Home » » බැහැර කිරීම විසඳුමක්‌ නොවන කුණු කන්ද

බැහැර කිරීම විසඳුමක්‌ නොවන කුණු කන්ද

Written By Sri Lanka Guardian on Wednesday, July 8, 2009 | 4:05 PM

ජගත් කණහැරආරච්චි

(July 08,Colombo, Sri Lanka Guardian) කොළඹ කුණු කසළ බැහැර කිරීමේ අර්බුදය තවමත් නිමා වී නැති මහා පරිසර ගැටලුවකි. හැමදාමත් කොළඹ නගර සභාවෙන් ඇසෙන්නේ තාවකාලික පියවරක්‌ වශයෙන් මේ පියවර අර පියවර ගත් කතන්දරය. එහෙත් සැබැවින්ම මේ සඳහා ස්‌ථිරසාර විසඳුමක්‌ අවශ්‍යව තිබේ. අප යෝජනා කරන එම ස්‌ථිරසාර විසඳුම කසළ ප්‍රතිචක්‍රියකරණය කර එක්‌කෝ වෙනයම් දෙයකට ප්‍රයෝජනයට ගැනීමය. නැතහොත් කසළ නොවන වෙනයම් දෙයකට පරිවර්තනය කිරීමයි. අපට ප්‍රශ්නයකට ඇත්තේ කොළඹ මහ නගර සභාව හෝ කොළඹ කුණු ගොඩට කසළ එවන කොළඹ තදාසන්න වෙනත් නගර සභා ප්‍රාදේශීය සභා මේ තත්ත්වය තේරුම් ගෙන ඇත්ද යන්නයි. පෙනෙන්නට තිබෙන ආකාරයට මේ කුමන හෝ පළාත් පාලන ආයතනයකට එවන් දැක්‌මක්‌ පෙනෙන තෙක්‌ මානයකවත් නැත. එසේනම් මේ රටේ පරිසරය පිළිබඳ මහා විද්වතුන් දේශපාලකයන් පරිසරවේදීන් ප්‍රතිපත්ති සම්පාදකයන් දශක ගණනාවක්‌ තිස්‌සේ දොඩවන ප්‍රතිචක්‍රීයකරණය නොහොත් රිසයික්‌ලින් කිරීම හුදු සම්ප්‍රපලාපයක්‌ද? මෙය යථාර්ථයක්‌ බවට පත්කරගන්නට මූලික වන්නේ, කටයුතු කරන්නේ කවුරුන්ද? අපට නම් අසන්නට ලැබෙන්නේ ඒ කාර්යය අපට අයිති කාර්යයක්‌ නොවේ යෑයි කියමින් බොහෝ ආයතන ඇඟ බේරාගැනීම පමණකි. ආයතන අතර ප්‍රශ්න ජනතාවට වැඩකටම නැත. පළාත් පාලන ආයතනද, පරිසර අංශද, වෙනත් යම් වගකිවයුතු අංශද වශයෙන් කතාන්දර ජනතාවට අවශ්‍ය නැත. සිදුවිය යුත්තෙත් ජනතාව දකින්නෙත් රජය මගින් මේ කසළ අර්බුදයට විසඳුමක්‌ ලබාදිය යුතු බවයි.

දිනකට කුණු ලොරි 150 ක්‌ ගොඩබෑම සිදුකළ බ්ලූමෙන්ඩල් කුණු වළ වසා දැමීමට අධිකරණය තීන්දුවක්‌ ලබා දුන්නේය. කොළඹ නගර සභාවට කසළ බැහැර කිරීමේ ඉතිහාසයේ මහත්ම අර්බුදයට මුහුණ දෙන්නට සිදුවූයේ එතැන් සිටය. අධිකරණයට කොළඹ නගර සභාව වාර්තා කළ පරිදි කොළඹ නගරයෙන් පිට කසළ බැහැර කිරීමේ රැඳවුම් (කසළ වළවල්) ස්‌ථාන පහක්‌ නම් කෙරිණි. පෑලියගොඩ හා කොළොන්නාව ඒ අතර ඉහළින්ම විය. මේ අනුව දෙවනුව කුණු බෑම සිදු කළේ පෑලියගොඩටයි. එහෙත් ජනතා විරෝධය හේතුවෙන් එම ස්‌ථානයේ කසළ බැහැර කිරීම නවතා දමන්නට කොළඹ මහ නගර සභාව ප්‍රමුඛ අනිකුත් තදාසන්න පළාත් පාලන ආයතනවලට සිදුවිය. ඉන්පසු සිදුවූයේ කුමක්‌ද? තාවකාලික පියවරක්‌ වශයෙන් දින කිහිපයක්‌ කොළඹ මාදම්පිටියට කසළ බැහැර කෙරිණි. ඊටද ජනතා විරෝධය එල්ල විය. අධිකරණ නියෝගයක්‌ද ලැබිණි. නැවත තාවකාලික පියවරක්‌ වශයෙන් කසළ ගෙන ගියේ කොළොන්නාව කසළ රඳවනය වෙතයි. සැබැවින්ම මේ තාවකාලික පියවර වෙනතක්‌ නොව ජනතාව මුලාකිරීමයි.

කොළොන්නාව නගර සභාව අලුත් වැඩකට අත ගසා සිටි පළාත් පාලන ආයතනයකි. පරිසර අමාත්‍යාංශයේ පිළිසරු ව්‍යාපෘතිය ප්‍රතිචක්‍රියකරණය ඔවුන්ට හඳුන්වා දී තිබුණේ කොළඹ නගර සභාවේ බැහැර කිරීමේ සංකල්පයට විකල්පයක්‌ මැනවින් පෙන්නුම් කරමින්. පිළිසරු ව්‍යාපෘතියේ නිලධාරීන් අපට පවසන පරිදි කොළොන්නාව නගර සභාව නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉඩමක්‌ පවරාගෙන පිළිසරු ව්‍යාපෘතිය හා එක්‌වුණේ ඔවුන්ගේ කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහාය. ඊට දැන් ටෙන්ඩර් කැඳවා ගොඩනැගිලි ඉදිකිරීමට ලක ලැහැස්‌තිය පවතී. තවත් නොබෝ දිනකින් කොළොන්නාව කසළ වළේ ඔවුන්ගේ කුණු ප්‍රතිචක්‍රීයකරණය කිරීමට නියමිතව තිබිණි. එහෙත් හදිසියේ කොළඹ කුණු කොළොන්නාවට කඩා පාත් විණි. දැන් ඒ ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙළත් පවතින්නේ තරමක්‌ අවුලක්‌ උඩය.

හිතන්න, දවසකට කුණු ලොරි 150-160 ක්‌ ගොඩ බාන කුණු වළක තත්ත්වය. කොළොන්නාව තවත් එක්‌ බ්ලූමෙන්ඩල් කුණු කන්දක්‌ වන ලකුණු පහළ විය. ගන්දස්‌සාරය ප්‍රදේශය පුරා පැතිර යයි. මැසි මදුරුවන් රොතු පිටින් බෝ වේ. කපුටන්ගේ බල්ලන්ගේ, මීයන් හා කැර පොත්තන් වැනි සතුන්ගේ කරදරය ප්‍රදේශවාසීන්ට මහත් පීඩාවක්‌ නොවේද? හිටි හැටියේ ගිනි ගන්නා විෂ දුම, විස රසායනික ගන්ධය මිනිසුන් ලෙඩුන් පිරිසක්‌ පමණක්‌ නොව මන්ද මානසික සමාජයක්‌ බිහි නොකරයිද?

කොළොන්නාවේ විරෝධය ඉකුත් 28 වැනි ඉරිදා රාත්‍රියේ ප්‍රකාශ විය. ප්‍රදේශවාසීන් එක්‌ව කොළොන්නාවේ කසළ රඳවනයට ගමන් ගන්නා මාර්ගයේ පවතින බෝක්‌කුව කඩා කුණු ලොරි ඇතුළුවීම නවතා දැමූහ. 29 වැනි සඳුදා දිනය පුරාවටම ප්‍රදේශවාසීන් එකතුව විරෝධතා ව්‍යාපාරයක්‌ පැවැත්වූහ. ඒ කොළඹ කුණු කසළ කොළොන්නාවට එපා කියමිනි. දිනකට කසළ ලොරි 150 බැගින් දින තුනකදී මෙසේ කසළ ලොරි 450 ක්‌ මෙහි බෑමට ප්‍රදේශවාසීන් ඉඩ ලබා දුන්නේ නැත. මෙය බොහෝ මාධ්‍යයන්ට ප්‍රවෘත්තියක්‌ නොවුණේ මන්දැයි නොදනිමු. මෙයින් අපට පසක්‌ කරන එක්‌ දෙයක්‌ ඇත. එනම් කුණු කසළ ප්‍රශ්නය විසඳීම සඳහා සාර්ථකම පිළිතුර බැහැර කිරීම නොවේ යන්නයි. කොළඹ කුණු කොළොන්නාවට බැහැර කිරීමෙන් කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයේ කසළ ප්‍රතිචක්‍රීයකරණයට මෙන්ම එහි ජනතාවට විඳින්නට සිදුවූ අපහසුතාව සහ පීඩාව මීට කදිම නිදසුන වේ.

කෙසේ හෝ කොළඹ කුණු ප්‍රශ්නය යළිත් තාවකාලිකව විසඳීමට විකල්පයක්‌ තෝරාගෙන තිබේ. ඒ කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්‌තුමිය කියන පරිදි කොළඹ එකතුවන කුණු එක තැනකට නොව තැන් දෙකකට දැමීම හා කසළ බැහැර කිරීමෙන් පසු පස්‌ දමා වසා දැමීමයි. යළිත් කොළොන්නාවට හා පෑලියගොඩට වශයෙන් දළ වශයෙන් කසළ ලොරි 75 බැගින් දිනකට බැහැර කෙරේ. එහෙත් කසළ ප්‍රශ්නය විසඳේද. බැහැර කිරීමෙන් තොර විසඳුමක්‌ මීට නැත්තේද? ප්‍රතිචක්‍රීයකරණය හුදෙක්‌ හිත පිනවන වචනයක්‌ද? කොළඹ නගර සභාවට එය අකැපද?
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger