මහාචාර්ය නලින් ද සිල්වා
(July 06, Colombo, Sri Lanka Guardian) බලය බෙදීම යනු ඇති ප්‍රශ්නයකට ගෙනෙන දේශජ විසඳුමක් නොව නැති ප්‍රශ්නයකට ගෙනෙන විදේශීය (ඉන්දීය හා බටහිර) විසඳුමකි. අපට අවශ්‍ය වන්නේ ඇති ප්‍රශ්නය කුමක්‌දැයි තේරුම් ගෙන එයට දේශජ විසඳුමක් ගෙන ඒමටය. එහෙත් එයට පළමුව කළ යුතු දැ බොහෝ වෙයි. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් බලය බෙදන්නේ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයකට ඇති විසඳුම ඒ යෑයි ගනිමිනි. ජනවාර්ගික ප්‍රශ්නය ලෙස පඬියන් දකින්නේ දෙමළ ජනයාට සිදුවී ඇතැයි කියන ඊනියා අසාධාරණකම්ය. එහෙත් දෙමළ ජනයාට දෙමළ වීම නිසාම සිදුවී ඇති අසාධාරණකම් කවරේදැයි ප්‍රශ්න කළ විට පඬියන්ට දිය හැකි පිළිතුරක් නැත. පසුගියදා "දි අයිලන්ඩ්" පුවත්පතේ කර්තෘට ලිපියක් සැපයූ ආචාර්ය. එච්. එල්. සෙනෙවිරත්නට අනුව දෙමළ ජනයාට මෙරට තැනක් නැත. ඔවුහු මෙරට විගලිතව සිටිති. එනම් දේශපාලන බලයක් නොමැති ඔවුහු රටේ පාලන කටයුතුවලට සහභාගි නොවෙති. බලය බෙදන්නේ ඔවුන් දේශපාලන කටයුතුවලට මැදිහත්කරවීමටය. එහෙත් මෙහි දී ප්‍රශ්න කිහිපයක්‌ම ඇසිය හැකිය.
දහනවවැනි සියවසේ හා විසිවැනි සියවසේ මුල් කාර්තුවෙහි මෙරට පාලන බලයක් නැතිව සිටියෝ කවරහුද? එකල තිබුණේ ඉංගිරිසීන්ගේ අධිරාජ්‍යවාදී පාලනයක් බව සැබෑය. එහෙත් ඒ පාලනයෙහි වුව ද යම් ව්‍යවස්‌ථාදායක කටයුතුවලට සහභාගිවීමට හැකි පිරිසක් මෙරට වූහ. ඉන් ප්‍රධාන වූයේ ඉංග්‍රිරිසි කතා කරන දෙමළ ජනයාය. ඉන්පසු බර්ගර්වරු ද එයටත් පසුව ඉංගිරිසි උගත් සිංහලයෝ ද වූහ. මේ සියල්ලෝම ආගමින් කෙසේ වෙතත් සංස්‌කෘතියෙන් අංග්ලෝ සැක්‌සන් ක්‍රිස්‌තියානි වූහ. ඉංගිරිසි උගත් සිංහලයන් මේ බූරාවලියෙහි පළමු තැනට පැමිණීම ඇරඹුණේ 1931 ලංකාවට සර්වජන ඡන්දය ලැබීමෙන් පසුවය. බිරිතානීන්ගේ පැත්තෙන් බැලූ කල ඔවුන් කළ ප්‍රධානම වරද වූයේ ලංකාවට සර්වජන ඡන්දය ලබාදීමය.
බර්ගර්වරුන් ද විශේෂයෙන්ම ඉංගිරිසි උගත් දෙමළ ජනයා ද මධ්‍යයෙහි දේශපාලන වේදිකාවෙන් ක්‍රමයෙන් ඉවත්වූයේ ඉන්පසුවය. එසේ ඉවත්වීමට සිදුවූයේ එතෙක් දශක ගණනාවක් තිස්‌සේ ඔවුන් ගෙන ගිය සිංහල විරෝධී දෙමළ ජාතිවාදී දේශපාලනය හේතුකොටගෙනය. ඔවුන්ට විශේෂයෙන්ම ඉංගිරිසි උගත් දෙමළ ජනයාට අවශ්‍ය වී තිබුණේ මධ්‍යයෙහි (ව්‍යවස්‌ථාදායකයෙහි) සිංහල නායකයන් පරදවා ඉංගිරිසීන්ගේ සහායෙන් මුළු රටේ ම නායකයන් වීමටය. ඉංගිරිසීන් හා එක්‌ව ඔවුහු මෙරට සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමි තැන අහිමි කිරීමට කටයුතු කළහ. ඉංගිරිසි උගත් සිංහල නායකයන් බොහෝ දෙනකුට ද සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමි තැන දීමට අවශ්‍ය නොවීය. එහෙත් ඒ ඇතැමුන් ආගමික බෞද්ධයන් වීම නිසා සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ වෙනසක් නොපෙනිනි. එහෙත් ඒ ව්‍යාජයක් බව අද වන විට සාමාන්‍ය සිංහලයන්ගෙන් යම් ප්‍රමාණයකට අවබෝධ වී ඇත. ඉංගිරිසීහු ඉතා සටකපට ලෙස සංස්‌කෘතියෙන් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි වූවන් පිරිසක් සිංහලයන්ට නායකයන් ලෙස හඳුන්වා දීමට වගබලා ගත්හ. අනෙක් පැත්තෙන් ඔවුහු ඉංගිරිසි උගත් දෙමළ ජනයා සිංහලත්වයට එරෙහිව මෙහෙයවූහ.
එදත් අදත් ඉංග්‍රීසීහු සිංහල බෞද්ධ සංස්‌කෘතියට විරුද්ධ වෙති. ඇතැමුන් සිතන අයුරින් ඉංගිරිසීන් හා අනෙක් බටහිරයන් සිංහලයන්ට විරුද්ධ වන්නේ සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණයක් සිදුවී ඇති නිසාත් ඒ රටවල වාසය කරන දෙමළ ජනයාගේ ඡන්දය තමන්ට ලබා ගැනීම සඳහාත්ය. තවත් අයට අනුව බටහිරයන්ට ලංකාව යුද්ධය සම්බන්ධයෙන් ගත්කළ මර්මස්‌ථානයක් වෙයි. එමෙන්ම ඔවුන්ට අනුව ලංකාවේ ආර්ථික වශයෙන් වැදගත්වූ ස්‌වාභාවික සම්පත් ද දිගින් දිගටම තමන්ට නතුව තබා ගැනීමේ අවශ්‍යතාව බටහිරයන්ට වෙයි. බටහිරයන් ඊළමක් ඔස්‌සේ ඊනියා දෙමළ ප්‍රාන්තවලට රට බෙදා එමගින් මර්මස්‌ථාන හා ස්‌වාභාවික සම්පත් පාලනය කිරීමට උත්සාහ දරණ බව මේ දෙවැනි කොටස් නිගමනය වෙයි. පළමු මතය නිවැරැදි නොවන්නේ බටහිරයන් තම රටවල පමණක් නොව ලෝකයේම පවත්වාගෙන යන ආකාරයේ සංස්‌කෘතික ආධිපත්‍යයක් සිංහලයන් කිසිම දවසක දෙමළ හෝ වෙනත් ජනවර්ගයක් මත හෝ පටවා නොමැති බැවිනි. උතුරේ ලක්‍ෂ තුනක පමණ දෙමළ ජනකායක් දෛනිකව නඩත්තු කිරීම පහසු කාර්යක් නොවේ. ආණ්‌ඩුව මෙන්ම සිංහල ජනයාද ඒ කාර්යයටම මැදිහත් වෙති. ලෝකයේ කිසිම තැනක එවැනි කඳවුරු පවත්වා නොමැති බව අන් අයට වඩා හොඳින් බටහිරයෝ දනිති. එහෙත් ඔවුහු ඒ විවේචනය කරති.
දෙමළ ජාතිවාදීන් හා ඔවුන්ට සහාය දෙන බටහිර දේශපාලනඥයන් උගතුන් ඒ කඳවුරු නාසි කඳවුරු සමඟ සන්සන්දනය කරද්දී බටහිර ආණ්‌ඩු මුනිවත රකිමින් ඒ අනුමත කරයි. දෙමළ ජනයාට ලෝකයේම වඩාත්ම වරප්‍රසාද ඇති රට ලංකාවය. තමිල්නාඩුවේවත් නැති අන්දමින් ලංකාවේ දෙමළ මාධ්‍යයෙන් ආචාර්ය උපාධියක් පවා ලබාගත හැකිය. කොළඹ කොටුව දුම්රියපොළේ දෙමළෙන් නිවේදනය කළ ද දිල්ලියේ දුම්රියපොළක එසේ නොකෙරෙයි. ජාත්‍යන්තර ගුවන් සේවයක දෙමළ යොදා ගැනෙන්නේ ලංකාවේ මිස ඉන්දියාවේ නොවේ. සිංහලයන්ට විරුද්ධව සටන් කළ කරුණා අම්මාන් වැන්නකුට ඇමැති පදවියක් ලබාදී ඇති රටක දෙමළ ජනයා අද කොන්වී ඇතැයි කියන්නේ කෙසේද? බටහිර රටවල දෙමළ ජනයාගේ ඡන්දය බලාපොරොත්තුවෙන් බටහිරයන් සිංහලයන්ට විරුද්ධ වන්නේ යෑයි කීම ළාමක ප්‍රතිචාරයක් පමණකි. කෝටි ගණන් වෙසෙන රටවල්වල ලක්‍ෂ තුන හතරක් යනු නොගිණිය හැකි ප්‍රමාණයකි.
මර්මස්‌ථාන හා ස්‌වභාවික සම්පත් ගැන දොඩවන්නෝ තවමත් දහනවවැනි සියවසේ ජීවත්වෙති. මාක්‌ස්‌වාදී මුල් පොතපත නොකියවා අතනින් මෙතනින් අහුලාගත් ආර්ථිකවාදී ප්‍රවාද ඇසුරෙන් ඔවුහු මේ කතා කියති. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ පළමු භාගයේ ධනපති ක්‍රමය වර්ධනය වෙද්දී මර්මස්‌ථාන ස්‌වාභාවික සම්පත් ආදී කතා වලංගු වූ නමුත් අද බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය සිය පැවැත්ම සඳහා කටයුතු කරද්දී ඒ කතා වලංගු නොවේ. අද ඇති තාක්‌ෂණය සමඟ මර්මස්‌ථානවලට තිබුණු තැන නැතිවී ඇත. ලංකාවේ ඇති ස්‌වභාවික සම්පත් ලබා ගැනීමට බටහිරයන්ට වෙනම රාජ්‍යයක් හෝ සන්ධීය රාජ්‍යයක් හෝ අවශ්‍ය නොවේ. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ පැවැත්මට ප්‍රධාන වශයෙන් තර්ජන එල්ලවන්නේ ඉස්‌ලාම් දේශපාලනයෙන් හා චීන ආර්ථිකයෙනි. තුන්වැනුව සිංහල බෞද්ධ සංස්‌කෘතියෙනි. බටහිරයෝ මෙරට මෙන්ම පිටරට ද දැනුම තම අවශ්‍යතා අනුව පමණක් තම සංස්‌කෘතියට අවශෝෂණය කර යොදා ගැනීමට අදහස් කරති. ඒ අතර තම පැවැත්ම වෙනුවෙන් මුස්‌ලිමුන්ට, චීනුන්ට හා සිංහලයන්ට එරෙහිව කටයුතු කරති. දහනවවැනි සියවසේ වුව ද බිරිතානීහු දැනුවත්ව ම සිංහල බෞද්ධ සංස්‌කෘතියට එරෙහිව ඒ නැතිකිරීමට හෝ දුර්වල කිරීමට හෝ කටයුතු කළහ. සිංහලත්වයට එරෙහිව ඉංගිරිසි උගත් දෙමළ ජනයා මෙහෙයවූ බිරිතානීහු පසුව චෙල්වනායගම් යටතේ ඉංගිරිසි නූගත් දෙමළ ජනයා සිංහල විරෝධී ව්‍යාපාරයට එකතු කිරීමට අනුග්‍රහය දැක්‌වූහ. ඉන්පසුව ඔවුහු මුදලින් හා ප්‍රචාරයෙන් ප්‍රභාකරන් පෝෂණය කළහ. අද ප්‍රභාකරන් වීරෝදාර හමුදා විසින් ඝාතනය කෙරී ඇති අතර ඉංගිරිසි නූගත් දෙමළ ජනයා සිංහලයන් සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට පෙළඹෙති. සිංහලයෝද ඒ දෙමළ ජනයාට හැකි පමණින් ආධාර කරති. අද අවශ්‍ය වී ඇත්තේ අවුරුදු දෙදහසකට වඩා පැරණි සිංහල ජාතියට දෙමළ, මුස්‌ලිම් හා අනෙක් ජනවර්ග එකතුකර ගැනීමය.
ශිෂ්‍ය ව්‍යාපාරයේ කර උඩින් ගොස් පසුව ඇමැතිවරුන් වූ ඊනියා ලිබරල් මහාචාර්යවරුන්ට කුලියට වැඩකර, අද වෙනත් ඇමැතිවරු පසු පස ගොස් පඬියන් සේ වැජඹීමට තැත්කරන්නන්ට ජාතිය හා ජනවර්ගය ආදිය ගැන වැටහීමක් නැත. බිරිතානීන් තැත්කෙළේ මෙරට ජාතීන් දෙකක් වසන බව ඒත්තු ගැන්වීමටය. අර පඬියෝ ද දෙමළ ජාතිවාදීහු ද ඒ පිළිගනිති. අවසානයේදී ප්‍රභාකරන්ගේ තිම්පු කොන්දේසි පදනම් වූයේද දෙමළ යනු වෙනම ජාතියක් ය යන්න මතය. මාක්‌ස්‌වාදීන්ට ජාතිය ගැන මෙළෝ හසරක දැනුමක් නැති බව අපි කියා ඇත්තේද අද ඊයේ නොවේ. ලිබරල්වාදීන්ට ද පොදුවේ බටහිර උගතුන්ට ද ජාතිය යන්න ජාතික රාජ්‍යය යන්න සමඟ තේරුම්ගත යුතු සංකල්පයකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ජාතියක් ගොඩනැගූ සිංහලයන්ට වඩා හොඳින් ජාතිය යන්න තේරුම් ගත හැක්‌කේ කාහටද? මෙරට ඇත්තේ එක් ජාතියක් පමණක් බවත්, අනෙක් ජනයා ජනවර්ගවලට අයත් බවත් අපි සංකල්පීය නිරවුල් බවක් සහිතව කියමු. අද ජාතිය ගොඩනැඟීමක් ගැන කතා අවශ්‍ය නොවේ. එයට හේතුව දැනටමත් ජාතියක් තීබිමය.
අද කතා කළ යුත්තේ ජාතියක් ගොඩනැඟීමට නොව ජනවර්ග ද එකතුකර ජාතිය පළල්කිරීමටය. එහිදී ජනවර්ග පදනමක් මත බලය බෙදීමක් අවශ්‍ය නොවේ. එසේ කිරීමෙන් සිදුවන්නේ ජාතිය පළල් කිරීමක් නොව ජාතිය හා ජනවර්ග දුරස්‌ථවීමය. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පවත්නා ආකාරයෙන් තබාගෙන ජාතිය පළල්කළ හැකි නොවේ. එපමණක් නොවේ. ඒ පදනම් වූ ඉන්දු ලංකා ගිවිසුම අහෝසිකිරීමටද ලංකාණ්‌ඩුව ඉන්දීය ආණ්‌ඩුව සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතුය. අද පවතින්නේ එදා පැවැති සන්දර්භය නොවේ අද කොටි පරාජය කෙරී ඇති අතර ඊනියා නිජබිමි කතා සංකල්පීයව පරාජය කෙරී ඇත. ප්‍රභාකරන් පමණක් නොව ඡේ, ආර්, රජීව් ගාන්ධි ඩික්‌සිත් ගාමිණී දිසානායක ආදී ද ජීවතුන් අතර නැත. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධ කරුණකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය මට දශක දෙකකට අධික කාලයක් තිස්‌සේ අප ඉදිරිපත් කළ මත සනාථ වීම ගැන ඇත්තේ සතුටකි. අවශ්‍ය වන්නේ බලය බෙදීමක් නොව පඬු අබා විසඳුමක් යෑයි නැවතත් කියමු.
Home »
» දේශජ විසඳුම පඬු අබා විසඳුමකි
Post a Comment