Home » » ජවිපෙ හා කොටි සංවිධානය - එකක්ද?

ජවිපෙ හා කොටි සංවිධානය - එකක්ද?

Written By Sri Lanka Guardian on Friday, July 3, 2009 | 9:24 AM

By Ramachnadra

(July 03, Colombo, Sri Lanka Guardian)

දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුන නැමැති දේශපාලන ව්‍යාපාර දෙක නිදහසින් පසු ලංකාවේ දේශපාලන හැඩගැස්මට බරපතල ලෙස බලපාන ලද ව්‍යාපාර දෙකකි යන්න පැහැදිලි කරුනක්.මේ ව්‍යාපාර දෙක සමජාතීය එහෙම නැතිනම් එකම ගොඩකට දැමිය හැකිය යන අදහස සමාජයේ සැලකිය යුතු ලෙස ජනප්‍රිය ව පවතින බව පෙනෙනවා.විශේෂයෙන් මෙම සංවිධාන දෙක විසින් මෙහෙයවූ සන්නද්ධ නැගිටීම් දෙක විනිශ්චය කරන විට මෙම විනිශ්චය එලියට එනු බොහෝවිට දැකිය හැකි දෙයක්.

71/88 නැගිටීම්=ඊලාම් අරගලය කියන සමීකරනය මානයන් දෙකකින් ඉදිරිපත් වෙනවා දකින්න පුලුවන්කම තියනවා.

-අ) සමාජයේ එදිනෙදා කතාබහ ඇතුලෙ සරල මානයකින් මෙම අරගල දෙක සමජාතීය ලෙස අර්ථකතනය වෙනවා.
*ජවිපෙත් යුද්ධ කලා කොටිත් යුද්ධ කලා
*ජවිපෙ දේපල විනාස කලා කොටිත් දේපල විනාස කලා
*ජවිපෙ සිංහල ත්‍රස්තවාදීන් කොටි දෙමල ත්‍රස්තවාදීන්
සී.ඒ.චන්ද්‍රප්‍රේම නමැත්තා දිවයින පුවත්පතට ලියන ලිපියකින් රෝහන විජේවීර/ප්‍රභාකරන් සිංහල/දෙමල ත්‍රස්තවාදයට නිදසුන් ලෙස අනුපිලිවෙලින් දක්වා තිබුනා.

-ආ) එක්තරා අන්දමක "ප්‍රබුද්ධවාදී" මානයකින් මෙම ව්‍යාපාර දෙක සමජාතියයි කියල විස්තර වෙනවා තවත් අතකින් දකින්න පුලුවන්.
*සිංහල හා දෙමල ජාතිකවාදී ව්‍යාපාර දෙකක් ලෙස මෙම සංවිධාන දෙක හැදින්වීම
*වමේ පක්ෂවල පාවාදීම් නිසා ඇතිවූ සුලු ධනේශ්වර නැගි‍ටීම් දෙකක් ලෙස උක්ත කැරලි තේරුම් කිරීම(මෙය ට්‍රොට්ස්කිවාදී අදහස් දරන කුඩා කවයන් විසින් බෙදාගනු ලබන පොදු අදහසකි)
*වරප්‍රසාද නොලත්/කුලහීන තරුනයන්ගේ අසහනය තුලින් මතුවූ ව්‍යාපාර දෙකක් නිසා මේ දෙක එක ගොඩකට වර්ග කිරීම වැනි විග්‍රහයන් ඒ තුල දකින්නට පුලුවන්.

මෙම ලිපියෙන් කෙටි විමසුමකට ලක්කෙරෙන්නේ මෙසේ මෙම සන්නද්ධ නැගිටීම් දෙක එක ලේබලයක් යටතේ වර්ගීකරනය කිරීම කෙතරම් සාධාරනද යන අදහසයි.

යම් ප්‍රපංචයන් දෙකක් සංසන්දනය කරල ඒ දෙකෙහි සමාන අසමානකම් ඇසුරෙන් නිගමන වලට ඒම සාදෘශ්‍ය අනුමානය කියල විද්‍යාත්මක විශ්ලේෂනයේදී හැදින්වෙනවා.දැන් සිකුරු ග්‍රහයා සහ පෘථිවිය ගත්තම පෘථිවියෙහි ජීවින් සිටින අතර සිකුරුවල ජීවින් ඉන්නවාද යන්න නිගමනය කිරීමට යනවිට මේ දෙක අතර සමාන/අසමාන ලක්ෂන නිරීක්ෂනය කරන්න පුලුවන්.

ප්‍රමානය අතින් ගත්විට සමාන ලක්ෂන විශාල ප්‍රමානයක් දක්වන්න පුලුවන්.ග්‍රහයන්ගේ විශාලත්වය,ගුරුත්වාකර්ෂනය,අවුරුද්දට ඇති දින ගනන,වායුගෝලයේ ජලවාෂ්ප ඇති බව,ස්කන්ධය වගේ සාධක ගත්තම ග්‍රහයන් දෙපලම එම සාධක අතින් එතරම් වෙනසක් දක්වන්නේ නැහැ.

නමුත් මෙම සමාන ලක්ෂන ඇත්ත වශයෙන්ම "මතුපිට"ස්ථරයේ පවතින ලක්ෂන.තරමක් ගැඹුරු අඩියකට යද්දි ජීවින් සිටී යන්නට විරුද්ධ ගුනය අතින් ප්‍රබල සාධක පවතිනු දකින්නට හැකියි.කෙතරම් සමාන කම් තිබුනත් සිකුරු මත වායුවක් ලෙස වැඩිපුර තියෙන්නෙ ජීවයට ඉඩ නොදෙන අංගාරික අම්ල.එහි උෂ්නත්වය ජීවයට ඔරොත්තු නොදෙන තරම් අධිකයි.අනිත් අතට දැඩි පීඩනයක් එහි මතුපිට පවතිනවා.ජලවාෂ්ප තියෙනවා යැයි කීවත් එම ප්‍රමානය නොගිනිය හැකි තරම් සුලු ප්‍රමානයක්.

දැන් මතුපිට ස්ථරයේ සමාන ලක්ෂන කෙතරම් පැවතියත් ඇතුලත ව්‍යුහයේ තියන තීරනාත්මක අසමාන ලක්ෂන හින්දා පෘථිවිය හා සිකුරු ජිවය ඇතිවීම කියන කාරනයේදී සමජාතිය ප්‍රපංචයන් ලෙස සැලකීමට විදිහක් නැහැ.
අපේ ප්‍රස්තුත මාතෘකාවට ප්‍රවේශ වුවහොත් ජවිපෙ හා කොටි සංවිධානයේ ‍දේශපාලන නැගිටීම් අතර පෙර දැක්වූ ලෙසම සමාන ලක්ෂන ගනනක් පෙන්වාදෙන්න පුලුවන්.දෙකම සන්නද්ධ ලෙස රාජ්‍යයට එරෙහිව කෙරුනු නැගි‍ටීම්.දෙකම පාර්ලිමේන්තුවාදය බැහැර කලා.සංයුතිය අතින් ගත්තම දෙකේම කොටස්කරුවන් වුනේ අවවරප්‍රසාදිත තරුන කොටස්.නැගිටීම් දෙකම ආන්ඩුව අතින් බරපතල ලෙස පරාජය කෙරුනා.

මෙවැනි සමාන ලක්ෂන පැවතුනත් කාරනා කිහිපයක් මත මෙම ව්‍යාපාරයන් දෙක තීරනාත්මක ලෙස එකක් අනෙකෙන් වෙන් කරනු ලබනවා.ව්‍යාපාරයන් අභ්‍යන්තරයෙහි පවතින මෙම "අසමානතා" ගැට්ටේ පවතින සමානතා අබිබවන ප්‍රබලත්වයක් සහිතයි.
එම අසමානතාවයන් සටහන් කරගැනීමට උත්සාහ කරමු.

1.ජවිපෙ යනු ප්‍රධාන වශයෙන් පංති ස්වරූපයක් සහිත ව්‍යාපාරයක්.71/88 අරගල දෙකෙහිම න්‍යෂ්ඨිය පාංතික හැඩගැස්මක් එක්කයි සකස් වුනේ.එනම් ජවිපෙ දේශපාලනය පංති දේශපාලනයක්.(class politics)
මීට වෙනස් ලෙස කොටි සංවිධානයේ දේශපාලනය වාර්ගික දේශපාලනයක් (ethnic politics) ලෙසයි එලියට එන්නෙ.

සමාජයේ පීඩිත පංතීන් අතරින් පැනනැගුනු ජවිපෙ එම පංති හැඩගැසීම ගැන සවිනඥානිකවූ දේශපාලනයකයි යෙදුනේ.මෙය ඉතාම තීරනාත්මක කාරනයක්.සංවිධාන දෙකක් එකම සමාජ පසුබිමකින් පැන නැගුනු පමනින් ඒ දෙක එක ගොඩකට දැමීම නිවැරදි නැහැ.කොටි සංවිධානයෙහි සංයුතිය හැදෙන්නෙත් පීඩිත සමාජ ස්ථරයන්ගෙන් වුනත් එය වාර්ගික පදනමකින් දේශපාලනය කල අතර "පංතිය"යන්න ඔවුන්ගේ චින්තන පරාසයට අදාල නොවූවක් වුනා.මේ නිසා අන්තිමේදී කොටි සංවිධානය තමිල්නාඩුවේ ධනපති දේශපාලනකයන් හා ගෝලීය ධනවාදයේ බලකනු මත විශ්වාසය තියන තැනකට තල්ලු වීම සිදුවුනා.එහි කූටප්‍රාප්තිය වුනේ 2002 අප්‍රේල් පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඇන්ටන් බාලසිංහම් කොටි සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්තිය "විවෘත වෙලදපොල ආර්ථිකය"යැයි පැවසීම.පීඩිත ස්ථරයන් වලින් ආ පිරිස් වලින් සැදුම් ලද්දත් අවසානයේ එම ස්ථරයන් අනුකම්පා විරහිතව සූරාකනු ලබන ගෝලීය ධනවාදය සිය දර්ශනය ලෙස පිලිගන්නා තැනට එම සංවිධානය තල්ලු වී ගියේ හුදු වාර්ගික තැනකට එහි දේශපාලනය ලඝු වුන නිසා.ජවිපෙ කැරලිවලදී රාජ්‍ය බලය උදුරා ගැනීම සදහා තුවක්කු පත්තු වනවිට කොටි සංවිධානයේ තුවක්කු තමන් මෙන්ම දුක්විදින සිංහල/මුස්ලිම් නිර්ධනීන් වෙත පත්තු වුනේ එහි පදනම් දර්ශනය වාර්ගිකත්වය පමනක් වුන නිසා.

2.මෙම අරගල දෙකෙහි අනෙත් තීරනාත්මක වෙනස වනුයේ ඒවා ගමන් කල දිශානතියයි.එනම් නැගිටීම් දෙකෙහි අරමුනුයි.

ලංකාව කියන රාජ්‍යයේ රාජ්‍ය බලය 1948න් පසු දිගටම එක්තරා වරප්‍රසාද ලත් පංතියක් අතයි රැදී තිබුනෙ.මෙම බලය උදුරා ගැනීම ජවිපෙ දේශපාලනයෙහි අරමුන වුනා.මතුපිටින් ජවිපෙ කැරලි තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් විශේෂයෙන් එහි තිබුනු දේශප්‍රේමී සටන්පාඨ නිසා ඒවායේ අරමුන වෙන එකක් යැයි නිගමනය කරන්නට ඉඩ තිබෙනවා.ජවිපෙ නොවන,අගතිගාමී නොවන වාමාංශික අදහස් දරන කොටස් පවා(ජවිපෙ සම්බන්ධ අඝාත වෛරයකින් පෙලෙන "වමේ"කොටස් නොවෙයි) මේ කාරනය සම්බන්ධව ප්‍රශ්න කරනු දැකිය හැකියි.

නමුත් ඇත්ත කරුන නම් එම දේශප්‍රේමී සටන්පාඨ එලියට ආවේ අරගලයෙහි ආවරනය ලෙසින් බවයි.විශේෂයෙන් නැගිටීම් වලට මධ්‍යම පාංතික කොටස් වල සහය දිනාගැනීමේ අරමුනින් එම සටන්පාඨ මතු කෙරුනු අතර ජවිපෙ දේශපාලනයෙහි "හරය"ලෙස නැගිටීම් දෙකෙහිම පැවතියේ බලයේ ඉන්නා පංතිය රාජ්‍ය බලයෙන් අස්වාමික කිරීම බව විශේෂයෙන් එහි ලේඛන හා අභ්‍යන්තර ප්‍රකාශන අධ්‍යනය කරද්දි පැහැදිලි වෙනවා.

"ජනතා විමුක්ති පෙරමුන බිහිවූයේ මේ රටේ නිර්ධන පංති රාජ්‍ය බලය ගොඩනැගීම උදෙසා නිර්ධන පංතිය පංතියක් වශයෙන් සංවිධානය කිරිමේ ක්‍රියා මෙහෙවර සපුරාලනු වස් අත්‍යව්‍යශ්‍ය නිර්ධන පංති විප්ලවකාරි පක්ෂයෙහි පෙරගමන්කරු හැටියටය.එය නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයේ කලල ස්වරූපයයි.කලල අවධියයි.ඔවු!කොමසාරිස් මහත්වරුනි,ධනේශ්වර පංතියේ රාජ්‍ය බලය අහෝසි කරලනු සදහාත් නිර්ධන පංතියේ රාජ්‍ය බලය ගොඩනගනු සදහාත් අප පෙනී සිටින බව ඉදුරාම පැවැසිය යුතුය"
( රෝහන විජේවීර 71 අප්‍රේල් සිදුවීම පිලිබද නඩු විභාගයේදී කරන ලද ප්‍රකාශය - "අප මරා දැමුවද අප නගන හඩ සදා නොමියෙනු ඇත ,32පිට)

කෙසේ නමුත් කොටි සංවිධානය ඉලක්ක ගත වූයේ ලංකාවේ දෙමල ජනයාට වෙනම රාජ්‍යයක් දිනාගැනීමේ දිශාව වෙතයි.වාස්තවික ලෙස කියනවා නම් තිබෙන රාජ්‍ය බෙදීමෙන් ඉක්බිති පිරිසිදු දෙමල රාජ්‍යයක් උතුරු නැගෙනහිර භූමියෙහි ස්ථාපනය කිරීම ඔවුන්ගේ අරමුන වුනා.මෙම නැගිසිටීමට අතිශය සාධාරන හේතු පැවතියා.එසේ නමුත් කොටි සංවිධානයේ තනි දෙමල රාජ්‍යයක් පිලිබද සටන්පාඨය ස්ථාපනය වෙන්නෙ ඉදිරිගාමී තැනකට වඩා පසුගාමී තැනක බවයි අපේ වැටහීම.සිංහල හා දෙමල රාජධානි විදිහට ලංකාව බෙදිල තිබුනෙ වැඩවසම් යුගයේ.බ්‍රිතාන්‍ය පාලනය සමග ලංකාව නව අවදියකට(ධනවාදය)පිවිසීම සමග ලංකාව බහුවර්ග ජාතික රාජ්‍යයක් බවට පරිනාමය වෙලා ජනගහනය මිශ්‍රවීම සිදුවුනා.නැවත සංකිලිගේ යුගයේ තිබුන "දෙමල රාජ්‍යය"ස්ථාපනය කරනු!යැයි ඉල්ලීම මේ අනුව ඉතිහාසයේ පසුපසට යාමට උත්සාහ කිරීමක්.මේ පරිනාම විරෝධී ඉල්ලීම ඉටුකරගනුවස් අතිශය දරුනු ගනයේ වාර්ගික ශුද්ධකරනයන් වෙත යාමට පවා කොටි සංවිධානයට පසුව සිදුවුනා.

3.තෙවන වෙනස මෙම සටන් ක්‍රියාමාර්ග ලෝක දේශපාලනය ඇතුලෙ ස්ථානගත වුන ආකාරය.මෙය ඉහත 1 හා 2 සමග ගැටගැහෙනවා.ලෝකයේ දේශපාලනය කියන්නෙ පසුගිය දශක කිහිපය තුලම අධිරාජ්‍යවාදී රටවල්වල බලාධිකාරිය මත සකස් වුන එකක්.රාජ්‍ය බලය උදුරා ගන්න පංති පදනමින් සිදුවුන ජවිපෙ නැගිටීම කිසිදු තත්වයක් යටතේ හෝ මෙම අධිපතිවාදී දේශපාලනයේ අනුකම්පාවට ලක්නොවූ අතර ඊට සපුරා වෙනස් විදිහට රාජ්‍යය ජාතිකත්ව පදනමින් බෙදීමට කොටි සංවිධානය පැත්තෙන් කෙරුන අරගලය අධිපතිවාදී දේශපාලනයෙහි සානුකම්පාව/අනුග්‍රහය අඩු වැඩි වශයෙන් දිනාගත්තා.

ලංකාවේ රජය හා ජවිපෙ අතර තිබුන යුද්ධයේදී මානව හිමිකම් පිලිබද සදහනකුදු මතු නොකරන අධිපතිවාදී රටවල් කොටි සංවිධානය හා රජය අතර යුද්ධයේදී මානව හිමිකම් වැනි සටන් පාඨ බරපතල ලෙස ඉදිරියට ගත්තා.ඇත්තෙන්ම එය සිදුවුනේ ඇතැම් සිංහල ජාතිකවාදීන් හිතන විදිහට කොටි ගැන ආදරයකට නෙමෙයි.ලංකාව වැනි රටවල් කලමනාකරනය කරන්න අභ්‍යන්තර ගැටුම් පැවතීම එම අධිපතිවාදී රටවල්වලට වාසිදායක වන නිසා.ඇනිටා ප්‍රතාප් වැනි "ලිබරල්"මතවාදයන්ගෙන් ශික්ෂනය වුන මාධ්‍යවේදින් පවා කොටි සංවිධානය දෙස සානුකම්පිතව බලන අයුරුත් ජවිපෙ නැගිටීම වැදගැම්මකට නැති,විනාශ වෙන තරමට හොද එකක් ලෙස නිරීක්ෂනය කරන අයුරුත් ඇයේ island of blood වැන්නක් කියවන විට පැහැදිලි වෙනවා.මෙම "ලිබරල්වාදීන්ට" ethnic politics දරාගත හැකි/සහය දිය හැකි දෙයක් වුනාට class politics කෙසේවත් දිරවාගත හැකි දෙයක් වුනේ නැහැ.

4.සිවුවැනි කරුන ලෙස මෙම අරගලයන්ගේ දැක්ම සකස් වුන මූලාශ්‍රයන් අතර තිබෙන වෙනස සලකා බැලිය යුතුයි.
ජවිපෙ නැගිටීම් දෙක වාමවාදී හැඩයක් සහිත නැගිටීම් දෙකක්.මාක්ස්වාදී සමාජ න්‍යායෙහි ආභාසය එම සංවිධානය වෙත මුල සිටම පැවතුනා.ජවිපෙ මෑතකාලීන ඇතැම් උපක්‍රම-විශේෂයෙන් ජාතික ප්‍රශ්නය අරභයා ඔවුන් කල තෝරාගැනීම්-මාක්ස්වාදි කතිකාවත තුල සාධාරනීකරනය කල හැකිද?කියන ප්‍රශ්නයට යම් වලංගුතාවයක් තිබෙනවා.එසේ වුනත් ජවිපෙ සන්නද්ධ දේශපාලනය මාක්ස්වාදී චින්තනයෙන් පෝෂනය වූ හා ආභාසය ලද එකකි යන්න පැහැදිලියි.

කොටි සංවිධානයේ සටන හා 71/88 අතර තියුනු වෙනසක් ඇති කරන සාධකයකි එවැනි සමාජ න්‍යායක ආභාසය/නායකත්වය එම සංවිධානයට නොවීම.දකුනේ ආන්ඩු විසින් ගන්නා ලද මහ ජාතිවාදී පියවර වලට ප්‍රතිචාර ලෙස පැනනැගුනු ආවේගාත්මක වාර්ගික ප්‍රතික්‍රියාවක් මිස දියුනු දේශපාලන න්‍යායක ආභාසය නොලැබීම මගින් කොටි සංවිධානය ඉතා පහසුවෙන්ම සුලු ජාතික ජාතිවාදයේ ගොහොරුවේ ගිල්වා දමනු ලැබුනා.

(ඊලාම් සටන් සංවිධාන අතරින් උමා මහේෂ්වරන්ගේ කන්ඩායමට සාපේක්ෂව පරිනත වාමවාදී නැඹුරුවක් පැවති බව පෙනෙන්නට තිබෙනවා.සිංහල ජනතාව වෙත තමන්ගේ සටනට සහයෝගය දෙන ලෙස ඉල්ලමින් ගුවන් විදුලි සේවයක් පවා ඔවුන් 80 දශකයේ මැද භාගයේදී පවත්වාගෙන ගියා.කෙසේ නමුත් එම සංවිධානය කොටි සංවිධානය අතින් සමූලඝාතනය කෙරුනා)

ජවිපෙ හා කොටි සංවිධානය යන දෙකේම කැරලි ගැසීම,රාජ්‍යය සමග යුද වැදීම වගේ මතුපිට සමාන ලක්ෂන පැවතියත් ව්‍යුහාත්මකව තිබෙන මෙම ගැඹුරු වෙනස්කම් විසින් මෙම සන්නද්ධ අරගල දෙක එක ගොඩකට දැමීම වලකනු ලබනවා.ගැට්ටේ තිබෙන සමානකම් වලට වඩා මධ්‍යයේ තිබෙන වෙනස්කම් වඩා ප්‍රබලයි.

කෙසේ නමුත් මෙම සටන් දෙකෙහිම පැවති සිත් ගන්නා සුලු සමානකමක් ගැනත් අවසාන වශයෙන් අවධානය යොමු කල යුතුයි.ඒ එම සංවිධාන වල ක්‍රියාධරයන්ගේ තිබුනු අසමාන කැපකිරීමේ හැකියාව සහ විනයගරුක බව.රාජ්‍යයට එරෙහි වුන "පදනම"එකිනෙකට සපුරා වෙනස් වුනත් රාජ්‍යය සමග ගැටිමේදී මෙම අරගල දෙකේම සටන්කාමී තරුනයන් සතුව තිබු ධෛර්ය සම්පන්න බව විස්මය ජනක එකක්.

ඒ විස්මයජනක ධෛර්ය එක්තරා අන්දමක සුබ ලකුනක්.සිංහලයාගේ හා දෙමලාගේ නිදහස එකිනෙකා මරගැනීම තුල නොවෙයි,සිය සැබෑ සතුරා වන පවතින සමාජ ක්‍රමයට අභියෝග කිරිමේ මාවත තුලින් වැටී තිබෙන බවට වන නිවැරදි දැක්ම එක්ක සමග එම ධෛර්ය හා එඩිතරබව බද්ධ වුවහොත්,මේ කුඩා කොදෙව්වේ සිදුකල හැකි ශ්‍රේෂ්ඨ වෙනස්කම් අපමනයි.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger