Home » » රතන හිමියන්ගේ ඩොලර් දාහ!

රතන හිමියන්ගේ ඩොලර් දාහ!

Written By Sri Lanka Guardian on Monday, July 19, 2010 | 9:09 AM

රතන හිමියන්ගේ අසපුව සාමාන්‍ය පන්සලකට වඩා සුඛෝපභෝගී යයි පැවසීම ඒ අසපුවට කරන මදි කමකි. ලෝකයේ අග්‍රගණයේ තරු පහේ හෝටල්වල පමණක් දැකිය හැකි නානකාමර කට්ටල සහිත විශාල නාන කාමරවලින් එය සමන්විත ය. ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට දැනටමත් පත්වී ඇතැයි සැක කරන අය අනිවාර්යෙන්ම ගොඩ වැදිය යුතු තැනකි ඒ අසපුව.

ඩොලර් දාහ නැතිවී ඇත්තේ ඒ අසපුවේ පිහිටි රතන හිමියන්ගේ පෞද්ගලික කුටියෙනි. එය තිබුනේ කුටියේ නිකම් දමා නොවේ. එහි තිබූ සේප්පුවක සුරක්ෂිතව අසුරලා ය. ඒ හිමියන් පොලීසියට දමා ඇති පැමිණිල්ල අනුව ඒ කුටියට පිවිසීමට අවසර ඇත්තේ ඒ අසපුවේ වැඩ කරන දාසයන්ට පමණි.

ඒ සමහරවිට තවත් වටිනා බොහෝ දේ එහි තිබිය හැකි නිසා ය. නැත්නම් රටේ සෙසු අය දැනගත යුතු නැති දේ එහි තියෙන නිසා ය.

යහපාලන නියාමවල පාරදෘෂ්‍යභාවය ගැන සදහන් වෙතත් විනය පිටකයේ ඒ ගැන කියවෙත්දැයි හරියට දැනුමක් අපට නැත. කොහොමටත් යහපාලනය බටහිර සංකල්පයකි. උන්ට අපේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගහන්න තිබෙන කැක්කුම නිසා ඔය කෙහෙල්මල් හදුන්වා දුන්නාට අපේ දේශප්‍රේමී භික්ෂූන්වහන්සේලා පලි නැත. උන්නාසේලා ඒවා අනුගමනය කිරීමට බැදී නැත.

නැතිවී ඇත්තේ ඩොලර් දාහක් වුනාට රතන හිමියන් කියන විදිහට සේප්පුවේ ඩොලර් හාර දාහක්ම තිබී ඇත. හොරා කවරෙක් වුවද කාරුණික හදවතක් ඇත්තෙකි. ඩොලර් සියල්ල ගන්න පුලුවන් කම තිබියදී මේ මෝඩයා අරන් තිබෙන්නේ දාහක් පමණකි.

සැමටම යන්නට එන්නට හැකි පන්සලක වුනා නම් මෙය ආගිය කෙනෙක් ගත්තායයි සිතා හිත සනසා ගත හැකි හොරකමකි. එහෙත් මුරකාවල් මැද මන්ත්‍රී හාමුදුරුවන්ගේ බංගලාවක උනහම නම් කොහොමටත් හිත වාවා ගත නොහැකි දඩබ්බර වැඩකි.

බල්ලෙක්වත් නොකන ඩොලර් සොයා දෙන ලෙස ඉල්ලා රතන හිමියන් පොලීසි ගියේ ඒ නිසා ය. ඩොලර් නැතිවුනහම රුපියල් නැතිවුනාට වඩා අමාරු ය.

එහිමියන් පොලීසියට කියා ඇත්තේ තමන්ට සැක වැඩකරන අය බව ය. මෙහෙම හාමුදුරුවන්ට වැඩ කිරීමත් පරෙස්සමෙන් කළ යුතු යයි කෙනෙකුට කියන්න පුලුවන් වුනාට අසපුවේ ඉතිරි වැඩ කරගන්නට තිබූ සල්ලි නැතිවුනහම සෝවාන් ගිය කෙනෙකුට වුනත් හිත වාවා ගන්න එක අමාරු බව එහෙම කියන අය තේරුම් ගත යුතු ය.

සාංඝික‍ දේ හොරකම් කිරීම අපේ ගෙදරකින් යමක් ගන්නවාට වඩා බරපතල ය. හොරා පැසෙන්නේ තෙල් කටාරමක ය. යන්නේ අවිචී නිරයට ය. අසපුවේ නිතර බණ අසන සේවකයෙක් මේ හොරකම කරා නම් තියන්න වටින්නේ නැත. පවේ ආනිසංස දැනම කර ඇති නිසා ය.

සමහරවිට දාහක් විතරක් ගැනීමෙන් පෙනෙන්නේ හදිසියේ අතමාරුවකට පිරිමහ ගන්නට ගත්තා කියලා ය. හොරාට රතන හිමියන් ගැන තිබූ අනුකම්පාව රතන හිමියන්ට හොරා ගැන ඇතිවුනේ නැත්තේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය. ඒ ‍ඔක්කොම ඩොලර් දාහේ වටිනාකම ගැන නොදන්නා නිසා ඇතිවන ප්‍රශ්න ය. අපට නම් ඩොලර්වලින් වැටුප් ලැබෙන නිසා මේ හිතේ අමාරුව තේරුම් ගන්නට පුලුවන.

සියලු‍ දේ නැසෙන සුලු යයි දෙසු බුදුබණ මතක් කර ගෙන සැනසෙන ලෙස මේ වෙලාවේ මහත් කම්පාවට පත්ව සිටින රතන හිමියන්ගේ හිත නිවීම සදහා මතක් කර දීමට කැමැත්තෙමු.

එහෙමත් අමාරු නම් රට විකුණා හෝ එසේත් නැතිනම් ගිනිතියා හෝ ඩොලර් ටිකක් උපයා ගන්නට බැරිකමක් නැත. එහෙම පුලුවන් මාර්ග තිබෙන බව මෙ අඩවියට ප‍්‍රතිචාර ගෙනෙන අයගේ මතයයි.

හිත ඇත්නම් ඒ වැඩෙ ඔබතුමාට බැරි නැති බව අපි දනිමු.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger