Home » » රනිල්ගෙන් කරූට නෝක්‌කාඩුවක්‌ මංගල හෙමින්ම පසුබසී!

රනිල්ගෙන් කරූට නෝක්‌කාඩුවක්‌ මංගල හෙමින්ම පසුබසී!

Written By Sri Lanka Guardian on Monday, July 6, 2009 | 12:24 AM

මොනවද මේ විහිළු. මේ කෙහෙල්මල ගැන අපි දැන් ඕනවටත් වඩා අහල ඉවරයි. ඩෙංගු ගැන මේ කියන්නේ අලුත් දේවල් නොවෙයි. අපරාදෙ අපේ කාලය කියමින් මන්ත්‍රීවරු එළියට පැමිණියහ. පැමිණ දොස්‌ පවරමින් පිටව ගියහ.
_________________

නාගසේන

(July 06, Colombo, Sri Lanka Guardian) 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය ගැන කතාබහ ඉතා දැඩි ලෙස අප දේශපාලන කතිකාව ආක්‍රමණය කර තිබෙන අතරතුර වේගයෙන් තවත් සතියක්‌ ගෙවී ගියේය.

ජනාධිපති මහින්ද මේ "ව්‍යවස්‌ථා කථාබහ" දේශපාලන කතිකාව තුළ දිග හැරෙන්නට දී පසෙකට වී බලා සිටියා යෑයි කීවොත් නිවැරැදිය. ආණ්‌ඩුව ඇතුළේ සහ පිට විවිධ අදහස්‌ දරන දේශපාලනඥයන් 13 වන සංශෝධනයේ කරුණු මත දේශපාලනිකව කෙහෙවලු අල්ලාගෙන මේ දිනවල පොර වදින අන්දම බලන්නට ලස්‌සනය.


ජනාධිපති මහින්ද මේ සංවාදය සමාජයේ ඇවිලෙන අතරවාරයේ රටේ සංවර්ධන කටයුතු කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් සිටියේය. රටට මහත් විදේශ විනිමයක්‌ ලබාදෙන තේ කර්මාන්තය හා මැණික්‌ කර්මාන්තය ගැන සොයන්නට ඔහු වෙහෙසුණේ ඒ නිසාය.

මේ අනුව ඉකුත් සෙනසුරාදා උදේ හපුගල වත්ත තේ කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියා කටයුතු නිමවී අලුතින් වැඩ ආරම්භ කිරීමේ අවස්‌ථාව නරඹන්නට ගියේය.

මෙම ගමන ජනාධිපති මහින්දට එක්‌තරා අන්දමක විවේකයක්‌ ලබාදුන් ගමනක්‌ද වූයේය. ඊට හේතුව සෙනසුරාදා රාත්‍රිය ඔහු දෙනියාය ප්‍රදේශයේ ගත කරන්නට තීරණය කිරීමයි.

ඊට පසුදා එනම් 28 වන ඉරිදා ජනාධිපතිවරයා තවත් එවැනිම තේ කම්හලක්‌ බැලීමට හා තේ, මැණික්‌ ව්‍යාපාරිකයන් පිරිසක්‌ හමුවීමට රත්නපුර ප්‍රදේශය බලා පිටත්ව ගියේය. ඔහු ගියේ කේ. ඩී. උපසේන නම් ප්‍රමුඛ තේ කර්මාන්ත ශාලා හිමියාගේ පුත්‍රයා වන සමන් උපසේනගේ නිවසටය.

රත්නපුර ප්‍රදේශයේ තේ ව්‍යාපාරිකයන් හා මැණික්‌ ව්‍යාපාරිකයන් රාශියක්‌ ඒ වන විට උදේ 11.00 සිට ම සමන්ගේ නිවසට එක්‌රොක්‌ වී ජනාධිපතිවරයා එන තුරු බලා සිටියහ.

අයහපත් කාලගුණය නිසා හෙළිකොප්ටරයෙන් රත්නපුරයට යැම පසෙක තබා මහ පාර ඔස්‌සේ ජනාධිපතිවරයා රත්නපුරයට එන විට දහවල් 1.00 ද පසුවී තිබිණි.

ජනපති මුලින්ම ගියේ ආසියාවේ වැඩිම නිෂ්පාදනය ඇති තේ කර්මාන්ත ශාලාව ලෙස සැලකෙන සමන් උපසේනට අයත් තේ කර්මාන්ත ශාලාව

නැරැඹීමටය. ඉන්පසුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහභාගි වන ජනහමුවක්‌ද සමන්ගේ නිවස ඉදිරිපිට තිබිණි.

මෙම අවස්‌ථාවට ජෝන් සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද රත්නතිලක, ප්‍රේමලාල් ජයසේකර, මහීපාල හේරත්, කාංචන ජයරත්න, නිලංග දෑල, ඩික්‌සන් දැල ඇතලු මැති ඇමැති ප්‍රභූවරු පිරිසක්‌ ද පැමිණ සිටියහ.

ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව සමන් උපසේන, කේ. ඩී. උපසේන ව්‍යාපාරයෙන් "අපි වෙනුවෙන් අපි" අරමුදල සඳහා රුපියල් ලක්‌ෂ 25 ක මුදලක්‌ ජනාධිපතිවරයා වෙත බාර දුන්නේය. කේ. ඩී. උපසේන මැතිනියද තමන් එකතු කරගත් රුපියල් ලක්‌ෂ 5 ක මුදලක්‌ ජනාධිපතිවරයා වෙත බාර කළාය.

ඉන්පසුව ජනාධිපතිවරයා බොහෝ වේලාවක්‌ ගතකළේ තේ කර්මාන්තයේ හා මැණික්‌ පතල් කර්මාන්තයේ තිබෙන වත්මන් ගැටලුවලට ඇහුන් කන්දීමට හා ඒවාට විසඳුම් සෙවීමටය.

මම අද දෙනියායේ ඉඳල මෙහාට ආවේ කාලෙකට පස්‌සේ. මම ඉතා ලස්‌සන දර්ශන දැක්‌කා. ඒ වගේම හරිම කනගාටුදායක අසුන්දර දර්ශනත් දැක්‌කා.

දැන් මේ අපේ තේ වතු හුඟක්‌ පුද්ගලික අංශයට දීලනේ තියෙන්නේ. නමුත් පුද්ගලික අංශය මේ තේ වතු නඩත්තු කරන්නේ නැහැ. වතුවල සමහර කොටස්‌ කැළෑ වැදිලා. පාලුවෙලා. මෙන්න මේ විදියට පාලුවෙච්ච ඉඩකඩම් නැවත රජයට පවරා ගන්න වැඩපිළිවෙළක්‌ යොදන්න ඕන.

මෙසේ ජනාධිපතිවරයා ද ක්‌ෂේත්‍රය විෂයෙහි තිබෙන තම අදහස්‌ කිහිපයක්‌ද ප්‍රකාශ කළේය. අනතුරුව සියල්ලෝම එක්‌ව දිවා ආහාරයට ගියේය. සමන් පැමිණ සිටි සියල්ල වෙනුවෙන් ඉතා විශිෂ්ට ගනයේ දිවා ආහාරයක්‌ සූදානම් කර තිබෙනු පෙනිණි. ආහාර ගෙන තම මැති ඇමැති හිතවතුන් සමග මද වේලාවක්‌ කතාබහ කරමින් සිටි ජනපතිවරයා අයහපත් කාලගුණය මධ්‍යයේම ආපසු කොළඹ බලා එන්නට පටන් ගත්තේය.

රනිල් සටනට

මේ අතරතුර විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහද සටනට සූදානම් වෙමින් සිටියේය. ඌව වව්නියාව හා යාපනය ඡන්ද ජය ගැනීමට හැකි නව මං සොයමින් හේ ක්‍රියාත්මක කරන්නට සූදානම් ව සිටියේය.

මුලින්ම ඔහු 27 වන සෙනසුරාදා කළේ විදේශයන්හි සිට ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් හමුවී අදහස්‌ විමසා බැලීමය. ලාංකිකයන්ට විදේශ රටවලදී විශේෂයෙන් ඇමරිකාවේ යුරෝපයේ හා ඕස්‌ටේ්‍රලියාවේ මේ දිනවල අත්ව තිබෙන ඉරණම ගැන සොයා බලන්නට ඔහු අවධානය යොමුකර තිබෙනු පෙනිණි.

යුරෝපා රටවල බෞද්ධ සිද්ධස්‌ථානවලට කොටි ප්‍රහාර එල්ලවීම් පිළිබඳවද රනිල් මෙහිදී සොයා බැලුවේය.

මේ අතරතුර කරු සිටියේ ගම්පහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ගේ රැස්‌වීමකය. තිස්‌ස අත්තනායක කොළඹ සිට අක්‌මීමන ප්‍රදේශය බලා පිටත්ව ගොස්‌ සිටියේය.

අක්‌මීමන යන ගමනේදී තිස්‌සට වජිර ගාල්ලේදී හමු වූයේය. ඔහු වජිර සමග ගාල්ලේ දී විශේෂ මළ ගෙවල් දෙකකටද ගියේය. අක්‌මීමන සංවිධායක, පළාත්සභා මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි තම පක්‌ෂ කාර්යාලය අක්‌මීමන නගරයේදී විවෘත කිරීම නිමිත්තෙන් තිස්‌සට හා වජිරට මෙසේ ආරාධනය කර තිබිණි. අනතුරුව තිස්‌ස අක්‌මීමන එජාප බල මණ්‌ඩලයද අමතනු ලැබුවේය. ඊට ගයන්ත හා දයාසිරි ජයසේකරද පැමිණ සිටියහ.

අක්‌මීමන රැස්‌වීම් අවසන් වී තිස්‌ස වජිර හා ගයන්ත බද්දේගම සංවිධායක ආනන්ද ලැනරෝල් සංවිධානය කර තිබූ ආසන බල මණ්‌ඩල රැස්‌වීමක්‌ අමතන්නටද ගියහ.

මේ අතරතුර සෙනසුරාදා රාත්‍රියේ බේරුවල එජාප සංවිධායක ස්‌ථිකාර්ගේ විවාහ මංගල්‍යයද බේරුවලදී පැවැත්විණි. රනිල් කරු හා ඉමිටියාස්‌ මේ උත්සවයට ගොස්‌ සිටියහ. තිස්‌සද තම ගාලු ගමන අහවර වී රාත්‍රියේ බේරුවලට පැමිණ මෙම උත්සවයටද සහභාගි වූයේය.

ඉරිදා දිනයේ අනුරාධපුර එක්‌සත් ජාතික පක්‌ෂ බල මණ්‌ඩල රැස්‌වීම පැවැත්වුණ බැවින් තිස්‌ස අනුරාධපුරයට ගොස්‌ සිටියේය.

ඉරිදා රාත්‍රියේ තවත් සුවිසල් විවාහ මංගල්‍ය උත්සවයක්‌ මහනුවරදී පැවැත්විණි. විවාහපත් වූයේ කාදර් මන්ත්‍රීවරයාගේ මිණිබිරියක්‌ වූ බැවින් රනිල්, තිස්‌ස, රවී, ජෝශප්, රේණුකා ඇතුළු එජාප නායක කාරකාදීහු රාශියක්‌ම ඉරිදා රාත්‍රියේ මහනුවරට ගොස්‌ සිටියහ.

මෙම මඟුල් ගෙදර දී රනිල් කාදර් මන්ත්‍රීවරයාට පූර්ණ වගකීම් සහිත පත්වීම් ලිපියක්‌ ද ප්‍රදානය කළේය. ඒ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පත්වීමයි.

දැන් මඟුල් ගෙවල්වලදී පත්වීම් ලිපි බෙදන සම්ප්‍රදායකුත් රටේ බිහි වෙලානේ. ජෝෂප් මයිකල් මෙවේලේ විහිළු කළේය.

ඒක ඉතින් පටන්ගත්තේ මම නොවෙයි නේ. ඒක පටන්ගත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විජමුගේ පුතාගේ මඟුල් ගෙදරදී නේ. රනිල් හිනාවෙමින් කීවේය.

පක්‍ෂ නායක හමුව

මේ අතරතුර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයේ පක්‍ෂ නායකයන්ගේ හමුවක්‌ පසුගිය 30 වැනිදා අරලියගහ මැඳුරේදී පැවැත්විණි. මේ සඳහා සන්ධානයේ පක්‍ෂ නියෝජනය කරමින් මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත, දිනේශ් ගුණවර්ධන, ෆේරියල්, එම්.එච්. මොහොමඩ්, ඩියු, විමල්, නන්දන, මිලින්ද යන පක්‍ෂ නායකයෝ සහභාගි වී සිටියහ.

එක එක්‌කෙනා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගැන විවිධ අදහස්‌ කියවනවා. එහෙම කරන්න එපා. ඒකෙන් පේන්නේ රට ව්‍යාකූල තත්ත්වයට පත්වෙන එක. යුද්ධයක්‌ කරල බෙදුම්වාදයෙන් මුදාගත්ත රට නැවත බෙදල දෙන්න මට කිසිම වුවමනාවක්‌ නැහැ. මාව විශ්වාස කරන්න. මට වුවමනා රටේ අනෙකුත් ප්‍රශ්නත් මේ බෙදුම්වාදය වගේම පරදවලා දාන්න. ඒ නිසා දැන්වත් ඔය 13 වැනි ව්‍යවස්‌ථාව අල්ලගෙන තම තමන්ගේ හීන ගැන කතා කරන එක නවත්වන්න....

අර තිස්‌ස විතාරණටත් මේක කියන්න... දිනේශ් එසේ කීවේ තිස්‌ස විතාරණ එම රැස්‌වීමට සහභාගි වී නොසිටි නිසාය.

ඔව් ඔයත් තිස්‌සට මේක ගැන කියන්න. ජනාධිපතිවරයා ඩියු ගුණසේකර ඇමැතිවරයාට කීවේය.

එදා පාර්ලිමේන්තු පිට්‌ටනියේ පැවැති රණවිරු ප්‍රණාම උළෙලේදීත් තිස්‌ස විතාරණ බලය බෙදිල්ල ගැන තකා කළා..... විමල් මතක්‌ කළේය.

විමල්ට මතකනේ මම රැස්‌වීම ඉවරවුණු ගමන් තිස්‌සට කිව්වා මේ ගැන කතා කරල තේරුමක්‌ නැහැ කියලා. ජනාධිපති විමල් දෙසට හැරී කීවේය.

අපේ රටට අවශ්‍ය ජාතික සමගිය සංවර්ධනය වගේ දේවල් ගැන කතා කරන එක. ඒකට සර්වපාක්‍ෂික කමිටුවක්‌ අවශ්‍යයි. එහෙම නැතිව පරණ සර්ව පාක්‍ෂික කමිටුව නොවෙයි. විමල් වීරවංශ යෝජනා කළේය.

ඔව්, අපි අපේ රටේ සාමය සංවර්ධනය ගැන කතා කරන ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සර්ව පාක්‍ෂික හමුවක්‌ කැඳවමු.

ඒ අනුව රටේ සංවර්ධනය හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සර්ව පාක්‍ෂික හමුවක්‌ කැඳවීමට එකඟතාවක්‌ ඇතිවිණි.

මේ අතරතුර පිරිස දිවා ආහාරය ගන්නට ගියහ. ජනාධිපති මහින්ද ආහාර ගන්නා ගමන් ද කතා කළේය.

මට එක කනගාටුවක්‌ තියෙනවා ජවිපෙ පහළ ස්‌ථරයේ සාමාජිකත්වය ජනාධිපතිවරණයේදී අපිව දිනවන්න ඉහළ සේවයක්‌ කළා. නමුත් අපිට එයාලට සැලකීමක්‌ කරන්න ඉඩක්‌ ලැබුණේ නැහැ. මම අන්න ඒකයි කොටි පරාදයි කියල අහපු වෙලාවේ මුලින්ම ඒ ආරංචිය ජවිපෙ නායක සෝමවංශට කිව්වේ.

ජනපති මහින්ද මෙසේ කියන විට එතන විමල්, නන්දන, කෙහෙළිය, ගම්මන්පිල ඇතුළු කිහිප දෙනකු සිටියහ.

කරු ඌවට

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය පසුගිය සතියේ සඳුදා බදුල්ල හා මොනරාගල බලා පිටත්ව ගියේ ඌව මැතිවරණ සටනේ සැලසුම් රාශියක්‌ පිළිබඳ ප්‍රදේශයේ අපේක්‍ෂකයෝ දැනුවත් කිරීමටය.

ඔහු සඳුදා මුලින්ම ගියේ බුත්තලටය. හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන ජයසුන්දර විඡේකෝන්ගේ කාර්යාලයක්‌ බුත්තල විවෘත කරමින් කරු වැඩ පටන් ගත්තේය. අනතුරුව මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ ආධාරකරුවන්ගේ නියෝජිත හමුවක්‌ ද රංජිත් මද්දුම බණ්‌ඩාර සූදානම් කර තිබුණෙන් ඊට සහභාගි වූයේය.

ඉන් අනතුරුව බදුල්ලට පැමිණි කරු, ලකී සෙනවිරත්න හා රවී සමරවීර සූදානම් කර තිබූ නියෝජිත හමු කිහිපයකට ද සහභාගිව, අවශ්‍ය උපදෙස්‌ සපයා ගැටලු නිරාකරණය කර ආපසු කොළඹට පැමිණියේය.

පක්‍ෂ නායක රනිල් අඟහරුවාදා උදේ සිරිකොත මන්දිරයේ සිට යාපනය හා වවුනියාව මැතිවරණවලට අදාළව සැලසුම් සකස්‌ කරනු පෙනිණි. රනිල්ගේ උපදෙස්‌ ලැබුණේ ඌවට වගේම යාපනයට හා වවුනියාවටත් තමන් සහභාගි වන රැස්‌වීම් දෙක බැගින් සංවිධානය කරන ලෙසය.

මංගල සහභාගි වූ සන්ධානය ගොඩනැඟීම පිළිබඳ රැස්‌වීම පැවැත් වුණේ ඉන් අනතුරුවය.

ජනිපෙ - ජනපති

මේ අතරතුර 30 වැනිදා සවස ජනාධිපතිවරයා හා ජාතික නිදහස්‌ පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක්‌ ද පැවැත්විණි. ඊට විමල්, නන්දන, පියසිරි හා අචල ජාගොඩ මන්ත්‍රීවරයාද සහභාගි වී සිටියහ.

ඊළඟ ජනාධිපතිවරණයට පස්‌සේ ගොඩනඟන ආණ්‌ඩුව හොඳට පිළිවෙළට වැඩ කරන ආණ්‌ඩුවක්‌ බවට පත් කරන්න ඕන. ඒ ආණ්‌ඩුව මගින් රටේ සියලු ප්‍රශ්න විසඳිය යුතු වෙනවා. තමුන්නාන්සේලා ඊළඟ මැතිවරණය ජයගත යුතුයි. ඒ සඳහා අපේ උපරිම සහයෝගය ලැබෙනවා. ජවිපෙ නායකයන් අතරින් විමල්ට හා නන්දනට විතරයි මාව තේරුම් ගන්න හැකි වුණේ. මම යුද්දේ හරියට කරයි කියලා ජවිපෙ අනික්‌ නායකයෝ විශ්වාස කළේ නැහැ.

ඔව් සර් එයාල කා දිහාත් බලන්නේ සැකෙන්.... පියසිරි කීය.

සංචාරක අමාත්‍යංශය මම ජනිපෙට දෙන්න තීරණය කළා. ඔයාලා ව්‍යාපාරිකයන්වත් දිනාගෙන ඒ විෂය හරියට ගෙනියන්න ඕන.

අප මේ රටේ සංචාරක ව්‍යාපාරය ගොඩනඟන්න දැනටමත් විශේෂ වැඩ පිළිවෙළක්‌ ගොඩනඟලයි තියෙන්නේ..... නන්දන කීය.

මෙම කතා බහේදී නන්දන සංචාරක ඇමැති ලෙසත් පියසිරි විඡේනායක සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ලෙසත් 02 දා සවස අරලියගහ මැඳුරේදී දිවුරුම් දෙන්නට තීරණය කරගනු ලැබූහ.

ජවිපෙ යළිත්

පසුගිය සතියේ ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සාමාජිකයෝ එකට එක්‌වී කතා බහ කරනු ලැබුවේ රජය ඉදිරිපත් කර තිබූ එක්‌තරා ආරාධනයක්‌ පිළිබඳවය. උතුර නැගෙනහිර ත්‍රස්‌තවාදයෙන් මුදාගත් පසු නැවත සංවර්ධන හා ගොඩනැඟීමේ කටයුතුවලට අදහස්‌ උදහස්‌ විමසීමට රජය සර්ව පාක්‍ෂික සාකච්ඡාවක්‌ කැඳවා තිබීම ඊට හේතුවයි.

අපටත් මේ සාකච්ඡාවට ආරාධනා කරලා...... සෝමවංශ කීය.

මේ වෙලාවේ සියලු පක්‍ෂ එක්‌විය යුත්තේ කඳවුරුවල දුක්‌ විඳින ජනතාව ක්‍රමවත්ව නැවත පදිංචි කිරීමේ ක්‍රියාදාමයකටයි. ඊට මුල් තැන දිය යුතුයි. විජිත හේරත් කීය.

ඔව්... ඒ සඳහා කරුණු 14 කින් යුතු ප්‍රායෝගික ප්‍රවේශයක්‌ අපි හදල ඉවරනේ. ඒක රජයට යෑව්වා. නමුත් කිසි ප්‍රතිචාරයක්‌ නෑ.... අනුර කීය.

ඒ ගැන ප්‍රතිචාරයක්‌ නැතිව දැන් රට සංවර්ධනය කිරීම ගැන කතා කරන්න එන්න කියනවා..... ලාල් කාන්ත කීය. මම නම් හිතන්නේ මේක පිටරටවලින් ආධාර ගන්න කරන ෂෝ එකක්‌ කියලයි.

හරි.. මේක සර්ව පාක්‍ෂික හමුව ගොඩනඟන එකේ ආණ්‌ඩුවේ අරමුණ කුමක්‌ වුණත් අපි මේකට සහභාගි විය යුතුයි කියලයි මම කියන්නේ. අපි එතනදී අපේ අදහස්‌ ඉදිරිපත් කරමු..... ටිල්වින් කීය.

මෙහිදී ඇතිවූ සාකච්ඡාවේදී සර්ව පාක්‍ෂික කමිටු සාකච්ඡාවට සහභාගි වීමට ජවිපෙ ඒකමතික තීන්දුවක්‌ ගනු ලැබීය.

අද 13 වැනි සංශෝධනය ගැන විවිධ අදහස්‌ පළවෙනවා. මේ ව්‍යාකූලත්වය මැද මහින්ද ඉඩම් බලතලයි පොලිස්‌ බලතලයි පළාත් සභාවලට දෙන්න යන බවයි මට පේන්නේ.... සෝමවංශ කීය.

ඇයි අනුර ප්‍රියදර්ශන කිව්වනේ රජයේ ස්‌ථාවරය 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම බව.... විජිත කීය.

ඒක නීති විරෝධියි. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවේ නීත්‍යනුකූල ආණ්‌ඩුවකින් නොවෙයි. කළගෙඩි ලාම්පු සෙල්ලමක්‌ දාල කාලය දීර්ඝ කරගත්ත නීති විරෝධී රජයකින්..... සෝමවංශ කීය.

පළාත් සභාවලට ඉඩම් පොලිස්‌ බලතල දීම බෙදුම්වාදය ලබන ජයග්‍රහණයක්‌..... ටිල්වින් කීය.

මෙහිදී ජවිපෙ මේ පිළිබඳ රට පුරා ජනතාව දැනුවත් කිරීමට සම්මන්ත්‍රණ මාලාවක්‌ පැවැත්වීමට තීරණයක්‌ ගත්තේය.

මංගලට විරෝධය

සඳුදා දහවල් 2.00 ට එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය කමිටුවේ රැස්‌වීම සිරිත් පරිදි පැවැත්වුණේ සිsරිකොත ජාතික සේවක සංගම් කමිටු ශාලාවේදීය. මේ කමිටුව සඳහා එජාපයේ මන්ත්‍රීවරු ඇතුළු ක්‍රියාකාරිකයන් 38 දෙනකු තෝරාගෙන තිබුණත් එදින පැමිණ සිටියේ 16 දෙනෙක්‌ පමණි. රජයට එරෙහිව එජාපයේ ඉදිරි වැඩ කටයුතු කෙලෙස සකස්‌ කළ යුතුද කියා සතිපතා සාකච්ඡා කරන මෙම කමිටුවේ මෙවරද මූලිකයා වූයේ මංගල සමරවීරය.

මංගලට අමතරව ලක්‌ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, ජෝන් අමරතුංග, ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර, එඩ්වඩ් ගුණසේකර යන මන්ත්‍රීවරුද සිටියහ.

මුලින්ම මංගල සමරවීර කතා කරමින් එතන සිටින මන්ත්‍රීවරුන්ට දොස්‌ කියන්නට පටන් ගත්තේය.

අපි මෙතන කතා කරන දේවල් එළියට යනවා. සමහරු මේවා රෙකෝඩ් කරලා මහින්දට ගිහින් දෙන බවත් අපි දන්නවා. මෙතන කතා කරපු දේවල් පිටට ගිය නිසා තමයි අද චන්ද්‍රසිරි බණ්‌ඩාරට හිරගෙවල්වල ලගින්න වෙලා තියෙන්නේත්. කව්ද මේවා එළියට ගෙනියන්නේ කියලත් අපි හොයන්න ඕන.

අපි ආණ්‌ඩුවට ගහන්න අලුත් පොයින්ට්‌ එකක්‌ විදියට 13 වන සංශෝධනය ගන්න ඕන. මොකද මහින්දට 13 වන සංශෝධනයෙන් මිදෙන්න බැහැ.

මමයි මහින්දයි ගිහිල්ල තමයි ඉන්දියාවේ අගමැති හමුවෙලා කිව්වේ අපි 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා. එයාට ඒ පොරොන්දුවෙන් ගැලවෙන්න බැහැ.

අනික්‌ එක ඒ පොරොන්දුව ඉටු කරල එයාට ඔය විදියට ආණ්‌ඩුව තියාගන්නත් බැහැ. අපට මේ වෙලාවේ මහින්දගේ ආණ්‌ඩුව කඩන්න තියෙන හොඳම තුරුම්පුව තමයි 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න බල කිරීම.

මංගලගේ කතාවට උත්තර දුන්නේ පළාත් සභා මන්ත්‍රී සුජීව සේනසිංහය.

අපි නම් ඔය යෝජනාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි ඔය ලණු කන්න සූදානම් නැහැ. මේක සිංහල බෞද්ධ බහුතරයක්‌ ජීවත්වන රටක්‌. රට කරවන්නේ බෞද්ධ නායකයෙක්‌. නිකන් බොරුවට ආණ්‌ඩුවේ බේද ඇති කරන්න අපට බැහැ. ඕවට අහුවෙන මෝඩයෝ ආණ්‌ඩුවේ නැහැ. ඕව කරල ඡන්ද දිනන්න බැහැ. කුමන්ත්‍රණ නොවෙයි අපට ඕන ඉදිරියේදී ඡන්ද දිනන වැඩපිළිවෙළක්‌.

ඊළඟට නිරෝෂන් පාදුක්‌ක කතා කරන්නට නැගිට සිටියේය.

13 වන ව්‍යවස්‌ථා කතා මොකටද ගමේ අයට. ගමේ අය තුළ මතයක්‌ තියෙනවා අපේ නායකයෝ පණ නැහැ වැනෙනවා කියලා. උන් කියනවා නායකයෝ වෙනස්‌ වෙන්න ඕන කියලා. ගමේ අය කියනවා රනිල් යන්න ඕන කියලා. අපි දෙන්න ඕන අන්න ඒකට උත්තරයක්‌. කුමන්ත්‍රණ නොවෙයි.

ඔයාලගේ කොන්ද පණ නැහැ නිරෝෂන්. ඇයි ඔයාලට බැරි රනිල්ට බැරි නැහැ කියලා ඔප්පු කරන්න. කොන්දක්‌ තියෙන්න ඕන ඒකට. මංගල තරහෙන් කීය.

ඔබ කොහොමද එහෙම කියන්නේ. ඔබ අපටම එදා කිව්වේ රනිල්ට බැහැ රනිල්ට පණ නැහැ කියලනේ. අද කොහොමද එකපාරටම පුළුවන් කියන්නේ, නිරෝෂන් කීය.

ඔය විදියට කතා කරල අපට ආණ්‌ඩු හදන්න බැහැ. ඔය ප්‍රශ්න ඔක්‌කොටම අපි එකතුවෙලා හදන සන්ධානය තුළ උත්තර තියෙනවා. මංගල බොහෝම කේන්තියෙන් කීවේය.

කාටද වුවමනා සන්ධානයක්‌. අනේ අපට නම් ඕන නැහැ. අපිට ඕන යූඑන්පී එක ශක්‌තිමත් කරන්න මිස දිය කරල අරින්න නෙවෙයි.

මේ අයුරින් ඒ කතාබහට ජොන්ස්‌ටන්, දයාසිරි හා එච්වඩ් ගුණසේකරද එක්‌වූහ. මංගල හා මේ පිරිස අතර දිගින් දිගටම වාග් සංග්‍රාමය ඇවිල ගියේය. මේ නිසා රැස්‌වීම මැදදීම රවී කරුණානායක නැගිට ගියේය. ඉන් පසුව දයාසිරි හා අලද නැගිට ගියහ.

කතාබහ ඉන්පසුව ඩෙංගු වසංගතය කෙරෙහි යොමු වූයේය. වෛද්‍යවරයෙක්‌ පැමිණ ඩෙංගු වසංගතය ගැනත් ඉන් වැළකී සිටීම ගැනත් දේශනයක්‌ පවත්වන්නට විය.

මොනවද මේ විහිළු. මේ කෙහෙල්මල ගැන අපි දැන් ඕනවටත් වඩා අහල ඉවරයි. ඩෙංගු ගැන මේ කියන්නේ අලුත් දේවල් නොවෙයි. අපරාදෙ අපේ කාලය කියමින් මන්ත්‍රීවරු එළියට පැමිණියහ. පැමිණ දොස්‌ පවරමින් පිටව ගියහ.

කලකිරීම.

පසුගිය සතියේ රනිල් එජාපයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පමණක්‌ සහභාගි වන තවත් විශේෂ රැස්‌වීමක්‌ කැඳවූයේය. මේ සඳහා තිස්‌ස, කරු, මලික්‌, රුක්‌මන්, ජෝන් සහ රේණුකා හේරත් ද සහභාගි වී සිටියහ.

මෙහිදී රනිල් මුලින්ම කළේ තරමක්‌ චෝදනාත්මක ස්‌වරූපයෙන් පක්‍ෂ ජෙZHෂ්ඨයන්ට දොස්‌ නැඟීමය. මම කරුව දේශපාලන කමිටුවේ නායකයා කළා. අද එතන වැඩිපුර ඉන්නේ මට අභියෝග කරන අය. ඒත් කරුට සලකනවා. මම ඒකයි අපේ පක්‍ෂයත් මංගලලගේ පක්‌ෂයත් එකතු වෙලා පුළුල් සන්ධානය හදන යෝජනාව සම්මත කරගන්න වැඩේ කරුට පැවරුවේ. මම හිතුවා කරු ඒ වැඩේ කට්‌ටිය අවනත කරගෙන කරාවි කියලා.

අවනත කරගන්නේ කොහොමද... අපේ අය මංගලට විරුද්ධයි. මංගලත් එක්‌ක සන්ධාන ගහන්න කවුරුත් කැමති නැහැ, කරු කීය.

ඒක හරියන්නේ නැහැ. ඔය විදියට ගියොත් මම දේශපාලන කමිටුව විසුරුවල දානවා. ඔය විදියට වැඩක්‌ම නැහැනේ. මට ඔය වැඩේ වර්කින් කොමිටි එකට දාල සම්මත කරගන්න පුළුවන්.

මංගලලගේ සන්ධානය පක්‍ෂයේ අලියා ලකුණ වෙනස්‌ කරන්න යන එකට කිසි කෙනක්‌ කැමති නැහැ. කරු කීය.

ඒවා තාවකාලික දේවල්නේ. පක්‍ෂ ලකුණ ගැන පසුව තීන්දුවක්‌ ගන්න පුළුවන්. කලින් කරන්න ඕන සන්ධානය හදා ගන්න එක. ඒaක පරක්‌කු කරල බැහැ. කොහොමටත් ඉදිරියේදී දේශපාලන මණ්‌ඩලයේදී ඕක සම්මත කරන්න ඕන. එදාට බැරි වුණොත් පහුවදාට වර්කින් කොමිටි එක කැඳවල යෝජනාව සම්මත කර ගන්නවා. රනිල් ඉතා දැඩිව කියා සිටියේය.

මෙම සාකච්ඡාවෙන් පසුව ඇතැම් එජාප නායකයෝ බලවත් කලකිරීමට පත්වූ අතර එජාප නායකයා ලබන 14 වැනිදාට දේශපාලන මණ්‌ඩල රැස්‌වීමක්‌ කැඳවන්නට තීන්දු කළේය. එදිනට මංගල සමග සන්ධානය හදාගන්නට අනුමැතිය නොලැබුණහොත් ඊට පසුදාම කෘත්‍යාධිකාරි මණ්‌ඩලය කැඳවන්නටද රනිල් තීන්දුවක්‌ ගත්තේය.

මේ සිදුවීම් දාමය නිසා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු රාශියක්‌ම බලවත් ලෙස සිත් තැවුලටත් කලකිරීමටත් පත්ව සිටියහ.

මේ පසුබිම තුළ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයාට ඉතා හිතවත් මාධ්‍යවේදියෙක්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා දිනපතා පුවත්පතකට සිය සුපුරුදු දේශපාලන විග්‍රහය ලියමින් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ වත්මන් ක්‍රියා කලාපය දැඩිලෙස විවේචනය කළේය. මේ නිසා කැලඹීමට පත් මන්ත්‍රීවරු බ්‍රහස්‌පතින්දා සවස එකතුවී නායකයාගේ මෙම ක්‍රියා පිළිවෙතට විරෝධය පාන්නට සාකච්ඡා කළහ.

උපුල් ජෝෂප් මේ ලිපිය ලියන්නේ සඳුදාට ලීඩර්ගේ කාර්යාලයේ ඉඳන්. සමන්ගේ කොම්පියුටරයෙන් ටයිප් සෙට්‌ කරලා තමයි පත්තරයට යවන්නේ. ලීඩර් මේක එයාට අවශ්‍ය විදියටයි ලියවන්නේ. තරුණ මන්ත්‍රීවරයෙක්‌ සෙසු පිsරිසට කරුණු පැහැදිලි කළේය.

විමල් කරන්දෙනියට

පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්‌ටිගේ ගේ කාමරය දෙසට යමින් සිටියේය. එ මොහොතේ කාමරය තුළ ගුණරත්න වීරකෝන් අමාත්‍යවරයා හෙට්‌ටිගේ සමග කතා කරමින් සිටිනු විමල් දුටුවේය.

විමල් එ මොහොතේ තම සෙලියුලර් දුරකථනය ගෙන කනට තබාගෙනම කාමරයට ගොඩ වූයේය.

ආ... කොහොමද සජින් මල්ලී කියන්න... යි විමල් දුරකථනයට කීවේය.

ගුණරත්න වීරකෝන් එය ඇසුණු සැනින් හැරී විමල් දෙස බලනු විමල් නෙත"ගින් දුටුවේය.

ආ... රායිට්‌... කොහේද රැස්‌වීම තියෙන්නේ... යනුවෙන් විමල් මොහොතක්‌ නොගොස්‌ ප්‍රශ්න ඇසීය.

ආ... හරි සජින් මල්ලී... රැස්‌වීම තියෙන්නේ කරන්දෙනියේ නේ... එකට ඉතින් මම එන්නම්... විමල් එසේ කියා ටෙලිෆොනය විසන්ධි කළේය.

එය ඉවර වූ සැනින් ගුණරත්න වීරකෝන් විමල් දෙසට හැරී...

කවුද විමල් කතා කළේ...

මේ අර සජින් වාස්‌ ගුණවර්ධන. එයාගේ රැස්‌වීමක්‌ තියනවලු කරන්දෙණියේ...

ඔයා ඉතින් එ රැස්‌වීමට යනවද...

ඔව් ඉතින්.... නොගිහින් කොහොමද... ඇයි...

අනේ බුදු විමල් පුතේ... වඳින්නම්... උඹ නම් එන්න එපා කරන්දෙණියට. එක මගේ ආසනේ.

වීරකෝන් ඇමැතිවරයා එ ආයාචනය කළ විලාසයට කවුරුත් සිනාසුනහ. විමල් දුරකථන ඇමතුමක්‌ ආ ලෙස කරනු ලැබ ඇත්තේ රඟපෑමක්‌ බව කවුරු කවුරුත් දැනගත්තේ ඊට පසුවය.

පසුගියදා ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ වවුනියාව මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්‌ථානයට වැඩම කළේය. එ විශේෂ වැඩපිළිවෙළකට මුල පිරීම සඳහාය.

කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසු උතුර පළාතේ බෞද්ධ වෙහෙර විහාර නගාසිටුවීමට හා ප්‍රතිසංස්‌කරණය කිරීමට ජාතික හෙළ උරුමය වෙනමම විශේෂ වැඩපිළිවෙළක්‌ ඇරැඹීමට සූදානම්ව සිටියේය.

එල්ලාවල හිමියෝ මෙවර එහි ගියේ එ වැඩපිළිවෙළ පිළිබඳ උතුරේ ඉපැරැණි වෙහෙර විහාරවල හා පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති ස්‌ථානවල භාරකාරත්වය දරමින් වැඩ වාසය කරන භික්‍ෂූන් වහන්සේ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරවීමටය. එල්ලාවල හිමියෝ මෙම ගමනේදී විහාරාධිපති හිමිවරු අමතා කරුණු ඉදිරිපත් කළහ.

මම මගේ විමධ්‍යගත අරමුදලින් ලැබෙන සියලුම මුදල් යොදවලා තියෙන්නේ උතුර නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර නගාසිටුවන්න. එ වගේම එ ස්‌ථානවල දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත්වන භික්‍ෂූන් වහන්සේගේ පහසුකම් වැඩිදියුණු කරන්න... එල්ලාවල හිමියෝ කීහ.

මිත්‍ර පක්‍ෂ හමුව

බදාදා උදේ රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාපයේ මිත්‍ර පක්‍ෂ සන්ධානයේ නායකයන්ගේ විශේෂ හමුවක්‌ පැවැත්විණි. රනිල්, මංගල, කරු, තිස්‌ස, මනෝ, රාවුෆ් ඇතුළු රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ පක්‍ෂයක නියෝජිතයෙක්‌ ද මේ රැස්‌වීමට සහභාගි වී සිටියහ.

මේ කතාබහේ අරමුණ වුණේ පොදු සන්ධානයක්‌ ගොඩනඟා එ තුළින් ඉදිරියට යැමට පොදු එකඟතාවක්‌ සහිත ප්‍රතිපත්ති මාලාවක්‌ ගොඩනඟා ගැනීමය.

හේම කහවෙයි

පසුගියදා ජනාධිපති මහින්ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආසන සංවිධායකයන් අරලියගහ මැඳුරට කැඳවූයේය. ඇතැම් ආසන සඳහා පුරප්පාඩු වී තිබූ සංවිධායක තනතුරු රාශියක්‌ම එදින පුරවනු ලැබුවේය.

පසුගිය කාලයේ හබරාදුව ආසනයට සංවිධායක වී සිටියේ චන්දිම වීරක්‌කොඩිය. මෑතකදී එම අසුන චන්දිමගෙන් ඉවත් කොට හේමකුමාර නානායක්‌කාරට දෙනු ලැබීය.

නමුත් බොහෝ දෙනකුගේ ඉල්ලීම පිට නැවතත් වෙනසක්‌ කරමින් හේමකුමාරට බද්දේගම ආසනය ලබාදී චන්දිම වීරක්‌කොඩිටම හබරාදුව ආසනය පවරන්නට ජනාධිපතිවරයා තීරණය කළේය. එම වෙනස ද මෙහිදී ක්‍රියාත්මක කෙරිණි....

එදින එම රැස්‌වීමට පැමිණි හේමකුමාරගේ ලොකු වෙනසක්‌ කාට කාටත් පෙනෙන්නට තිබිණි. වෙනස වූයේ මෙතෙක්‌ දිනක්‌ හේමකුමාර ගෙල පැළඳ සිටි කොළ පාට සාටකය වෙනුවට එදින කහ පාට සාටකයක්‌ වැටී තිබෙනු පෙනිණි...

ජනාධිපතිවරයා ද මෙම වෙනස දුටුවේය...

හේම අද හරි ලස්‌සනයි... ලොකු වෙනසක්‌ තියනවා... ජනපති කීවේය..

ඔව්. සර්... ඉස්‌සර මම දැම්මේ කොළ පාට... ඒ කිව්වේ ගොයමේ පාට සාටකයක්‌ නේ. හැමෝම මගේ අහනවා කවද්ද ඔය ගොයම පීදිලා කරල් පැහෙන්නේ කියලා. ඇත්ත තමයි. මටත් හිතුනා රන්වන් පාටට කරල් පැහිලා කියල පෙන්නන්න. දැන් මගේ සාටකේ වී කරලේ පාටයි... හේමකුමාර ඉතා ආඩම්බරයෙන් කීවේය.

කැබිනට්‌

පසුගිය බදාදා සිරිත් පරිදි කැබිනට්‌ රැස්‌වීම ද පැවැත්විණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ කැබිනට්‌ රැස්‌වීමේදී සාමාන්‍යයෙන් සුපුරුදු කැබිනට්‌ පත්‍රිකා සැලකිල්ලට ගැනීම සිදු කෙරිණි. ඊට අමතරව සිදුවූයේ ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට හොඳ හැටි දෙහි කැපීමය.

ඇමැතිවරු පාර්ලිමේන්තුවේ ඡන්ද වලට සහභාගි නොවී යම් යම් තැන්වල සිටීම ගැන ලොකු කලකිරීමකින් කතා කළ ජනාධිපතිවරයා ඔවුන්ට ඉන් නරක ප්‍රතිඵල අත්වේ යෑයි අනතුරු ඇඟවීය.

මේ අතර ඇමැතිවරු කිහිප දෙනෙක්‌ විදේශගතවීම් සඳහා අනුමැතිය ඉල්ලා සිටියහ.

විශ්වා වර්ණපාල ඇමැතිවරයා ද මේ අතර විය. ඔහු කීවේ විදේශීය කොන්ෆරන්ස්‌ එකක්‌ ප්‍රසන්ට්‌ කරන්නට තමන්ට සිදුවී ඇති බවය.

ජාත්‍යන්තර කන්ෆරන්ස්‌වල ප්‍රසන්ට්‌ කරන්න ගිහිල්ලා මෙහේ ඇබ්සන් වෙන්න පුළුවන්... ජනාධිපතිවරයා නොසතුටෙන් කීවේය. අවසානයේ සෞඛ්‍ය හේතූන් මත පිටරට යැමට අවසර දුන්නේ ජනක බණ්‌ඩාර ඇමැතිවරයාට පමණි.

කණ්‌ඩලම

බ්‍රහස්‌පතින්දා දහවල් දඹුල්ලේ කණ්‌ඩලම හෝටලයේ එක්‌තරා සුවිශේෂී විවාහ මංගල උත්සවයක්‌ පැවැත්විණි. මංගල උත්සවය නිපුන හාල් මෝල හිමි සිරිපාල ගම්ලත් ඇමැතිවරයාගේ පුතු නිපුනගේය.

නිපුනගේ විවාහ මංගල්‍යය මතින් තොර ඉතා චාම් එහෙත් ගරු ගාම්භීර එකක්‌ විය. මෛත්‍රිපාල සිරිසේන, ඩලස්‌ අලහප්පෙරුම ඇමැතිවරු සිය භාර්යාවන් සමග මෙම උත්සවයට පැමිණ සිටිනු පෙනිණි. පවිත්‍රා හා කංචන ජයරත්න ද එහි සිටියහ. බර්ටි ප්‍රේමලාල් ද සිටිනු පෙනිණි.

මේ මොහොතේ මෛත්‍රි අනෙකුත් මැති ඇමැතිවරු හා කතා කරන්නට වූයේ කැබිනට්‌ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැක්‌වූ තදබල අදහස්‌ පිළිබඳවය. ඇමැතිවරුන්ගේ විදේශගතවීම් වලට ජනාධිපතිවරයා දැක්‌වූ අදහස කියමින් විහිළු තහළු කරමින් ඇමැතිවරු ඉතා විනෝදයෙන් හා සැහැල්ලුවෙන් මෙහි කාලය ගත කරනු කාටත් දැකගත හැකිව තිබිණි.

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger