Home » , » සුජාත දේශයේ අවජාතක "පොලිටික්ස්"

සුජාත දේශයේ අවජාතක "පොලිටික්ස්"

Written By Sri Lanka Guardian on Sunday, September 26, 2010 | 2:32 AM


මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දුගේ කසඩ දේශපාලන චින්තනයට සරල ප්‍රතිචාරයක්


නිලන්ත ඉලංගමුව


ආණ්ඩුවේ හෙවත් රාජපක්ෂගේ කෙරුවාවට ගරුත්වයක් දීම සඳහා ඉන් ආනිසංස ලැබෙන අය කටයුතු කරන ආකාරය කදිමය. ඔවුහු සුදු පාටට කලුපාට කියති. කලු පාටට සුදු කියති. මළගම මගුල් ගෙයක් ලෙස දකින ඔවුහු මගුල් ගෙදරට මළගමක් යැයි කියති. එහෙව් රටේ පවතින මේ චිනතනය එහෙයි කියා පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත්තේ නීතියට ඉහලින් තම පරම්පරාව මෙන්ම තමන්ගේ බල්ලන්ටද නිදැල්ලේ හැසිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර ඇති හෙයිනි. මොවුන් සපාකන්නේ නිතියෙන්ද හව් හරණක් නැති මෙරටේ බදු ගෙවන අහිංසකයින්ය. ඔවුහු පිඩාවට පත් කිරීම පහසුය. බලයේ සිටින උන් මෙය ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක ශ්‍රේෂ්ඨ නිරමාණයක් ලෙස උදම් අනති . එහෙව් අයෙක් මහජන මුදල් කාබාසිනියා කොට රටේ අහිංසකයින්ට වැඩ පෙන්නීම සඳහා 130ක් සමඟ නිව් යෝර්ක් ගියේ රුපියල් මිලියන 1000කට වඩා වියදම් කොට යැයි මාධ්‍ය වාර්තා කළේය. මෙය මෙවර එක්සත් ජාතීන්ගේ සම්මේලනය සඳහා තනි රාජ්‍ය නායකයෙකු සමඟ ගිය වැඩිම පිරිස වේ. ඉන් කියවෙන්නේ මේ පෘතුවි තලයේ සිටින උන්මන්තකම නායකයා රාජපක්ෂ බවය. මේවා ලංකාවට අයිති භුමි ප්‍රදේශයෙන් එහා උන්මන්තක විහිලු හෙවත් සුජාත දේශයක අවජාතක "පොලිටික්ස්" මිස ඊට කිසිවෙකුත් වටිනාකම් දෙන්නේ නැත. රටක විනය සහ පිරිහී ඇති ප්‍රමාණය තීරණය වන්නේ මෙවැනි සිදුවීම් වලිනි. රාජපක්ෂගේ විදේශ ප්‍රතිපත්තිය එනම් ජාතිය ගොඩනැගීම උදෙසා වූ ජාත්‍යන්තර ගනු දෙනු සඳහා සිදු කරන ගුවන් සවාරි "හනිමූන් ටුවර් " බවට පත් වී තිබේ. සැබවින්ම රට හදන්න සල්ලි පිටින් ඉල්ලන රාජපක්ෂ සිදුකරන මෙම ඛේදජනක නෙයියාඩකම් දැක සතුරන් පස් වනක් ප්‍රීතියෙන් පිනා යනු ඇත. මිතුරන් ප්‍රතිකාර ලබාදීමට නොහැකි උන්මන්තක මිතුරා දැක ඉන් නික්ම යනු ඇත. කපටින් තමන්ගේ අපේක්ෂා මුදුන් පත් කර ගැනීම සඳහා තව තවත් දුර්වල වීමට ඉඩහැර අනුග්‍රහය දක්වනවා පමණක් නොව කරන දේ හරියයි නිතර නිතර සංදේශ නිර්මාණය කරනු ඇත.


මාගේ මිතුරියක වන එක්සත් ජනපද ජනධිපති බැරක් ඔබාමාගේ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙලේ ආධාර කාරියක සේම හාර්වඩ් සරසවියේ නිතිය පිළිබඳව හදාරන්නෙකු පසුගියදා, ලංකාවේ දේශපාලන ප්‍රවණතාවය ගැන අප අතර පැවැති කතා බහේදී , ඔබේ රටේ නායකයින් මේ තරම් උන්මන්ත්කයින් ලෙස හැසිරෙන්නේ සමස්ථ වශයෙන් සමාජයේ ගොඩ නැගී ඇති නිහඩතාවය සහ බලයට එරෙහි වන්නන් පාලනය කිරීමට ආණ්ඩුව ගෙන යන කුඨ උපක්‍රම නිසා යැයි ප්‍රකාශ කළාය. මෙය අපි සමාජීය ප්‍රතික්ෂේපය (සෝෂල් ඩිනායල් ) යැයි කියමු. එවිට මාගේ පිළිතුර වූයේද ඒ හා සමාන එකකි. එනම් ඔබට ඔබේ සමාජය තුළ පොදු හැඟීම (කොමන් සෙන්ස්) ඝාතනය කළ හැකිනම් ඔබේ පාලනයෙන් බැට වින්දද / නොවින්දද සාමාන්‍ය ජනතාව ඊට විරෝධය දැක්වීම ප්‍රතික්ෂේප කරනු ලැබේ. එය යලිත් සාමාන්‍ය තත්වයට පත්වීමටනම් සීමා රහිත බලයේ නියත අවසානය වන ඛේදවාචකයකින් පසු උදාවන පශ්චාත් තත්වය ඒසඳහා වටපිටාව සකස් කරනු ලබයි, යනුවෙනි. එතෙක් ඉන් පීඩා විඳින්නන්ට සිදු වන්නේ ඛේදවාචක වලින් සතුට සොයා ගැනීමටය. ඒ අතර මෙම උන්මන්තක ස්වභාවය හදුනා ගන්නා අය වලුන්ට විරුද්ධව කළ හැකි උපරිමය "බලය" විසින් එහි පැවැත්ම උදෙසා සිදු කරනු ඇත. ලංකාවේ සිදු වන්නේ මෙයයි.


නොපවතින දේශපාලන ශිෂ්ටත්වයක් තියෙනවා යැයි කියමින් ඒ ගැන පට්ට පල් බොරු කියන ඇතැමුන්ගේ විචාර කියවීමේදී සමාජයේ බුද්ධිමය වශයෙන් පවතින බිඳ වැටීම තේරුම් ගැනීම අපහසු නැත. ලංකාවේ "බුධිමතුන්" එනම් මහාචාර්ය හෝ ආචාර්ය පදවියක් නමට ඉහලින් ඇති බොහෝ අය ( විශේෂයෙන් ආචාර්ය මර්වින් සිල්වාද අපේ රටේ බුද්ධිමතුන්ගෙන් කෙනෙකි.) රාජපක්ෂ විසින් පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවේදී කළ කතාව පිළිබඳව විස්තර කිරීමට ගොස් අමුතු ප්‍රමෝදයක් ලබාගෙන ඇති සැටියෙකි. ඉන් මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දු අද දින ( සැප්තැම්බර් 26) ආණ්ඩුවේ සිළුමිණ පුවත්පතට ලබා දී ඇති සම්මුඛ සාකච්චාවේදී ඉදිරිපත් කොට ඇති අදහස් කියවීමේදී ඉහත සඳහන් වටපිටාව ඉතා පැහදිලිව නියැදි සමඟ හදුනා ගත හැකිය. මහාචාර්ය ජි. එල් පිරිස් ඇමති දුරයක් ලබාගෙන තමාගෙන් නීතිය ඉගෙන ගත් සිසුන්ට මෙන්ම ඔහු ගැන කිසිවක් නොදන්නා පිරිස් හමුවේ විහුලුවට ලක් වී සිටිනවා සේම තම හර්ද ශාක්ෂිය අබිමුකවද විත්තිකරුවෙකු වී සිටිනු පෙනේ. එය 18වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී "හදිසි" පනතක් ලෙස විවාදයට ගන්නා විට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. සුමන්තිරම් ඉදිරි පත් කළ ඉතා ප්‍රසංසනීය කතාවෙන් විස්තර කළේය.


මෙවර මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දු කියන්නේ ජනාධිපති රාජපක්ෂ කළ කතාව එක්සත් ජාතීන්ගේ සමුළුවකදී අපේ නායකයෙක් කළ විශිෂ්ටතම කතාව ලෙසයි. ඊට හේතුව ලෙස කාරණා කිහිපයක් ගෙන හැර දක්වන හෙතම, එය රටේ අනාගතය දෙස බලා කළ කතාවක් ලෙසත් ඉන් ඉදිරියේදී මහත් පල මහානිසංස ලැබෙන බවත් ගෞරව පුර්වකව පැහැදිලි කරනු ලබයි. ජනාධිපතිවරයාගේ කතාවට ඉතා හොඳින් ඇහුන් කන් දුන්නේනම් එහිදී ඉතා පැහැදිලි වන කාරණයක් වන්නේ සාමුහිකව කළ කටයුත්ත එනම් කොටි සංවිධානයට එරෙහිව කළ යුද්ධය, හෙතම වර්තමානයේදී කරණ සියලුම කාරණා වසා ගැනීමට සහ සාදාරනීකරණය කිරීමට ඉතා ශුක්ෂම වූ බලවත් උත්සහයක් ගත් ආකාරයයි. වාසනාවට හෙතම සමීපයේ ටෙලිප්රෝම්පරය සැමදා මෙන් තනි රැක්කේය. නමුත් ඔහු තම කතාව පුරා අමතක කොට ඇත්තේ තමාගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා හදුන්වා දුන් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන එකසත් ජනපදයේ රජය දෙපාර්තමේන්තුව මීට සතියකට පෙර නිකුත් කරනු ලැබූ විවේචනාත්මක නිවේදනයයි. ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වුවද එහි කිසිඳු ආකාරයක පිළිගත හැකි තර්කයක් නොතිබුණා සේම එය නිකුත් කරනු ලැබුවේ මහාචාර්ය පීරිස්ය. නමුත් ජනාධිපතිවරයාගේ කතාවේදී එය එක්සත් ජාතීන්ගේ සංවිධානය නඩත්තු කිරීම සඳහා වැඩිම මුදලක් වැය කරණ එක්සත් ජනපදය වඩාත් සවිස්තරාත්මකව බලාපොරොත්තු වූවා විය හැකිය. ඒ මන්ද කොටි සංවිදානයට විරුද්ධව කළ යුද්ධයෙන් ඇති කළ තත්වයට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් රට තුළ ඇති වී තිබේ. ඒ නිසා කොටි සමග කළ යුද්ධය රාජපක්ෂගේ කුණු වසා ගැනීම සඳහා පාවිච්චි කරණ පිළිණු වී ගිය සංසිද්ධියක් පමණක් වී තිබේ. සැබවින්ම යුධ ජයග්‍රහණය වඩාත් වටිනා ලෙස විකිණිය හැකි වටපිටාවක් තිබුණි. නමුත් රාජපක්ෂ විසින්ම එයට සහ ඊට දායක වූවන්ට ලබා දිය යුතුව තිබු ගරුත්වය නොදීමෙන් අහිමි කර ගත්තේය.


සුභ සිහින දැකීම හොඳය නමුත් ගැටලුව වන්නේ අගුණ දැක දැකත් එය ගුණ යැයි කීමය. එය මහාචාර්ය ප්‍රනාන්දු සැමදාම දකින්න පුරුදු වී සිටි ආකාරය හෙවත් වැල යන අතට මැස්ස ගසන්නාගේ ක්‍රමෝපාය මිස තමන්ගේ ආත්ම ගරුත්වය ගැන සිත සිතා කටයුතු කරන්නාගේ සත්පුරුෂ ලක්ෂණය නොවේ. මේ හා සමානව ආණ්ඩුව විසින් නඩත්තු කරණ ඒෂියන් ට්‍රිබුන් වෙබ් අඩවියේ ලේඛකයෙකු ඉදිපත් කළ අදහසකින් කියවුනේ, ජනාධිපතිවරයාගේ කතාවට නියමිත ගරුත්වය දීමට ලෝක ප්‍රජාව අපොහොසත් වී ඇති බවයි. වෙනස මහාචාර්ය ප්‍රනාන්දු සිංහලෙන් ලිවීමත්, අදාල ලේඛකයා ඉංග්‍රීසියෙන් ලිවීමත්ය. ඔහුට අනුව ජනාධිපති බැරක් ඔබාමා තම කතාවේදී ලෝකයේ ත්‍රස්තවාදය සහමුලින්ම මුලිනුපුටා දැමු ඒ ශ්‍රේෂ්ට නායකයා කළ වීර වික්‍රමය ගැන වචනයකින්දු මතක් නොකර සිටි බවයි. ඒ වෙනුවට සීමා රහිත බලයේ ඇති අනතුරු දායක ස්වභාවය සහ ඉන් මානව නිදහස උල්ලංඝනය වීම ගැන ක්‍රමෝපයිකව විස්තර කළේය. තමා ජනධිපතිධුරයට පත් වී මාස නවයක පමණ කෙටි කාලයක් පසු කොට ඇති ජනාධිපති ඔබාමා එහිදී ඉදිරිපත් කළ කතාව දැකුම් කලු වන්නා සේම ඉන් ඔහු ඉදිරි කාලය සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන විදෙස් ප්‍රතිපත්තියද සාරාංශ ගත කළේය. එයට අනුව ලංකාව ස්ථාන ගත වී සිටින්නේ ඔබාමා විරෝධී ප්‍රතිපත්තියකය. රාජපක්ෂ ගෝලීය මුලිකාංග තම රටට ගැලෙපෙන ලෙස සකස් කර ගත යුතු යැයි කියන්නේ තමාගේ ආණ්ඩුකරණය ගෝලීය මට්ටමෙන් සදරනිකරණය කිරීම සඳහාය. මහාචාර්ය ප්‍රනාන්දු විශිෂ්ට යැයි කියන්නේ එයයි.


අද වන විට තමාට ලැබෙන සිමා රහිත ආර්ථික ප්‍රතිලාබ හැර වෙනත් පරාර්ථකාමී වුවමනාවෙන් සිටින කල්‍යාණ මිත්‍රයකු ලංකාවට නොමැත. එසේම ලංකාව ආර්ථික වශයෙන් ණය බරින් නිදහස් කළ හැකි මිතුරන් සමග ක්‍රමෝපයිකව ගනුදෙනු කිරීමේ අවස්ථාවද නැති කොට තිබේ. ඒ වෙනුවට ඉදිරියේදී ලංකාවට අධික පොලියට ණය ලබා දීමට සුදානම් බටහිර මෙන්ම පෙරදිග සගයින් බිහි වනු ඇත. නමුත් උගුල් වලින් ගැලවීම සඳහා ආධාර ලබා දෙන මිතුරන් තව තවත් අහිමි කර ගනු ඇත. තමන්ගේ ස්වයිරීත්වය පාවාදීමට නොහැකි නිසා යුරෝපා සංගමයේ ජි.එස්. පි. ප්ලස් සහනය තුට්ටුවකට මායිම් නොකළ ආණ්ඩුව, ලංකාවේ ලක්ෂ සංඛ්‍යාවක් රැකියා වියුක්තිකයින්ගේ ගොඩට එකතු වන විට වැඩකට නැති හිස් රංගනයක නිරත වී සිටියි. සැබවින්ම යුරෝපා සංගමය ලංකාවේ යහ පාලනය ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි පහළොවෙන් කිසිවකින් රටේ ස්වෛරීත්වය කෙලසෙන්නේ නැත. ඉන් රාජපක්ෂට තුන්වැනි වරටත් ජනාධිපති වීමට බාධා එල්ල විය හැකි නමුත් ප්‍රජාතත්‍රවාදය හෝ රටේ බෞමික අඛණ්ඩතාවය සඳහා එකී කොන්දේසි කිසිම බලපෑමක් කරන්නේ නැත. මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දු මෙකි වටපිටාව ගිලදමා වෙනත් මායාවක පැටලී ජනාධිපතිගේ කතාවෙන් ලැබෙන්න යන්න නිධානයක් ගැන සිහින දැකීමට අනෙකා හුරු කිරීමට යන්ත දරන්නේය.


ඔහුට නොතේරෙන කමට හෝ හිතාමතා සගවා ගත්තාට, දේශපාලනය ගැන "අ' දන්නා කෙනෙකුට තේරෙන සරල දෙයක් වන්නේ රටක පැවතිය යුතු මුලිකාංග වලින් ඒ රට ගලවා තමන්ගේ අල්ලට ගෙන නැටවීමට හැකි වට පිටාවක් සකස් කරගත් විට ඇතිවෙන්නේ පෘතුල කැමැත්තක් ඇතිවීමට වඩා කැමැත්තක් ඇති බවට කරණ නිර්මාණයකි. තීන්දුව අබිබවා නිර්මාණය මතුපිටට පැමිණේ . එය සැබැව යටපත් කරණ අතර එහි ආනිසංස ලැබීම සඳහා දීර්ඝ කාලයක් ගත වේ. 2005 දී මිලියන 137 ක් ඉපැයූ රුපවාහිනිය 2009 වසරේදී එය මිලියන 4.7 ක් පමණක් දක්වා අඩුකර ගත්තේ මෙකි නිර්මාණකරණයේ ඛේදජනක අස්වැන්නේ ඉතාම ප්‍රථමික ප්‍රතිපලයක් ලෙසය. ජනතාව කැමතිනම් මේ උත්තමයා කොච්චර කාලයක් හිටියම කුමක්දැයි අසන අයවලුන් තම තමාගෙන් අසා ගත් යුත්තේ එයයි. මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දුගේ පොලිටික්ස් වලින් සඟවා තබන්නේද මෙකි යථාර්තයයි. ජනාධිපති ඔබාමාගේ කතාව රාජපක්ෂගේ පාලනයට රතු එළියක් වන්නේ මේ නිසාය.
Share this article :

+ comments + 1 comments

September 27, 2010 at 2:21 PM

A very good analysis of the present situation of Sri Lanka.Many people do understand this, but the problem is as the writer states many of those interlectuals (Lumpan Interlectuals) are unable to understand the reality or are trying to deceive the masses for their own gains.Theu must understand that they cannot fool the people indefinitely.

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger