Home » » හෙළ උරුමේ අයියලාට !

හෙළ උරුමේ අයියලාට !

Written By Sri Lanka Guardian on Friday, August 27, 2010 | 9:47 PM

නිලන්ත ඉලංගමුව

කළ යුතු දේ වෙනුවෙන් කරන දේ අත්හරින්නා තමන්ගේ විමුක්තිය නොව විනාශය උදා කරගන්නේය, යන්න වූ කලී මැකියාවෙලිගේ දර්ශනයෙහි එන මුලික සිද්ධාන්ත අතුරින් එකකි. ලංකාවේ දේශපාලනය තුළ අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන මෙය ඇතැම් අවස්ථාවලදී කදිම හාස්‍ය උත්පාදක දේශපාලන රංගනයන් ඉදිරිපත් කොට තිබෙනවා සේම වර්තමානයේද එය ඒ ආකාරයෙන්ම දක්නට ලැබේ. ලෝකෙට පාඩම් උගන්වන්න යන ලංකාව ගැන කියන මහාචාර්ය පීරිස්ගේ මුවින් ලංකාවට ලෝකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් ගැන කතනොකරන්නේ රාජ්‍ය පක්ෂපාතිත්වය නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ.

නමුත් දුප්පත් කම නිසා මැද පෙරදිග සේවයට යන මේ රටේ අහිංසකයින් ඇන පිටින් ගෙදර එනවිට අපට ලෝකෙන් ඉගෙන ගන්න පාඩම් තියෙන බව සියල්ලන්ටම නිරවුල්ව අවබෝධ කර ගත හැකිය. ඇතැමුන්ට තවමත් ශ්‍රී ලාංකිකයින් පෙනෙන්න්නේ වනචාරීන් ලෙසය. ඇතමුන්ට වහලුන් ලෙසය. එය කටුනායකින් පිටවෙන සාමාන්‍ය මිනිසුන්ට පෙනෙන ලෙස , තමන්ගේ රටේ ගරුත්වය රැකගන්න යැයි දැන්වීම් ගැසීමෙන් පලක් වන්නේ නැත. සිදුවිය යුත්තේ ගරුත්වය කෙලසන්නන් සොයා ඔවුන්ට ප්‍රතිකාර දීමය. නමුත් ආණ්ඩුව කරමින් සිටින්නේ තමන්ගේ අශිලාචාර දේශපාලනයට එරෙහි වන අය ගාල්කොට පලිගැනීමෙන් සතුටු වීමය. අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන වඩාත් සරලව කිවහොත්, රජතුමාට කේලම් සපයන පන්දම් කාරයින්ගෙන් පිරුණු තානාපති සේවයකින් හා මහත් වදහින්සනයට ලක්වන ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්ගෙන් ලැබෙන අදායමෙනුත් එය ස්වංපෝෂිතය. අපේ විදේශ ප්‍රතිපත්තියේ සැබෑ අස්වැන්න වන්නේ මෙයයි.

සැබවින්ම, පසුගිය බදාදා ලංකාදීප පුවත්පත විසින් පල කර තිබු තිසරනී ගුණසේකරගේ උතුර දකුණ තීරුවෙන් විග්‍රහ කර තිබු ආකාරයට, ඇලිස්ගේ විෂ්මලන්තයේවත් නොවුණු අරුම පුදුම දෑ සිදුවන විෂ්මලන්තයක් බවට ලංකාව පත් වී තිබේ. මාරාන්තික උපවසකාර විමල් වීරවංස, හැදෙන රටක් ලෙස ඔහුගේ ශබ්ද කෝෂයට අනුව විස්තර කරන්නේ මෙයයි. ඔහුට අනුව නීතියක් නැති වූ කල නීතියට ඉහළින් පුදගලයින් තැබූ විට එය හැදෙන රටකි. එසේම ඔවුහුට රටේ අස්සක් මුල්ලක් නෑර කාබාසිනියා කොට තමන්ගේ මඩිය තරකර ගැනීමට හැකි වටපිටාව තිබේ නම් එය විමල්ට අනුව හැදෙන රටකි. බුද්ධිය මෙතරම් බාල්දු වූ රටක් වෙනත් කිසිම තැනක තිබේ යැයි සිතා ගැනීමට නොහැකිය. විමල් , මර්වින්, වැනි දේශපාලකයින් සේම වගක් නැති කලා කාරයින්ටද පිනුම් ගැසිය හැක්කේ මෙවැනි මොට කරනු ලැබූ සමාජයන් වල මිස වෙන කිසිම තැනක නොවේ.

මේ අතර එල්. ටි.ටි. ඊ සංවිධානයේ නායක කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. පිළිබඳව ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල තමන්ගේ ප්‍රදීපය දල්වා තිබුණි. ඔහුට අනුව කේ.පි. යනු ඇවිදින පුස්තකාලයකි. එසේම වසර ගනාවක් පුරා මිනිසුන් දහස් ගණනක් යොදාගෙන කළ යුතු තොරතුරු ගවේෂණයක් , කේ. පි. සමග පැයක් කතාකිරීමෙන් ලබාගත හැකිය. උදය එසේ පැයක් ඔහු සමග කතා කළේදැයි නොදනිමි. නමුත් දෙමළ දේශපාලනය මෙතරම් බාල්දු කොට නිවට තත්වයට පත් කළ ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ ඇත්නම් එය රාජපක්ෂගේ ආණ්ඩුව පමණි. මෙම ලියුම්කරු මීට පෙර සදහන් කළා සේම රාජපක්ෂ යනු කෙලෙහි ගුණ මනුෂ්‍යත්වට ආරූඩ කළ චරිතයක් නොවේ. වඩාත් සරලව කිවහොත් ප්‍රභාකරන් අවිය ගැන විශ්වාසය තැබුවා සේම රාජපක්ෂ මුදල ගැන විශ්වාසය තබන්නෙකි. මේ වන විට කොටි සංවිදානය පරාජය කිරීම වෙනුවෙන් සැබෑ වුවමනාවෙන් සටන් කළ දෙමළ දේශපාලකයින්, බුද්ධිමතුන් සේම චරපුරුෂයින් මහත් කළකිරීමට පත්වී සිටින්නේ එහෙයිනි. කොටි සංවිදානය පරාජය කිරීම වූ කලී දීර්ඝකාලීන ක්‍රියාවලීයක ප්‍රතිපලයක් මිස රාජපක්ෂගේ මැජික් පොල්ලෙන් සිදු වූ ප්‍රදුර්භුතයක් නොවේ. 2002 සටන් විරාම සමයේදී යාපනයේ අග්ඥාපතිව සිටි ජනරාල් සරත් ෆොන්සේකා තමන්ගේ කඳවුරු සහ සෙබළුන්ගේ ගරුත්වය රැක ගැනීම සදහා කළ දෑ ඉතිහාසයෙන් මකා දැමීමට හැකිනම් රාජපක්ෂගේ මැජික් පොල්ල වැඩ කරනු ඇත. රාජපක්ෂ සිදුකළේ ඔහු මුළු ජීවිත කාලය පුරාම සිදුකළ වැල යන අතට මැස්ස ගැසීමය. එය නොකළේ නම් ඔහුට දේශපාලනයේ පැවැත්මක් නැත.

රාජපක්ෂ ආණ්ඩුවේ එල්ලී සිටින හෙලුරුමයේ අයියලා ඉන්නේද මෙවැනිම වූ චින්තනයකය . උදය තම, කේ.පි.ට ආදර හසුන ලිවීමෙන් පසු කඩිමුඩියේ අනෙක් හෙළ උරුමයේ අයවලුන්ද මාධ්‍ය ඉදිරියට විත් කේ.පි. ගැන ගුණ ගී ගැයුහ. එය කදිමය. ඊට සහභාගී වූ එක් අයෙක් කේ.පි. වීරයෙක් වීමට උත්සහ කරන්නෙක් නොවෙයි, ඒ නිසා ආණ්ඩුවට ඔහු සමග ගනු දෙනු කිරීමට පහසුය, යැයි ප්‍රකාශ කළේය. අනියමින් ඔහු කියන්නේ ආණ්ඩුව ඉදිරියේ නිවට වන්නන්ට රජුගේ රජවාසල හෝ එහි අවට සිටින කෙවට්ටයින්ගේ නිවෙස් වලට ඇතුළු වීමටද අවස්ථාව ඇති බවයි. එසේම උදය ප්‍රකාශ කරන පරිදි තොරතුරු ලබා ගැනීම සඳහා වඩාත් සුමට ලෙස සැලකීම වැදගත් වේ. එනයින් කේ.පි.හට සැප දීම වූකලී ඔහුගෙන් වඩාත් වැදගත් තොරතුරු ලබාගැනීම සදහා ඉවහල් වේ. කතාව ඇත්තය. නමුත් උදයට නොතේරෙන හෝ තමා නඩත්තු කරන්නා ප්‍රමෝද කිරීම සඳහා නොකියන තවත් පැත්තක් තිබේ. එනම් අපේම ඉතිහාසය අපට ඉගැන්නු පාඩම්ය. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුරුමානම් ඇල්ලු බාබු වසර පහක් ඔහු සමග සිටියේය. ප්‍රේමදාස පමණක් නොවේ බාබුද ප්‍රේමදාසට කිරි පෙව්වේය. අවසානෙට සිදු වූ දෙය කවුරුත් දනී. කේ. පි. රාජපක්ෂවරුන් මැරීමට අංචි අදියි යැයි අනුමාන කිරීමට කිසිදු වුවනාවක් හෝ වටපිටාවක් මට නැතත්, අපරාධකරුවෙකුට සැලකිය යුතු ක්‍රමවේදයක් තිබේ. හෙළ උරුමේ කොටි විනිවිදීමට සමත් අයියලා මේ පැහැදිලි කරුණු අමතක කරන්නේ ඉතා හාස්‍ය ජනක ලෙසය. පිබිදෙන මවුබිමේ වැදගත් නායකයෙකු ලෙස ස්වං ප්‍රමෝදයක නිරතවන නීතිඥ උදයට නොතේරෙන්නේ හෝ සගවන්නේ මෙයයි. මෙවැනි දේ මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීමට හැක්කේ සමස්ත සමාජය අමනයින් ලෙස සිතීමෙන් පමණි. සැබවින්ම මේ ලියුම් කරු මීට පෙර සදහන් කළා සේම " පොදු හැගීම" ( කොමන් සෙන්ස් ) ඝාතනය කරනු ලබූ සමාජයක මෙවැනි ඔලමොට්ටල කතා වලට අවශ්‍ය වටපිටාව තිබේ. පසුගිය දසක කිහිපය පූරා සිදු වූ එකී ඛේදවාචකයේ ප්‍රතිපලය 2017 දීද තමා විධායක ජනාධිපති ධූරය සදහා කෙල හලමින් සිටින රාජපක්ෂ වැනි නායකයින් කරළියට පැමිණීමය.

මේ හා සමාන අදහසක් කේ.පි.ද ප්‍රකාශ කොට තිබුණි. එය වූ කලි ඔහු ප්‍රභාකරන් ඇතුළු පවුලේ සාමාජිකයින් බේරා ගැනීම සඳහා කළ සැලැස්මයි. එහිදී ඔහු සදහන් කරන්නේ කස්ත්‍රෝ තමන්ට අවශ්‍ය මුදල නොදුන් බවයි. මින් අනියමින් කියන්නේ කේ.පි. සතුව මුදල් නැති බවයි. වසරකට ඇමෙරිකන් ඩොලර් මිලියන 300 කට වඩා අදායමක් ලැබූ කොටි සන්විදනයෙන් මිලියන 15 ක් තමන්ට නොදුන් බව ප්‍රකාශ කරන කේ.පි. අර අදින්නේ එක්කෝ මුළු රටම ගොනාට අන්දවීමටය. නැත්තන් රාජපක්ෂවරුන් සතුටු කිරීම සදහා හිගන්නෙක් වීමට යන්ත දැරීමය. එය ඔහු ප්‍රකාශ කිරීමෙන් තම අපේක්ෂා ද්විත්වයක් ඉටු කරගැනීමට රාජපක්ෂවරුන්ට හැකිය. එනම් ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා වූ කේ.පි. සතුව කිසිඳු මුදලක් නොතිබූ බව පෙන්වීමෙන් මුදල් සම්බන්දව රාජපක්ෂට එල්ල වූ චෝදනාවෙන් නිදහස් විය හැකිය. අනෙක තමා අල්ලා ගත් කේ.පි. දේශපාලනික වශයෙන් තවදුරත් දෙමළ ජනතව තුළ විකිණීමට හැකිය. පාලකයා, රජ කෙනෙක් වූ විට පාලිතයා පුරවැසියන් නොව විෂයන් බවට පත් වන්නේය යන්න ලංකාව විෂයෙහිලා තේරුම් ගැනීම අපහසු නොවන්නේ මෙවැනි නාඩගම් බැලීමෙන්ය. හෙළ උරුමේ අයියලාද නටමින් ඉන්නේ මෙම නාඩගමේ කොටස් මිස වෙන කිසිදු සුගතියක් සදහා වූ දේශපාලනයක නොවේ.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger