Home » » රනිල් වික්‍රමසිංහ .......... හාල් ගැරීම

රනිල් වික්‍රමසිංහ .......... හාල් ගැරීම

Written By Sri Lanka Guardian on Monday, October 19, 2009 | 4:30 AM

(October 19, Colombo, Sri Lanka Guardian) රනිල් වික්‍රමසිංහ වුකලී ලේඛකයා දැඩි ලෙස පිළිකුල් කරන පොලිතීසියන් ලැයිස්තුවේ මුදුනින්ම සිටින්නෙකි. ඒ එක්සත් ජාතික පක්ෂය සමඟ චිරාත් කාලයක් තිස්සේ වූ ඝට්ඨනය නිසා නොවේ. එසේම රටේ බහුතරයක් ඔහු පිළිකුල් කරන හේතූන්ට ඉඳුරා වෙනස් හේතු ඇතිවය.

ධන ලක්ෂණ වලින් පටන් ගත්තොත්, කෘෂිකර්මාන්තය පදනම් කොට ගත් ඩී. එස්. සේනානායකගේ පසුගාමී, යල් පැණ ගිය පැරැණි යූ ඇන් පීයට සාපේක්ෂව වික්‍රමසිංහගේ නූතනත්වය ලේඛකයා අගයයි. අඩු තරමින් බස්නාහිර පළාතේ ඉඩම් කුඹුරු ගොවිතැනට වඩා වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීම වඩා ඵලදායී බැව් අවබෝධ කරගන්නට තරම් මොළයක් වික්‍රමසිංහට තිබුණේය. එසේම අන් සියළු විකල්පයන් අහෝසි කොට දෙමළුන් ත්‍රස්තවාදයට තල්ලුකොට දැමූ ජාතික ගැටළුව පිළිබඳ ජේ. ආර් ජයවර්ධනගේ බමුණු මතයට වඩා වික්‍රමසිංහ ඒ ගැන දැක්වූ නම්‍යශීලීත්වයටද ලේඛකයා ප්‍රිය කරන්නේය. දෙමළුන් වෙනුවෙන් පෙනී නොසිටියද, වික්‍රමසිංහ අනෙකුත් ජාතික මට්ටමේ සිංහල නායකයින් මෙන් අන්ත සිංහල ගෝත්‍රවාදයක් කරා තල්ලු වී නැත. සුළුතරයන්ගේ අයිතිවාසිකම්, මානව අයිතීන් හා මානව හිමිකම් සම්බන්ධව (තරමක අපුලකින් යුතුව වුවද) ඔහු සමඟ එකම වේදිකාවට ගොඩ වන්නට අපට බැරිකමක් නැත්තේම නොවේ. අන්තර් ජාතික වශයෙන් ‘මහ ජරා’ මහ රජාසේ වික්‍රමසිංහ කාඩ් කුඩු කරගෙනද නැත. (තමන්ට තවමත් පෙරසේ වෙණ ගායනා බැරි බැව් ඔහු අවබෝධ නොකැරගැන්මට එක් හේතුවක් මේය.)


ඔළුව අත ගා ඉවරය. දැන් ටොකු ඇනීම පටන් ගනිමු.

ලේඛකයාට වික්‍රමසිංහ ගැන ඇති තදබල විවේචනය ඔහුගේ ‘ලිබරල්’ යැයි වැරදි ලෙස හඳුන්වනු ලබන මතවාදය සම්බන්ධව නොව ලිබරල්වාදියකු සේ පෙනී සිටිමින් සාම්ප්‍රදායික නිලමේවරයකුගේ භූමිකාව රඟපෑම, තමා ඊට නුසුදුසු බව දැන දැනම, මේ රටේ ජනතාව වෙනුවෙන් මහඟු සේවයක් ඉටුකළැකි තනතුරක් (වෙන සුදුස්සකුට ඉඩ ලබාදීම සඳහා) අත් නොහැරීම හා ගොඩ නැඟෙමින් තිබෙන වැඩවසම් රාජ්‍යයට එරෙහිව ජනතාව පෙළ ගස්සනවා වෙනුවට තම නොහැකියාව නිසා වක්‍රව ඒ දුර්දාන්ත රාජ්‍යතන්ත්‍රයේ පැවැත්මට රුකුල් දීම ගැනය.

රටක් ආර්ථික වශයෙන් දියුණු වීම සඳහා පමණක් සවිමත් විපක්ෂයක් තිබිය යුතුය යන කාරණය ලේඛකයා තරයේ ප්‍රතික්ෂේප කරයි. සිංගප්පූරුව හා මාල දිවයින හොඳ නිදසුන් දෙකකි. නොබෝදා ජපාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (DPJ) විසින් පරදවන ලද තුරුම, මාස එකොළහක කෙටි කාලයකට හැර, ජපානය වසර 54ක් තිස්සේ ආණ්ඩු කරන ලද්දේද එක පක්ෂයක් – ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) විසිනි. කොමියුනිස්ට් චීනයේ විපක්ෂයක් කියා මඟුලක් ඇත්තේම නැත. දීර්ඝ කාලයක් තිස්සේ සවිමත් විපක්ෂයක් නැතිවීම මේ කිසිම රාජ්‍යයකට දියුණු වීම සඳහා බාධාවක් වූයේ නොවේ. සමහර අවස්ථාවන්හීදී සවිමත් විපක්ෂයක් නැතිවීම ඒවායේ සංවර්ධනයට හේතුවී ඇත. වරෙක ඉන්දීය අගමැති මන්මෝහන් සිං ප්‍රකාශ කළේ ඉන්දියාවේ කම්හලක් ගොඩනඟන්නට, පාරක් හදන්නට යන කාලයෙන් දහයෙන් එකකදී චීනයට එය කළ හැක්කේ රජයේ තීරණ ප්‍රශ්න කරන්නට කිසිවකු නැති නිසා බවය.

සවිමත් විපක්ෂයක් නැතිවීම කෙටිකාලීනව රටක දේශපාලන ස්ථාවරභාවයට (Political Stability) හානියක්ද නොවේ. විපක්ෂය දුර්වල වීම බොහෝවිට රටක දේශපාලන ස්ථාවරභාවයට යහපත්ය.

එසේනම් අප මෙතරම් දතකා විපක්ෂයක් පවත්වාගෙන යන්නේ ඇයි? රනිල් වික්‍රමසිංහට, සෝමවංශ අමරසිංහට හා ඔවුන්ගේ ගෝලයින්ට මහජන මුදලින් වැටුප් ගෙවමින් නඩත්තු කරන්නේ ඇයි?

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විපක්ෂයක් අවශ්‍ය වන්නේ ඉඳුරාම වෙනස් කාරණාවක් සඳහාය. ඕනෑම රටක පාලකයකු (හැන්ද තමන්ගේ අතේ නිසා) තමන්ගේ ජාතියට, කුලයට, ප්‍රදේශයට පමණක් නොව පවුලට පවා අසාධාරණ ලෙස සම්පත් බෙදා ගැනීමේ අවදානමක් පවතී. මෙය ලංකාව වැනි නොදියුණු රටවල පමණක් නොව සිංගප්පූරුව වැනි දියුණු රටවල පවා සිදු වන බැව් ලී ක්වාන් යූගේ පවුලට හිමි ව්‍යාපාරික වස්තූන් දෙස බැලීමේදී පෙනී යයි. (සිංගප්පූරුවේ අද අගමැති ලී ක්වාන් යූගේ පුත්‍රයාය. දේශපාලනය තුළ වංශය පවත්වා ගැනීමේ පවිටු සිරිත දකුණු ආසියාවට සීමාවී නැති බවයි මෙයින් පෙනෙන්නේ.) රටකට විපක්ෂයක් අවශ්‍ය වන්නේ මේ ධ්‍රැවීකරණය වළක්වා ගැන්ම සඳහාය. විපක්ෂයක් නොමැතිනම් පාලකයන් අයත්වන කුලකයන්ට අයත්නොවන ජනතාවගේ අයිතීන් ගැන හඬක් නැඟීමට කවරකු හෝ ඉතිරි වන්නේ නොවේ. මේ නිසා විපක්ෂයේ ප්‍රමුඛ කාර්යභාරය විය යුත්තේ හඬක් නැති ජනතාවගේ හඬ වීමය. යම් මොහොතක පාලකයන්ගේ අනුග්‍රහය නොලබන මේ හඬක් නැති ජනතාව බහුතරය වන කල්හි ඔවුහු පවත්නා ආණ්ඩුව පෙරළා දමා නව ආණ්ඩුවක් පිහිටුවා ගනිති. මෙහිදී පක්ෂ දෙකක භූමිකාවන් වෙනස් වුවද ආණ්ඩුවේ හා විපක්ෂයේ භූමිකාවන් වෙනස් නොවේ. තට්ටු මාරුවකදී එතෙක් බලයේ සිටි පක්ෂය විපක්ෂයට ගොස් විපක්ෂයේ භූමිකාව රඟපෑම ආරම්භ කරයි.

අද අපේ රටේ විපක්ෂයට අයත් වන දේශපාලන පක්ෂ දෙස බැළුවොත් ඉතාම ප්‍රතිගාමී ස්ථාවරයක සිටිමින් හෝ තමන් නියෝජනය කරන ජන කොටස් ගැන ප්‍රබල හඬක් නඟන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණය. ඒ හඬ වැරදිද නිවැරදිද යන්න වෙනම කතාවක් වුවත් අඩු තරමින් මේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, රජයේ සේවකයින් වැනි තෝරාගත් ජන කොටස් වල අවශ්‍යතා ජවිපෙ විසින් හඳුනාගෙන ඇති බව මේ කොටස් ඒ වටා එක් රැස් වීමෙන් පෙනෙයි. පළාත් සභා මැතිවරණ එක පිට එකින් අන්ත පරාජයන්ට ලක් වෙද්දීත් කඳුළු ගෑස් කන්නට සූදානමින්, කොටුවේ මහාමාර්ග වසන්නට තරම් ජනකායක් පාරට බස්සන්නට ජවිපෙට ශක්තිය ලැබී ඇත්තේ එනිසාය. එසේම බිම් මට්ටමේ ජවිපෙ ක්‍රියාකාරීන් තුළ තවමත් නායකයින් කෙරෙහි යම් හෝ ගෞරවයක් ඇත්තේය. මේ වෙන කිසිම හේතුවක් නිසා නොව තමන් නියෝජනය කරන ඉතාම කුඩා ජනතීරුවේ වුව ප්‍රශ්න ජවිපෙ න්‍යායපත්‍රයේ අඩංගුව ඇති නිසාය. (උදා: හරි වැරැද්ද පසෙක තියා, පුද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහි වීම තමන්ගේ අවිනිශ්චිත අනාගතය ගැටළුවක් කොට ගෙන ඇති දුප්පත් විශ්වවිද්‍යාල සිසුන්ට ඉතාම ආකර්ෂණීය ඇමකි.)

ජවිපෙට සේම යූ ඇන් පියටද තමන්ට සම්ප්‍රදායික ලෙස ආමන්ත්‍රණය කළ හැකි ජනකොටස් ඇත්තේය. බොහෝ මෝඩ ඊනියා සමාජවාදීන් සිතා සිටින හැටියට යූ ඇන් පියට මෙතෙක් කල් ඡන්දය දුන්නේද සහයෝගය දැක්වූයේද ධනපති පංතිය හා ඔවුන්ගේ අන්තේවාසිකයෝම නොවෙති. (එක් මෝඩ ‘මාක්ස්වාදී’ නායකයකු කීවේ පොල් අත්තක් යට තරාදියක් එලා ගන්නා සුළු වෙළෙන්දාද ධනපතියකු සේ සැලකිය යුතු බවය. මේ මුන් මාක්ස්වාදය තේරුම්ගත් තරමය.) මැද පෙරදිග රටවල් ඇතුළු විදේශයන්හි සේවය කරන පිරිස්, සුළු වෙළෙන්දන්, තෙසක් සැරි රියැදුරන්, විවිධාකාරයේ ස්වයං රැකියාවන්හි නිරත වූවන් පමණක් නොව ගොවීන් හා ධීවරයෝද ඔවුන්ගේ පවුල් වල ඇත්තන් සමඟ යූ ඇන් පියට සහයෝගය දක්වති. මෙතෙක් තම කටයුතුවලට රුකුලක්ව ඇත්තේ යූ ඇන් පී ප්‍රතිපත්තීන් බව සුළු බුද්ධියකින් පවා වටහා ගැන්මට ඔවුන්ට හැකිවී තිබේ. අනෙක් අතට මහරජාණන්ගේ සිංහල බෞද්ධ අන්තවාදය පිළිකුල් කරන අති විශාල සංඛ්‍යාවක් සුළුජාතිකයෝ වෙති. වික්‍රමසිංහගේ වර්තමාන යූ ඇන් පිය කරන ලොකුම වරද මේ කිසිම ජන කොටසකගේ අයිතීන් වෙනුවෙන් හඬක් නොනැගීමය.

අද යූ ඇන් පිය කතා කරන ප්‍රශ්න ඔවුන්ගේ ප්‍රශ්න මිස පොදු ජනතාවගේ ප්‍රශ්න නොවේ. 17 වැනි සංශෝධනය, මැතිවරණ කොමිසම්ද, සාධාරණ මැතිවරණද අවශ්‍යවන්නේ යූ ඇන් පියටය; ජනතාවට නොවේ. රාජ්‍ය මාධ්‍යාධිපත්‍යය භයානක ලෙස හිසරදයක්ව ඇත්තේ ද යූ ඇන් පියටය. ජනතාවගේ ප්‍රශ්න මේවායින් වෙනස්ය. අඩු තරමින් ජවිපෙ සේ ප්‍රශ්න පත්තරයක වැරද්දක් අල්ලාගෙන කෑගැසීමටවත් යූ ඇන් පියට නොහැකිව තිබේ. අවතැන්වූවන් ගැන කියනුම කවරේද?

එසේම වික්‍රමසිංහගේ යූ ඇන්පිය ඉතාම වැරදි හා මෝඩ ලෙස ජනතාවගේ සංකීර්ණ ප්‍රශ්න තම වාසියට හරවා ගන්නට උත්සාහ දරයි. මෙය ඕනෑම රටක විපක්ෂයක් කරන දෙයක් මුත් එය කළ යුත්තේ පරිස්සමිනි. ජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනි නොවන අයුරිනි. GSP+ ප්‍රශ්නය ගනිමු. ඇඟලුම් කර්මාන්තයෙන් දිවි රැක ගන්නා ගම්බද ජනතාව අති විශාල පිරිසක් GSP+ සහනය ලැබේද නොලැබේද දෙගිඩියාවකින් පසුවන මොහොතකි මේ. ඔවුන්ට මේ සහනය අත්‍යාවශ්‍යය. අනික් අතට ඊට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක ඉන්නා යූ ඇන් පිය GSP+ සහනය නොලැබීම ගැන යටි සිතින් සතුටු වේ. ඔවුන්ගේ අභිලාෂය GSP+ සහනය ලැබී මෙරට ගම්බද ජනතාවට යහපතක් වනු දැකීම නොව එය නොලැබී රාජපක්ෂ රෙජීමය කුජීත වනු දැකීමය. මොවුන් දිගින් දිගටම මැතිවරණ වලින් පැරැදීම පුදුමයක්ද? හුදෙක් පක්ෂ දේශපාලනයේ වාසි සඳහා පොදු ජනතාවගේ එදාවේල උකස් කිරීමට පසුබට නොවන පක්ෂයකට ඔවුන් තව දුරටත් ඡන්දය භාවිතා කළ යුත්තේද?

එතැනින් එපිටට යන වික්‍රමසිංහ තමන්ගේ ලිංගික නම්ණීකරණයද ගැටළුවක් කොට ගනී. මෙය කතා කිරීම අසාධරණය කියන්නෝ පිරිසක්ද වෙති. ඒ එසේ නම් විෂම ලිංගික රාජපක්ෂගේ පවුල ගැනද ඔහුගේ නැඟණියගේ දෙනියායේ බංගලාව ගැනද කතා කිරීමද අසාධාරණ විය යුතුය. පවුලේ සාමාජිකයන් කරන කියන දේ දේශපාලනයට අදාළ නොවන හෙයිනි. රනිල් වික්‍රමසිංහගේ සමරිසි සම්බන්ධතා (gay affairs) අපේ මාතෘකාවට අතිශයින් අදාළ ඔහු තම ලිංගික ජීවිතය (මංගල සමරවීර සේ) පුද්ගලික මට්ටමින් තබා නොගෙන දේශපාලනයට මුසු කරන හෙයිනි. වික්‍රමසිංහගේ ඡායා කැබිනෙට්ටුවේ (shadow cabinet) අධ්‍යාපනය භාරදී ඇත්තේ අකිල විරාජ් කාරියවසම්ටය. ආරක්ෂක කටයුතු තවත් සුකුමාල තරුණයකු වූ සාගල රත්නායකටය. වික්‍රමසිංහගේ පුරිස් කයට මෝක්ෂ සුව ලබා දීම සඳහා ඕනෑම වෙලාවක ‘එව-රෙඩි’ තබා ඇති රෙක්තමයන් හැරුණුවිට මේ භාරදූර පදවි දරන්නට මොවුන්ට ඇති සුදුසුකම් කවරේද? රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස තමන් වෙත පැවරුණු වගකීම් මෙලෙස පුද්ගලික වින්දනයට යට කරන මේ පුද්ගලයාට රාජපක්ෂගේ ඥාති සංග්‍රහ ගැනත්, අනර්කලිය දේශපාලනයට සම්ප්‍රාප්ත වීම ගැනත් කතා කරන්නට ඇති අයිතිය කුමක්ද?

වික්‍රමසිංහ අද ඉටුකරමින් සිටින යම් ක්‍රියාවක් වේද එය ආච්චිට හාල් ගැරීමක් ලෙස හඳුන්වා දීමට ලේඛකයා පසුබට නොවන්නේ එහෙයිනි. ජීවිතයේ කිසිම දිනයක යූ ඇන් පිය වෙනුවෙන් ඡන්දය පාවිච්චිකර නැතද, අට වතාවක් මේ රට පාලනය කිරීම සඳහා මෙරට පොදු ජනතාව විසින් තෝරා පත්කර ගන්නා යූ ඇන් පිය මෝඩ ‘සමාජවාදීන්’ සේ ධනපති පක්ෂයක් සේ හංවඩු ගසා කොන් කර දමනවා වෙනුවට මැටි බළලකුගෙන් ගන්නා වැඩපළවත් කර ගැනීමට ඊට මීට වඩා සුදුසු, රට ගැන ආදරයක් ඇති, නායකත්වයක් අවශ්‍ය බව ලේඛකයාගේ කල්පනාවය.

අනෙක් අතට යූ ඇන් පිය යකාට ගියේවා, මෙරට විපක්ෂයට හිසක් තිබිය යුතුය. එය කවන්ධයක් විය යුතු නැත, විශේෂයෙන්ම රට වැඩවසම් යුගයකට තල්ලු කරන්නට පාලකයින් අර අඳින මේ අබුද්දස්ස යුගයේ. සිරිමා බණ්ඩාරනායක නම් අකර්මන්‍ය චරිතය විපක්ෂයේ මුල් පුටුව බදාගෙන රටට කළ මහා වින්නැහිය කරන්නට වික්‍රමසිංහට ඉඩ නොතැබිය යුතුය.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger