මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය පිළිබඳ සටහනක්
- කුමුදු
“එය ශ්‍රමයේ යදම් වලින් නිදහස් කිරීමට ආසන්න, ශ්‍රමිකයන්ගේ සමාජයකි. මෙම සමාජය, මෙම නිදහස ඒ සඳහා දිනාගනු ලැබීම යෝග්‍ය වන, එම අනෙක් වඩා උසස් සහ වඩා අර්ථවත් ක්‍රියාකාරකම් තවදුරටත් නොදනී. මෙය මිනිසුන්ට එකට ජීවත් විමට සැළැස්වීම ශ්‍රමය විසින් කරනු ලැබෙන ආකාරය වන නිසා සමානාත්මවාදී වන මෙම සමාජය තුළ, එයින් මිනිසාගේ අනෙකුත් හැකියාවන් ප්‍රතිසංස්ථාපනයක් අලුතෙන් පටන් ගත හැකි වනු ඇති එක්කෝ දේශපාලනමය නැතහොත් අධ්‍යාත්මික ස්වභාවයේ කිසිදු ප්‍රභූතන්ත්‍රයක්, කිසිදු පංතියක් ඉතිරි කොට නොමැත.” - හනා ආරන්ඩ්ට්, ධනවාදී සමාජය පිළිබඳ, The Human Condition, 5 පිටුව
(October 27, Colombo, Sri Lanka Guardian) නූතන ස්ත්‍රීවාදීන් “පෞද්ගලික දේ දේශපාලනිකයැ” යි කීමෙන් උත්සාහ කළේ විවාහය තුළ, ගෘහය තුළ ස්ත්‍රීන් (සහ ළමුන්) අත්විඳින පීඩාකාරී තත්ත්වයන් දේශපාලනික විසඳුම් ලබා දිය යුතු පුරුෂාධිපත්‍යය පිළිබඳ කරුණකැයි කියන්නටය. (කැමිල පාලියා වැනි ස්ත්‍රීවාදී විචාරිකාවන් ඉහත ස්ත්‍රීවාදී අදහසේ වලංගුභාවය ගැඹුරින් ප්‍රශ්න කොට තිබේ.)
මෙම අදහස තව පියවරක් ඉදිරියට ගෙන ගිය ලංකාවේ පශ්චාත් නූතනවාදීහු සිවිල් සමාජයේ “දෙබිඩි වත” හෙළිදරව් කරන්නේ යැයි කියමින් තමන්ගේ විවේචනයට බඳුන් වන්නවුන්ගේ දේශපාලනිකවන පෞද්ගලික දේයැයි ඔවුන් විශ්වාස කරන දේ “විග්‍රහයට” ලක් කිරීමෙන් මෙම පිරිස් දේශපාලන භූමියෙන් පළවා හැරීමේ උත්සාහයක යෙදුණහ. එයින් සිදුවූයේ අපගේ දේශපාලන සාකච්ඡාව අතිශයින් දිළිඳුබවට පත්වීමයි. තමන් මානව හිතවාදී යැයි විශ්වාස කරන තරුණ තරුණියෝ ද අවිචාරයෙන් යුතුව මෙබඳු දුර්-විචාරයන්ට තවමත් අනුබල දෙති. මෙම තේමාව සාහිත්‍යයට පිවිසීම ඉහත පශ්චාත් නූතනවාදී සමාජ ස්ථරය ප්‍රමාද වී වුව ශිෂ්ට සම්පන්න භාවයක්, සංස්කෘතිකමය සවරූපයක් අත්පත් කරගැනීම ආරම්භ කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය.
“දෙබිඩි බව”
“දෙබිඩි බව” පිළිබඳ විවේචනය එක්කෝ සියලු සමාජ සබඳතාවලින් ස්වායත්ත ස්වෛරීභාවයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන්නට යොදා ගත හැකිය. නැතහොත්, එය මිනිසත් බවේ සදාතනික අරගල භූමිය ලෙස වටහා ගත හැකිය. “දෙබිඩි බව” මුලුමනින්ම ජය ගත් ස්වෛරී මිනිසෙකු වෙතොත් ඔහු එක්කෝ ශාන්තුවරයෙකි, නැතහොත් ලොවට ඉතා දරුණු ව්‍යසනයක් මුදාහැරීමේ සමතෙකි. ශාන්තුවරයෝ ලොව විරලයහ. ලොවෙහි වාසනාවට, දෙවැනි ගණයට අයත්වන්නන් තම නායකයන් ලෙස පිළිගන්නා බහුජනතාවක් සිටින්නේ ඉතාම කලාතුරකිනි.
“දෙබිඩි බව” පිළිබඳ ගැටලුව ආරන්ඩ්ට් ගේ විග්‍රහයේ එන පෞද්ගලික සහ මහජන තල දෙක අතර මිනිසා දෝලනය වීම හා සම්බන්ධ කොට සිතන්නට අපට හැකිය. සංස්කාතිකවීම, ශිෂ්ට වීම පිළිබඳ කරුණ පෞද්ගලික තලයට අදාළ පුද්ගල ජීවිතය නඩත්තුව සහ වර්ගයාගේ පැවැත්ම සහතික කිරීම හා සම්බන්ධ වන්නේ කෙසේදැයි සිතා බැලීම වටී.
යමෙකු, තමා යමක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේද, එයම දැන දැනම තම පෞද්ගලික ජීවිතයේදී උල්ලංඝනය කරමින් ඒ බව සඟවන්නේ ද ඔහු දෙබිඩි වතක් අනුගමනය කරන්නෙකි යි අපට කිවහැකි යැයි සිතමි. එහිදී, ඔහු තමන් එලෙස උල්ලංඝනය කරන බව සඟවන්නේ එය ලෝකයා නොදිටිය යුතු දෙයක් යැයි, දුසිරිතක් යැයි ඔහු දන්නා නිසා විය යුතුය. යමෙකු යමක් දුසිරිතක් බව දැන දැනත් එය කරන්නට පෙළෙඔන්නේ මන්ද? ඇරිස්ටෝටල් මීට දුන් පිළිතුර වූයේ ඇතැම් මිනිසුන් තම ලාලසාවන් විසින් යටපත් කරගනු ලැබෙන බවයි.
සංස්කෘතිකමය බව, ශිෂ්ට බව වරක් සම්පාදනය කරගත් පසු දිගින් දිගටම ඇඳිය හැකි ඇඳුමක් වැන්නක් නොවේ. මිනිසුන් තුළ යහපත් ගතිගුණ වගා විය හැක්කේ නිරන්තර භාවිතාවෙනි. මිනිසාට තම සංස්කෘතික බව, ශිෂ්ටකම රැකගැනීමට සියලු කාලයන්ට, සියලු අවස්ථාවන්ට ගැලපෙන, කල්තබා සකස් කරන ලද සූත්‍රයක් නොමැත. අපට කළ හැක්කේ අප එකිනෙකාගේ එක් එක් සංස්කෘතික පසුබිමෙන් අප තුළ වගා කරන ලද පදනමෙහි සිට, ඉන් අප උගත් මූල අදහස් මත එක් එක් සුවිශේෂ අවස්ථාව පිළිබඳ කළ යුතු දේ ගැන විනිශ්චයකට එලඹීම සඳහා හොඳ නරක සලකා බැලීමයි. වැදගත් වන්නේ අප දැනුවත්ව එවැනි තෝරාගැනීමක් අරභයා අරගලයක යෙදෙන්නේද යන්න මිස මිනිසුන්ට ඔවුන් මුහුණ දෙන ආචාර ධර්මීය ගැටලු පිළිබඳ නිවැරදි පිළිතුරු දැනටමත් කල්තබාම සම්පාදනය කොට ගෙන තිබිය හැකියැයි විශ්වාස කිරීම නොවේ.
පෞද්ගලික ජීවිතය සහ මහජන ජීවිතය
පෞද්ගලික දේ දේශපාලන තලයට වැද්දගැනීමේ ඇතිඅනතුර වන්නේ පුද්ගලයාගේ පැවැත්ම සහ වර්ගයාගේ පැවැත්ම සහතික කිරීම දේශපාලනයේ කටයුත්ත බවට පත්වීමත්, ඒ හේතුවෙන් දේශපාලනයේ කටයුත්ත විය යුතු ලෝකයේ පැවැත්ම සහතික කිරීම විතැන්වීමත් ය යන්න හනා ආරන්ඩ්ට් තර්ක කළේය. නූතන සමාජය තුළ මිනිසුන් ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය කටයුතුවන ශ්‍රමයේ යෙදීම හෝ රැකියාවල යෙදීම අන් සියලු කටයුතු අභිබවා මුල් තැනට එන්නේ මේ හේතුවෙනි. ජීවිතය සඳහා මිනිසුන්ට එකිනෙකා මත රඳා පවතින්නට සිදුවේ – මිනිසා සමාජීය සත්ත්වයෙකු යැයි කිව හැක්කේ මෙම අරුතිනි – යන්න අන් සියල්ල පරදා මහජන ජීවිතයේ වැදගත් තැනට පත්වීම සහ හුදු පැවැත්ම හා සම්බන්ධ දේට ප්‍රසිද්ධියේ පෙනී සිටීමට ඉඩ සැළසීම ට නූතනයේ අපි සමාජය යැයි කියමු.
(සම්මතයට අනුකූල වීමත්, අහංකේන්ද්‍රීය වීමත් සමාජයේ වැසියන්ගේ ලක්ෂණ ය. නිෂ්පාදනය සහ පරිභෝජනය සඳහා යොමුවූ පොදු ආර්ථිකයකින් මෙන්ම පොදු පෘථුජන සංස්කෘතියකින් ද සමාජය සමන්විත ය. අප ජනප්‍රිය සංස්කෘතිය යැයි කියන්නේ මෙම පරිභෝජන සංස්කෘතියට ය. ) මෙහි ඵල විපාකය ‘ස්වභාවික දෙයෙහි අස්වාභාවික වර්ධනය’ යැයි එනම් “ශ්‍රමයේ ඵලදාවේ නිරන්තරයෙන් වේගවත් කෙරුණු වර්ධනය” යැයි හඳුන්වනු ලබන දේ බවට හනා ආරන්ඩ්ට් තර්ක කරයි. මෙම විපර්යාසයේ ගම්‍යමාන වීම් අපට තවමත් නිසිලෙස වැටහෙන්නට පටන් ගෙන ඇත්දැයි සැක සහිතය. ඒ පිළිබඳ ආරන්ඩ්ට් ගේ විග්‍රහය කැටිකොට දක්වන උද්ධෘතයක් මෙම ලිපිය ආරම්භයේ දක්වා ඇත.
දේශපාලනය හා සදාචාරය
දේශපාලනය හා සදාචාරය අතර නැති සම්බන්ධය දෙස මකියවෙල්ලි බැලූ ආකාරය නූතනයන්ට මුලුමනින්ම ආගන්තුක බව පෞද්ගලික දේ දේශපාලනිකයැයි ගැනීමේ එලඹුම පෙන්වයි. දේශපාලනය ගතානුගතික සදාචාරයෙන් වෙන් කොට සැළකිය යුතුයැයි මකියවෙල්ලි කුමාරයා කෘතියේ කියා සිටියේය. මකියවෙල්ලි ගේ අදහස වූයේ ලෝකයට සහ දේශපාලනයට වැදගත් වන්නේ ‘සැබෑ’ සත්තාව, මිනිසුන්ගේ ක්‍රියා පිටුපස සැඟවුණු අභිප්‍රායයන් නොව දෘශ්‍යමානයන්, එනම් මිනිසුන් අනෙක් මිනිසුන් හමුවේ තමන් ප්‍රකාශමාන වන්නේ කෙසේද යන්න බවයි. මකියවෙල්ලි කියනු ඇත්තේ දේශපාලනයට වැදගත් වන්නේ ඒ සඳහා අවශ්‍ය කෙරෙන්නේ නම්, යමෙකු තමා සංස්‌කෘතික, විදග්ධ ලෙස පෙනී සිට ඒ බව ලෝකයාට ඒත්තු ගන්වන්නට සමත් වන්නේද යන්න බවයි. මෙලෙස සංස්‌කෘතික, විදග්ධ ලෙස පෙනී සිටින පුද්ගලයාගේ පෞද්ගලික පීවිතය අසංස්කෘතික යැයි කීමෙන් අප අදහස් කරන්නේ ඔහුගේ වංචාව ලෝකයට හෙලිදරව් කරන්නටය. එවිට ලෝකයා මෙම දෙබිඩි මිනිසා ප්‍රතික්ෂේප කරනු ඇත. එසේ නොවන්නේ නම් ලෝකයා සංස්කෘතිය යනුවෙන් වටහා ගන්නේ කුමක්දැයි අපට යලි සිතා බැලීමට සිදුවනු ඇත.
( kathika.wordpress.com) -Sri Lanka Guardian
Home »
» සංස්කෘතිය, විදග්ධ බව සහ “දෙබිඩි බව”:
Post a Comment