ඊ.ඒ. ඩෝසන් ප‍්‍රීති
(October 11, Colombo, Sri Lanka Guardian) මිනිසා ශබ්දය රස විඳින්නට ගත් උත්සාහය ඉතාම ප‍්‍රාථමික මට්ටමේ සිට ශබ්ද ප‍්‍රතිනිෂ්පාදනයට විදුලිය දායක වූ දිනයේ සිට වර්තමානයට එද්දී, එය මිනිස් සංජානන අවකාශයේ උපරිමය දක්වා ගමන් කර ඇතැයි යන්න නවීන තාක්ෂණික ක‍්‍රමෝපායන් සුලබ වීමෙන් තහවුරු වේ. මීට දශක කීපයකට පෙර තනි ස්පීකරයකින් මොනෝ ක‍්‍රමයට සවන් දුන් මියැසි රාවය ස්ටීරියෝ ක‍්‍රමයට පරිවර්තනය වී දෙසවන් හි පිහිටුමේ ස්වාභාවික බවත් සංගීත තරංග වල අවකාශීය පැවැත්මේ ගුණාංගත් එකට ගෙන වඩාත් සජීවි අවකාශ තලයකට ගෙන ඒමෙන් සරවුන්ඞ් ශබ්ද පද්ධති ලෙස අද වඩාත් ප‍්‍රචලිත නිවාස තුල අත්විඳිය හැකි තියටර් පද්ධති දක්වා ද විකාශය වී ඇත. මෙනයින් ශබ්දය කණ කරා ඒමේ යාන්ත‍්‍රණය ස්වාභාවික ශබ්දයේ සජීවි බව ප‍්‍රතිනිර්මාණය කිරීමේ තාක්ෂණය හරහා වඩ වඩාත් ලං වන්නේ මිනිස් සංජානනය ස්වාභාවික ලෝකයෙන් කෘතිම ලෝකය මායිම් කළ බාධා බිඳ හෙලීමයි. එනමුදු සංගීතයේ සප්ත ස්වරය වෙනස් වූයේ නැත. ශබ්දය කණ කරා ගමන් කිරීමේ අවකාශය පමණක් ස්වාභාවිකත්වයට වඩාත් ලං වී ඇත. මේ උදාහරණය මා ගෙනෙන්නේ කවියේ වර්තමාන අවකාශීය සැකසුම ශිලා ලේඛනයෙන් පුස්කොල පත් ඉරුවෙන් කඩදාසියටත්, ඉන් නොනැවතී පික්සල් අංශු මතට පොලා පැනීමේ කවියේ රිද්මය බස සහ ආකෘතිය ආලෝකයේ වේගය ලබාගත් අයුර පැහැදිලි කරගැනීමට ය.
කවියේ මූලික සංඝටක පද්ධතිය භාෂාවයි. භාෂාව නිර්මාණය වන්නේ සංඥා පද්ධතියකිනුයි. සංඥා නිර්මාණය වන්නේ ශබ්ද සහ අර්ථ ආශ‍්‍රයෙනුයි. ශබ්දයේ පරමාණුක අවස්ථාව මාත‍්‍රාවයි. මාත‍්‍රාවක් ලෙස පෞරාණික අර්ථ දැක්වීම ඇසි පිල්ලමක් හෙලන්නට ගතවන කාලයක උසුරුවන ශබ්දය යි. මාත‍්‍රා අතර වෙනසින් රටා උපදියි. මාත‍්‍රා රටා අනුව ඡුන්දස් ලෙස ගැනෙන ආකෘති බිහි වෙයි. මාත‍්‍රාව ද්විමය ශේණියක් බැවින් එනම් ශබ්ද සහ නිශ්ශබ්ද අතර පරතර මතින් ගොඩනැගෙන්නක් බැවින් මාත‍්‍රා විෂයය පරිපූර්ණ ලෙසම ද්විකෝටික වේ. මෙය කෙටි ශබ්ද සහ දිග ශබ්ද ලෙස නොහොත් ලඝු සහ ගුරු ලෙස නාමකරණය වී ගණිතානුකූලව ද්විමය සංඛ්‍යා පද්ධතියක් බවට පත්වේ. පරිගණකයේ් පරමාණුක ක‍්‍රියාකාරිත්වය ද්විමය කේතනය හා සමපාත වේ. එනම් විද්‍යුත් ආරෝපණයක් ධන සහ සෘණ යන ධ‍්‍රැවීකරණය වීමේ ගුණය මත ක‍්‍රියාත්මක වේ. මෙනයින් ශබ්ද විද්‍යාවේ මූලයන් හා පරිගණක තාක්ෂණයේ මූලයන් එකම භාෂාවක වෙනස් යෙදුම් ලෙස හැඳිනිය හැකි වේ. වඩාත් නිවැරදිව ඉතිහාසය තුල ස්ථානගත කලොත්, කවියේ මූලික සංකල්ප