Home » » ආදරණීය විමලේ

ආදරණීය විමලේ

Written By Sri Lanka Guardian on Monday, July 19, 2010 | 11:03 PM

පත්තරයක පිටුවක් පුරා ලියා තිබූ උඹේ ලියුම දැකල මගේ බඩ පපුව හෝස් ගා පත්තු වී ගියේ ය. යමක් කරන්නට ට්‍රයි කොට බැරිවුනහම කෙරුවහම වගේ නෙවේ ය. වචන සෑහෙන්න නාස්ති කොට හේතු පැහැදිලි කරන්නට සිද්ධ වෙන්නේ ය.

අනේ කොහොමට හිටි වීරයෙක් ද මෙහෙම දෙකේ කොළයට වැටුනේ කියා සිතෙන විට හිත වාවන්නේම නැත.

උඹ නටපු තොවිලේ අන්තිමට මුකුත් ඉතුරු වුනේ නැති මුත් බෙරේ පලුවක්ම ගිය බව කියන මිනිසුන්ට උඹ උත්තරයක් දී තිබුනේ ය. ඒ බෑන් කී මූන් කියා පොරිසාදයෙක් සිටින බවත් ඌ රටට වින කරමින් ඉන්නා බවත් පාසල් ශිෂ්‍යයින් පවා උඹේ උපවාසය නිසා දැන ගන්නට ඇත කියා ය.

උඹට බාර අධ්‍යාපන අමාත්‍යංශය නොවේ වුනත් මේ විදිහට අධ්‍යාපනයට යම් සේවයක් කරපු එක ගැන නම් ස්තුති නොකර බැරි ය. එක අධ්‍යාපන ඇමතිවරයෙක්වත් ඉස්කෝලවල පළමු පන්තියට ළමයි දාන තරම් උනන්දුවක් වෙන කිසිම අධ්‍යාපන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දක්වන්නේ නැති නිසා ය.

පාසල් ශීෂ්‍යයින් නොදන්නා එකම දෙය බෑන් කී මූන් නොවන නිසා තව මාරාන්තික උපවාස කීපයක් කිරීම මගින් ඉතිරි නොදන්නා ඒවාත් සිසුන්ට දැන ගන්නට සළස්වන්නට උඹ ලෑස්ති වෙන්නේ ද යන්න දැන ගැනීමට දෙමාපියන් නම් ආසාවෙන් පසු වෙනවා ඇත.

බෑන් කී මූන් හිතුමතේට තම බලය පාවිච්චි කළේ යැයි උඹට හැගී ගිය නිසා එක්සත් ජාතීන්ගේ ලොක්කාට ඒ බව කියා දෙන්නට උඹ කල්පනා කළ එක හරිය. උඹේ ලොක්කා හිතුමතේට බලය පාවිච්චි කරන්නේ නැති තත්වයක් යටතේ එවැන්නක් ගැන කතා කිරීමට උඹට ශුද්ධ වූ අයිතියක් තියෙන බවට වාදයක් නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වටලා එහි සිටි සේවකයින් ප්‍රාණ ඇපකරුවන් හැටියට ගන්නට කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නැති බව උඹ ලිපියේ එක තැනක කියා තිබුනේ ය. බෑන් කී මූන් කොමිසම අස්කරගන්නා තුරු සේවකයින්ට යන්නට ඉඩ නොදෙන බවට උඹ කී දේ ඇසුණු අපට ඇතිවන ප්‍රශ්නය නම් උපවාසයෙන් පසු උඹේ මතකය දුර්වල වන්නට ඇත් ද යන්න ය. උපවාසය නිසා උඹේ ‍මො‍ළයේ එහෙම කොළොප්පමක් වුනා නම් ඒකට වගකියන්න ඕනෑ බෑන් කී මූන් ය. රජතුමා නොවේ ය.

ආරක්ෂක ලේකම්තුමා කතා කර පොලීසියට නිසි උපදෙස් දුන් බවට කර ඇති ප්‍රකාශය නම් තරමක් බරපතළ ය. ඒ කුමක් නිසා දැයි අප කියන්නට යන්නේ නැතත් මෙසේ විවෘතව එතුමා පාවා දීමට උඹ තීරණය කළේ ඇයි ද යන්න අපට ප්‍රශ්නයක් බව නම් නොකියා බැරි ය.

ජනාධිපතිතුමා පැමිණීමෙන් පසු ඇතිවූ හැගීම් බර තත්වය යටතේ උඹට උපවාසය නතර කිරීමට සිදුවූ බව එක තැනකත් පක්ෂයේ තීරණයට හිස නමා උපවාසය නැවැත්වූ බව තව තැනකත් හිතේෂීන්ගේ පීඩනය නිසා උපවාසය අත් හැරීමට කටයුතු කළ බව තව තැනකත් ජනාධිපතිතුමා වගකීම බාර ගත් නිසා උපවාසය ඇත් හැරීමට තීරණය කළ බව තව තැනකත් ව‍‍ශයෙන් උපවාසය අත් හැරීම සම්බන්ධයෙන් උඹ විසින් දෙන ලද හේතු අතිශයින් ආකර්ශණීය බව සදහන් කරනු කැමැත්තෙමි.

ඇත්තටම කළ දේ ගැන උඹ ආඩම්බර වෙනවා යයි කීම සම්බන්ධයෙන් නම් අපට එකග විය හැකි ය. නලුවෙකුටවත් කිරීමට අමාරු අති විශිෂ්ට රංගනයක යෙදුණු ඕනෑම කෙනෙකුට මේ ආඩම්බරය අයිති ය.

ඇත්තටම උඹ දේශපාලන වශයෙන් අනාථ වුනත් රිදී ති‍රයේත් පුංචි තිරයේත් දස්කම් දැක්වීමට එයින් බාධාවක් නැත. එහෙම හැකියාවක් රටට පෙන්වන්නට හැකි වූ විට ආඩම්බර නොවී පුලුවන් ද?

උඹ අන්තිමට කියපු කතාව නම් හරියකට තේරුනේ නැත. ඒ බැරිවෙලාවත් ඊළග වතාවේ මාරාන්තික උපවාසයක් කරන්නට තීරණය කළොත් හිතේෂීන්ට පහසුවෙන් ලංවිය නොහැකි තැනක සිට එසේ කරන බවට උඹ විසින් දෙන ලද පොරොන්දුවයි.

එහෙම තැනක් තියෙන්නේ කොහෙද කියා දැනගන්නට අපත් කැමති ය. එය රහසක් වශයෙන් පවත්වා ගෙන යාමට උඹේ වුවමනාවක් නැත්නම් ඒ ගැන පොඩි ඔත්තුවක් දෙන්නට බැරි ද?

ඇඩු කදුලින් යුතුව ලියුම කියවා අවසන් වූ මට හිතුනේ උඹ වැළදගෙන හාදු වැස්සක් දෙන්න ය. උඹේ ලියුම ඒ තරමට හුරතල් ය.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger