Home » » පූර්ණ බලතල ඇති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියෙක්‌ අවශ්‍ය ඇයි ?

පූර්ණ බලතල ඇති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියෙක්‌ අවශ්‍ය ඇයි ?

Written By Sri Lanka Guardian on Friday, July 10, 2009 | 9:46 AM

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

(July 10, Colombo, Sri Lanka Guardian) ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුර පිළිබඳ විපක්‍ෂය තුළ පවතිනුයේ බලවත් නොසන්සුන්තාවකි.

ආරක්‍ෂක හමුදාවෝ ලබාදුන් ඓතිහාසික යුද විජයග්‍රහණය හේතුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජයට හිමි වූ කීර්තිය ඉවසා දරාගත නොහැකි වීමේ දේශපාලන කුහකත්වය ප්‍රදර්ශනය කරමින් විපක්‍ෂය ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුරට අදාළ බලතල සහ වගකීම් පිළිබඳ තර්ක විතර්ක විවේචන ගෙනහැරපාමින් ආරක්‍ෂක හමුදාවෝ හෑල්ලුවට ලක්‌ කිරීමක නිරතව සිටිති.


මීළඟ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුරට යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා පත්කිරීමට නියමිතව ඇත.

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා සතුව මෙතෙක්‌ නොතිබූ බලතල සහ කාර්යභාරයන් ඇතුළත් කොට, එය පාර්ලිමේන්තු පනතකින් සම්මත වූ ප්‍රබල තනතුරක්‌ ලෙස පිහිටුවා මින් ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

ජනරාල් රොහාන් දළුවත්ත, ජනරාල් ලයනල් බලගල්ල, අද්මිරාල් දයා සඳගිරි යන හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීන් සහ වත්මන් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා සතුව බලතල කිසිවක්‌ නොතිබූ අතර එය හුදෙක්‌ ගරු කටයුතු තනතුරක්‌ පමණක්‌ විය.

නමුත් දැන් එම තත්ත්වය වෙනස්‌ වී ඇත. යුද්ධය නිමාවී ඇති බැවින් සන්නද්ධ හමුදා සතුව එතරම් වැදගත් කාර්ය භාරයක්‌ නොමැති බව පවසමින් සන්නද්ධ හමුදාවන්හි පිරිස්‌ බලය වර්ධනය කිරීමක්‌ අවශ්‍ය නැතැයි ඇතැමුන් පෙන්වා දෙති.

සන්නද්ධ හමුදා සෙබළුන් වගා සංග්‍රාමයකට යොදවා ඔවුන් ගොවි හමුදාවක තත්ත්වයකට පත්කරවීමේ උත්සාහයක ද ඇතැම්හු නිරතව සිටිති.

යුද්ධය නිමාවුවද සන්නද්ධ හමුදා සතු කාර්ය භාරයන්හි කිසිදු අඩුවක්‌ නොවන බවත්, ඒවායෙහි පිරිස්‌ බලය, අවි බලය, තාක්‍ෂණික පහසුකම් ආදිය තව තවත් වර්ධනය කළ යුතුව ඇති බවත් රජයේ ආරක්‍ෂක මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිවරයා පසුගියදා අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාවට ප්‍රබල ආරක්‍ෂක හමුදාවක්‌ තිබිය යුතු අතර මෙම වසරේදී ත්‍රිවිධ හමුදා පිරිස්‌ බලය තවදුරටත් වර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇති බව ද ඔහු කියා සිටියේය.

ඒ අනුව ත්‍රිවිධ හමුදා සඳහා 50,000 ක පිරිසක්‌ බඳවා ගැනීම සිදුකරගෙන යන බව පැවැසූ රඹුක්‌වැල්ල මහතා දූපත් රටක්‌ වන ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව පිළිබඳ නාවික හමුදාව සතුව විශාල වගකීමක්‌ පවතින බැවින් නාවික හමුදාව තවදුරටත් ශක්‌තිමත් කිරීමට අවශ්‍යව ඇතැයි ද අවධාරණය කළේය.

ඒ අනුව බලන විට රජය ආරක්‍ෂක හමුදා වෙත දක්‌වන ප්‍රමුඛතාව සහ අනුග්‍රහය යුද්ධය අවසන් වූ පමණින් අඩු වී නැති බව පැහැදිලිවම පෙනී යයි. සන්නද්ධ හමුදා සහ ආරක්‍ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා වගකිවයුතු පූර්ණ බලතල සහිත ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියකු පත්කිරීමට රජය ගනු ලබන ක්‍රියාමාර්ගය තුළින් එය වඩාත් තහවුරු වනු ඇත.

ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව ආරක්‍ෂක මාණ්‌ඩලික තනතුර පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ ලබාගැනීම සඳහා ඊට අදාළ පාර්ලිමේන්තු පනත මෙවර "ආරක්‍ෂක විවරණය" තුළින් ඉදිරිපත් කිරීමට අදහස්‌ කළෙමු.

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී

සන්නද්ධ හමුදා හා ආරක්‍ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා වගකිවයුතු වූද ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී විය යුතු වූද තැනැත්තකු පත්කිරීම සඳහාද, ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීගේ කර්තව්‍ය සඳහා විධිවිධාන සැලැස්‌වීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුශංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්‌වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ(-

1. (1) මේ පනත 2009 අංක දරන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 1 වන වගන්තියේ විධිවිධාන හැර මේ පනතේ අනිකුත් විධිවිධාන ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලබන දිනයක හෝ දිනයන්හිදී බලාත්මක වන්නේය.

(2) මේ පනත පාර්ලිමේන්තු පනතක්‌ වශයෙන් සහතික කරනු ලබන දිනයක සිට මේ වගන්තියේ විධිවිධාන බලාත්මක වන්නේය.

(3) මේ පනතේ විධිවිධාන හෝ කොටස්‌ බලාත්මක වීමේ දින වශයෙන් විවිධ දිනයන් නියම කරනු ලැබිය හැකිය.

1 වන කොටස

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී පත්කිරීම

2.(1) ජනාධිපතිවරයා විසින් අවස්‌ථාවෝචිත පරිදි වර්තමාන යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා හෝ ගුවන් හමුදාපතිවරයා අතරින් එක්‌ නිලධරයකු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස පත්කරනු ලැබිය යුතුය.

(2) ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී (මෙහි මින් මතු "ලේකම්වරයා" යනුවෙන් සඳහන් කරනු ලබන) ආරක්‍ෂක විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ විධානය, අධීක්‍ෂණය සහ පාලනය යටතේ ක්‍රියා කළ යුතුය.

(3) අවස්‌ථාවෝචිත පරිදි යුද හමුදාපතිවරයා නාවික හමුදාපතිවරයා හෝ ගුවන් හමුදාපතිවරයා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස පත්කරනු ලැබූ අවස්‌ථාවකදී එසේ පත්කරනු ලැබීමෙන් පසුව ඔහු විසින් අවස්‌ථාවෝචිත පරිදි තමාගේ යුද හමුදාපති, නාවික හමුදාපති හෝ ගුවන් හමුදාපති තත්ත්වය අත්හරිනු ලැබිය යුතුය.

එසේ වුවද (357) වන අධිකාරය වූ) නාවික හමුදා පනතේ සහ (359 වන අධිකාරය වූ) ගුවන් හමුදා පනතේ පටහැනිව කුමක්‌ සඳහන් වුවද, ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස පත් වූ තැනැත්තා එම ධුරය දරන තාක්‌ (1) වන උපවගන්තිය යටතේ එම ධුරයට පත් වූ දිනයේදී ඔහු අයත් වූ නිත්‍ය හමුදා සේවයෙහි සාමාජිකයකු වශයෙන් වූ තත්ත්වය අඛණ්‌ඩව දැරිය යුතුය.

එසේම තවදුරටත්, අවස්‌ථාවෝචිත පරිදි, යුද හමුදාපතිවරයා හෝ නාවික හමුදාපතිවරයා හෝ ගුවන් හමුදාපතිවරයා වශයෙන් ස්‌වකීය තත්ත්වය ඒ නිලධරයා විසින් අත්හරිනු ලැබූ විට (357 වන අධිකාරිය වූ) යුද හමුදා පනතේ, (358 වන අධිකාරය වූ නාවික හමුදා පනතේ සහ (359) වන අධිකාරය වූ) ගුවන් හමුදා පනතේ කුමක්‌ සඳහන් වුවද එය නොතකා, ඒ පත්වීමට පෙරාතුව ඔහු අයත් වූ නිත්‍ය හමුදා සේවයේ අනුරූප සේවාවේ සාමාජිකයකු වශයෙන් එසේ පත්කරනු ලැබූ ඒ නිලධරයා අඛණ්‌ඩව සිටින බවට සලකනු ලැබිය යුතුය.

(4) ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී විසින් තමා එසේ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ධුරයේ සේවය කරන අතරතුරදී, යුද හමුදා නිලධරයකු සම්බන්ධයෙන් වන විට ජෙනරාල්වරයකුගේ තත්ත්වය ද නාවික හමුදා නිලධරයකු සම්බන්ධයෙන් වන විට අද්මිරාල් තත්ත්වය ද, ගුවන් හමුදා නිලධරයකු සම්බන්ධයෙන් වන විට එයාර් චීෆ් මාෂල් තත්ත්වය ද දරන්නේය.

3. (1) ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී විසින් ජනාධිපතිවරයාගේ කැමැත්තට යටත්ව අවුරුදු දෙකක කාලසීමාවක්‌ සඳහා ධුරය දැරිය යුතුය.

(2) ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස සේවය කරන නිලධරයකු තවත් වසර දෙකක එක්‌ සේවා කාලයක්‌ සඳහා එවැනිම ආකාරයට නැවත පත්වීමට සුදුස්‌සකු වන්නේය.

එසේ වුවද, පොදු හදිසි අවස්‌ථාවකදී ජනාධිපතිවරයා විසින් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස සේවය කරමින් සිsටින නිලධරයා තවත් ධුර කාල යම් ගණනාවක්‌ සඳහා නැවත පත් කරනු ලැබිය හැකිය.

(3) ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ධුරය දරන තැනැත්තා විසින් තමාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ඕනෑම අවස්‌ථාවක තත් කාර්යය සඳහා ජනාධිපතිවරයා අමතා යවනු ලබන ලිපියක්‌ මගින් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස්‌වීම භාරදෙනු ලැබිය හැකිය.

(4) (3) වන උපවගන්තියේ විධිවිධානවල කුමක්‌ සඳහන් වුවද තම ඉල්ලා අස්‌වීම භාරදෙනු ලබන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී වෙත, ජනාධිපතිවරයා විසින් ලිතව එකී ඉල්ලා අස්‌වීම භාරගත් බවට නිවේදනයක්‌ කරනු ලබන තෙක්‌, ඔහුගේ ධුරයේ කාර්යවලින් ඔහු නිදහස්‌ නොවිය යුතුය.

(5) මියයැම, විශ්‍රාමයැම, ඉල්ලා අස්‌වීම හෝ ධුරයෙන් ඉවත් කිරීම නිසා ධුර කාලය ඉකුත් වීමට පෙරාතුව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ධුරය හිස්‌ කරනු ලබන අවස්‌ථාවකදී, ජනාධිපතිවරයා විසින් මේ වගන්තියේ විධිවිධාන සැලකිල්ලට ගෙන ඒ ධුරය සඳහා වෙනත් නිලධරයකු පත්කරනු ලැබිය යුතුය.

(6) (5) වන උපවගන්තිය යටතේ එසේ පත්කරනු ලැබූ නිලධරයා, තමා අනුප්‍රාප්ත වන එකී නිශ්චිත ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීගේ ඉතිරි ධුර කාලය සඳහා ධුරය දැරිය යුතුය.

(7) මියයැම, විශ්‍රාම යැම, ඉල්ලා අස්‌වීම, අශක්‌නුතාව හෝ ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩුවක්‌ පවතින අවස්‌ථාවකදී ජනාධිපතිවරයා විසින් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී කමිටුවේ සාමාජිකයන් අතරින් එක්‌ අයකු අවස්‌ථාවෝචිත පරිදි යුද හමුදාපතිවරයාගේ, නාවික හමුදාපතිවරයාගේ හෝ ගුවන් හමුදාපතිවරයාගේ ධුරයෙහි කර්තව්‍යවලට අමතරව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීගේ ධුරයෙහි කාර්ය සහ කර්තව්‍ය තාවකාලිකව ඉටුකිරීම සඳහා අනුප්‍රාප්තිකයා පත් කරනු ලබන තෙක්‌ හෝ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී සේවයට නොපැමිණි අවස්‌ථාවකදී හෝ තාවකාලික අශක්‌නුතාවකට පත්වී ඇති අවස්‌ථාවක ඔහු ධුරය දැරීම සඳහා ආපසු පැමිණෙන තෙක්‌ හෝ අශක්‌නුතාව අවසන් වනතෙක්‌ නම් කරනු ලැබිය හැකිය.

(8) (7) වන උපවගන්තියේ විධිවිධාන පනතේ එසේ නම් කරන ලද ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී කමිටුවේ සාමාජිකයකු අවස්‌ථාවෝචිත පරිදි අනුප්‍රාප්තිකයකු නම් කරනු ලබන තෙක්‌ හෝ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ධුරයට නැවත වාර්තා කරනු ලබනු තෙක්‌ හෝ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීගේ ධුරයෙහි කාර්ය සහ කර්තව්‍යය ඉටුකළ යුතුය.

4. ජනාධිපතිවරයා විසින් ඕනෑම අවස්‌ථාවකදී ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටලු සැලකිල්ලට ගෙන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ඒ සඳහා හේතු දැක්‌වීමකින් තොරව ධුරයෙන් ඉවත් කරනු ලැබිය හැකිය.

5. ලේකම්වරයාගේ අධිකාරයට, විධානයට, පාලනයට සහ අධීක්‍ෂණයට යටත්ව පහත දැක්‌වෙන කර්තව්‍ය ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී විසින් කළ යුතුය.

(අ) සන්නද්ධ හමුදාවලට ක්‍රමෝපාය පිළිබඳ විධාන සැපයීම සඳහා අමාත්‍යවරයාට සහාය වීමá

(ආ) සන්නද්ධ හමුදාවල ඒකාබද්ධ සේවා නියුක්‌තිය සඳහා වූ න්‍යායක්‌ වර්ධනය කිරීමá

(ඇ) සන්නද්ධ හමුදාවල ක්‍රමෝපාය සැලසුම් සකස්‌ කිරීම සඳහා පහසුකම් සැලැස්‌වීමá

(ඈ) සන්නද්ධ හමුදා අතර බුද්ධිමය අංශයට අදාළ කර්තව්‍යයන් සම්බන්ධයෙන් වූ කාරණා සම්බන්ධීකරණය කිරීමá

(ඉ) සන්නද්ධ හමුදාවල ඉදිරි ප්‍රතිවාදීන් සමඟ සංසන්දනය කිරීමේදී ඔවුන්ගේ ශක්‍යතාවය නිශ්චය කිරීම සඳහා වූ තක්‌සේරු කිරීම් භාරගැනීමá

(ඊ) සන්නද්ධ හමුදා මෙහෙයුම්වල සැලසුම් සකස්‌ කිරීමට පහසුකම් සැලසීම සහ සන්නද්ධ හමුදා අතරේ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීමá

(උ) සන්නද්ධ හමුදාවලට අදාළ අහඹු සැලසුම් සකස්‌ කිරීම සහ සමාලෝචනය කිරීම.

(ඌ) තීරණාත්මක ඌණතා සහ ශක්‌තීන් පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස්‌ දීම සහ

(ෂ) ජාතික ආරක්‍ෂක අරමුණු කරා ළඟාවීමේදී සහ

(ෂෂ) ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන බවට වග බලාගැනීමේදී,

එවැනි ඌණතා සහ ශක්‌තීන්වල බලපෑම තක්‌සේරු කිරීමá

(එ) ක්‍රමෝපාය සැලසුම්වලට අදාළව මුදල් වර්ෂයක්‌ සඳහා සන්නද්ධ හමුදාවල වැඩසටහන්, නිර්දේශ හා අයවැය යෝජනා පිළිගත් ප්‍රමුඛ කරුණුවලට කොතෙක්‌ දුරට අනුකූල වන්නේද යන්න පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස්‌ දීම,

(ඒ) මිනිස්‌ බලය උපකරණවලට අදාළව, සන්නද්ධ හමුදාවල මහා පරිමාණ වැඩසටහන් හා ප්‍රතිපත්ති කොතෙක්‌ දුරට ක්‍රමෝපාය සැලසුම්වලට අනුකූල වන්නේද යන්න පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස්‌ දීමá

(ඔ) යෝජිත ආරක්‍ෂක ප්‍රසම්පාදන සැලසුම්වලට එරෙහිව යුදමය අවශ්‍යතාවයන් තක්‌සේරු කිරීම සහ ඒ අනුව අමාත්‍යවරයාට උපදෙස්‌ දීමá

(ඕ) සන්නද්ධ හමුදාවල ඒකාබද්ධ පුහුණුවීම් සඳහා ප්‍රතිපත්ති සැලසුම් කිරීමá

(ක) සන්නද්ධ හමුදා විසින්සාමසාධක මෙහෙයුම් කිරීම සඳහා ප්‍රතිපත්ති සකස්‌ කිරීම සහ

(ග) ඉහත සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා නියම කරනු ලබන හෝ අවශ්‍ය කරන වෙනත් සියලු දේ කිරීම.

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී කමිටුව

6 (1) (මෙහි මින් මතු "කමිටුව" යනුවෙන් සඳහන් කරනු ලබන) ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී කමිටුවක්‌ මේ පනතේ කාර්ය සඳහා ආරක්‍ෂක විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය තුළ පිහිටුවනු ලැබිය යුතුය.

(2) ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී කමිටුව

(අ) සභාපතිවරයා විය යුතු 2 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීන්ගෙන්

(ආ) යුද හමුදාපතිවරයාගෙන්

(ඇ) නාවික හමුදාපතිවරයාගෙන් සහ

(ඈ) ගුවන් හමුදාපතිවරයාගෙන් සමන්විත විය යුතුය.

7. (1) යුදමය කාරණාවලට අදාළව අමාත්‍යාංශය සහ සන්නද්ධ හමුදා අතර සියලු කාරණා ක්‍රියාත්මක කිරීම සඳහා සභාපතිවරයා විසින් පහසුකම් සැලැස්‌විය යුතුය.

(2) ලේකම්වරයාගේ විධානය සහ අධීක්‍ෂණයට යටත්ව සභාපතිවරයා විසින් යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා සහ ගුවන් හමුදාපතිවරයා විමසා (1) වන උපවගන්තිය යටතේ පැන නගින කර්තව්‍යය ඉටුකළ යුතුය.

(3) සභාපතිවරයා විසින් යම් කාරණයක්‌ සම්බන්ධයෙන් ස්‌වකීය කර්තව්‍ය කරගෙන යැමේදී ඒ කාරණය සම්බන්ධයෙන් ඔහු විසින් සුදුසු යයි සලකන යුදමය උපදෙස්‌ සහ අදහස්‌වල පරාසයන් සැලකිල්ලට භාජනය කළ යුතුය.

ඉහත පනතෙහි අඩංගු විධිවිධාන සහ කරුණු සලකා බැලීමේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය නායක සහ සේනාධිනායක වශයෙන් එඩිතර සහ නිවැරැදි දේශපාලන නායකත්වයක්‌ දෙමින් කොටි ත්‍රස්‌තවාදයෙන් රට බේරා ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ගවලට නොදෙවැනි ප්‍රමුඛත්වයක්‌ ජාතික ආරක්‍ෂාව තවදුරටත් තහවුරු කිරීමට සහ ආරක්‍ෂක හමුදාවන්හි ශක්‌තිය වර්ධනය කිරීමට දී තිබෙන බව පෙනී යනු ඇත.

යුද්දෙට නැති කඩුව කොස්‌ කොටන්නදැයි අසමින් දැන් යුද්ධය අවසන් නිසා හමුදා සෙබළුන් කුඹුරු කොටන්න යෑවිය යුතු යෑයි කෑ ගසමින් රණවිරුවන්ට අපහාස කරන දේශෙද්‍රdaහීන්ට සහ දේශපාලන කුහකයන්ට යුද්ධයක්‌ ඇතත් නැතත් රටක ආරක්‍ෂක හමුදාවෝ වඩාත් ශක්‌තිමත්ව තිබිය යුතු බව වටහා ගැනීම කාලය පැමිණ ඇත.

එසේ නොවුණහොත් එය මව්බිම නාමයෙන් දිවි පිදූ දහස්‌ ගණනක්‌ වන අභීත රණවිරුවන් ප්‍රමුඛ සියලුම රණවිරුවන් හට කෙරෙන ෙද්‍රdaහිකමක්‌ වනු ඇත.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger