Home » » අද සමහරු අනුන්ගේ කීර්තිනාම බලෙන් පටවා ගන්න හදනවා.........

අද සමහරු අනුන්ගේ කීර්තිනාම බලෙන් පටවා ගන්න හදනවා.........

Written By Sri Lanka Guardian on Friday, October 2, 2009 | 3:40 PM

"ශ්‍රී ලංකාවේ කිසිම පුරවැසියකු ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයන්න බැහැ" 2002 වසරේදී එම ගිවිසුමට අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කළේ මමයි - විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ හම්බන්තොටදී කියයි

(October 02, Colombo, Sri Lanka Guardian) 2002 වසරේ ජාත්‍යන්තර අධිකරණය පිහිට වූ අවස්‌ථාවේ එම ගිවිසුමට අත්සන් කිරීම රටේ අගමැතිවරයා ලෙස තමන් ප්‍රතික්‍ෂේප කළ බව ද, ඒ නිසා ශ්‍රී ලංකා පුරවැසියන් කිසිවෙකු ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට ගෙන යා නොහැකි බව අවධාරණය කළ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සැබෑ තත්ත්වය එසේ වී තිබියදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රණවිරුවන් ව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන්න ඉඩ තබන්නේ නැතැයි ඝෝෂා කිරීම පිටුපස ඇත්තේ අනුන් කළ මෙහෙවරක කීර්තිය තමන් වෙත ලබා ගැනීමේ පහත් වෑයමක්‌ හා හුදු දේශපාලන වාසි වෙනුවෙන් සත්‍යය යටපත් කිරීමක්‌ බව ද පැවසීය.


පවුල් බලය ශක්‌තිමත් කොට සන්ධාන ආණ්‌ඩුවේ දූෂණයට, භීෂණයට තව තවත් ඉඩ දෙනවාද, එසේත් නැත්නම් රණවිරුවන් යුද අධිකරණයට නොයවා ආරක්‍ෂා කළ එක්‌සත් ජාතික පක්‍ෂයට ඡන්දය දී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා දැයි කියා ලබන 10 දා දකුණේ ජනතාව තීරණය කළ යුතු බව හෙතෙම පැවසීය.

දකුණු පළාත් සභා මැතිවරණයට හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් ඉදිරිපත් වී සිටින එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක කණ්‌ඩායමේ ජය තහවුරු කිරීම සඳහා තිස්‌සමහාරාම නගර මධ්‍යයේ පැවැති එජාප

රැළිය අමතා මේ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා රණවිරුවන් වෙනුවෙන් පහන් දැල්වීමේ පින පහන් දැල්වූ උදවියට නොදී මහ රජතුමා ඒ පින් ගැනීමට උත්සාහ කරන බව සඳහන් කළේය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සහකාර ලේකම් සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දිස්‌ත්‍රික්‌ සංවිධානයේ මූලිකත්වය යටතේ සංවිධානය කොට තිබූ එම ජන රැළිය අමතා තවදුරටත් අදහස්‌ දැක්‌වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

අපේ වීරෝදාර රණවිරුවන් ආරක්‍ෂා වී සිටින්නේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව 2002 දී ඒ යුද අධිකරණ ගිවිසුමට අත්සන් නොකළ නිසයි. අපේ ආණ්‌ඩුව නොමැතිව වෙනත් ආණ්‌ඩුවක්‌ ඒ අවස්‌ථාවේ තිබී මේ ගිවිසුමට අත්සන් කළා නම් අපේ රණවිරුවන්ට දැන් ජාත්‍යන්තර යුද අධිකරණය ඉදිරියට යන්න සිදුවනවා. හැබැයි එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව දුර දිග සිතා එදා ගත් තීරණයේ ගෞරවය ගැනීමට උත්සාහ කරන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයායි.

වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් අප අපේ යුතුකම් ඉටු කළා. හැබැයි අපි ජනාධිපතිවරයා වගේ දේශපාලන වේදිකාවේ ඒ ගැන කිය කියා ඡන්දය ඉල්ලා සිටින්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන වාර්තාවක්‌ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ තියෙනවා යෑයි ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කියනවාලු. ඇමෙරිකා එක්‌සත් ජනපදය ද ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ සාමාජිකයකු නොවේ. ඒ නිසා කිසිවකුට විරුද්ධව ජාත්‍යන්තර යුද අධිකරණයේ නඩු පැවරීමට ඇමරිකාවට හැකියාවක්‌ නැහැ. සදාම් හුසේන් 2006 දී අල්ලා ගත්තාට පසුව ඔහු ජාත්‍යන්තර යුද අධිකරණයට ඇමරිකාව ඉදිරිපත් නොකළේ ඒ නිසයි.

මේ කියන වාර්තාව සකස්‌ කර තිබෙන්නේ සෙනට්‌ සභාවේ ඉල්ලීමක්‌ අනුව ඇමරිකානු ආණ්‌ඩුවයි. ඒ වාර්තාව සකස්‌ කෙරෙන අවස්‌ථාවේදී එය නතර කිරීමේ වගකීම තිබුණේ කවුරුන්ටද? ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවට සහ අපේ ඇමරිකානු තානාපතිටයි.

ජනාධිපතිවරයා නියෝජනය කරන හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය ශ්‍රී ලංකාවේ දිළිඳුතම දිස්‌ත්‍රික්‌කය බවට පත්වෙලා. ජාතිය ගොඩනැඟීමේ බද්ද යුද්ධය අවසන් වුණාට පසුව 1% සිට 3% දක්‌වා වැඩි කළා. එසේ බදු මගින් එකතු කළ ඒ මුදල් සම්භාරයට සිදු වූයේ කුමක්‌ද?

රට සංවර්ධනය කිරීමට කියා යුද්ධ කාලයේදී රුපියල් කෝටි 13,000 ක විදේශ ණය ආණ්‌ඩුව ගත්තා. ඒ මුදල් යොදවා රටේ ආරම්භ කළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක්‌ අප කවුරුත් දැක නැහැ. එහෙම නම් රුපියල් කෝටි 13,000 ට සිදු වූයේ කුමක්‌ දැයි ආණ්‌ඩුවෙන් අප ප්‍රශ්න කරනවා.

මේ ණය ගෙවීමට නොහැකිව ආණ්‌ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් තවත් අති විශාල ණයක්‌ ගත්තා. මේ සියලු ණය ගෙවීමට සිදුව තිබෙන්නේ ජනතාවටයි. නමුත් ජනතාවගේ ප්‍රශ්න කිසිවක්‌ විසඳී නැහැ.

අඳ ගොවියාගේ සහ හේන් ගොවියාගේ ප්‍රශ්නය විසඳුවාද? නැහැ.... ගොවිතැනට අවශ්‍ය ජලය නැහැ. ඒ නිසා අක්‌කර ගණන් ගොවි බිම් පාළු වෙලා. ගොවිතැනට ජලය නොදෙන ආණ්‌ඩුව රේක්‌කෝස්‌ එකට නම් ඕනෑ තරම් ජලය දෙනවා. ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ අක්‌කර 3000 ක්‌ ජල හිඟය නිසා වගා නොකර අතහැරලා. අපේ මිනිස්‌සුන්ට කියන්නේ තණකොළ කන්න කියාද? ආයු බෝ වේවා මහ රජාණෙනි

ධීවර ප්‍රජාව ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටිනවා. කොළඹ රැකියා අහිමි වන තත්ත්වය හමුවේ තරුණ තරුණියන් නැවත ගමට එනවා. ඉදිකිරීමේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම වැටිලා.

දඬුවම් මුදලාලිට සිදු වූයේ කුමක්‌දැයි කවුරුවත් දන්නේ නැහැ. ඔහුගේ ආයතනයේ මුදල් ආයෝජනය කළ ජනතාවගේ මුදල් සම්භාරටය සිදු වූයේ කුමක්‌ දැයි තොරතුරු නැහැ. මේ මුදල් සම්භාරය ගත්තේ කවුරුන්ද?

හම්බන්තොට ජනතාවට විශේෂ ඇල්මක්‌ තිබෙනවා නම් මේ මුදල් සොයා දෙන්න ජනාධිපතිවරයා ක්‍රියා නොකරන්නේ ඇයි?

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් සතුව තිබූ රත්තරන් සොයා ගත්තා නම් දඬුවම් මුදලාලිගේ සල්ලි සොයා ගැනීමට නොහැකි ඇයි. කේ. පී. අල්ලා ගත්තා නම් දඬුවම් මුදලාලි ජනතාවගෙන් ගත් මුදල් සොයා ගැනීමට නොහැකි මන්දැයි අප ප්‍රශ්න කරනවා.

යුද්ධ කරන්න යෑයි කියා ජනාධිපතිවරයා යුද කාලයේදී විශාල වශයෙන් බලතල පවරා ගත්තා. යුද්ධය දැන් අවසානයි. නමුත් ඒ බලතල නැවත දී නැහැ. ඒ බලතල ජනතාව වෙනුවෙන් යොදවන්නෙත් නැහැ. හැබැයි සියලු බලතල සිය පවුල දියුණු කිරීමට නම් ඔහු යොදවා තිබෙනවා.

පවුල දියුණු වෙන්න දියුණු වෙන්න දූෂණය, භීෂණය සහ මර්දනය රට පුරා පැතිර යනවා. ඒ අනුව දකුණු පළාත් සභා මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ඡන්දය දෙනවා කියන්නේ පවුලේ බලය වැඩි කිරීමට ක්‍රියා කිරීමයි.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තරුණ තරුණියන් අතර රැකියා අයෑදුම්පත් ලක්‍ෂ ගණන් බෙදා හැර තිබෙනවා. ඒ සියල්ලන්ට රැකියා ලබා දීමට නම් මුළු හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයම හාරා වරායක්‌ බවට පත් කළ යුතුයි.

යුද්ධයෙන් පසුව ගෙවුනු මාස ගණනාව ඇතුළත එකතු වුණු මුදලට කළේ කුමක්‌ද? රටේ සංවර්ධනයට යෑයි කියා ණයට ගත් රුපියල් කෝටි 13,000 කෝ...?

මේවා ගැන පත්තරේ ලිව්වොත්...... රූපවාහිනියෙන් කිව්වොත්. අපිව සුදු වෑන් ඇවිත් පැහැර ගනීවි සර්... ඒ නිසා ඔබතුමාවත් මේවා වේදිකාවේ කියන්න" යෑයි මාධ්‍යවේදීන් මගෙන් ඉල්ලා සිටිනවා.

එක්‌සත් ජාතික පක්‍ෂ සහකාර ලේකම්, බදුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා -

ජනාධිපතිතුමා ග්‍රීස්‌ ගහට නැගලා කොඩිය ගැලෙව්ව බව ඇත්ත. නමුත් එතුමාට ග්‍රීස්‌ ගහට නගින්න උදව් කළ අය අමතක කොට තිබෙනවා. අහිංසක රණවිරුවන්ගෙ පඩි පතටත් විදලා අවසානයි.

රාජපක්‍ෂ පවුල අද එක්‌සත් ජාතික පක්‍ෂයට දොස්‌ කියනවා. විපක්‍ෂ නායකතුමාට දොස්‌ කියනවා. නමුත් එහෙම දොස්‌ කීවා කියා රටේ ප්‍රශ්න එකක්‌වත් විසඳිලා නැහැ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සහකාර ලේකම් හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් රටේ ජනාධිපති බිහිවුණාම අපිත් හකුලා ගෙන යයි කියලා ඇතැම් අය කල්පනා කළා. නමුත් අපි එහෙම හකුලා ගෙන යන අය නොවෙයි.

රණසිංහ ප්‍රේමදාස චරිතයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය පෝෂණය වෙනකම් පක්‍ෂය දියවෙන්න ඉඩ තියන්නේ නැහැ.

එක්‌සත් ජාතික පක්‍ෂ සභාපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවික්‍රම පෙරේරා මහතා -

දකුණේ සිටින්නේ අයුක්‌තියට අසාධාරණයට දඬුවම් කරන ජන කොටසක්‌. මේ ආණ්‌ඩුව ගෙන යන අයුක්‌තියට අසාධාරණයට එරෙහිව ලබන 10 දා දකුණේ ජනතාව නිසි පාඩමක්‌ උගන්වන බව අපට විශ්වාසයි.

හම්බන්තොටින් බිහි වූ ජනාධිපතිවරයෙක්‌ රටේ සිටියත් එක්‌සත් ජාතික පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස හම්බන්තොටට කළ සංවර්ධනයෙන් හතරෙන් එකක්‌ අද ඉටු කර නැහැ.

අද මේ ආණ්‌ඩුව හසුරුවන්නේ රාජපක්‍ෂ පවුලේ අයට පමණයි. ආණ්‌ඩුවේ ඇමැතිවරු බහුතරයක්‌ අසරණ වෙලා. ඔවුන්ට කිසිවක්‌ කර ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතා

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රටේ මුදල් කාබාසිනියා කරමින් තෝරාගත් පිරිසකට මැද මුලනේ දන්සල් දෙනවා. කෑම පැකට්‌ බෙදනවා. දකුණු පළාත් සභාවේ කේන්ද්‍රස්‌ථානය බවට මැද මුලන පත් කරගෙන තිබෙනවා. වත්මන් පාලනය යටතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ජනතාව අසරණ වෙලා. ජනතාවට කිසිම පිහිටක්‌ නැහැ. දරුවාගේ සිට මහල්ලා දක්‌වා මහා විනාශයකට තල්ලු වෙලා. මේ ජනතාව ගොඩගත යුතුයි. හම්බන්තොට ගොඩ ගත යුතුයි.

ප්‍රේමදාස දර්ශනය තුළින් සියලු ජනතාව ජීවත් කිරීම සඳහා ලබන 10 වැනිදා අලියා ඉදිරියේ කතිරය ගසා එක්‌සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරන ලෙස දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කළු කරපු වාහනවලින් ආරක්‍ෂකයන් පිරිවරාගෙන අද හම්බන්තොට සැරිසරණ ඇමැතිවරුන්ට මේ දිස්‌ත්‍රික්‌කයේ අහිංසක ජනතාවගේ දුක දැනෙන්නේ නැහැ.

හම්බන්තොට එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා, මුල්කිරිගල එජාප සංවිධායක හිටපු ඇමැති ආනන්ද කුලරත්න මහතා මෙහිදී අදහස්‌ දැක්‌වීය.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger