Home » » මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය

මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය

Written By Sri Lanka Guardian on Tuesday, April 13, 2010 | 5:21 PM

ඔලුව හොද නැත්ද යන වග බලා ගනු වස් මානසික ආරෝග්‍යශාලාවකට වත්මන් රජය විසින් යවනු ලැබූ නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ල දිස්ත්‍රික්කයෙන් පළමු තැනටත් දේශපාලනය පිළිබද ජෙනරාල් සතුව තිබු දින 40 ක අත්දැකීමවත් නොතිබූ වයෝවෘද්ධ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මාතර දිස්ත්‍රික්කයෙන් පළමු තැනටත් ඇමති ධුරයක්වත් නොදැරූ කටින්ම දේශපාලනය කළ කට හැකර විමල් වීරවංශ කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයටත් එජාපයෙන් බිලිබාගත් අනර්කලීට පවා කරදර දීමෙන් ප්‍රසිද්ධියට පත් මහත දෙහෙත දුමින්ද සිල්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවැනි ස්ථානයටත් එජනි සන්ධානයේම මහත්වරුන්ගේ ඇස්වලට කටු ඇන්නාවූ මර්වින් සිල්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෙවැනි ස්ථානයටත් ජනපතිවරණය ඔන්න මෙන්න කියා පිල් මාරු කළ ජොන්ස්ටන් කුරුණෑගලින් පළමු ස්ථානයටත් පැමිණ තිබේ. මහනුවර ප්‍රතිඵල තවම නිකුත් කොට නැත. ඒ නිසා එහි කිනම් ආශ්චර්යයක් සිදුවී ඇත් ද යනු තවම නොදන්නා දෙයකි. මා මේ කියූ බොහෝ දිස්ත්‍රික්ක එක්තරා නාගරික ජනයා ද නියෝජන කරන දිස්ත්‍රික්ක ය.

අප රටේ මැතිවරණ ප්‍රතිඵල විමසිය යුත්තේ මේ මනාප වලින් ඉදිරියට පැමිණ ඇති පුද්ගලයින්ගේ හැටි ස්වභාවය ද සැළකිල්ලට ගනිමින් ය.

මේ මැතිවරණය මොනයම් හෝ පක්ෂයකට ඉතිහාසයේ ලබා දුන් වැඩිම කැමැත්ත දුන්නාය කියන අවිවාදිත සත්‍යය එක පැත්තක තිබියදී මේ මැතිවරණයම ඉතිහාසයේ ප්‍රථම වතාවට චන්ද මධ්‍යස්ථානය ගණනාවක ප්‍රතිඵල අවලංගු කර නැවත චන්දය පවත්වන්නට සිදුවූ මැතිවරණය වූ බව තව පැත්තකින් ඇත්තේය යන කාරණය ද සැළකිල්ලට ගනිමින් මේ මැතිවරණ ප්‍රතිඵල විමසුමට ලක්කළ යුතු ය.

මුලුරටම ජනපති වටා එක්වෙමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවර‍ණයේ දුන් ජනවරමට ද වඩා අතිවිශාල ජනවරමක් ලබා දෙමින් පෙළ ගැසෙද්දී ජනපති උපන් භූමිය මෙන්ම එතුමාගේ දෙටු පුත් – රටේ සම්ප්‍රදායට අනුව දේශපාලනය උරුමය ඇති – තරග කළ දිස්ත්‍රික්කය ද වන හම්බන්තොටින් මෙවර එජනිස ලබාගෙන ඇත්තේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත් චන්ද ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකි. ඒ හම්බන්තොටට සුවිශේෂි සැළකිල්ලක් රජය විවෘතව දක්වමින් සිටිනා වටපිටාවක ය.

මේ සියල්ලෙන් පෙනී යන්නේ ආසියාවේ ආශ්චර්යය බවට ලංකාව පත් කිරීමට ආණ්ඩුව පමණක් නොව ජනතාව ද සූදානම් බව ය.

හෙට අනිද්දා බැසිල් රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යුත් 60 ක් පමණ වූ අමාත්‍ය මණ්ඩලයක් (නියෝජ්‍ය අමාත්‍යවරු හා වෙනත් අමාත්‍යවරුන් තව 60 ක් ද සහිත ව) දිවුරුම් දීම සිදුවනු ඇත. ඊට පස්සේ චන්දය දුන් ජනතාව 35ට වැඩි වූ එම ඇමති මණ්ඩලය විසින් රටතුළ ආශ්චර්ය සිදුකරනා හැටි නරඹමින් දැහැමින් සෙමෙන් සතුටින් කල් ගෙවනු ඇත්තේ ය.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger