දෙවියන් කියන්නේ ඩබල් පගා ගන්නා පගා මරුවෙකි!
2:50 PM // 0 comments // Sri Lanka Guardian // Category: sri lanka //Beyond Frame
ඒ පිලත් මේ පිලත් මැතිවරණය දිනා දෙන්නැයි දෙවියන් යදිති. දෙවියෝ දෙපිළෙන්ම සප්පායම් වී මැතිවරණය දා මැරයන්ට චන්දය දාගන්නට දී වෙන අතක් බලති. ඡන්දය දිනූ එකා හිතන්නේ දෙවියන් තමන් දෙස බැලු බව ය. අනෙකා හිතන්නේ තමන්ගෙන් වුනු අත්වැරැද්දකට දෙවියන් අහක බලන්නට ඇතැයි කියා ය.
ගැහැණු ළමයා තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා පෙම්වතාත් කැපුවත් ඕකාට නම් දෙන්නට එපා යැයි කියා ගැහැණු ළමයාගේ අම්මාත් තාත්තත් එකම දෙවාලයකට පූජා වට්ටි තබති. දෙකෙන්ම සප්පායම් වන දෙයියො උඹලා ඕන කුදයක් ගහ ගන්නැයි කියමින් අහක බලති. ළමයා කොල්ලත් සමග පැන ගිය කල දෙමාපියන් හිතන්නේ පූජාවට්ටිය තැබීමේදී තමන් බාල එකක් ගත් නිසා මදි පුංචි කමක් කළා යැයි සිතා දෙවියන් උරණ වෙන්නට ඇති බව ය. කොල්ලා හිතන්නේ දෙවියන් තමන් දෙස බැලූ බව ය.
මේ ළගදී හොරකම් කළ කණ්ඩායමක් හොරකමෙන් පසු කෙලින්ම ගොස් ඇත්තේ දෙවාලයකට ය. ඒ තමන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටීමට ය. හොරකමට භාජනය වූ අයද ඒ දෙවාලයටම ගොස් හොරා අල්ලාදෙන ලෙස ඉල්ලා දෙවියන් යදින්නට ඇත. දෙපැත්තෙන්ම කෑ දෙවියෝ පොලීසියට වුවමනා නම් නීතිය ක්‍රියාත්මක කරපුවාවෙ නැත්නම් නිකම් හිටපුවාවේ යැයි සිතා නිදි වැදුනෝය. පොලීසිය මේ කණ්ඩායම පුදුමයකට වාගේ කොටුකර ගත්තේ ය. පූජාව තියද්දී කොහෝ හරි වැරදෙන්නට ඇතැයි හොරුන් ද දෙවියන්ගේ බැල්ම ලැබුනේ යයි හොරකමට භාජනය වූ ඇත්තෝ ද හිතන්නට ඇත්තාහ.
මෙච්චර පිරිහී ඇති අපේ රටේ පාගා මරුවෝවත් මෙසේ දෙවියන් මෙන් දෙපැත්තෙන්ම කන්නේ නැත. එහෙම කාලා ගුලිවෙලා නිදා ගන්නේ නැත. තමන්ගේ සේවා දායකයින් වෙනුවෙන් කිසියම් යුක්තියක් ඉටු කිරීමටවත් ඔවුහු කටයුතු කරති. ඒ අතින් ගත්තහම එක්තරා වගකීමක්වත් උන් විසින් දරනු ලබන්නේ ය.
ඒ අතින් බැලුවහම දෙවියන් පාගා කප්පිත්තෙකි. ඒ වගේ ම තමන්ගේ සේවා දායකයින්ටවත් වග නොකියන අලුගේත්තු අලසයෙකි. බොරු කාරයෙකි.
මෙහෙම අමනුස්සයෝත් ඉන්නවා නේ දැයි සිතමින් ඉන්නා විට දෙවියන් පහළ වුනේ මගේ ළගින්ම ය.
ඇයි ආ මෙහෙම අපහාස කොරන්නෙ? අපි මොන වැරැද්දක් කළාට ද? කණගාටු දායක මූණක් දාගෙන ටෙලි නාට්‍යයක ගෑණියක් මෙන් දෙවියෝ ලොකු සුසුමක් හෙළුහ. වේරම්භ වාතය හමනවා තබා ගහක කොළයක්වත් ඒ සුසුමට හෙලවුනේ නැත.
අනේ අනේ අහන හැටි අසරණ පාට් එකකුත් දාගෙන? මාත් අත අරින්නට සූදානම් නැත.
කිව්වට විශ්වාස කරයිද දන්නෙ නැහැ. මාත් ඉතින් කපු මහත්තයාගෙ හිරකාරයෙක්නෙ. ඒ කාලකන්නියා මට යන්න දෙන්නෙත් නෑ. කන්න දෙන්නෙත් නෑ. බොන්න දෙන්නෙත් නෑ.
එතකොට අර පූජාවට්ටි?
ආ ඒව ද? ඒව නම් මෝඩ සැදැහැවතුන්ට තව තුන් හතර පාරක් මිලට ගන්න කඩේටම යවනව. ඔච්චර ගොඩක් කන්න කපු මහත්තයටයි පවුලටැයි පුලුවනෑ.
එතකොට දෙයියො?
අපි ඉතින් බඩ ගින්නෙ හූල්ල හූල්ල ඉන්නව. ඇත්තටම කියනවනම් මේක මහ පුදුම නෝන්ඩියක්. දේවාලෙ කොත නැතිවුනහම කපුවා මටවත් කියන්නෙ නැතිව කෙලින්ම පොලීසියට යනවා.
තමුන්නාසෙට කිව්වට වැඩක් නෑ කියල මෙතැන්ට එන ඔක්කොටම වඩා උන්නැහෙ නොවැ දන්නෙ. ඒක වෙන්නැති.
ඊළග මොහොතේ දෙවියන් පේන්නට හිටියේ නැත. හදිසියේම චුත වෙලා ය.
අපේ රාමුවෙන් චුතවෙලා ගියාට දෙවියෝ අපේ රටේ මෝඩ මිනිසුන්ගේ ඔලුවලින් නම් චුත වෙන්නේ නැත. කපුවන්ට කප් රුක් පහළ කරමින් දෙවියන් චිරාත් කාලයක් දේවාල තුළත් ඔලුගෙඩි තුළත් වසනු ඇත්තේ ය.
අල්ලස් කොමිසම් දාලාවත් අල්ලන්නට බැරි මේ පගා ගැහිල්ල නවත්වන්නට පුලුවන් ජගතෙක් ඕනෑ කර තිබේ.
Related posts :
0 comments for this post
Leave a reply
2008 - 2009 Sri Lanka Guardian. Content in my blog is licensed under a Creative Commons License.
- template designed by RRRRRRR.
- Powered by Google.
