Home » » පංචායුදයේ අතුරු කතාව

පංචායුදයේ අතුරු කතාව

Written By Sri Lanka Guardian on Tuesday, March 30, 2010 | 10:43 AM

පංචායුද සාමාන්‍යයෙන් එල්ලන්නේ කුඩා ළමුන්ගේ ගෙලේ ය. අපේ මව්බිම ද තාමත් ඒ හැටි පරිණත වී නැති කුඩා ළමයෙක් බදු නිසා එවැනි පංචා යුදයක් එල්ලා ආරක්ෂාවක් ලබා ගැනීම හොද ය.

ළමෝ නොතේරුම් කමට බොහෝ පව් කරති. පංචායුදයෙන් අපේක්ෂා කරන්නේ එසේ කරන පව් කම් නිසා තමන්ට සිදුවන කිසියම් අතුරු ආබාධයකින් බේරීමට ළමයාට ශක්තියක් ලබා දීමට ය.

අපේ මව්බිම ද නොතේරුම් කම නිසා බොහෝ පව් කරයි. ඒ නිසාම එය ද ඒ කර්ම විපාකවලින් බේරා ගැනීම අවශ්‍ය ය.

දරුවන්ට විනකරන භූත ප්‍රේතාත්ම වලින් ද උන් බේරා ගැනීම සදහා පංචායුද සවිකරන බවට තව මතයකි. බෑන් කී මුන් ගෝර්ඩන් බ්‍රවුන් වැනි භූතාත්ම ඇත්තටම හෙලන බැල්ම නපුරු ය. පංචායුදය එල්ලා නොතියෙන්නට මුන්ගේ බැල්මට අසුව අපේ මව්බිම මිය ගිය තැන්වල මේවන විට ගසුත් පැළවෙලා ය.

මව්බිමේ පංචායුදය හිටිහැටියේ ප්‍රාදුර්භූත වනුයේ ඒ අනුව ය. ඒ නිසාම එය වඩාත් කාලෝචිත ය.

කොල්ලන් හා කෙල්ලන් බෙල්ලේ එල්ලා ගන්නා මේවා නැති කර ගන්නා නිසා ඒවා හදන්නේ බාල ලෝහවර්ගයකිනි. එහෙත් රත්තරන් වතුරේ දමා දිලිසෙන්නට වග බලා ගන්නේ දෙමාපියන් ය.

දැන් ඒ අනුව පංචායුදය මව්බිමේ එල්ලා තිබේ. ලෝහය බාල වුනාට පෙනුම ලස්සණ ය.

පංචායුදය පැළදු මව්බිම එසේ කරනු ලැබූ කුඩා කොල්ලකු මෙන් ආඩම්බර වෙයිද නැතිනම් පංචායුදයක් පැළදවීමෙන් තමන්ට කළේ මදි පුංචිකමකැයි සළකා කෝප වෙයිද යනු දැන ගැනීමට අප්‍රියෙල් 08 දා තෙක් සිටිය යුතු ය.

තව පොඩ්ඩෙන් එකක් අමතක වෙනවා ය. පංචායුදයට අම්මලා ආස ය. චන්ද වැඩිපුර ඇත්තේත් චන්ද දමන්නට වැඩිපුර ඉඩ ඇත්තේත් අම්මලාට ය. අම්මලාගේ චන්දයෙන් හම්බන්තොට කුමරු ගොඩ ආවේ යම්සේ ද මේ චන්දයෙන් පංචායුද කුමරු ගොඩ එන්නට පුලුවන. සංඥාවලට නොදැනී යටත් වනවා විනා විමසා යමක් කිරීමේ පුරුද්දක් අපේ අම්මලාට නැත.

ගහපු කටවුට් හා වියදම් කළ සල්ලිවල හැටියට කොළඹින් එකට නාවොත් පංචායුද කුමාරයා පරාද ය. පංචායුදයට ඇති අවිඥානක කැමැත්ත වැඩ කළොත් ඒක ඒ හැටි දෙයක් නෙවේ ය.

කරදරයකට ඇත්තේ ජනතාවගේ හිතවතාවන දුමින්ද කුමරු ය. පංචායුදයකැයි යන ලස්සන සංඥාවක් දුමින්දට නැතත් හද පරදන වතක් ඔහු සතු ය. අම්මලා කොහොම වෙතත් තරුණියන් නම් දෙන්නා එකට හිටවා බලා දුමින්දට දෙනවා ඇත.

ඔය කොයිදේ බලාගන්නත් තව දින කීපයක් ඉවසිය යුතුව තිබේ. බඩ ගිනි දැනෙනවා ඉවසිය හැකි ය. එහෙත් මේ චන්දෙට කුමක් වෙත්දැයි දැන ගැනීමට නම් ඉවසුමක් නැත.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger