Home » » කතරගම දෙයියං පල්ලා මං එහෙම චරිතයක්‌

කතරගම දෙයියං පල්ලා මං එහෙම චරිතයක්‌

Written By Sri Lanka Guardian on Sunday, July 19, 2009 | 12:00 AM

කම්කරු අමාත්‍යල ආචාර්ය මර්වින් සිල්වා

(July 19, Colombo, Sri Lanka Guardian) පෙරළිකාර කතාබහට ලක්‌වන දේශපාලන චරිතයක්‌ සමග සිදු කරන ලද මෙම සාකච්ඡාව තුළ දේශපාලනය ඇත්තේ කොයි ලෙසින් දැයි පැහැදිලිවම නොපෙනේ. අමාත්‍යවරයකු ලෙස ඔහුගේ කාර්යභාරය, සමකාලීන දේශපාලන සංසිද්ධි පිළිබඳව ඔහුගේ මත අසනවා වෙනුවට ඔහු දේශපාලන පිටියේ සිදු කරන මතභේදාත්මක සිද්ධි පිළිබඳව අප ඔහුගෙන් විමසුවෙමු. අපට පිළිගන්වන ලද උණුසුම් තේ කෝප්පයේ සිට සමහර ප්‍රශ්න අසන විට ඔහුගේ පිළිතුරු උණුසුම් වුවද සියල්ල අවසානයේ ඔහු තම ළබැඳි සිනහවෙන් අපට සමු දුන්නේය. "දිවයින" ඉරිදා සංග්‍රහයේ දේශපාලන සාකච්ඡාවට මෙවර එක්‌ වනුයේ කම්කරු අමාත්‍ය මර්වින් සිල්වා මහතාය.

ප්‍රශ්නය(- මේ දවස්‌වල ඔබගේ ග්‍රහචාරය කොහොමද?

පිළිතුර(-
මට කිසිම හංගන්න දෙයක්‌ නැහැ. මම විවෘතව කතා කරන කෙනෙක්‌ එනිසා මම ඔබට මේ ටික කියන්නම්. මම කුම්භ ලග්නයේ කෙනෙක්‌. මේ දවස්‌වල මට ටිකක්‌ අපලයි කියලා, ජ්‍යෙdතිෂඥයෝ කියනවා. නමුත් අපලයක්‌ තියෙනවා කිව්වට අපලයත් එක්‌ක බුදියන කෙනෙක්‌ නෙමෙයි මම. ග්‍රහ තාරකාවන්ට මනුෂ්‍යයාගේ පැවැත්ම වෙනස්‌ කරන්න, ඇත්තෙන්ම පුළුවන්. නමුත් අපේ සිත ශක්‌තිමත් නම්. අපි ධර්මානුකූලව ජීවත් වෙනවා නම්, සුළි සුළඟක්‌ නවත්වලා, පොඩි හුළඟක්‌ වදින්න පුළුවන්. මම උදේ හවස බුදුන් වඳින කෙනෙක්‌ හැටියට මගේ ගෙදර ධාතුන් වහන්සේලාත් වැඩ ඉන්නවා. මම ඇත්ත වශයෙන්ම මේ ටික කියනවා මේක මම ප්‍රසිද්ධියේ කියන්නේ අද. මට තියෙන අපලවලට වඩා මම සැලකිලිමත් වෙන්නේ රටට තියන අපල ගැන. ඒ. සඳහා මම පසුගිය කාලයේ විශාල වැඩකොටසක්‌ කළා. අපේ රටට තිබුණ අපලයක්‌ නැතිකරන්න පසුගිය දිනවල ඉන්දියාවෙන් විෂ්ණු ප්‍රතිමාවක්‌ ගෙනෙන්න මම මූලික වුණා.

ප්‍රශ්නය(- ඔබ මේ කටයුත්තට මුල් වුණේ කොහොමද?

පිළිතුර(
- එදා භාරතයේ රාම කුමාරයා, රජතුමා ලෙස ඔටුනු පළඳවන උත්සවය තිබුණා. ඒ සඳහා ලංකාවෙන් සහභාගි වුණේ විභීෂණ රජතුමා. ඒ උත්සවයේදී රාම රජතුමා, අපේ රජතුමාට විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක්‌ තෑගි කළා. විභීෂණ රජතුමා ඒක අරගෙන ලංකාවට එන ගමන් කාවේරි නදියට ගියා. ඒ ගියේ අර පිළිමය පැත්තකින් තියලයි. වැඩේ ඉවර වෙලා විභීෂණ විෂ්ණුගේ පිළිමය අරගන්න ගියාම ඒක එතැනින් හොල්ලන්න බැහැ. ඒ නිසා ඒක එතනම තිබුණා. වසර දහස්‌ ගණනක්‌ ඒක එහෙම්මම තිබුණා. නමුත් ඒකට ගෙඩිගෙයක්‌ ඉදිකළේ නැහැ. ගෙඩි ගෙයක්‌ ඒ පිළිමයට ඉදිකළොත්, ඒක ලංකාවට අපලයක්‌ ලබනවා කියලා කතාවක්‌ තිබුණා. එම්. ජී. ආර්. මේ පිළිමයට ගෙඩිගෙයක්‌ ඉදිකළා. අවුරුදු තිහකට ඉස්‌සර. එදා ඉඳන් ලංකාවට ප්‍රශ්න. යුද්ධය ආවේ ඒකෙන් පස්‌සේ. ඉතින් ඒ අපලය ගෙවන්න නම් ලංකාවේ විෂ්ණු පිළිමයක්‌ හැදිය යුතු බවට ජොතිෂඥයෝ කිව්වා. මේ පිළිමය හදන්න සිරිමාවෝ මැතිනිය, චන්ද්‍රිකා මැතිනිය හැමෝම උත්සාහ කළා. නමුත් ඒක පාලකයෙක්‌ ඉදිකරනවා නම් එතුමා පිංවත්. ධාර්මික කෙනෙක්‌ විය යුතුව තිබුණා. ජනාධිපතිතුමා මේ පිළිමය හදන්න කියලා කිහිප දෙනකුට කියලා තිබුණා. ඒ අයට ඒක කරගන්න බැරිවුණා. මට එතුමා අඬගහලා මේ කටයුත්ත බාර දුන්නා. මම ඒක ගෞරවයෙන් බාර ගත්තා. මම දැනගෙන හිටියා අපේ ජනාධිපතිතුමා පිංවත් උත්තමයෙක්‌ කියලා. කොසොල් රජතුමාට වාසනාව තිබුණා බුදුහාමුදුරුවෝ ජීවත්වෙන කාලයේ රජවෙන්න. ඒක අනික්‌ රජවරුන්ට තිබුණේ නැහැනේ. මේකත් එහෙමයි. මම ඊට පස්‌සේ මහන්සිවෙලා නැකත් හදලා, පොලොව යටින් කළු ගලක්‌ අරගෙන මේ පිළිමේ හැදෙව්වා. හදලා ලංකාවට ගෙනාවා. ඒක ගේන දවසේ තමයි චෙන්නායි සුළි සුළඟ ආවේ. ඒක නැවට පටවන දවසේ තමයි, බොම්බායට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල වුණේ. ඒ පිළිමය කැලණිය ප්‍රාදේශීය සභාව ඉස්‌සරහ ඉඩමේ තැන්පත් කරලා, ඉන්දියාවෙන් ආපු සාමි පොල් ගෙඩිය ගැහැව්වාම, ඒකේ වතුර ටික වැටුනේ ලංකාවේ හැඩයට. ඒ පිළිමෙ වැදගත් පුද්ගලයෙකුට බලන්න ඕනේ වෙලා. ඒකරැ නාවන වෙලාවේ තමයි කොටින්ගේ හෙළිකොප්ටර් දෙක බිම දැම්මේ.

ප්‍රශ්නය(- එතකොට මේ යුද්ධය දිනන්න ඔබ රැගෙන ආපු පිළිමය වැදගත් වුණා.

පිළිතුර(
- අපේ රටට වසර 30 ක්‌ තිබ්බ අපලය අවසන් කරන්න කරපු දෙයක්‌ ඒක. මම නම් හැමදාම ප්‍රභාකරන්ට විරුද්ධව විවෘතව කථා කළා. ප්‍රභාකරන් මරන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවේදී කිව්වේ මම විතරයි. මම හොඳ සිංහල බෞද්ධයෙක්‌. ඒ සිංහලකම මට තියෙනවා. මේ යුද්ධය කරන්න ජනාධිපතිතුමා, ආරක්‌ෂක ලේකම්තුමා ඇතුළු හමුදා ප්‍රධානීන් හැරුනුකොට විශාල මෙහෙවරක්‌ ඉටුකළේ "දිවයින" පුවත්පත.

ප්‍රශ්නය(- ඔබගේ අපල කාලයට මොකද කරන්නේ?

පිළිතුර(
- ඒක නිසානේ මේ මඟ යන "ආයුබෝවන්" මගේ ඇඟට එන්නේ.

ප්‍රශ්නය(- පාතාල ලෝකය අතුගා දමන්නට දැන් ආණ්‌ඩුව කටයුතු යොදා තිබෙනවා. ඔබටත් පාතාලය සමඟ සම්බන්ධතා තිබෙන බවට චෝදනා එල්ල වෙනවා. ඔබ ආණ්‌ඩුවේ ඉහළම තැන්වල ආරක්‌ෂාව යටතේ සිටින නිසා රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඔබගේ පාතාල වැඩ කෙරෙන බවට චෝදනා තිබෙනවා. ඒ චෝදනා ගැන මොකද කියන්නේ?

පිළිතුර(-
එහෙම මම පාතාල වැඩ කරපු තැනක්‌ කියන්න. මම කවදාවත් බළලුන් ලවා කොස්‌ඇට බාවන්නේ නැහැ. කරන හැම වැඩක්‌ම මම කරන්නේ විවෘතව.

ප්‍රශ්නය(- ඔබ සමහර මාධ්‍ය ආයතනවලට විරෝධය පාමින් කටයුතු කරනවා. ඒ වැඩෙත් එක්‌තරා අන්දමක චණ්‌ඩිකමක්‌ නේද?

පිළිතුර(-
සමහර මාධ්‍ය ආයතන කියන එක වැරදියි. මම එහෙම කරන්නේ සිරසට. සිරසට මා විරුද්ධ වුණේ මා වෙනුවෙන් නොවේ. රටේ ජනතාව වෙනුවෙන්. මට ඒක ගැන පෞද්ගලික ප්‍රශ්නයක්‌ නැහැ. රටේ සංස්‌කෘතිය විනාශ කරන්න, සභ්‍යත්වය විනාශ කරන්න, මම අප්‍රිය කරන මට විරුද්ධ මාධ්‍යයක්‌ මා වෙත එන්නේ ඇයි? කොන්ද නැතිනම් මට මයික්‌ එක බිමින් තියන්න බැහැ. මට කොන්දක්‌ තියෙනවා. ඒකයි මම එහෙම කරන්නේ. ප්‍රභාකරන් මරපු දවසේ ඒ අයට පුළුවන්නම්, සතියක්‌ ශෝකය ප්‍රකාශ කරන්න. අපි ඒකට විරුද්ධ විය යුතු නැද්ද? මේ රටේ මොනතරම් වැදගත් ළමයින්ගේ ඇඳුම් ඔය නාලිකාව ගැලෙව්වද? සුද්ද වයින් බෝතලයයි, පාන් රාත්තලයි, සිගරට්‌ එකයි ගෙනල්ලා තමයි මේ රට විනාශ කළේ. අද වැඩේ කරන්නේ සිරස. ඉතින් මේකට විරුද්ධව අනිත් අය කතා කරන්නේ නැහැනේ. මම විතරයි කතා කරන්නේ.

ප්‍රශ්නය - ඔබට එරෙහිව එල්ල වෙලා තියෙන තවත් චෝදනාවක්‌ තමයි පාතාල ලෝකයත් සමග සම්බන්ධතා තිබෙන බව. ඔබ සමග මැරයන් සිටින බවත්, ඔවුන් විවිධ දාමරික ක්‍රියාවලට, කප්පම් සිද්ධිවලට සම්බන්ධ බවටත් කතා පැතිරෙනවා. ආණ්‌ඩුව මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා පාතාලය මැඬ පවත්වන බව. ඒ අතරේම ආණ්‌ඩුවේ සිටින ඇමැතිවරයකේ වන ඔබට පාතාලය සමග සෘජු සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ල වෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ....

පිළිතුර -
ඔබතුමාලා පොලිසියේ හමුදාවේ ඕන කෙනකුගෙන් අහන්න, මම ඒ කාට හරි කතා කරලා අපරාධකාරයන් නිදහස්‌ කරන්න, අල්ලන්න එපා, කියලා තියෙනවද කියලා. මම දේශපාලනඥයෙක්‌ හැටියට මට මං ළඟට එන මහජනතාවගේ උප්පැන්න සහතික පරීක්‌ෂා කරන්න බැහැ. ඒ අය උසාවි ගිහිල්ලා තියෙනවාද? රිමාන්ඩ් එකේ ඉඳලා තියෙනවාද කියලා චෙක්‌ කරන්න මට නම් වෙලාවක්‌ නැහැ. නොයෙක්‌ දෙනා මාව හමුවෙනවා. උගත් නූගත් මිනිස්‌සු ඒ අතර ඉන්නවා. ඉතින් එතකොට මට පුළුවන්ද ලිස්‌ට්‌ එකක්‌ තියාගෙන ඒ අයගේ වාර්තා චෙක්‌ කරන්න. ඡන්ද කාලෙට නම් "රොසලින් පෙරේරා" නම කියලා බැලුවාහම ඉන්නවා. එතකොට ඡන්ද කාඩ් එක බලලා ඡන්දෙ දෙන්න යන්න දෙනවා. මට මාව හම්බු වෙන්න එන අයටත් එහෙම කරන්නද කියන්නේ.

මාව හම්බු වෙන්න කවුරු හරි එනවා. එයාට සමාජයේ කියන්නේ "කනේ පත්තෑයා" කියලා හිතමුකෝ. ඒත් එයාගේ නම සෝමපාල. ඉතිං මට ඇවිල්ලා කියනවා "සර් මම සෝමපාල. අනේ බලන්නකෝ... මට වෙච්ච අසාධාරණේ. අපිට නිකං පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ. අපිව ගෙදරට පැනලා ගෙනියනවා" කියලා. මම ඉතිං දේශපාලනඥයෙක්‌ විදියට පොලිසියට කතා කරලා මේක අහනවා. එතකොට පොලිසියෙන් කියනවා, "නැහැ නැහැ මෙයා දාමරිකයෙක්‌" කියලා. මම ඒ වෙලාවට එයාව නිදහස්‌ කරන්න කියලා පොලිසියට කියන්නේ නැහැ. මම එවෙලේම කියනවා, මෙයා දාමරිකයෙක්‌ නම් වහාම අත්අඩංගුවට ගන්න මම වෙනුවෙන් තවත් වැඩියෙන් දඬුවම් කරන්න. මේ කතරගම දෙයියම්පල්ලා, මං එහෙම චරිතයක්‌.

සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය මට බෙලිඅත්තේ දේශපාලනයට අවස්‌ථාව දුන්නාම මම එතුමිය සමග අසුහාරදාහේ පහන් පිංකමක්‌ කළා. ඊළඟට චන්ද්‍රිකා මැතිනිය සමග අසූහාරදාහේ පහන් පිංකමක්‌ අනුරාධපුරයේ කළා. මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමා සමග පොළොන්නරුවේ ගල් විහාරය ළඟ අසූහාරදාහේ පහන් පිංකමක්‌ කළා. කැලණිය බුදුරජාණන් වහන්සේ පය තිබ්බ පිං බිමේ මම අසූහාරදාහේ පහන් පිංකමක්‌ කළා. ඒ පහන් ගිහිල්ලා පත්තු කළා. ශ්‍රීපති සූරියආරච්චි අසූහාරදාහේ පහන් පිංකමක්‌ කළා. ඒත් පහන් ටික හරියට පත්තු කරගන්න බැරිවුණා.

ඊළඟට රජ කාලයෙන් පස්‌සේ කැලණිය රජමහා වෙහෙරේ රත්තරන් ආලේප කරලා පූජා පැවැත්වූවේ මම. මම පාතාලයත් එක්‌ක ඉන්නවද කියලා අහන අය මේවා අහන්නේ නැහැනේ. මේවා කරන්න පුළුවන්ද මැරයෝ එක්‌ක ජාවාරම් කරන පව්කාරයන්ට. මේවා කරන්න පෙර පිං තියෙන්න ඕනේ. සංසාර පුරුද්ද තියෙන්න ඕනේ.

ප්‍රශ්නය - කැලණිය කියන්නේ පිංබිමක්‌. ඒ බිමට ආවාට පසුව ඔබත් හොඳ මිනිහෙක්‌ වෙලා කියන එකද මේ කතාවේ තේරුම...

පිළිතුර
- ඊට කලින් නරක මිනිහෙක්‌ වෙලා ඉන්න මං පව් කරන්න එපායෑ. මම කලින් කරපු යමක්‌ ඔයා කිව්වොත් මං ඒකට උත්තර දෙන්නම්. මම හැමදාම හොඳ මිනිහෙක්‌. මම අනුන්ට උපකාර කරන, අනුන් ගැන හොයලා බලන, විපතේ දී මිනිසුන්ට උපකාර කරන කෙනෙක්‌.

ප්‍රශ්නය - ඔබ කැලණිය ආසනයේ ශ්‍රිලනිප සංවිධායක ලෙස පත්වුණාට පස්‌සේ. එහි ව්‍යාපාරික සංගම්වලට හිරිහැර කරපු බවට එම ව්‍යාපාරිකයන් පැමිණිලි කළා. මේවාත් අනුන්ට කරන උපකාර ලෙසද ඔබ සලකන්නේ.

පිළිතුර -
එහෙම පැමිණිල්ලක්‌ කිසිම ව්‍යාපාරිකයෙක්‌ කරලා නැහැ. ඕවා ඔප්පු කරන්න.

ප්‍රශ්නය - කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසකට ඔබගේ මැරයන් පිරිසක්‌ පසුගියදා පහර දුන්නා. සරසවි ශිෂ්‍ය සංගම් කෙළින්ම චෝදනා කළා. මේ සිද්ධිය පිටුපස සිsටින්නේ ඔබ කියලා...

පිළිතුර -
ඒක මං භාර ගන්නවා. කෙළින්ම ලියන්න. කැලණිය විශ්වවිද්‍යාලය පමණක්‌ නෙමෙයි, මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියම අහිංසක ගැමි දරුවන්ට ඒවාට එන්න පාර කැපුවේ "56 දී. මේ විශ්වවිද්‍යාලයට යම් නරක විෂබීජයක්‌ ඇතුල් වෙනවා නම් ඒකට අත තියන්න හුඟක්‌ දෙනෙක්‌ බය වෙලා ඉන්නේ. මං ඕකට අත තිබ්බේම නැහැ. පසුගිය දවසක මේ ගොල්ලෝ බීලා ඇවිල්ලා මගේ අහිංසක මිනිස්‌සුන්ට ගහලා. ඒ අයගේ කඩ කඩල දමලා. මේක ආරංචි වුණ ගමන් මං පාර්ලිමේන්තුවේ ඉඳලා එහෙම්ම ම ආවා. මිනිස්‌සුන්ට තුවාලයි, ලේ පෙරෙනවා. කඩවල් කුඩු කරලා. මේ කරපු දේ මම නිකං අතාරින්නේ නැහැ. මේ වගේ කාලකණ්‌නි, ගස්‌ යට වදාපු ඈයෝ ඉන්නවා නම් උන්ට දඬුවම් කරන්න මං ලැහැස්‌තියි" කියලා. එහෙම කොන්දක්‌ නැත්නම් මට කැලණියේ ඉන්න බැහැනේ. ඒ මිනිස්‌සුන්ගේ ලේ දැක්‌කම, කුඩු කරපු දේවල් දැක්‌කහම මගේ මනුස්‌සකම නැතිවෙලා ගියා. ඒ තරම් මම කැලණියේ මිනිස්‌සුන්ට ආදරෙයි. අනිත් එක ඔය ශිෂ්‍ය සංගම් නායකයෝ, ශිෂ්‍යයෝ නෙමෙයිනේ. එකෙක්‌ ඉන්නවා වයස අවුරුදු 32 යි. මෙච්චර කල් මොකද එයා විශ්වවිද්‍යාලයේ කරන්නේ. ඒ අයට මෙහෙම උත්තර දෙන එක වැරැදියි, කියන්න කාටවත් බැහැ.

ප්‍රශ්නය - එතකොට කැලණිය ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවසට ගොස්‌ ඔබගේ පිරිසක්‌ තර්ජනය කිරීම ගැන ඔබ මොකද කියන්නේ...

පිළිතුර
- එතුමා පත්කළේ මම. ඔහු ව්‍යාජ අත්සන් ගහලා කරපු නරක වැඩ මං ළඟ තියෙනවා. ඒවා මම අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට දීලා තියෙන්නේ. එදා රූපවාහිනියේ එයාගේ ගේ පෙන්නුවා. මටවත් එහෙම ගෙයක්‌ නැහැ. මට අවුරුදු 20 ක්‌ තිස්‌සේ තාම මගේ ගෙදර උළු ටික තියාගන්න බැරිවුණා. එතකොට ඕගොල්ලෝ මට කියන්නේ පගාව ගන්න දූෂිතයෙක්‌ රකින්න කියලද? කරුණාකරලා මට කියන්න. එහෙම කියනවා නම් මම රකින්නම්. මට පැමිණිලි එනකොට පගා ගහනවා කියලා, මට ඒ දූෂිතයන් රකින්න බැහැ.

ප්‍රශ්නය - ඔබ අසාධාරණයි කියා සිතෙන දෙයක්‌ සමාජයේ ඔබේ ආසනයේ වෙනවා නම් පහරදීලා බියගැන්වීම් කරලා ඔබ නීතිය අතට ගැනීම සාධාරණයි කියා ඔබ සිතනවාද?

පිළිතුර -
මම එහෙම කළාද? එදා මම සිටියේ මොණරාගල. මම ඒ සිද්ධිය තරයේම හෙළා දකිනවා. අනිත් එක ජනේලයක්‌ කුඩු කරලා පුළුවන්ද මේවා නවත්තන්න. නීතිය හරහා ඒවාට දඬුවම් දිය යුතු නිසා තමයි මම ඒ දූෂණ ගැන සඳහන් කරලා අල්ලස්‌ කොමිසමට පැමිණිලි කළේ. නීතිය මම අතට ගන්නවා නම් එහෙම කරන්නේ නැහැනේ.

ප්‍රශ්නය - ඔබගේ ප්‍රකාශ දෙස බලන විට පෙනී යන්නේ මේ රටේ සිටින පිරිසිදුම කුසල් දහම්හි යෙදෙන සුපින්වතා ඔබ බවයි. ඔබට එරෙහිව යම් චෝදනාවක්‌ නැඟුවත් ඔබ කියනවා ඕක ඔප්පු කරන්න කියා. ඔබ පූජනීය සංඝරත්නයට පාර්ලිමේන්තුවේදී සලකපු ආකාරය මුළු රටම දැක්‌කා, දන්නවා. සංඝයා වහන්සේලාට ඔබ සලකන්නේ එසේ නම්, අන් අය ගැන කවර කතාද?

පිළිතුර -
ඒ සංඝයා වහන්සේ ගෙන්, සුමංගල හාමුදුරුවන්ගෙන් ඔබ ගිහිල්ලා අහන්න, මං කරදර කළාද කියලා. සුමංගල හාමුදුරුවෝ පිළිගත්තොත් මම උන්වහන්සේට කරදර කළා කියලා මම ජීවිතයෙන් සමු ගන්නවා.

ඕවා තමයි මඩ කියන්නේ. ඔයාලට මඩ වදින්නේ නැත්තේ, ඔයාලා පත්තරේ ලියනවා මිසක්‌ වැඩිය ප්‍රසිද්ධියට යන්නේ නැහැනේ. ප්‍රසිද්ධියට යන ඕනෑ කෙනකුට මඩ වදිනවා. බුදු හාමුදුරුවන්ට තරම් මඩ ගහලා තියෙනවාද මේ ලෝකේ වෙන කාටවත්. එහෙම තමයි ලෝකේ හැටි. මාධ්‍යයෙන් මඩ ගැහැව්වාට, මාව හොල්ලන්න එකෙකුටවත් බැහැ.

යුක්‌තියටයි සැම විට ගරු කරන්නේ.

අයුක්‌තියට නැහැ, මගෙ හිස නමන්නේ.

පුවත්පත් කලාවේදීන් මොනවා ලිව්වත් විද්යුත් මාධ්‍යවේදීන් මොනවා කිව්වත් ඔය එක මිනිහෙකුටවත් මගේ කොන්ද කඩන්න බැහැ. ඇක්‌සිඩන්ට්‌ එහෙකින් හරි, පොලු පහරකින් හරි කොන්ද කැඩෙයි. මගේ තියන අධිෂ්ඨානයත්, අභිමතාර්ථයත් කවදාවත් කාටවත් නතර කරන්න බැහැ.

ප්‍රශ්නය - ඔබගේ ක්‍රියා පිළිවෙත ප්‍රකාශන දිහා බලන විට සමහර චිත්‍රපටවල වීර නළුවෙක්‌ගේ චරිතය මතක්‌ වෙනවා. ඔබ කැමැතිම නළුවා කවුද?

පිළිතුර -
ඇත්තටම මම කැමැති නළුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. ඒ ගාමිණී ෆොන්සේකයි, විජය කුමාරතුංගයි.

ප්‍රශ්නය - ගාමිණී ෆොන්සේකාගේ සටන් ජවනිකා ඔබගේ සමහර ක්‍රියාවලදී සිහියට එනවා...

පිළිතුර -
එහෙම කියන්නේ කොහොමද? ඔයා අකමැති දේකට කැමැතියි කියන්න නම් ඔයාගේ කොන්ද පණ නැති වෙන්න ඕනේ. අකමැති නම් අකමැතිමයි. ඒක තමයි මගේ හැටි. මගේ කොන්ද පණ තියෙනවා.

ප්‍රශ්නය - ඔබ නළුවෙක්‌ ලෙස චිත්‍රපටිවල රඟපා තිබෙනවා. මේ නිසා දේශපාලනයට පිවිසෙන්නේ නැතිව නළුවෙක්‌ වුණා නම් හොඳයි කියා සිතෙන්නේ නැද්ද?

පිළිතුර -
රෝගයක්‌ වැළඳුණාම තමයි ගහ අයිතිකාරයාට ගහ ගැන මතක්‌ වෙන්නේ. මර්වින් සිල්වා කියන චරිතය විවේචනවලට බය නැහැ. ඒ නිසානේ දේශපාලනය කරන්නේ. මිනිස්‌සු මට බණින්aන බණින්න මම හැරිලා බලනවා මගේ අඩුව මොකක්‌ද කියලා. ඒ විවේචන මට හොඳ අවස්‌ථාවක්‌.

ප්‍රශ්නය - යළිත් රඟපාන්න කැමැත්තක්‌ නැද්ද?

පිළිතුර
- අවස්‌ථාවක්‌ ලැබුණොත් රඟපානවා. මිනිහෙක්‌ ඉපදුන දවසේ ඉඳලා රඟපානවානේ. රඟපෑමට මම ආසයි.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger