ශිරාන් රණසිංහ- July 02
ඩෙංගු වසංගතය පිළිබඳ නිතර කතා බහ කෙරේ. වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු ඝාතන භීෂණය වපුරන්නේ ඩෙංගු මදුරුවාය. ඩෙංගු මදුරුවාට මේ වනවිට ලාංකිකයන් 155 කට අධික පිරිසක් වළපල්ලට යෑවීමට හැකිවී තිබේ. ඩෙංගු මදුරුවා එතරම් බලවත් වූයේ කෙසේද? ඩෙංගු මදුරුවා සෙල්ලම් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා සිටින රටේ බවටත් ඌට තැකීමක් නැත.
කොටි ත්‍රස්‌තවාදය නැති රටක නිදහසේ හුස්‌ම ගන්නට සූදානම් වූ ජනතාවට මදුරුවකු මේ තරම් වින කටින තෙක් නිහඬව සිටි සෞඛ්‍ය බලධාරීහු කවුරුදැයි අපි නොදනිමු.
කෙසේ හෝ වේවා මෙකී මදුරු මර්දනයේදී අපට ආදර්ශයට ගතහැකි රටවල් අතර කියුබාව සිටින්නේ පෙරමුණේය. 1980 වසරේ දී කියුබාවේ මදුරු වසංගතය දරුණු ලෙස හිස ඔසවා තිබිණි. එරට සෞඛ්‍ය බලධාරීන් එකාවන්ව එකට එක්‌ව මදුරු කීටයා නසන බී. ටී. අයි. නමැති බැක්‌ටීරියාව (ක්‍ෂුද්‍රජීවියා) 1982 දී නිපදවන්නේ මදුරු වසංගතයට තිත තැබීමේ ඓතිහාසික ගෞරවය ද තම රටට අත්පත් කර දෙමිනි.
කියුබාව යනු පිදෙල් ක්‍රැස්‌ත්‍රොaගේ රටය. ඇමරිකාවේ යකඩ සපත්තුවට යට නොවූ එකම සමාජවාදී රටද කියුබාවය. ඇමරිකාවට ආසන්නම රටවන කියුබාව කාලගුණ දේශගුණික අංගවලින් බැලුවද ශ්‍රී ලංකාවේ කාලගුණික දේශගුණික තත්ත්වයන්ට ඒතරම් දුරස් නැත. 1982 දී සොයාගත් බී. ටී. අයි. බැක්‌ටීරියාව මදුරු කීටයින් බෝවන, ඩෙංගු මදුරුවා බිත්තර දමන ස්‌ථාන වෙත යෑවූ කියුබාවේ සෞඛ්‍ය නිලධාරිහු එහි විපුල ඵල ප්‍රයෝජන ලැබූහ. අද කියුබාවේ ඩෙංගු, මැලේරියා, බරවා මදුරුවන් ඉගිලෙන්නේ නැත. කියුබාවේ විද්‍යාගාරවලදී නිර්මාණය වු ඉතාමත් අහිංසක මදුරුවෙක් පමණක් එරට ජීවත් වේ. තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකාවේ අපි ඩෙංගු මදුරුවාගේ තුඩගට අපේ මිනිසුන් 155 දෙනෙකුට අධික පිරිසක් බිලි දී ඇත්තෙමු.
මේ මරණ ඇතැමුන්ට නොදැනේ. නොපෙනේ. ජීවිතයක අගය මිල කළ නොහැකිය. යම් හෙයකින් සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට හෝ සෞඛ්‍ය අංශවල ඉහළ පෙළේ නිලධාරීන්ට හෝ ඔවුන්ගේ සමීපතමයන්ට ඩෙංගු රෝගය වැළඳීවත් ඇත්තම් මේ විපතේ භයානකත්වය මීට වඩා දැනේදැයි අපි නොදනිමු. ඩෙංගු මදුරුවා මේ තරම් ව්‍යාප්ත වනතුරු වගකිවයුත්තන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ඇයි දැයි යන්න අපට තිබෙන ප්‍රශ්නයයි. තුවාලේ රඟ දන්නේ විඳවන එකා යෑයි කියන්නේ කට කහනවාටම නොවේ.
ඩෙංගු මර්දනය කරනු දැකීමට අකැමැති මිනිසුන්ද මිහිපිට සිටිතියි අප කිවහොත් ඔබ පුදුම විය හැකිය. එහෙත් මදුරුවන් නිසා ජීවත්වන අය මේ මදුරු උවදුර දුරු වනු දැකීමට රිසි නොවෙති. මදුරුවාගෙන් බේරෙන මග කියා වෙළෙම කරගෙන යැම වරදකැයි අප නොකියමු. එහෙත් මදුරු උවදුරේ සැබෑ හේතුව ඉවත් නොකරන තාක් අපට ගැලවීමක් නැත. මදුරුවන්ට හිතකර අපිරිසිදු පරිසරය මෙන්ම නිවසින් ඉවත ලන පොල් කටුව සැමන් ටින් එක ප්ලාස්‌ටික් සුන්බුන් මදුරුවන්ට අභය භූමි වී තිබේ. බ්ලූමැන්ඩල් කුණු කන්ද අපට නොව ලොවටම මදුරුවන් බෙදා හැරීමට ප්‍රමාණවත්ය.
අව් කණ්‌ණාඩි පැළඳ ටයිපටි බැඳ මෝටර් රථ වලින් පැමිණ පාරට කුණු මලු දමන මහත්හොරුද සිටිති. කොළඹ නගරයේ නාසය අල්ලා ගෙනවත් ගමන් කළ නොහැකි වීදි කොතරම්ද? කොළඹ නගර සභාවේ දයාවෙන් මාර්ග දෙපස වෙළෙම් කරන කම්හල් ගරාඡ් පවත්වා ගෙන යන අය පරිසරයට එක් කරන අප ද්‍රව්‍ය කොතරම්ද? කොළඹ කුණු වලට යටවන තෙක් අවදි නොවන කොළඹ නගර සභාව ගැන බැලීමට ද කෙනෙක් නැත.
අපි යළිත් ඩෙංගු මාරයා දෙසට හැරෙමු. මේ වනවිට ඩෙංගු රෝගය (වසංගතය) කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රධාන පෙළේ දිස්‌ත්‍රික්‌ක දහයක ව්‍යාප්ත වී ඇත. ඩෙංගු වසංගතයට ලක්‌ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස ගණන හැට අටකි. මියගිය ගණන 155 ට වැඩිය. රෝගීහු 12,000 කට අධිකය. ජුනි මාසය අවසන් වන විට පමණක් ඩෙංගු වැළඳුණ රෝගීන් ගණන 5145 කි. ජුනි මාසය ඇතුළත පමණක් ඩෙංගු උණෙන් මියගිය ගණන 39 කි. ඩෙංගු දවසින් දවස වර්ධනය වනවා මිස අඩුවීමක් නැතැයි අදාළ නිල සංඛ්‍යා ලේඛන පිරික්‌සීමේදී තහවුරු වේ. එසේ නම් තත්ත්වය ඉතා භයානකය.
ඇතැමෙක් වැස්‌සට බැණවදිති. තවෙකෙත් සෞඛ්‍ය ඇමැතිවරයාට බැණ වදිති. තවත් පිරිසක් සෞඛ්‍ය බලධාරීන්ට නිලධාරීන්ට බැණ වදිති. සෞඛ්‍ය ඇමැතිවරයාද වෛද්‍යවරුද වාද විවාද කරති. ඇතැම් මාධ්‍ය අබියස විකට ජවනිකා ද මැවෙයි. එහෙත් සාමූහිකව ඩෙංගු උවදුරට මුහුණ දීමට අපට හැකිවී තිබේද?
දැන් අප අසන්නේ බී. ටී. අයි. නමැති බැක්‌ටීරියාව ශ්‍රී ලංකාවට නොගෙන ආවේ ඇයිද යන කාරණය පමණි. කියුබාව මදුරුවන් මර්දනය කරනු පිණිස බී. ටී. අයි බැක්‌ටීරියාව සොයාගත් පසුව යුරෝපීය රටවල් ඇතුළු ලෝකයේ බොහෝ රටවල් මදුරු මර්දනය සඳහා බී. ටී. අයි. බැක්‌ටීරියාව ඉතා සාර්ථක ලෙස භාවිත කර තිබේ. මැලේරියාව, ඩෙංගු බරවා ආදී රෝග මදුරුවාගෙන් බෝවෙද්දී මදුරු නාශක හා මදුරු දැල් මගින්ම රැකවරණ පතමින් අපි කටයුතු කළේ කාගේ වුවමනාවට දැයි අසනු කැමැත්තෙමු. ඇතැමෙක් පවසන්නේ මදුරුවා නිසා යෑපෙන එයින් බඩ වියත රැකෙන අය බී. ටී. අයි. වැනි බැක්‌ටීරියා මගින් මෙරට මදුරු වසංගතය මුලිනුපුටා දැමීමට අකැමැති වූ බවයි. ඒ අයගේ සිත රිද්දීමට අකැමැති වූ දේශපාලනඥයන්ද මිනිස් ජීවිත බිල්ලට දී ඔවුන්ගේ ව්‍යාපාර සුරැක්‌කේ දැයි අපි නොදනිමු. ප්‍රභාකරන් මරා දමා මේ යුද්ධය අවසන් කිරීමට අකැමැති දේශපාලන නායකයන් සිටි රටක ඩෙංගු මදුරුවා සුරැකීමට කැමැති පිරිස් සිටීම පිළිබඳ එක අතකින් අප පුදුම විය යුතු නැත.
නමුත් දැන්වත් බී. ටී. අයි. බැක්‌ටීරියාව අප්‍රමාදව මෙරටට ගෙන ආ යුතු බව අපි කියමු. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට 2008 වසරේදීත් බී. ටී. අයි. බැක්‌ටීරියාව මෙරටට ගෙන ඒමට සූදානමක් තිබිණි. කාගේ හෝ අවශ්‍යතාවක් ප්‍රබල වූ නිසා ඒ උත්සාහයද අතහැර දැමුවේ ඩෙංගු වලින් මියගිය 155 දෙනාගේ කරුමය ගෙවන තුරුදැයි නොදනිමු. දැනට තිබෙන තොරතුරු වලට අනුව එක් වතාවකදී බී. ටී. අයි බැක්‌ටීරියාව කුරුණෑගල හා පොල්ගහවෙල ප්‍රදේශවලදී අත්හදා බලා ඇතැයි පැවසේ. නමුත් එය අසාර්ථක වූ බවක්‌ද කියති. කුරුණෑගලට සහ පොල්ගහවෙලට පමණක් බී. ටී. අයි. බැක්‌ටීරියාව (ජීවියාව) දමා මදුරු කීටයන් රටින් තුරන් වනතුරු බලා සිටියේ නම් ඒ තරම් අනුවණකමක් නැතැයි අපි සිතමු.
අනෙක් අතට බැක්‌ටීරියාවකට පමණක් මදුරු කීටයන් වැනසිය නොහැකිය.මදුරු කීටයන් වැනසීමේ මූලික වගකීම ඇත්තේ සමස්‌ත ජනතාවටය. කුණු කසළ ඉවත් කර මදුරුවන් බෝවන ස්‌ථාන විනාශ නොකර බැක්‌ටීරියාවකට පමණක් මදුරු වසංගතය නසන්නට ඉඩදෙන රටකට කිසිදා මෙහි ප්‍රතිඵල ගත නොහැකිය. මුළු රටම එකට එක්‌වී රටම පිරිසිදු කරන අතරතුර බී. ටී. අයි. බැක්‌ටීරියාව හරහා මදුරු කීටයන් නැසිය යුතුය. මේ සරල කාරණය අවබෝධ කර නොගෙන පොල්ගහවෙලට හා කුරුණෑගලට පමණක් බී. ටී. අයි. බැක්‌ටීරියාව (ජීවියා) ගෙනත් දැමු අනුවණ නිලධාරීන් කවුරුදැයි සෙවීම සෞඛ්‍ය ඇමැතිවරයාගේ රාජකාරියකි. යුතුකමකි.
මේ සතිය තුළ බී. ටී. අයි. බැක්‌ටීරියාව ශ්‍රී ලංකාවට ගෙනඑන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා පවසයි. පසුගිය සෙනසුරාදා (27 වැනිදා) ශ්‍රී ලංකාවට ගෙනඒමට සූදානම්ව තිබූ අදාළ බැක්‌ටීරියාව එරට රජයේ අනුමැතිය නොමැතිකමින් පමා වී ඇත. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ උපදෙස් මත මෙම බැක්‌ටීරියාව පමා වී හෝ මෙරටට ගෙනඒමට තීරණය වී තිබීම අගේ කරමු.
කියුබානු රජයෙන් ලැබෙන ආධාරයක් ලෙස බී. ටී. අයි. බැක්‌ටීරියාව මෙරටට ගෙනඑනු ලබයි. රුපියල් බිලියන ගණන් වංචා කරන කොමිස් ගසන, හොරකම් කරන, නිස්‌කාරණයේ වියදම් කරන නිලධාරි පැළැන්තියක් සිටින රටක මිනිසුන් අකාලයේ මියයැම වැළැක්‌වීමට රුපියල් බිලියන ගණන් වැය කළද පව් නැත. කුමන හෝ ක්‍රමයකින් මේ මදුරු වසංගතයෙන් රට ගලවාගත යුතුය. ඩෙංගු මදුරුවාට බිලි වූ මල්වැනි දරුවන්ගේ නාමයෙන්වත් පරිසරය පිරිසිදු කිරීම සමස්‌ත ජනතාවගේ යුතුකමකි.
තවත් වටිනා එක් ජීවිතයක්‌වත් ඩෙංගු මදුරුවාට බිලි නොදීමට අදිටන් කරගත යුතුය. පමාවී හෝ කියුබාවෙන් ගෙනඑන බී. ටී. අයි. බැක්‌ටීරියාව නිසි ලෙස භාවිත කිරීමද සෞඛ්‍ය බලධාරීන්ගේ යුතුකමකි. වගකීමකි. ඒ කාර්යය සාර්ථක කර ගැනීමට ජනතා සහායද අත්‍යවශ්‍යය. කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේදී සමස්‌ත ජනතාව පෙළ ගැසුණේ කෙලෙසද එලෙසින්ම මදුරුවාට එරෙහිවද පෙළ ගැසෙමු. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ඒ නායකත්වය මේ සටනේදීත් ලැබෙන්නේ නම් අපට ජය සිකුරුය. -Sri Lanka Guardian
Home »
» ඩෙංගු වනසන කියුබානු බැක්‌ටීරියාවට මොකද වුණේ
Post a Comment