By Taboo
(ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි)
ඉතිහාසය පුනරාවර්තනය වේ. පළමුව ශෝකාන්තයක් ලෙසිනි; ඉන්පසු ප්‍රහසනයක් ලෙසිනි.
– කාල් මාක්ස්
ජනතා විමුක්ති පෙරමුණ යනු ලංකා දේශපාලනයේ සුරූපී ගණිකාවයි. ඇය සමඟ යහන්ගතවන්නෝ බොහෝය; එහෙත් වැඩ වැරදුණු පසු වගකීම බාර ගන්නට කිසිවකු නැත.
– වාසුදේව නානායක්කාර (ජනාධිපති උපදේශක වීමට බොහෝ කාලයකට පෙර කියන ලද්දකි.)
(October 22, Colombo, Sri Lanka Guardian) ‘පීඩකයා’ හා ‘පීඩිතයා’ යනු මාක්ස්වාදී සාහිත්‍යයේ නිතර භාවිතා වන යෙදුම් දෙකකි. තමන් මාක්ස්වාදීන්යැයි කියාගන්නා, එහෙත් මාක්ස්වාදයේ ඉතා සරල සිද්ධාන්තවත් අනුගමනය කරන බවක් නොපෙනෙන ජනතා විමුක්ති පෙරමුණ 2004 සිට මෑතක් වන තුරු සිටියේ මින් පළමු කඳවුරෙහිය. රාජපක්ෂ රෙජීමය වෙනත් ජන කොටස් මත ඇති කරන ලද පීඩනය ජවිපෙට ප්‍රශ්නයක් නොවූවා පමණක් නොව එයට ඔවුන් ඉත සිතින් සහය පළ කරන සෙයක්ද දකින්නට තිබුණේය.
කුඩා කිතුණු කණ්ඩායම් ඉලක්ක කොට ගත් ‘දේශප්‍රේමීන්’ විසින් දිවයින පුරා ඔවුන්ගේ ආගමික ස්ථාන දෙසියයකට අධික සංඛ්‍යාවක් බිඳ දමා දැඩි මර්දනයක් එල්ල කළ අවස්ථාවන්හීදී ජවිපෙ සිටියේ පීඩකයාගේ පැත්තේය. කොළඹ දෙමළුන් ඉලක්ක කොට ගත් සුදු වෑන් රථ ජවිපෙට නොපෙනුණා පමණක් නොව, ඒ මර්දනය ගෙන යෑම පිණිස අවශ්‍ය වාතාවරණයද හදිසි නීතියට කොන්දේසි විරහිතව සහය දීම මඟින් ගොඩ නඟා දුන්නේ ඔවුන් විසිනි. උතුරේදී හමුදාව පවා සිවිල් වැසියන් ගැන සිතා බර අවි වලින් පහරදීම නතර කළ කල්හි එතැනින්ද එපිටට ගොස් අමානුෂික ලෙස එසේ කළේ මන්දැයි ප්‍රශ්න කළේ ජවිපෙය. එනයින් ජවිපෙ පීඩකයාගේ පමණක් නොව පීඩකයාගේ අප්පොච්චිගේ භූමිකාවද රඟපෑවේය.
දැන් ජවිපෙට රිදී ඇත්තේ තමන් විසින්ම සහය පළකොට ගොඩ නඟන ලද ඒ මර්දනයට තමන්වම ඉලක්ක වී ඇති විටය. “අනේ අපේ රත්තරන් අයියා දැන් අපටම .....! බේරාගනියෝ” යි ඔවුන් මොර දීමට පටන් ගෙන ඇත්තේ එනිසාය. ඔවුන්ගේ සහයට කිසිවකු නොපැමිණෙන්නේ මන්ද යන්න මාටින් නිමලර් විසින් දෙවන ලෝක යුද්ධ සමයේ ලියා 1955 දී පළකරන ලද First they came for the communists පැදියෙන් පැහැදිළි කොට ඇත්තේය.
එක අතකට ජවිපෙ මේ දෙබිඩි භූමිකාවද බලාපොරොත්තු විය යුත්තකි. ජවිපෙ කතාකරන මාක්ස්වාදය හුදෙක් තුනී ආලේපනයක් පමණකි. කිසිම ගැඹුරු දේශපාලන දර්ශනයක් මත පදනම් නොවන ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වන්නේ ජවිපෙ=ඉරිසියාව+වෛරය+හීන මානය යන සමීකරණය මතය.
ජවිපෙ සමන්විත වන්නේ ගම්වල එක්කෝ දුප්පත්කම නිසා නැතිනම් කුල පීඩනය නිසා සමාජයෙන් කොන්වන සිංහල, ගැමි, තරුණ පිරිමි කොටස් වලිනි. (වත්මන් ජවිපෙ 100% ක් සිංහල 100% ක් පිරිමි අති බහුතරය ගැමි, කරාව පක්ෂයකි. මෙවන් ධ්‍රැවීකරණයක් මහරජාණන් ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවා දක්නා නොලැබේ.) මොවුන්ට මාක්ස් විස්තර කළ ආකාරයේ පන්ති විඥානයක් නැත. ඇත්තේ ඉරිසියාවක්, වෛරයක් හා හීන මානයකි. මොවුන්ගේ දෙමාපියන් එක්කෝ ගමේ ධනපතියන්ට අඳේට කුඹුරු වැඩ කළා විය හැකිය. නැතිනම් වලව්වේ සුළු වැඩපළ කොට කීයක් හෝ බතට සරි කර ගත්තා විය හැකිය. මේ නිසා එක අතකින් ඔව්හු වලව්වලට ඉරිසියා කොට වෛර බඳිති. (රෝහණ විජේවීර සහෝදරයා තම දේශනයන්හි වඩාත්ම බහුල ලෙස භාවිතා කළ වචනයක් වූයේ ‘වලව්’ය.) අනෙක් අතට දැඩි හීන මානයෙන් මඬනා ලද්දේ ඒ වලව් වලින්ම බත් දංකුඩ ටිකක් ලැබුණු කල්හි එය මහා පරිත්‍යාගයක් සේ සලකා වලව් වලට පක්කිලි සර්විස් කිරීමට යති.
“අනේ මේ වළං ටික හෝද දාල, ඔය තියෙන හැටියට මොකක් හරි කාල පලයං බං” කියා මැදමුලන වලව්වෙන් හා ඉන්පෙර හොරගොල්ල වලව්වෙන් ආරාධනා ලැබුණු කල්හි ජවිපෙ ඒ ආරාධනා ඉතසිතින් බාර ගත්තේ බඩජාරිකමට නොව “ඕකුන්ටත් අපෙන් උදව් ඉල්ලන්ඩ වුනා එහෙනං” කියන ගර්වයෙන් විය යුතුය. පහේ ශිෂ්‍යත්වයෙන් අඩු ලකුණු ලබා ගත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ගේ පුත්‍රයා හොර පාරෙන් රාහුලයට ඇතුළත් කිරීම වැනි පුංචි මස් කටුවක් දෙකක් අසුරු ගසා සාදකොට ගත් බලු නට්ටෙකුට විසි කරන්නාක් සේ ඔවුන් වෙතද විසි නොවුනාම නොවේ. එහෙත් වලව්වේ හාමු හා එක මේසයේ බැරිනම් එතැන බංකුවේ වත් වාඩිවී සිටීම ඔවුන්ට ඊට වඩා මානසික අල්ලසක් විය. එහෙත් මේ හාදකමද නිහාල්සිංහගේ ‘වැලිකතරේ’ පුංචි හාමු (ගාමිණි ෆොන්සේකා) ගෝරිංට අරක්කු දී ගෝරිංගේ නැඟණිය හා යහන් ගත වීමේ ගනුදෙනුවට වඩා වැඩි දෙයක් වූයේ නොවේ. රාජපක්ෂ රෙජීමයට ජවිපෙ අවශ්‍ය වූයේ වංළ පිඟන් සෝදා ගැනීම සඳහාය. ටික කලෙකින් මේ කටයුත්ත එක්සත් ජාතික පක්ෂයෙන් පැන ආ පිරිස් හා කරුණාගෙන් ඊට වඩා හොඳින් ඉටුවන බැව් පෙනීගියේය. ජවිපෙ වලව්වේ පිළිකන්නෙන් විසි වූයේ ඒ අනුවය.
දේශපාලන වෛරය පිරි මසා ගැනීම සඳහා ජවිපෙ කටයුතු කිරීමේ වරදක් නැත. එහෙත් ඒ සඳහා ඔවුන් තෝරාගෙන ඇති ආයුධය වැරදිය.
වැඩ වර්ජනයක් යනු කෝකටත් තෛලයක් නොව වැඩ කරන ජනතාව ස්වකීය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අන් සියළු මාර්ග අත්හදා බලා සාර්ථක නොවූ කළ යොදා ගත යුතු බලසම්පන්න වජ්‍රායුධයකි. මේ අරුතින් ජවිපෙ ඉතිහාසයේ කිසිම දවසක වැඩ වර්ජනයක් යොදාගෙන නැත. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන වැඩ වර්ජනයන්හි නිශ්චිත, ප්‍රායෝගික, දිනා ගත හැකි ඉල්ලීම් වේ. දවසක අවම වැටුප සඳහා වර්ජනය කළ තේ දළු නෙළන්නියෝ එය දිනා ගත්තෝය. ජවිපෙ විසින් කරන්නට නියමිත වැඩ වර්ජනයට මෙවන් වෘත්තීය අරමුණු නැත. මතුපිටින් පෙන්වන වෘත්තීය අරමුණු දේශපාලන අරමුණු වසා ගැනීමට පමණක් භාවිතා කරන ඒවා වේ. ඇත්තටම මේ දේශපාලන අරමුණු පවා විවාදාපන්නය. මෙයින් වාසියක් ලදොත් ඒ පැත්තක ඉන්නා යූඑන්පිය පමණක් වනු ඇත. (1975-6 කාලයේ සමසමාජ පක්ෂය ගෙනගිය සමාන වර්ජන මාලවක වාසිය ලද්දේද ජේ. ආර්ගේ යූඑන්පියයි. සමසමාජයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සේම 1977දී සේදී ගියේය.)
වැඩ වර්ජනයන් හා අදාළව භාවිතා කරන අරුතින් මේ වැඩ වර්ජනයට සහභාගි වන්නට නියමිත වන්නේද වැඩි කොටසක් වැඩ කරන ජනතාව නොවේ. මෙහිදී වැඩ කරන ජනතාව යනු ආර්ථික භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ වන්නන්ය. ධනවාදී ආර්ථික යෝධයාගේ හොම්බ බිම ඇණෙන තාලයේ ගේමක් දෙන්නට පිළිවන් එසේ වුවහොත්ය. ජවිපෙ සාමාජික බහුතරය වන විශ්ව විද්‍යාල සිසුන්, ගුරුවරුන්, රජයේ කාර්යාල සේවකයන් මාසයක් වැඩ වර්ජනය කළත්, පුද්ගලික බස් රථ වල රියැදුරන්ගේ දවසක වර්ජනයේ ගම්‍යතාව නැත. එන්. එම්. පෙරේරලා පණස්, හැට ගණන් වල පෙන්වූ හපන්කම් පෙන්නන්නටනම් ලාල්කාන්තලා මැරී ඉපැදී ආයුතුය. මෝඩ පාක්ෂිකයන් බුරුත්තකට රෝමෑන්තික ආස්වාදයක් හා කඳුළු ගෑස් පහරක් ලබාදීම මිස ජවිපෙ වැඩ වර්ජන ගෙන එන වෙනත් ප්‍රතිඵලයන් නොවේ.
අනිවාර්යයෙන්ම අසාර්ථක වීමට නියමිත මේ ‘මහා වැඩ වර්ජනය’ එක අතකින් පමණක් වැදගත් විය හැකිය. එය පාලනය කිරීමට රාජපක්ෂ රෙජීමය දරණ මර්දනයේ ප්‍රමාණය අනුව මේ ජවිපෙ තුන්වන කැරැල්ලේ ආරම්භය විය හැකිය. පූර්ව 1971 සේම පූර්ව 1988-9 යුග වලදීද අප දකින එක් මූලික කාරණාවක් වන්නේ ජවිපෙ හැම විටම මුලින් ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රම අත්හදා බලන බවයි. ඔවුන් ප්‍රචණ්ඩත්වයට තල්ලු වන්නේ එක්කෝ තමන්ට එය එසේ කර ගැනීමට නොහැකි බව ස්වයංවබෝධය ලත් විටය; නැතිනම් ඉතා දරුණු මර්දනයක ප්‍රතිඵලයක් හැටියටය. මේ දෙකම මෙවර සිදුවිය නොවිය හැකිවා නොවේ.
කාල් මාක්ස් නිවැරදිය. ඉතිහාසය පුනරාවර්තනය වනු ඇත. මහරජතුමනි, පරණ ටයර් මතු ප්‍රයෝජනය තකා සංරක්ෂණය කිරීමට කාලයයි මේ.
(අන්තිම වැකිය: උපහාසයකි. දෙමළ වේවා සිංහල වේවා, තව බොහෝ කල් ජීවත් වීමට ඇති තරුණ තරුණියන්, ප්‍රභාකරන්ලාගේ විජේවීරලාගේ උමතු සිහින සාක්ෂාත් කිරීම පිණිස නිරපරාදේ මිය යායුතුද?)-Sri Lanka Guardian
Home »
» ජවිපෙ තුන්වන කැරැල්ලේ ආරම්භයද මේ?
Post a Comment