Home » » තවත් කෙනෙක් අතුරුදහන් වෙයි. පුලුවන් නම් හොයා දෙන්න.

තවත් කෙනෙක් අතුරුදහන් වෙයි. පුලුවන් නම් හොයා දෙන්න.

Written By Sri Lanka Guardian on Thursday, July 15, 2010 | 4:23 PM

ඉස්සර එහෙම දෙයක් තිබුනේ ය. එය දැන් තියෙන්නේ ශබ්දකෝෂයේ විතර ය.

ඒක හැංගිලා ද වහන් කරගෙන ද නැත්නම් අතුරුදහන් වෙලා ද කියලා හරියට ම කියන්නට බැරි ය.

ඒත් කාලෙක ඉදල ඒක හොයා ගන්නට නම් බැරි ය.

බොරුව අතු රිකිලිලා වැඩෙන විට ද වංචාව ඉහවහා ගිහින් දොරේ ගලන්නට පටන්ගත් විට ද රගපෑම රිදී ති‍රයෙන් දේශපාලන වේදිකාවට මාරුවන්නට පටන් ගත් විට ද එය හිටියේම අපහසුවෙනි.

වැඩිපුර මූණ දෙන්නට ආවේ නැති බව ඇත්ත ය. එහෙත් එය අප අතර මෑතක් වනතුරුත් කලාතුරකින් හෝ දකින්නට ලැබුනේ ය.

එය ඊයේ පෙරේදා වනවිට සිටියේ සිය දිවි නසා ගැනීමට තරම් කළකිරිලා ය.

ජනාධිපති ආවත් මේ සටන අත් නොහරිමියි විමල් පාරම්බාන විට එය හොදින් ඇහුම් කන් දුන්නේ ය. තමන් ගෙන යන මේ සටන වළක්වන්නට උත්සහ කරන්නට එපා යැයි එදා උදේ විමල් කියනවිට එහි ඇග වෙව්ලා යමින් තිබුනේ ඇතිව තිබුනු බය නිසා ම ය.

රාත්‍රියේ රජතුමා පැමිණ නාඩගම අවසන් කරන විට එය සිටියේ හැංගෙන්නට තැනක් හොයමිනි.

ඊට පසු එය දුටු කෙනෙක් පවා නැත.

එහි ළගම ඥාතියා බිය ය. මේ දෙක ඇතුව හැදෙන්න යැයි ඉස්සර දෙමාපියෝ දරුවන්ට කියා දුන් හ. දැන් නම් කියන්නේ ඔය දෙක නැතුව ‍හැදෙන්න බලාපන් කියා ය. මේවා ඇසීමෙන් ද ඔහු කළකිරී උන්නේ ය.

බොහෝ දෙනෙකුට එය නැතිවීම වෙන ප්‍රවෘත්තියක් තරමටම සාමාන්‍ය දෙයක් ව තිබේ. ගායක් ඇත්නම් ඒ අතිශය සුලු පිරිසකට පමණි.

(මිනිසුන් ඇතුළු බොහෝ දේ අතුරුදහන් වෙන ආකාරයට මෙසේ අතුරුදහන් වෙන අය ගැන බලමින් සිටින්නට එක අතකින් මිනිසුන්ට වෙලාවක් ද නැත.)

බැරිවෙලාවත් ඔබට ඔහු මුණ ගැසුනොත් ළගම ඇති සිංහල භාෂා දෙපාර්තමේන්තුවට බාර දෙන්න. ඔහුගේ නැතිවීමෙන් වඩාත් කම්පනයට ලක්ව තිබෙන්නේ සිංහල භාෂා දෙපාර්ථමෙන්තුව බැවිනි.

(ඇත්තටම එය තමන් සන්තකයේ තබා ගැනීමට යෑම අතිශයින් පාඩු දායක ය. විශේෂයෙන් මේ කාලයේ එය අනතුරුදායක වීමට ද පුලුවන. බොහෝ දේ මේවන විට මිනිසුන්ට නැතිව ඇතත් මේ අනතුරුදායක බව තේරුම්ගැනීමට අවශ්‍ය ව්‍යවාහාරික ඥානයවත් ඔවුන් තුළ ඉතිරිව ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු. ඒ නිසා ම මෙය මුණ ගැහුනත් ඉක්මණින් සිංහල භාෂා දෙපාර්තමේන්තුවට නොවේ නම් වෙන කාට හෝ බාර දී එය රදවා ගැනීමෙන් අත්වන සාපයෙන් ඔබ ඉක්මණින් නිදහස් වනු ඇතැයි ද සිතමු.)

ඔබ දැනටමත් මේ කවුදැයි හදුනාගන්නට ඇත. එහෙත් එසේ කිරීමට බැරිවූ අයගේ යහපත සදහා එය හදුන්වාදීම අපේ යුතුකම ය.

ඒ ලජ්ජාව ය.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger