල්ලයි උගෙ නැට්ට!” මානසිකත්වයටය. ඔවුනට අනුව ප්‍රභාකරන් හා සටන් වැදී ඇත්තේ අලිමංකඩ ස්ථානගත යුද භටයන් නොව පාමංකඩ සිට මෙහෙයුම් කටයුතු කළ පොලිතීසියන්ය. (මෙහි යම් ඇත්තක් ඇත. එහෙත් සැබෑ තතු මේ අන්තයටම විකෘති කළ යුතු නොවේ.)
මහ රජාණන් විසින් දැන් සෙනෙහෙබරව වැළඳගනු ලබන්නේ මාස කිහිපයකට ඉහතදී LTTE රූකඩ ලෙසින් නම්කොට තිස්සනායගම් ලෙසින්ම සිරභාරයට ගන්නට ඔන්න මෙන්නව සිටි දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ය. පාතරසය ගන්නේ කරන්නාගොඩ සමඟ නොව කරුණා සමඟය. දිවයින ඒෂියන් ට්‍රිබියුන් ආදී රාජපාක්ෂික මාධ්‍ය මේ වන විට ඔහුගේ දියණියන්ද ඇද ගනිමින් සරත් ෆොන්සේකාට පෞද්ගලිකව මඩ ගැසීමේ පහත් ව්‍යාපාරයකට අවතීර්ණ වී සිටිති. මෙය සරත් ෆොන්සේකා (හා හමුදාව) අහිංසක දෙමළ වැසියන් මැරුවාය කියා අවලාද නැඟීම තරම් දුරදිග ගොස් ඇත. (මෙහිද ඇත්තක් තිබිය හැකි මුත් යුද ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය ගන්නට දත කන පොලිතීසියන් මෙහිදී නිදහස් වන්නේ කෙසේද අපැහැදිළිය.) සරත් ෆොන්සේකාට එරෙහිව දැන් මහත් ආවේගයකින් බ්ලොග් ලියන්නේද මාස කිහිපයකට පෙර අල්ලන ටවුමක් ටවුමක්, ගමක් ගමක් ගානේ ‘රණ විරුවන්’ සිංහ කොඩි ඔසවා ගෙන සිටිනු දැක්වෙන ඡායාරූප පළකළ බ්ලොග් කරුවන්මය. (එක් වර්ගවාදී බ්ලොග්කරුවකු තම බ්ලොග් අඩවියෙහිම නිර්නාමික ප්‍රතිචාරයක් දමාගනිමින් සරත් ෆොන්සේකාගේ පුක සුදුද කියාද අසා තිබුණේය. මාස කිහිපයකට ඉහත පුදුකුඩුඉරිප්පු සටන් පැවති සමයෙහි යුද විරෝධී බ්ලොග්කරුවකු විසින් මෙවැන්නක් විහිළුවට හෝ ඇසුයේ නම් උද්ගත විය හැකි තත්ත්වය සිතා ගැනීමට පවා අපහසුය.)
සරත් ෆොන්සේකාගේ නම භාවිතා කිරීමකින් තොරව, දුරදිග සිතා බලා හෝ නොබලා මහරජාණන් විසින් කරන ලද “ඊයේ දේශප්‍රේමියා හෙට දේශද්‍රෝහියකු විය හැකිය” යන ප්‍රකාශය මිලිටරි වන්දනාවේ මිනී පෙට්ටියට ගැසූ අවසාන ඇණය හා සැලකිය හැකිය. එක අතකට මෙය හාස්‍යජනක ප්‍රකාශයකි. ඒ මේ කතාව කියන්නේද, මීට මාස කිහිපයකට ඉහත, මේ රටේ සිටිය හැක්කේ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් යනුවෙන් දෙකොටසක් පමණැයි කී මුවින්ම නිසාය. එසේ වීනම් දේශප්‍රේමියකු නොවන සරත් ෆොන්සේකා අනිවාර්යයෙන්ම දේශද්‍රෝහියෙකි. ඊට හෙට වන තුරු සිටිය යුතු නොවේ. ඔහු දේශද්‍රෝහියකු වන කළ ඔහු අණ ලබා ප්‍රභාකරන් හා සටනෙහි නියැළි හැම සොල්දාදුවකුම ඉබේම දේශද්‍රෝහියකු බවට පත්වේ. මෙය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට නොව එම යුද්ධයේම අතුරු ඵලයක් සේ ඇතිවූ දැවැන්ත මානව හිමිකම් කඩවීම් හා සිවිල් ඝාතන විරුද්ධවීම නිසා වර්ගවාදී රාජ්‍යතන්ත්‍රය අතින් හෝ එසේවත් නැතිව හුදෙක් සිංහල බෞද්ධ නොවීම නිසා නිස්කාරණයේ දේශද්‍රෝහී ලේබලය වැදුණු සියල්ලන්ගේ සැනසුමට හේතුවක් වන්නේ මිලිටරිය දේශද්‍රෝහීන් වනකල යුද්ධයට විරුද්ධවූ සියල්ලන් මහරජාණන්ගේ අර්ථ දැක්වීමට අනුව ඉබේම දේශප්‍රේමීන් වන නිසාය.
රාජපක්ෂ රෙජීමයේ මේ මත පෙරළිය මෙරට පොදු ජනතාව ආරෝපණය කර ගත යුතු නොවේ. යුද්ධයක් තිබුණා හෝ නැතා වේවා සිවිල් ජනතාව විසින් ආරක්ෂක හමුදාවට සැලකිය යුතු ආකාරයක් ඇත. යුද භටයෝද සමාජයේ අනෙක් කොටස් සේම සමාජයට අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමෙහි නියැළෙති. වෛද්‍යවරයා රොගීන් සුවපත් කිරීමෙන් සමාජයට සේවයක් කරන්නාක් සේම, කසළ ශෝධකයා අනුන්ගේ කසළ ඉවත් කිරීමෙන් පරිසරය වඩා යහපත් තැනක් බවට පත් කරන්නාක් සේම සොල්දාදුවාද සමාජයට ආරක්ෂාව සැපයීමෙන් මෙහෙයක් කරයි. ඔහු වැටුප් ලබන්නේ එනිසාය. කරන සේවය වෙනුවෙන් කසළ ශෝධකයා “අපෙන් එකෙකි මේ මිනිසා” කියා උඩ දමා ඔහුගේ සවළට පූජා පැවැත්විය යුතු නැතිවා සේම සොල්දාදුවාද කර උඩ තබා ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. ඒද අනෙකුන් සේම සාමාන්‍ය පුද්ගලයෙකි. සොල්දදුවාට අනෙකුන්ට නැති වල්ගයක් හෝ අං තට්ටුවක් නැත.
සොල්දාදුවා අනෙකුන් මෙන් නොව රැකියාවේදී තම ජීවිතය පරදුවට තියතැයිද, සමහරවිට එය අහිමි කර ගනිතැයිද, සදාකාලික ආබාධිත තත්වයකට පත්වනු ඇතැයිද මෙහිදී කෙනකු තර්ක කළ හැකිය. ඇත්ත. සැම වෘත්තියකමට පොදු රැකියා-මර (occupational hazards) යුද හමුදා වෘත්තියට විශේෂයෙන් අදාළය. යුද භටයකු රණ බිමේදී මිය යාමේ හෝ ආබාධිත වීමේ අවදානම වෛද්‍යවරයකුට රෝගියකුගෙන් H1N1 වෛරසය බිහිවීමේ අවදානමට හෝ ඉදිකිරීම් කම්කරුවකු උසෙකින් වැටී මිය යාමේ, ආබධිත තත්ත්වයට පත්වීමේ අවදානමට වඩා වැඩිය. යුද භටයන්ට අනෙක් කිසිම වෘත්තියකට නැති සුවිශේෂ වරප්‍රසාද ලබා දී ඇත්තේ එනිසාය.
අපොස සාමාන්‍යපෙළ සමතුන්ට අන් කිසිම සහතිකයක් නැතිව, තරග විභාග වලට පෙනී නොසිට, සරල පරීක්ෂණ කිහිපයකින් පසුව යුද සේවයට එක් විය හැකිය. එහිදී ඔවුන් පිහිටවනු ලබන ආරම්භක වැටුප් තලය එම අධ්‍යාපනික සුදුසුකම්ම ඇතිව රජයේ හෝ පුද්ගලික අංශයේ හිමි කර ගත හැකි අන් කවර හෝ රැකියාවක වැටුපකට වඩා වැඩිය. පුද්ගලික අංශයේ නම් අපොස සාමාන්‍යපෙළ යනු කාර්යාල කාර්ය සහායක හෝ පුහුණු සේවක පදවියකට වැඩි පදවියක් ලබා ගත නොහැකි සුදුසුකමකි. මේ වැටුපට අමතරව අන් කිසිදු රාජ්‍යසේවකයකු නොලබන විශේෂ වරප්‍රසාද වලට යුද භටයෝ හිමිකම් කියති. ආබාධිත තත්ත්වයට පත්වුවහොත් මිය යන තෙක් උසස් වීම් සමඟ විශ්‍රාම වැටුප් හිමිවේ. මියගියහොත් උසස්වීම් සමඟ එම වැටුප බිරියට හෝ දෙමාපියන්ට ලබා ගත හැකිය. මෙබඳු සුවිශෙෂ වරප්‍රසාද ඇත්තේ අන් කවර රැකියාවකද?
මීට අමතරව යුද්ධය පවත්වා ගැනීම වෙනුවෙන් පසුගිය සමයේ සමස්ත සමාජය විසින් යුද භටයින් වෙනුවෙන් කරන ලද කැපවීම අති විශාලය. අද රජයේ සේවකයින්ට වැඩි පඩි ඉල්ලා අරගල කිරීමට සිදුව ඇත්තේ යුද්ධය පවත්වා ගැනීම වෙනුවෙන් මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළ යාමෙන් ජීවන වියදම අත පොවන මානයෙන් ඉහළ ගොස් ඇති නිසාය. ජනප්‍රිය පාසලකට ළමුන් ඇතුළත් කිරීමේදී 20%ක් (සිසුන් 40 සිටින පන්තියකින් අට දෙනකු) යුද භටයින්ගේ දරුවන් සඳහා වෙන් කර ඇත. ඊට අන් කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවේ. මේ සියල්ල විවිධ නම් වලින්, විවිධ ව්‍යාපෘති යටතේ යුද හමුදා භටයින්ගේ පැවැත්ම වෙනුවෙන් මුදල් එකතු කර ගන්නවාට අමතරවය. අපි වෙනුවෙන් අපි නිවාස අරමුදලක් කියාද එකක් තිබේ. උන් වෙනුවෙන් බෝධි පූජා තියන්නට වැය කරන ලද කාලය ශ්‍රමය හා මුදල් අමතක කරමු.
එහෙයින් සොල්දාදුවා කරෙන් බිමට ඇද දමන්නට සිදුවීම කිසිසේත්ම කම්පාවට හේතුවක් නොවිය යුතුය. එය විය යුත්තකි. මෙයින් අදහස් කරන්නේ අද රාජපක්ෂ රෙජීමය කරන්නාක්සේ සමස්ත සමාජය විසින් සොල්දාදුවාගේ ඔළුවට ඉඳුල් වතුර හැලිය යුතු බව නොවේ. එහෙත් අන් හැම වෘත්තියකටම සේම මිලිටරියටද උරුම තැනක් ඇත. ඔවුන් සිටිය යුත්තේ එතැනය. මිලිටරිය සිවිල් සමාජය විසින් මල්පුදා හඳුන්කූරු අල්ලා දේවත්වයට පත්කොට පුද කිරීම සමාජයේ ඉදිරි ගමනට දරුණු බාධාවකි. සිවිල් සමාජය මිලිටරිය විසින් පාලනය නොකළ යුතුය. එහෙයින් කාරණා මෙසේ සිදුවීම ගැන අප සතුටු විය යුතුය. ඊට මඟ පෑදීම ගැන සරත් ෆොන්සේකාට අප ස්තූතිවන්ත විය යුතුය.
(මෙහි සාකච්ඡා කොට ඇත්තේ සිංහල සමාජය හා යුද හමුදා – විශේෂයෙන් දක්වා නැතද නාවික ගුවන් ඇතුළත්ව – අතර අන්තර්ක්‍රියාකාරිත්වය පමණි. උතුරේ දෙමළ සමාජය හා යුද හමුදා අතර අන්තර්ක්‍රියාකාරිත්වය වෙනම මාතෘකාවක් නිසාද, ලේඛකයාට ඒ ගැන පළමෝත අත්දැකීම් නැති නිසාද මෙහි සාකච්ඡා කොට නැත.) -Sri Lanka Guardian
Home »
» සොල්දාදුවෝ, දැන් බැහැපිය කරෙන් බිමට!
Post a Comment