Home » » සැබෑ මිනිසකුගේ කතාවක්

සැබෑ මිනිසකුගේ කතාවක්

Written By Sri Lanka Guardian on Thursday, October 29, 2009 | 12:55 AM

[මේ සටහන ඔහු කුඩා කළ කියැවූ බොරිස් පොලෙවොයිගේ 'සැබෑ මිනිසකුගේ කතාවක්' කෘතියෙහි දෙපා අහිමි ගුවන් නියමුවා තරමටම ලේඛකයාගේ ලෝකයේ 'අසහාය වීරයකු' බවට පත් වූ මිනිසකු ගැනය. ඔහුගේ ජීවිතයේ හමුව ඇති ධෛර්යයෙන් දෙවන තැන ගන්නා මිනිසා ගැන ලියන මෙය මෙතෙක් පමාවීම ගැන ඔහු කණගාටු වෙයි.]

Taboo

(October 29, Colombo, Sri Lanka Guardian) තමාගේ HIV ආසාදිතතාව විසි හතර හැවිරිදි චාල්ස් දැනගන්නේ නිවාඩුවට ගම රට පැමිණ රැකියාව සඳහා නැවත විදෙස් ගත වීමට වීසා ලබා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයට යොමුවන අවස්ථාවේය. පවුලේ වෛද්‍යවරයා ඔහුගෙන් දෙවන වරටත් රුධිර සාම්පලයක් ඉල්ලා සිටින්නේ කලින් ලබා ගත් ලේ ‘ඉහිරුණු’ බව කියමිනි. පළමු වතාවේ මෙන් පැය දහහතරක් උපවාසයෙහි නියැලෙන්නට උවදෙස් දී රුධිර සාම්පලය ලබා නොගත්තේ මන්දැයි ඔහු කල්පනා කරමින් සිටින අතරතුරය වෛද්‍යවරයා ‘ඩිස්පෙන්සරිය වැසුවායින් පසුව’ අම්මාත් තාත්තාත් සමඟ පැමිණ හමුවන්නට ඔහුට දන්වා සිටින්නේ.

“Son, I know you since infancy so I don’t want to beat around the bush…” කියා කතාව පටන් ගන්නා වෛද්‍යවරයා ඉන්පසු කුමක් කීවේද චාල්ස්ට මතක නැත. වෛද්‍යවරයාත් තම දෙමාපියනුත් කිසියම් බැරෑරුම් දෙයක් ගැන කරන දීර්ඝ සංවාදය ඔහුට නිහඬ සිතුවම්පටයකි. වචන කිසිවක් කණට නොයයි. සංවාදයට මැදිවනු බැරිව මුව වියැළී ගොසිනි.

එදිනම රාත්‍රියේ තාත්තා සමඟ ගුහාවක් බඳු තම අඳුරු කාමරයේදී පැවැත්වූ දීර්ඝ, විච්ඡින්න සාකච්ඡාවෙන්ද ඔහුට මතක එකම එක කියමනකි. “පුතා මොනව වුනත් දැන් මට වැදගත් එකම දේ ඔබේ අනාගතය…අපි ඒ ගැන කතා කරමු” (“Son, whatever happened, the most important thing to me now is your future…Let us talk about that”)

HIV ආසාදිතයකු දකුණු ආසියානු රටකදී අඩු වැඩි වශයෙන් මුහුණ දෙන වේදනා, ගැරහුම්, අවමන්, කොන් කිරීම්, රැකියා නැතිවීම්, ආදරය ප්‍රතික්ෂේප කිරීම් සියල්ලටම චාල්ස් මුහුණ දෙන්නේය. වෙනදා ජීවිතය බෙදා ගන්නා තරමට මිතුරු වූවෝ දැන් මහමඟ දැක ඉවත බලා ගනිති. කිසිවෙක් ඔහුට රැකියාවක් දීම බරෙකැයි කල්පනා කරත්. නොතැලී නොපෙළී වැඩුණු මධ්‍යම පාංතික තරුණයකු ලෙස ඔහු විෂයෙහි එහි බලපෑම කිහිප ගුණයකින් අධිකය. සිය දිවි නසා ගැනීමේ විකල්පය ඔහු සලකා බැලුවේද නැත්ද ලේඛකයා නොදනී. මේවා එකිනෙක විස්තර කිරීම අවශ්‍ය නොවන්නේ සටහනේ අරමුණ එය නොවන නිසාය.

ELISA පරීක්ෂණය පහළොස් වතාවක් කර ගෙන ඒ පහළොස් වතාවේම ධන ප්‍රතිඵල ලද චාල්ස් එක් අවස්ථාවක යමක් අවබෝධ කොට ගන්නේය. ඒ තමා කැමති වුවද අකමැති වුවද HIV සමඟ තම ජීවිතයේ ඉතිරි කොටස ගෙවීම හැර වෙනත් විකල්පයක් නැති බවය. මේ අවබෝධය ජීවිතය දිහා අමුතු ඇසෙකින් බලන්නට ඔහු පොළඹවයි.

නිදි නැති දීර්ඝ රාත්‍රියකින් පසු ඔහු ජීවිතයේ සොඳුරුම තීරණය ගන්නේය. ඒ තම ජීවිතය තමා වැනිම දුක් විඳින ජන කොටස් වෙනුවෙන් කැපකිරීමටය.

“මං ජීවිතේ පළවැනි වතාවට කුණු බක්කියකින් යමක් අහුළගෙන කෑවේ ඊට පහු වෙනිදා. මොනවා කළත් ඒකට හිත හදාගන්න මට ගොඩක්වෙලා ගියා. අපි නොහිතුවාට ඒවත් රහයි. මට ඕනැ වුනේ මගේ මධ්‍යම පාංතික චින්තනය අභියෝගයට ලක් කරලා මහපාරෙ කුණු බක්කිවලින් අහුළාකන මිනිස්සුන්ට සමීප වෙන්න”

කොළඹ මහ රෝහලේදී ජීවිතයේ පළමු වරට ඒඩ්ස් රෝගියකු දකින චාල්ස්ට ඇතිවූ මුල්ම හැඟීම සියල්ල ඉවතලා ආපසු හැරී දිවීමය. (“Gosh, I have never seen anything like that in my life”) මිනිසකුට වඩා ඇටසැකිල්ලකට සමීප මේ මිනිසා, කිළිටි රෙදි කඩමාල්ලක් දවටා ගෙන වැතිරී සිටින්නේ තම මළ මුත්‍රා මතය. ඒඩ්ස් රෝගියකු පිරිසිදු කිරීමට කිට්ටුවන හෙදියන් උපස්ථායකයින් ඇතිනම් ඒ කලාතුරෙකිනි. අද කෙසේ වෙතත් අනූව දශකය මැද හරියේ එවැන්නකු නොසිටි තරම්ය. තම ඥාතීන් විසින්ද අත්හරිනු ලබන මේ මනුෂ්‍යයෝ මතු දිනෙයක මරණය තමන් කැන්දාගෙන යාමට එනතුරා මහළුවී ගිය අශ්වයන් පරිද්දෙන් අවාසනාවන්ත ජීවිත ගත කරති.

මා හිත දැඩි කර ගත්තා. මා මටම කියා ගත්තා චාල්ස්, නුඹ අද මේ මිනිසා වෙනුවෙන් කළ යුත්ත නොකළොත් හෙට නුඹ වෙනුවෙන් එවැන්නක් කිරීමට කෙනෙක්ද නැතිවන බව. (“Charles, if you don’t do this today, tomorrow there will be nobody to do it for you”)

චාල්ස් මේ අහිංසකයාගේ අත අල්ලා ගන්නා විට ඔහු නෙතින් කඳුළු බින්දුවක් රූරා වැටෙන්නේය. කතා කරන්නට වෙර දරණ මුත් වචන කටට නෑවිත් උගුරේ සිර වන්නේය. මේ චිරාත් කාලයකට පසු කවුරුන් හෝ ඔහු අතින් අල්ලාගත් අවස්ථාවය. රැවුමකින් නොව සිනාවකින් සංග්‍රහ කළ අවස්ථාවය.

“ඔහු කොයිතරම් කෙට්ටුද කිව්වොත්, මේ මිනිසා ඔසවාගන්නට තැත්කරද්දී මට දැණුනේ රෙදිපිළි සාප්පුවක ඇති ඩමියක් ඔසවනවා වගේ. මා ඔහු නාන කාමරයට ගෙනගොස්, අත්වැසුම්වත් නැතිව මගේ මේ අත්දෙකින්ම සෝදා පිරිසිදු කළ පසු මට දැණුනේ කියන්න බැරි තරම් සතුටක්.”

“අවාසනාවකට ඔහු මට හමුවනවිට ඔහුගේ AIDS රෝගී තත්ත්වය ඔඩුදුවා අවසන්. ඒනිසා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මට හැකිවුණේ නැහැ. මේ අහිංසකයා මිය ගියේ අපේ ගෙදර මගේ කාමරයේදී. වෙලාවට ආහාර හා කතාකරන්නට සගයන් ලැබීමෙන් ඔහුගේ කායික මානසික තත්ත්වය වර්ධනය වෙලයි තිබුණේ. පොඩ්ඩක් ඇඟට මස් දාලත් තිබුණා. ඔහු මිය ගියේ මුවෙහි ශාන්ත සිනහවක් ඇතිවයි. එය මට කිසිදා අමතක නොවන දසුනක්.”

මේ කාලයේදීම චාල්ස්ට තවත් අපූරු අමුත්තියක හමුවන්නේය. ඒ විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්නය. කාමලිකා HIV ආසාදිත වන්නේ මෙරට සුවසේවයේ ලුහුඬුතාවක් නිසාය. HIV වෛරසය ඇගේ රුධිර නාළයන්ට රිංගා ගන්නේ හදිසි අනතුරෙකින් පසුව කෙරෙන රුධිර පාරවිලයනකිනි. මේ රුධිර පාරවිලයනය කළ වෛද්‍ය සේවයම ඇගේ ජීවිතය ඇගෙන් උදුරා ගන්නේය. ස්පර්ශයෙන් HIV ආසදිත නොවන බව හොඳින්ම දන්නා ඇගේ වෘත්තීය සගයෝම ඇය දුටු කල්හි නොදුටුවාක්සේ පාරේ අනෙක් පැත්තට මාරු වන්නෝය. (ඇය මිය ගිය කල්හි ඇගේ අවමඟුලට සහභාගි වන්නේ වෛද්‍යවරුන් දහයකට අඩු සංඛ්‍යාවකි.) සෞඛ්‍ය අමාත්‍යාංශය ඇගේ රැකියාව පමණක් නොව (HIV ආසාදිත නොවූ) ඇගේ සැමියා වෛද්‍ය මයිකල් අබේනායකගේ උසස්වීම්ද උදුරා ගන්නේය.

මෙයින් කම්පිත වන්නේ කාමලිකා නොවේ. ඇයද තම දිවියම තමා තරමටවත් වාසනාවන්ත නොවූ HIV ආසාදිතයන් වෙනුවෙන් කැපකරන්නීය. (කාමලිකා පසු අවස්ථාවෙක ජනාධිපති ගෞරව ලබන අතර, චන්ද්‍රිකා කුමාරතුංග ඇය වැළඳ HIV ආසාදිතයන් කොන් කිරීමට අතුල් පහරක් දෙන ගමන්ම අවම වශයෙන් ඇය කළ එක හොඳ වැඩක් ගැන සටහන් කිරීමේ අවස්ථාව ලේඛකයාට සපයා දෙයි.)

තවත් HIV ආසාදිතයන් ගණනාවක් චාල්ස් හඳුනාගන්නේ කාමලිකා අබේරත්න හරහාය. HIV ආසාදිතයන් සඳහා වූ පළමු ලාංකේය සංවිධානය පිහිටුවා ගනු ලබන්නේ මේ පිරිස විසිනි.

කාමලිකා අබේරත්න මේ පිරිස අතුරින් අවාසනාවන්තියකි. ඇය ජීවත්වනුයේ HIV වලට එරෙහි පර්යේෂණ අද තරම් සාර්ථක වූ යුගයක නොවේ. මේ නිසා ඇගේ දිවි අවාසනාවන්ත ලෙස කෙටි වේ. ඉදින් තව වසර කිහිපයක් පමා වී නම් දිනකට රුපියල් සියයකට අඩු පෙති තුනක් පමණක් දිනපතා ගැනීම තුළින් HIV ආසදිත තත්ත්වය AIDS රෝගය දක්වා වර්ධනය වීම පමා කොට දශක එකක් හා දෙකක් අතර කාලයක් ජීවිතය දීර්ඝ කර ගැනීමේ අවස්ථාව ඇය ලබන්නේය. (අද තත්ත්වය අනුව නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම්, පෝෂ්‍යදායී ආහාරවේලක් ලබන්නේ නම් හා ආරක්ෂකව පමණක් ලිංගික සම්බන්ධතා පවත්වන්නේ නම් HIV ආසාදනය මාරාන්තික විය යුතු නොවේ. HIV ආසාදිතයන්ට දැන් බොහෝදුරට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ලැබී ඇත්තේය.නිව්යෝක් හි මෑතක කළ සංගණනයකදී හෙළිවූයේ HIV ආසාදිතයන්ගේ මරණ අතුරින් AIDS හෝ සම්බන්ධ රෝග වලින් වන්නේ තුනෙන් එකක් පමණක් බවය. 30% ක පමණ සාර්ථකත්වයක් ඇති ප්‍රති-HIV වැක්සිනයක් පවා මෑතක අත්හදා බලනු ලැබීය.)

චාල්ස් විසින් ලෝකය වෙනුවෙන් කරන ලද මහඟු මෙහෙවර මෙහි පියවරින් පියවර ලියන්නට ලේඛකයා අදහස් නොකරයි. එහෙත් HIV ආසාදිත තත්ත්වයට පත්වූ, එනිසාම රැකියා පමණක් නොව ගෙදර දොරද අහිමිව සිය දිවි නසා ගැනීම හැර වෙනත් විකල්පයක් නොවූ තත්ත්වයට පත්වූ සිය ගණනක් අහිංසකයන්ගේ ආධ්‍යාත්මයට සුවඳක්ව ඇත්තේ ඔහු බව නම් සටහන් කළ යුතුමය. අන් කිසිවක් නැතද ඔහු ඔවුන්ට ජීවත්වීමේ බලාපොරොත්තුව දී ඇත්තේය. ඒ තමන්ගේ ජීවත්වීමේ බලාපොරොත්තුව නැති නොකරගනිමිනි.

දිනෙක පමාවී උදෑසන රැස්වීමකට පැමිණෙන හෙතෙම මෙසේ කියයි: “මට සමාවෙන්න. උදේම යන්න උනා වෛරස් උණ හැදිච්චි මිත්‍රයන් කීප දෙනකුට බෙහෙත් දීල, නාවල එන්න. HIV ආසදිතයන්ට උණ ගැනීමේ සම්භාවිතාව වැඩියි, ප්‍රතිශක්තිය අවම නිසා.” මේ “බස් එක පරක්කු උනා” යැයි කියනවාට වඩා කොයිතරම් අපූරු නිදහසට කාරණාවක්ද?

“I am HIV positive and living with it for eleven years now.” චාල්ස් ලේඛකයා මුල්වරට හමුවූ අවස්ථාවේ කීවේය. දැන් මේ එකොළොස් වසර පහළොව දක්වා දිගු වී තිබේ. මේ වාසනාව ඔහුගේ ප්‍රතිකාර සඳහා පමණක් නොව ජීවිතය ගෙන යාම සඳහාද වියදම් දරන්නට තරම් දෙමාපියන්ට වත්කම තිබූ හෙයිනි. HIV ආසාදිත තත්ත්වයට පත්වන සියල්ලෝම මෙසේ වාසනාවන්ත නොවෙති. ප්‍රතිකාර රජයේ රෝහල් වලින් නොමිලේ සැපයුනද, HIV අසාදිත තත්ත්වය නිසා රැකියාව අහිමි වීම හේතු කොට ගෙන පුද්ගලයන් වශයෙන් නොව පවුල් වශයෙන්ද අන්තිම අසරණ තත්ත්වයට පත්වන්නෝ වෙති. හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා පාත්වූ පසුව සිදුවිය හැකි දේ අමුතුවෙන් කිව මනාද?

චාල්ස්ට ලෝකයට ඇත්තේ එක පණිවිඩයකි: “මම ඔබෙන් මුදල් හෝ රැකියාවක් නොඉල්වමි. අප විසින් එක් අවස්තාවක අත්විඳින ලදුව, පසුව අපට අහිමි වූ, ඔබට තවමත් හිමි නිදහස පමණක් අපට දෙන්න. අප ඔබෙන් ඉල්ලන්නේ එය පමණකි.” (“I don’t ask for money. Neither do I ask for a job. Just give us the freedom that we lost, what everyone of you enjoy. Just give us that freedom. That is all we want.”)

“Can I write your story?” ලේඛකයා එක් අවස්ථාවක චාල්ස්ගෙන් අසන්නේය. ඔහුගේ ප්‍රතිචාරය කෙටිය. “Okay, if you think it does any good to society”

ජීවිතයේ බොහෝ දේ අහිමි කොටගෙන ඇති, එහෙත් තවමත් සිනාසෙන මේ ධෛර්යසම්පන්න මිනිසාට ලොවින් සඟවන්නට දෙයක් නැත්තාක් සේය. මම ඔහු ෆීනික්ස් පක්ෂියාට සම කරමි. දැවී හළුවී යන ෆීනික්ස් නැවත ඒ අළු මතින්ම උපත ලබන්නේය. එනිසාම ෆීනික්ස් විනාශ කළ නොහැකිය.

මම ඔහුට මෙසේ කියමි. Charles, forever you are my inspiration. I am so glad that I have a friend like you.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger