ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියෝ - July 02
ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්‌ඩුවට නිශ්චිත දැක්‌මක් සහ වැඩපිළිවෙළක් ඇති බව පෙනෙන්නට නැතැයි ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති පුරාවිද්‍යා විශාරද දඹර අමිල හිමියෝ පැවසූහ.උන්වහන්සේ එසේ පැවසුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පූර්වාරාම විහාරස්‌ථානයේදී ඊයේ (01 වැනිදා) ජාතික භික්‍ෂු පෙරමුණ මගින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.
එහි දී උන්වහන්සේ මෙසේ ද කීහ.
වීරෝදාර හමුදාව ඇතුළු දේශප්‍රේමී ජනයා බෙදුම්වාදයේ යුද පෙරමුණ හෙවත් නීති විරෝධී පෙරමුණ පරාජයට පත්කළා. එම ජයග්‍රහණය දිනා ගෙන මාසයක් ඉක්‌ම යන්නටත් පෙර බෙදුම්වාදය යළි හිස ඔසවන්නට පටන්ගෙන තිබේ. උතුර නැගෙනහිර පළාත්වලට 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය ඉක්‌මවා ගිය බලතල ලබාදීමට යෝජනා සකස් වන්නේ ද, මහාචාර්ය තිස්‌ස විතාරණ ප්‍රමුඛ සර්ව පාක්‍ෂික කමිටුවේ යෝජනා කලඑළි බසින්නේද මෙම පෙරමුණේ අවශ්‍යතාව මතය.
ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්‌ඩුවට නිශ්චිත දැක්‌මක් සහ වැඩපිළිවෙළක් ඇති බවක් පෙනෙන්නට නැහැ. පසුගිය කාලය තුළ මේ ආණ්‌ඩුවේ ඇමැතිවරු මේ පිළිබඳව විවිධ අදහස් පළකළා. ඒ සෑම අයෙක්‌ම මේ ප්‍රශ්නයට විසඳුම ලෙස බලය බෙදිය යුතු බවට යෝජනා කළා. ඇතැම් පිරිස් 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයත් ඉක්‌මවා ගිය බලතල (13) ලබාදිය යුතු බවට කරුණු දැක්‌වූ අතර ජනාධිපතිවරයා ද එය තහවුරු කළා.
බෙදුම්වාදය යන්න 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයට ලඝූ කළයුතු නැහැ. බෙදුම්වාදය මහා වෘක්‍ෂයක් නම් 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය කියන්නේ එහි ශාඛාවක් පමණයි. මීට අමතරව තවත් කරුණු රාශියක් බෙදුම්වාදය පෝෂණය කරමින් පවතිනවා. සමහර විට ආණ්‌ඩුව අලුත් ව්‍යවස්‌ථාවක් ගෙනල්ලා මේ බලය බෙදීමේ ව්‍යාපෘතිය වෙනස් ආකාරයකින් තහවුරු කරන්නත් පුළුවන්. පසුගියදා හදිසියේම ඉන්දියාවට ගිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ යෝජනාවලට ඉන්දීය රජය එකඟ වූ බවයි. එතකොට ඉතා පැහැදිලියි මේ කියන්නේ ඉන්දියාව කියන පන්නයේ බලය බෙදීමකට අපේ ආණ්‌ඩුව එකඟ වී ඇති බවයි.
ජාතික ප්‍රශ්නයට විසඳුම් ලෙස බලය බෙදීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළි නොගන්නා බවට ආණ්‌ඩුව ප්‍රකාශයක් කළ යුතුයි. ජනතාවට එකක් කියමින් වෙනත් දෙයක් කරන ආණ්‌ඩුවේ මේ දෙබිඩි පිළිවෙත ජනතාවට හෙළිදරව් කළ යුතුයි. ඒ නිසා අපි මේ මස 06 වැනිදා සිට 13 දින දක්‌වා ජනතාව දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කරනවා. එම සතිය තුළ අපේ මහානායක හාමුදුරුවරු වගේම රටේ ප්‍රධාන පෙළේ විහාරස්‌ථාන 1000 ක් දැනුවත් කරනවා. මීට අමතරව දිස්‌ත්‍රික් මට්‌ටමින් ජනතාව දැනවුත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති පුරාවිද්‍යා විශාරද දඹර අමිල නාහිමි සමඟ ජාතික සංවිධායක කලවැල්ගල චන්දාලෝක, මාධ්‍ය ලේකම් වකමුල්ලෙ උදිත, උප සභාපති ලුණුගම්වෙහෙර කල්‍යාණරංසි යන හිමිවරු සහභාගි වූහ. -Sri Lanka Guardian
Home »
» ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට ආණ්‌ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක් නෑ
Post a Comment