පරිගණක තාක්ෂණයේ මූලික සංකල්ප වල මුතුන් මිත්තන් ලෙස හැඳිනිය හැකි වේ. පරිගණක තාක්ෂණය මිනිසා හසුරුවන්නට බොහෝ කලකට පෙර ශබ්ද විද්‍යාව හරහා එම යාන්ත‍්‍රික භාෂාවේ මූලයන් සියවස් කීපයකට පෙර ඉන්දියාවේ උපත ලබා ඇත. ඡන්දස් ශාස්ත‍්‍රය බයිනරි විෂයයක් වන්නේ පරිගණක බයිනරි ක‍්‍රමය උපයෝගි කරගන්නට බොහෝ කලකට පෙර ය. කවිය පරිගණක හරහා සයිබර්ගත වීම යනු එහි තිඹිරි ගෙය කරා යලි යෑමකට නොදෙවෙනි ගමනකි.
ශබ්දයේ වෙනස් කම ද්විකෝටිකව උච්ඡුාවචනය වීම තුල ලඝු ගුරු මාත‍්‍රා උපන්නේ යම් සේ ද ඒ අයුරින්ම ඡුන්දස් ශාස්ත‍්‍රය උපත ලබා ඇත්තේය. මේ සඳහා කදිම උදාහරණ ”එළු සඳස් ලකුණ” විමසා බලා සොයා ගත හැකිය. එළු සඳස් ලකුණේ නෂ්ටප‍්‍රත්‍ය සෙවීමේ ක‍්‍රමය යනුවෙන් දක්වා ඇති මාත‍්‍රා ප‍්‍රස්ථාරයක කිසියම් ලඝු ගුරු සංයෝජනයක් සොයා ගැනීමේ ක‍්‍රමය යනු කිසියම් දශම සංඛ්‍යාවකට අදාල ද්විමය සංඛ්‍යාව සොයා ගැනීමේ ගණිතමය ක‍්‍රමය ම වේ. මෙනයින් කවියේ ප‍්‍රාග් අනුභූතිය ගණිතයේ මූලික සංකල්ප හා අවියෝජනීයව සමපාත වේ. මේ කතා කරන පරිගණක තාක්ෂණයේ මූලික සංකල්ප සමග අතිශය සූක්ෂම ලෙස ඒකාත්මික වේ.
කවියේ යුග ගැන සලකා බලද්දී ප‍්‍රාදේශීය වශයෙන් ද යුග වකවානු වශයෙන් ද බෙදී කාලයට එදිරිව විවිධාකාර වූ සමාජ දේශපාලනික ආර්ථික සංස්කෘතික සහ ආගමික වර්ණයන්ගෙන් වෙනස්කම් ඇතිව සංවර්ධනය වෙමින් ද අවවර්ධනය වෙමින් ද එන ඓතිහාසිකත්වය වර්තමානයේ පිය තබන්නේ සයිබර් යුගයට යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. කවිය චිරාත් කාලයක් ද්විමාන තලයක ජීවත් ව එය වත්මනේ අන්තර්ජාලයට ඇතුළුව ඇත්තේ සිය තෙවන මානය සයිබර් අක්ෂය ලෙස තෝරා ගෙනය. මෙම සයිබර් අක්ෂය තුල විරාජමාන වන නව කවිය සුලභ කාව්‍ය කතිකාවන් තුල ගොඩ නැගෙන චිරාත් කාලීන වාද ප‍්‍රතිවාද සහ සංවාද උඩුයටිකුරු කරමින් ශාබ්ධික ගතිගුණ සහ අර්ථ භාව පිළිබඳ පාරභෞතිකයන් විශද කරමින් නැගී එන්නේ පික්සල් මතින් මැවෙන දෘශ්‍යමය ඡුන්දසකට විවරයක් සදමිනි. නොවිරිත් වැකි බහුල එනමුත් දෘශ්‍යමය ප‍්‍රයෝගයෙන් අනූන නූතන සයිබර් කවිය හද බසට ඔබ්බෙන් වන තාක්ෂණික බසින් විද්‍යාවේ මූලිකාංග ප‍්‍රතිකථනය කරන්නට සමත් ද්වීතියික භාෂාවක් ලෙස සිය හැඩරුව වඩවා ගනිමින් සිටී. මාතර යුගයේ කවීන් බහුල ලෙස භාවිත කළ කාව්‍යෝචිත බස්වහර වෙනුවට සිය පාණ්ඩිත්‍ය හුවා දැක්වීමේ අභිලාෂය වැනිම යුග ධර්මතා හේතුවෙන් මේ නැගෙන සයිබර් කවි රළ ජන හද නමැති වෙරළ ඛාදනය කරන්නට වුව සමත් වන්නේ යැයි කීම විවාදාත්මක ය.
කලින් මා සඳහන් කළ අයුරින්ම සංගීතය එහි නිම් වළලූ තාක්ෂණයේ ව්‍යවහාරයෙන් කර්ණ-ශංඛය කරා ගමන් කළ පථය අවකාශ ගත වීමෙන් සිදු වූ ප‍්‍රාතිහාර්යය වෙනුවට කාව්‍ය සයිබර් අවකාශගත වීමෙන් උපනති වූ සාධනීයත්වය පිළිබඳ අති විශාල අභියෝගයන් වත්මනට විවරව ඇත්තේ ය. විචිත‍්‍ර වූ භාෂා භාවිතයේ සහ රසවත් සංකල්පනා එලි දැක්වීමේ භාෂා ප‍්‍රවීනත්වය මතින් මැඩුනා වූ සාහිත කලා විහීන මානසිකත්වයන් දරන අල්පභාෂීන් ජාතක වීමේ සමාජ සංස්කෘතික අවනතිය පසුගිය දශක ගණනාවක් තුල සමස්ත සමාජ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුලම පිලිකා ලෙස වර්ධනය වී ඇත්තෙන් මේ තාක්ෂණික පසුබිමට ඇතුලූ වුවන් තුල ඓතිහාසික සාහිත්‍යාවලිය පිලිබඳ ඇති භින්න රුචික බව සහ දුර්වල හැදෑරීම් මෙන්ම සතත අභ්‍යාස විරහිතභාවයෙන් සයිබර් කවියේ ගුණාත්මක පක්ෂය ගැන ධනාත්මකව යමක් සඳහන් කිරීම උගහට ය. එමෙන්ම එබඳු විමසුමක් මේ ලිපියේ සීමාව ඉක්මවා ද යයි. ඒ සඳහා විධිමත් හැදෑරීමක් සහ එය විචාරය කිරීමේ නිර්ණායක ද පොදුවේ එකඟ විය හැකි පදනමකින් සම්භවයක් ලබා තිබිය යුතුය. දැනට සයිබර් කවි නොවන වෙනත් අනෙක් සාහිත්‍ය ක්ෂේත‍්‍රවල පවා විධිමත් සාධනීය සහ නිර්මාණශීලි විචාරයක් පවතින්නේ යැයි කීම ද අසීරු හෙයින් මේ අදහස වඩාත් සංකීර්ණ වේ.
සයිබර් අවකාශය ආලෝකයේ කම්පන සංඛ්‍යාතයෙන් කම්පනය වේ. ආලෝකයේ වේගයෙන් සංසරණය වේ. එහි පරමාණුක ඒකකය ද්විමය සංඛ්‍යා පද්ධතියයි. එම ද්විමය සංඛ්‍යා භටයන් ගරිල්ලා සටනක යෙදෙමින් සිය සන්නද්ධ භාවිතය තුල මිනිස් වර්ගයාට ආදරය යලි සොයා ගැනීමට තරු සිතියමක් සහ මාලිමාවක් තනමින් සිටී. මේ මාලිමාව රුගෙන මනුෂ්‍ය සංහතියට පාර කියන්නට වෙබ් අඩවියක් පුරෝගාමී වේ. ඒ බුන්දි වෙබ් අඩවියයි. (http://www.boondi.lk/) ලොව පුරා විසිරී සිටින හුදකලාව නිර්මාණකරණයේ යෙදී හුන් සුවහසක් නිර්මාපකයින් එක සෙවණක් යටට ගාල් කර ඔවුනගේ සයිබර් කවි සමුච්චය ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට අක්ෂර සෙනඟ නමින් ග‍්‍රන්ථාරූඩ කෙරුනේ බූන්දි වෙබි අඩවිය ආරම්භයත් සමගයි. ”ගොඩනැගෙන්නේ ගොඩනගන්නාය” යන සංකල්පයට ප‍්‍රතිපක්ෂව බූන්දිය විසින් ගොඩ නැගූ පුද්ගල ප‍්‍රතිරූප හෝ ප‍්‍රතිරූපයක් නොමැත. එය හුදෙක් නව කවියේ හෘද සාක්ෂිය වෙනුවෙන් කැප වූ කණ්ඩායම් ව්‍යායාමයක ප‍්‍රතිඵලයකි.
මේ එලඹෙන්නේ අක්ෂර සෙනග ඩිජිටල් සොල්දාදුවන් හා ඒකාබද්ධ හමුදාවක් ගොඩනගා කවියේ ගමන් මග එලිපෙහෙලි කරන මොහොතය. සයිබර් කවි අවකාශයේ බාධා නැත්තේ ද නොවේ. හැල හැප්පීම් නැත්තේ ද නොවේ. වාද විවාද ගැටුම් නැත්තේ ද නොවේ. එනමුදු සයිබර් කවිය පෙර කිසි කලෙකත් සාහිත්‍ය අම්බරයේ නොදුටු තාරාකාවන් නම් කරමින් ඉදිරියට ඇදෙන්නේ මිනිසාගේ හෘද සාක්ෂිය ගවේෂණය කරමින් ඈත ආලෝක වර්ෂ ගණනකට ඔබ්බෙන් වන අපේ මුතුන් මිත්තන් සොයා යන අහස් නැවක් ලෙසිනි.
බූන්දියේ මැදිහත් වීම මෙලෙස අංකුර කවියන් ලෝකයා වෙත පෑමෙන් පමණක් නොනවතී. එය ලාංකීය කවියේ පුරෝගාමීන් ගේ සතපතල ඓතිහාසික නිමැවුම් ද දේශදීපංකර වල පොතක් පතක් සොයා ගැනීමේ දුෂ්කරතා මධ්‍යයේ සතත අභ්‍යාසයේ යෙදෙන්නන් වෙත උපුටා දැක්වීම ද කරයි. අන්තර්ජාලයේ කිසි වියමන් ඉඩක් නොලද ලාංකීය කවියේ හැඩරුව පෝෂණය කළ කිවිසුරුවන්ගේ නිර්මාණද සිංහල යුනිකේත හරහා නැවත ලියැවී ආලෝක වේගයෙන් දසත පැතිරවීම ද අතිශය තීරණාත්මක මෙන්ම භාරදූර කාර්යයකි. මේ අවකාශය විදග්ධ කවීන්ගේ නිර්මාණ තවදුරටත් ප‍්‍රචලිත කිරීමේ කාර්යභාරය ද බූන්දියෙන් ඉටුවන බව එහි ඉතිහාසය බැලූවිට පෙනී යයි. සිංහල කවියේ සඟරාමය යුගයන් කොළඹ කවියේ ප‍්‍රවණතා මෙන්ම නූතන කාව්‍යකරණයේ මං පෙත් විවර කළ ගුණදාස අමරසේකර, රත්න ශ‍්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ආරියවංශ රණවීර, සිරි ගුනසිංහ, දයාසේන ගුණසිංහ, කේ කේ සමන් කුමාර, ලක්ෂ්මන් කහටපිටිය, මංජුල වෙඩිවර්ධන, ජනක මහබෙල්ලන, චන්ද්‍ර කුමාර වික‍්‍රමරත්න, එරික් එලයප්ආරච්චි, මොනිකා රුවන්පතිරණ, බුද්ධදාස ගලප්පත්ති, සමන්ත හේරත්, සෙනරත් ගොන්සල්කෝරාල, නිලාර් කාසිම්, විමල් දිසානායක, මහගම සේකර, තනුජා ධර්මපාල යනාදී මෙකී නොකී අප‍්‍රමාණ ශක්‍යතාවෙන් සිහල කවි කෙත පෝෂණය කළ කවි කිවිඳියන්ගේ නිර්මාණ සුවහසක් සයිබර් සහෘද ලෝකයට පිටපත් කිරීම ද බූන්දිය මෙහෙය වන අනභිබවනීය සේවයකි. එමෙන්ම නූතන සයිබර් කවි අවකාශයේ නොතිත් කැප වීමෙන් වෙබ් අඩවි බ්ලොග් අඩවි නඩත්තු කරමින් බූන්දියට උපදේශනයෙන් ද සිය වටිනා කාලය විදෙස් හි සිට ආයෝජනය කරන සුනිල් ගෝවින්නගේ, රසික සූරියආරච්චි සහ ජගත් ජේ් එදිරිසිංහ ද මෙහි නම් වශයෙන් සඳහන් කළ යුත්තේය.
සයිබර් නිර්මාණකරණයේ යෙදී ඉන්නා පරම්පරාව කුමක් ද? මේ පරම්පරාව සුසැදෙන්නේ කාලිදාසයන්ගෙ සිට ෙහෙඩෙගර් සහ ඉන් ඔබ්බට ද මිනිස් සංහතිය තුල සිය ප‍්‍රඥාව දිය කර ගවේෂණයෙන් වෙළුම් වශයෙන් ලියා තබා ගිය කවියේ මනෝ ගතික ස්වභාවයන් ගැන ලූහුඩින් කියවා ගත් පරිඝණක අක්ෂර පුවරු මත සිය අතැඟිලි මොට කරගත් පික්සල් තිරමත සිය දෙනෙත් අලවා අඳ කර ගත් නූතන පරම්පරාවකි. මේ තත්වය සයිබර් කවියේ වර්ධනය ට ඉමහත් බාධාවක්ව ඇති වග මගේ පෞද්ගලික විශ්වාසය යි. සයිබර් කවියෙන් තම සමාජ සංස්කෘතික දේශපාලන හෘද සාක්ෂිය සොයා යන්නන් විරල වීම මීට සමාන්තර යි. මේ කාරණාවන් සිතියම් ගත කර ඊට දුෂ්කර මාවත් මග හැර සුමට මගක් සොයමින් ඉන්නේ බූන්දි වෙබ් අඩවිය යි. බූන්දිය ගෝලීයකරණයේ සිතියම සොයා යන්නෙකු මිස ගෝලීයකරණයේ අවජාතකයක් නොවේ.
බොහෝ විට පරිගණක ආශ‍්‍රිත රැකියාවල නියුක්තිකයන් සිය සහෘදයන් සමග වෛකල්පිත සමාජ වෘත්තයන් සාදා ගැනීමේ සහ බොහෝ විට විදේශගතව හුදකලාවට පත් එනමුත් අන්තර්ජාල පහුසුකම් ඇති හෙයින් අදහස් හුවමාරු කරගැනීමේ පදනමින් ජාලගතව උනුනගේ විනෝදය උදෙසා කවියක් වැනි යමක් ලියා ග‍්‍රැෆික් වලින් හැඩකර එහාට මෙහාට යැවීමෙන් ඇරඹෙන මේ කාව්‍යකරණය සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලියා ගිය අයවලූන් වත්මනට දායාද කලා වූ සේ යමක් අනාගතයට ඉතිරි කරන්නට සයිබර් කවියන් සමත් වන්නේ ද යන්න කුකුසට හේතු වේ.
බොහෝ විට මෙබඳු දේ සිදු වුවත් සයිබර් කවියේ වර්ධනයට මේ සියලූ දේ දායක වන බව අමතක නොකල යුතුය. පුංචි පැලේ ගස වෙනා න්‍යායෙන් මේ සියලූ දේ ඉවසා ගත යුතු වන්නේ එහෙයිනි. මේ සියළු අභ්‍යාසයන් අනාගතයේ උපදින දේශසීමා මායිම් නැති අභිනව කවියේ චන්ද්‍රෝදයට පාර කපනු ඇත.
එනමුත් නව කවියේ හැඩතල ඇඳෙන මතුපිට ඇති දිශාව සුපැහැදිලි ලෙස ම දිගුව ඇත්තේ මේ නව අවකාශය දෙසටම ය. එම දිශානතිය හේතුවෙන් නිර්මාපකයෙකු සිය නිර්මාණය බෙදා හදා ගතයුතු මොහොත මේ යැයි තීරණය කළ නැකතින්ම එයට ලැබිය හැකි සහෘද ප‍්‍රතිචාරය ක්ෂණිකව ලබා භුක්ති විඳීමේ ආලෝක වේගය හේතුවෙන් නිර්මාණකරනය වෙන කවරාදකවත් නොතිබි තරමින් මනරංජන සජීවි අත්දැකීමක් බවට ප‍්‍රක්ෂේපනය වී ඇති වග ස්ථිරය. සයිබර් කවිය ආලෝකයේ වේගයෙන් සහෘදයන් කරා ඇදේ. සහෘද ප‍්‍රතිචාර ද ආලෝකයේ වේගයෙන් වයර් මතින් හඹා ගොස් පික්සල් තිරමත වැටී නිර්මාණකරුවන් පුබුදයි. මේ සයිබර් කවියේ ගතික ස්වභාවය යි.
සයිබර් කවියේ නියමුවන් නොමැති වයර අවකාශයේ බූන්දිය නිර්මාණශීලි අංකුරයන් සමග අත්වැල් බැඳ ලෝකය එකම කවියායක් බවට පත්කිරීමේ වයර් දිගේ දුවන ඒකාත්මික පාරභෞතිකයක බැඳී වෙලී සිටියි. කලින් සඳහන් කළ ආකාරයෙන්ම සිංහල කවියේ වර්තමානය සහ අනාගතයේ සුභාවිතය වෙනුවෙන් සිංහල කවියේ අතීතය හැදෑරීමේ බලවත් අවශ්‍යතාවය සහ චිරාත් කාලයක් ඉහල පහල යන සම්මුතීන් විමසා විනිසා ගැනීමට ඇවැසි නූතන දැනුම සොයා යාමේ නොසිඳි උද්යෝගයෙන් ද එකට බැඳුනු පිරිසක් බූන්දියේ දිවා රෑ සිය වටිනා කාලය මිඩංගු කරමින් සිටියි. සයිබර් අවකාශයේ ඉමක් නැති අහුමුළුවල රස්තියාදු වෙමින් හුන් කවි කිවිඳියන් මහ පොලවට ගැට ගසා දැමීමේ ඓතිහාසික කාර්යය 2008 දී අක්ෂර සෙනග පද්‍ය සංග‍්‍රහය එලි දැක්වීමත් සමගම සිදු විය. මේ එළඹෙන සැප්තැම්බරයේ සයිබර් අංකුර කවියන්ගේ ශ‍්‍රම විභජනයෙන් සිය වර්ෂපූරණ සැමරීම හා සමාගාමීව එළි දක්වන්නට යෙදෙන කාව්‍ය ග‍්‍රන්ථ සයකින් මෙම ගමනේ තවත් සැතපුම් කනුවක් සලකුණු කරනු නොඅනුමානය.
කවියේ හැඩරුව කාලයෙන් කාලයට වෙනස් වෙමින් පැමිණි මේ ගමන ඡුන්දසින් ඡුන්දස වෙන්වී එනමුත් ඡුන්දස් ගතිගුණ ඡුායාමාත‍්‍ර ලෙස දරා ගෙන නිර්ඡුන්දස් යැයි හැඳින්විය හැකි නිදහස් සහ සංයුක්ත කවි හරහා ?පමය භාවිතාවෙන් සහ මතු දිනෙක බහුවිධ මාධ්‍ය අනුකලනයෙන් විවිධාංගිකරණයට එළඹෙන්නට නියමිත සයිබර් කවිය දක්වා පැමිණ ඇති මේ ගමන තව කොපමණ විවිධාංගයන්ගෙන් සමලංකෘතව මිනිස් සමාජයේ හෘද සාක්ෂිය සොයා සහෘද ජන කොටස් ආමන්්ත‍්‍රණය කරන්නට එළඹෙන්නේද යන්න විවාදාභිමුඛ ය. ස්කන්ධයක් ආලෝකයේ වේගයට ලං වූ විට අපරිමිත ලෙස සිය ස්කන්ධය වැඩි කර ගනී. එබන්දකට ඉන්පසු චලනයක් විය නොහේ. භෞතික විද්‍යාත්මකව එය එසේ යැයි කීවද එය ගණිතානුකූල විනිශ්චයක් පමණි. කිසිවකු එය සාක්ෂාත් කරනු ඇත්දැයි නොසිතේ.
කවියේ වේගය දැං ආලෝකයේ වේගයට ලං ව ඇත. -Sri Lanka Guardian
Home »
» කවිය ආලෝකයේ වේගය අත් කර ගත් විට...
Post a Comment