Home » » දකුණෙන් ලැබෙන පණිවුඩය

දකුණෙන් ලැබෙන පණිවුඩය

Written By Sri Lanka Guardian on Monday, October 12, 2009 | 9:17 AM

සී. ඒ. චන්ද්‍රප්‍රේම

(October 12, Colombo, Sri Lanka Guardian) දකුණු පළාත් සභා ඡන්ද ප්‍රතිඵල දෙස බලන විට එක්‌වරම පෙනී යන කරුණ වන්නේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පොදුජන එක්‌සත් පෙරමුණ ලබා ඇති පසුබෑමයි. 2004 දී පවත්වන ලද දකුණු පළාත් සභා ඡන්දයේදී හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පොඑපෙ ලැබූ ඡන්ද සංඛ්‍යාව 70% කට වැඩි විය. නමුත් මෙවර ඔවුන්ට ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය 66% කි. 2004 පළාත් සභා ඡන්දයේදී ජනතා විමුක්‌ති පෙරමුණ ද පොඑපෙ සමග එක්‌ව තරග කිරීම නිසා 70% ක ප්‍රතිශතයක්‌ ලැබුණු බව සත්‍යයකි. නමුත් අද කාලයේ ගණන් බලන ආකාරයට ජවිපෙ නැතුව වුවද පොඑපෙට හම්බන්තොටින් 80% ක්‌වත් ලැබෙනු ඇතැයි කවුරුත් බලාපොරොත්තු වූහ.


ජවිපෙ නැතිවූවා යෑයි ගාල්ල හා මාතර දිස්‌ත්‍රික්‌කවල පොඑපෙට පාඩුවක්‌ සිදුවී නැත. 2004 පළාත් සභා ඡන්දයේදී ජවිපෙ සමග එක්‌ව තරග කොට, ගාල්ලෙන් 62% කුත් මාතරින් 64% කුත් ලැබිණි. නමුත් මෙවර ජවිපෙ නැතුව තරග කොට වුවත් ගාල්ලෙන් හා මාතරින් පොඑපෙට ලැබුණු ඡන්ද ප්‍රතිශතය 68% හා 67% දක්‌වා වැඩි වී ඇත. මේ නිසා හම්බන්තොටින් ලැබුණු 66% ක ප්‍රතිශතය ඇත්ත වශයෙන්ම පසුබෑමක්‌ හැටියට හැඳින්විය හැක. මේ පසුබෑම අනෙක්‌ දිස්‌ත්‍රික්‌ක දෙකෙන් විද්‍යමාන නොවී හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන්ම මතුවීම කාගේත් මවිතයට හේතු විය යුතු කාරණයකි.

හම්බන්තොට යනු රාජපක්‍ෂවරුන්ගේ දේශපාලන පදනම පවතින ප්‍රදේශයයි. හම්බන්තොටින් ඈත අතීතයේ මිස මෑත කාලයේ රාජ්‍ය නායකයකු බිහිකර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ පමණි. මහින්ද අසාර්ථක පාලකයකු නොව, දැනට ලංකාවේ බිහිවී ඇති සාර්ථකම පාලකයාය. මෙතරම් සාර්ථක රාජ්‍ය පාලකයකු බිහි කළ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව ඒ ගැන ඇති ආරම්බරය නිසාම අඩු වශයෙන් 80% ක්‌ වත් ආණ්‌ඩුවට ලබා දිය යුතුව තිබිණි. නමුත් ලැබුණේ 66% කි. මෙය මුළුමහත් සිංහල ජාතියටම හම්බන්තොට ජනතාව කළ නිග්‍රහයක්‌ යෑයි ද කිව හැකිය. හම්බන්තොට සිටින සෑම ඡන්දදායකයකුම තම හෘදය සාක්‍ෂිය පිරිමැද මේ දෙස බැලිය යුතුය. හම්බන්තොට යනු කිසිදු මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක්‌ තිබුණු දිස්‌ත්‍රික්‌කයක්‌ නොවේ. හම්බන්තොටට ජාත්‍යන්තර වරායක්‌ ඉදිකරමින් සිටින්නේ ද රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින්මය. හම්බන්තොට ජනගහන ප්‍රමාණය දෙස බලන විට දිස්‌ත්‍රික්‌කය තුළ ආර්ථික උද්දීපනයක්‌ ඇති කිරීමට මේ වරාය පමණක්‌ වුවත් ප්‍රමාණවත්ය.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් අඩු ප්‍රතිශතයක්‌ ලැබීමට හේතු වූවා යෑයි කිව හැකි තවත් හේතූන්ද නොතිබුණා නොවේ. රාජපක්‍ෂවරුන්ගේ සාම්ප්‍රදායික නායකත්වයට හම්බන්තොට ජනතාව පුරුදු වී සිටියත්, මේ ඡන්දයේදී රාජපක්‍ෂවරයකු තරග වැදුනේ නැත. එපමණක්‌ නොව මුළු දකුණු පළාත පුරාම, ආණ්‌ඩුවට කිසිදු තරගයක්‌ නැතැයි යන මතයද ප්‍රචලිත වී තිබිණි. අපට "ගේමක්‌ නැතැයි" සිතීම නිසා පොඑපෙ අපේක්‍ෂකයන් කළේ තම තමන් අතර පමණක්‌ තරග කරගැනීමය. දකුණු පළාත පුරාම එජාපයෙන් සැලකිය යුතු තරගයක්‌ තිබුණේ ද නැත. ඡන්දයට පෙර තිබුණු තත්ත්වය අනුව කවුරුත් සිතුවේ ආණ්‌ඩුවට අමාරුම දිස්‌ත්‍රික්‌කය වන්නේ ගාල්ල බවයි. එජාපයෙන් ආණ්‌ඩුවට යම් තරගයක්‌ දෙනු ලැබුවේද ගාල්ල දිස්‌ත්‍රික්‌කය තුළය. අනෙක්‌ දිස්‌ත්‍රික්‌ක දෙකේ එජාපයේ තරගයක්‌ නොතිබුණු තරම්ය.

අවසානයේදී ඡන්ද ගණන් කර බලන විට, එජාපයට වැඩිම පසුබෑම ඇතිවී තිබෙන්නේ ද ගාල්ල දිස්‌ත්‍රික්‌කයේමය. ඡන්දයකදී හරිහමං ප්‍රතිඵලයක්‌ ලබාගත හැක්‌කේ තරගයක්‌ තිබේ නම් පමණි. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පොඑපෙ පැහැදිලි පසුබෑමක්‌ ලැබූ අතර ගාල්ල හා මාතර දිස්‌ත්‍රික්‌කවලින්ද මොනරාගලින් ලැබූ ආකාරයේ ප්‍රතිශතයක්‌ ලැබීමට නොහැකි විය. මේ නිසා දකුණු පළාත තුළ තමන්ගේ කල්ක්‍රියාවේ යම් අඩුපාඩුවක්‌ ඇත්දැයි පසුවිපරමක්‌ කිරීම කෙරෙහි ආණ්‌ඩුව යොමුවිය යුතුය. වයඹ පළාත සාම්ප්‍රදායිකව යූඇන්පීයට බර පළාතක්‌ වන නිසා වයඹ පළාත් සභා ඡන්දය වෙලාවේ චමල් රාජපක්‍ෂ ඇමැතිවරයාත් දින 40 කට වැඩි කාලයක්‌ ගලිගමුවේ පැල් බැඳගෙන වැඩ කළේය. දකුණ පළාතේ දවස්‌ 40 ක්‌ ගත කළ ඇමැතිවරයෝ ගැන මට තවම ආරංචි වී නැත. ඒ දකුණු සාම්ප්‍රදායිකව "වමට බර" ප්‍රදේශයක්‌ය යන මතය නිසා විය හැක. තමන්ගේ මිනිසුන් ගණන් නොගෙන සිටීමේ වරද සිදුවුණා දැයි පොදු පෙරමුණ පසු විපරම් කර බැලිය යුතුය.

මේ අතරතුර එජාපයට ද පසු විපරම් කර බැලීමට කරුණු බොහොමයක්‌ තිබේ. එජාපයට ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ තිබුණු පළාත් සභා ආසන 9 න් 3 ක්‌ දැන් අහිමි වී තිබේ. නමුත් මාතර හා හම්බන්තොට දිස්‌ත්‍රික්‌ක වලින් ඔවුන්ට නැතිවී ඇත්තේ එක්‌ ආසනයක්‌ බැගින් පමණි. එපමණින් බේරිම ගැන ඔවුන්ට සතුටු විය හැක. සතුටු විය යුතුය. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ රාජපක්‍ෂවරුන්ට එරෙහිව යුද වැදීමට සිදුවී ඇත්තේ සජිත් ප්‍රේමදාසටය. ආසන එකක්‌ පමණක්‌ නැතිකරගෙන බේරීමට ලැබීම ඔහු ලත් පෞද්ගලික ජයග්‍රහණයකි. ඔහු නොසිටින්නට හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ යූඇන්පීයක්‌ නැත. මෙසේ හම්බන්තොට හා මාතර යන දිස්‌ත්‍රික්‌කවල අඩු හානියකින් බේරීම ගැන සතුටු වන අතර පොඑපෙ ආණ්‌ඩුව බලාපොරොත්තු වූ විශාල ප්‍රතිශතය නොලැබීම ගැන කාලකණ්‌ණි සතුටක්‌ ද එජාපයට ඇතිවනු ඇත. එයත් ඔවුන් භුක්‌ති විදිය යුතුය. නමුත් එසේ කිරීමෙන් පසුව, එජාපයට ද කල්පනා කිරීමට කාරණා ඇත. ඉන් පළමුවැනි කාරණය වන්නේ දකුණේ දිස්‌ත්‍රික්‌ක තුනේම එජාපයට ලැබෙන ඡන්ද ප්‍රතිශතය බරපතල ආකාරයට පිරිහීමය. 2004 පළාත් සභා ඡන්දයේදී එජාපයට ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ලැබුණු 36% ප්‍රතිශතය මෙවර ඡන්දයේදී 27% දක්‌වා අඩුවී ඇත. මාතර දිස්‌ත්‍රික්‌කයේ 2004 ලැබුණු 33% ක ප්‍රතිශතය මෙවර 25% දක්‌වා අඩුවී ඇත. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් 2004 දී ලැබුණු 28% ප්‍රතිශතය මෙවර 21% ට අඩුවී ඇත. 2004 හා 2009 දකුණු පළාත් සභා ඡන්ද අතර පොඑපෙ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද 115,715 කින් තම ඡන්ද පදනම වැඩිකරගෙන ඇත. මාතර දිස්‌ත්‍රික්‌කයේ ද ඔවුන්ගේ ඡන්ද පදනම 75,034 කින් ද හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ 51, 678 කින්ද ඡන්ද පදනම වැඩි වී ඇත.

මේ අතරතුර එජාපයට සිදුවී ඇත්තේ කුමක්‌ද? 2004 හා 2009 දකුණු පළාත් සභා ඡන්ද අතර ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද පදනම වැඩිවී ඇත්තේ ඡන්ද 1007 කිනි. මාතර දිස්‌ත්‍රික්‌කයේ ඔවුන්ගේ ඡන්ද වැඩිවී ඇත්තේ ඡන්ද 116 කිනි. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ඔවුන්ගේ ඡන්ද වැඩිවී ඇත්තේ 4064 කිනි. මෙතැනිදී ද කප් එක දිනා ඇත්තේ සජිත් ප්‍රේමදාසය. පොඑපෙ දුවන විට එජාපය පස්‌ස පැත්තෙන් රූමිටති. ඉතින් මේ විදිහට ඡන්ද දිනන්නේ කොහොමද? 2005 ජනාධිපතිවරණයේදී එජාපය ජයග්‍රහනය කළ ගාල්ල මැතිවරණ කොට්‌ඨාසයත් මෙවර ඔවුන් පරාජය වී ඇත. 2005 ජනාධිපතිවරණයෙන් පසු කවුරුත් කීවේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කර දුන්නේ දකුණේ ජනතාව බවයි. ඒ මහින්දට වැඩි ඡන්ද 311,692 ක්‌ පළාතෙන් ලබාදීමෙනි. මෙවර ඡන්දය ප්‍රධාන ඡන්දයක්‌ නොව, හුදෙක්‌ම පළාත් සභා ඡන්දයක්‌ වෙලත් පළාත තුළින් පොඑපෙ ආණ්‌ඩුව ලබා ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව 506,891 කි. එජාපයත්, පොදු පෙරමුණත් අතර ඇති පරතරය මේ ආකාරයට භයානක ලෙස වැඩිවී ඇත. දෙපැත්තෙන්ම නිසි ආකාරව සටන් වදින ප්‍රධාන ඡන්දයකදී කුමක්‌ වේ දැයි මෙයින් අනුමාන කළ හැක.

දකුණු පළාත් සභා ඡන්දයෙන් මේ ආකාරයට පොඑපෙට තම එදිනෙදා කල්ක්‍රියාව සංශෝධනය කරගැනීමට මෙයින් පණිවුඩයක්‌ යෑවෙනවා මෙන්ම එජාපයට ද පැහැදිලි පණිවුඩයක්‌ යවා ඇත. එජාපය මේ ආකාරයට දුර්වල වූයේ එජාප සන්ධානයේ හවුල්කරුවකු වන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ගාල්ල හා මාතර වෙනම ලයිස්‌තුවක්‌ ඉදිරිපත් කළ නිසා යෑයි අයෙක්‌ කියනු ඇත. නමුත් මුස්‌ලිම් කොංග්‍රසයට මුළු දකුණු පළාත තුළින්ම ලැබුණු මුළු ඡන්ද ප්‍රමාණය වන්නේ 6,553 පමණි. මීට වඩා මුස්‌ලිම් ඡන්දදායකයන් සංඛ්‍යාවක්‌ ගාල්ල මැතිවරණ කොට්‌ඨාසයේ පමණක්‌ සිටිති. දකුණේ මුස්‌ලිම්වරුන්ගෙන් අති බහුතරය එජාපයට ඡන්දය දී ඇති බව පැහැදිලිය. මුස්‌ලිම් කොංග්‍රසය එජාපය සමග එකට තරග කළත් එජාපයට එතරම් වෙනසක්‌ නොවනු ඇත.

දකුණු පළාත් සභා ඡන්දයෙන් පොඑපෙට මෙන්ම එජාපයටත් පසුබෑම් ඇතිවී තිබුණ ද ජවිපෙට ජාම බේරා ගැනීමට හැකි වී ඇත. හැම දිස්‌ත්‍රික්‌කයෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන් එක්‌ අයකු බැගින් ලබාගැනීම පසුගිය වකවානුවේ ඔවුන්ගේ නාය යැමත් සමග සසඳන විට ඇත්ත වශයෙන්ම ජයග්‍රහණයකි. එමෙන්ම හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ජවිපෙට එජාපයට ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් බාගයක පමණ ප්‍රමාණයක්‌ ලබාගැනීමත් සැලකිය යුතු දෙයකි. නමුත් ජවිපෙ නාය යැම මෙයින් නැවතුනා යෑයි කිව නොහැකිය. එවැන්නක්‌ තීරණය කළ හැක්‌කේ ඔවුන් ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබන ඡන්ද ප්‍රමාණය අනුවය.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger