Home » » සරත්, බැරි සිල් නොගන්

සරත්, බැරි සිල් නොගන්

Written By Sri Lanka Guardian on Monday, October 19, 2009 | 4:31 AM

සරත් බරත් – බර කරත්තෙ
රෑට අදින – ගොන් කරත්තෙ

(October 19, Colombo, Sri Lanka Guardian) අප මෙහෙම කීවේ ඉස්කෝලෙ යන කාලයේදී විහිළුවටය. එහෙත් අබුද්දස්ස කාලයේදී ලබු තිත්තවනවා පමණක් නොව මෙවැනි ජෝක් සීරියස් වීමද නිරීක්ෂණය කළ හැකිය.

දෙවැනි මහින්දාගමනයෙන් අනතුරුව වැලේ වැල් නැතුව ගොස් සිටින යූ ඇන් පී කාරයින්ටත් ජේ වී පී කාරයින්ටත් දැන් යාන්තම් බර කරත්තයක් හමුවී තිබේ. දෙගොල්ලන්ගේම දැන් තදියම මේ බර කරත්තයට ගොඩවීමය. සත්වැනි මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේගේ තිරික්කලයට තරගයක් දෙන්නට බැරිනම් “ඔන්න අපත් රේස් එකට දිව්වා” යි කියන්නටවත් පුළුවන් මේ බර කරත්තයට ගොඩවීමෙන් පමණකැයි අන්කල් රනිල්ගේ හා සෝමවංස සීයාගේ ගෝල බාලයන් කල්පනා කරන සෙයක් පෙනෙන්නට ඇත්තේය. ඇත්ත. එය දැන් මෙන් චාටර් වී පයින් යනවාට වඩා හොඳය.ලිවීමද, බණ්ඩාරගම කොණ්ඩේ බඳින චීන්නුන්ට ගිනි පොළියට ණය දීම හා දාහේ හොර නෝට්ටු ගැසීම තරමටම පහසු ලෙස සිතා ඉන්නා අජිත් පී. පෙරේරාද සරම කැහැපට ගසාගෙන දැන් මේ ගොන් කරත්තෙ දක්කන්නට ලක ලැහැස්ති වෙනවා විය යුතුය.


කවුද මේ බර කරත්තකාරයා? මහරජාණන් වෙනුවට මොහු ආදේශ කිරීමෙන් මෙරට පොදු මහජනතාව ලබන ප්‍රතිලාභ කවරේද?

ජනරාල් සරත් ෆොන්සේකා යනු මෙරට වසර තිහක් තිස්සේ දිග් ගැසුණු යුද්ධය (තාවකාලිකව හෝ) නතර කිරීමට ගොඩ බිමින් සටන් කළ හමුදාවන්ට මිලිටරි නායකත්වය සැපයූයේය. තමන්ගේ ජීවිතය නැතිකිරීමට සතුරන් ගත් උත්සාහයක් අනූනවයෙන් ව්‍යවර්ථ වීමෙන්, ශාරීරික හානීන්ට ගොදුරුවීමෙන් පසුව පවා රණ බිමින් ඉවත් නොවීමට ඔහු ගත් තීරණය විශිෂ්ටය. එසේම යුද්ධ හමුදාවේ සම්පත් ඉහළ නැංවීම, යුද්ධයේ ඉලක්කය කේන්ද්‍රගත කිරීම, හමුදාවේ කර්යක්ෂ්මතාවය ඉහළ නැංවීම හා විනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඔහු ගත් පියවර ව්‍යාපාර හා රාජ්‍ය පරිපාලන (Business and public administration) සිසුන්ගේ නොමඳ අවධානයට බඳුන් වීමට තරම් අනර්ඝය. එතෙක් වුවත් ඔහු විසින් කරන ලද කාර්යභාරය ඉහත තනි වැකියෙන් ප්‍රකාශකරනවාට වඩා අඩු සේම වැඩිද නොවන්නේය.

රාජපක්ෂ-ප්‍රභාකරන් ද්වන්ධ සටනේ අරමුණ ගැන සේම එය සිදුවූ ආකාරය ගැනද තදබල විවේචනයක් තිබූ ලේඛකයා එකහෙළා පිළිගන්නා කාරණාවක් වන්නේ මේ යුද්ධය ෆොන්සේකා වරෙක සඳහන් කළ ආකාරයට 95% ක යුද්ධ හමුදා දායකත්වයෙන් ‘නතර කළ’ එකක් නොවන බවය. අද එය (තාවකාලිකව හෝ) නතර වී ඇත්තේ තවත් බොහෝ දෙනකුගේ සක්‍රිය සම්මාදමේ ප්‍රතිඵලයක් ලෙසය. ප්‍රභාකරන්ට අවසාන පොරෝ පහර දුන්නේ කවුරුන් වුවද, එසේ කළ හැකිවූයේ ඔවුන්ට ලැබෙන මුල්‍යාධාර, යුද්ධායුධ පමණක් නොව මානව සම්පත්ද දරුණු ලෙස අවමකරණය කිරීමෙන් පසුය. මූල්‍යාධර කපා දැමුණේ ලක්ෂ්මන් කදිරගාමර්ගේ සිට දයාන් ජයතිලක දක්වා පිරිස් LTTEයේ විදේශීය බළල් අත් අක්‍රිය කිරීමට ගෙනගිය ක්‍රියාමාර්ග නිසාය. කිලෝමීටර් සිය දහස් ගණන් ඈත දියඹේ යාත්‍රා විනාශ කරමින් LTTE යුද්ධායුධ සැපයුම් ජාලය විනාශ කරන ලද්දේ වසන්ත කරන්නාගොඩගේ නායකත්වයෙන් යුත් නාවුක හමුදාවය. මානව සම්පත් උල්පත සිඳුනේ (කවුරුන් පිළිගැනීමට කැමති වුවද ) චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ අනුරුද්ධ රත්වත්තේගේ නායකත්වයෙන් යුතුව වැඩිම දෙමළ ජනගහණයක් වාසය කළ යාපනය අර්ධද්වීපය රජයේ පාලනයට නතුකර ගන්නා ලද නිසාය. තනිකරම චණ්ඩිකමට වුවද නොසැළී යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ රාජපක්ෂය. මේ සියල්ල අමතක කොට යුද්ධයේ මේ තාවකාලික නිමාව තනි පුද්ගලයකුගේ ක්‍රියාවක් සේ අර්ථ දැක්විය හැක්කේ ඉතිහාසය ඕනෑකමින්ම අමතක කරන්නෙකුට පමණකි.

ඒ සියල්ල නොසලකා හැරියද, ෆොන්සේකා මොනම අවස්ථාවකවත් තමන් මෙරට දේශපාලන නායකත්වයට සුදුසු පුද්ගලයකු බව ක්‍රියාවෙන් පෙන්නා නැත. ඔහුගේ ක්‍රියාවන්ගෙන් පැහැදිළිව පෙනී ගොස් ඇත්තේ ඔහුගේ නුසුදුසුකම පමණකි. (මිලිටරි නායකත්වය හා දේශපාලන නායකත්වය යනු එකක් නොව දෙකකි.) දෙමළ ජනතාව ගැන මහ රජාණන්වත් නොකළ ප්‍රකාශ ඔහු කළ අවස්ථා ඇත. චම්පික රණවක හා නලින් ද සිල්වා ලෙසින්ම ඔහු සිංහල බහුතරයට අනෙකුත් ජාතීන්ට හිමි නොවන වරප්‍රසාද හිමිවීම සාධාරණීකරණය කරයි. ඒ සඳහා ජාතික පුවත්පත්වල කතුවරුන් ඝාතනය කරන, රූපවාහිනී ආයතනවල මැදිරි කුඩුපට්ටම් කරන මාධ්‍ය කල්තරයක්ද අනුමත කරයි. එජාපයට හා ජවිපෙට සේම මහරජාණන්ගේ වැඩවසම් පාලනයෙන් රට මුදා ඉදිරියට ගෙනයාමේ කිසිම සමාජ ආර්ථික වැඩපිළිවෙලක් ඔහුටද නැත. ඔහුද රනිල් වික්‍රමසිංහ හා සෝමවංශ අමරසිංහ තරමටම දේශපාලන අනාථයෙකි. එකම වෙනස වික්‍රමසිංහට හෝ අමරසිංහට නැති ජනප්‍රියතාවයක් ඔහු සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය තුළ හිමිකොටගෙන සිටීමය.

රාජපක්ෂ පවුල මේ රට පාලනය කිරීම (වඩාත් නිවැරදිව කීවොත් රට උලා කෑම) ගැන ලේඛකයාට ගැටළු ගණනාවක් තිබේ. ඒවා රනිල් වික්‍රමසිංහගේ අතවැසියකු වන අජිත් පී. පෙරේරාට ඇති ගැටළුවලට වඩා බරපතළය. එහෙත් එයින් අදහස් කරන්නේ මේ මොහොතේ සියල්ලන්ගේම ඒකායන අරමුණ රාජපක්ෂ උන්නැහේ ගෙදර යැවීම විය යුතු බව නම් නොවේ. මහ රජ්ජුරුවන් වහන්සේ ගෙදර යැවීමට යූ ඇන් පියට හෝ, මංගල සමරවීරට හෝ සෝමවංශ අමරසිංහට ඇති තදියම රටේ බහුතර ජනතාවට සේම ලේඛකයාටද නැත. රාජපක්ෂ ගෙදර යනවා නම් යායුත්තේ එතැනට ඊට වඩා සුදුසු කෙනකු පත්වීමෙන් පසුවය. කැහි ගෑනි දී මැරිච්චි ගෑනියකු ගෙට කැන්දා ගන්නට තරම් මෙරට පොදු ජනතාව මෝඩ විය යුතු නොවේ.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger