By Shan
රාජපක්ෂ රෙජීමයේ කුළී හමුදා උතුරේ ජනශූන්‍ය නගර හා ගම්මාන අල්ලා ගන්නේ කොයි මොහොතේ ද ඒ මොහොතේම සිංහල ප්‍රදෙශයන්හි වීථි දෙවනක් කරමින් රතිඤ්ඥා පත්තු කිරීම දැන් ජන ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත්ව ඇත.
රාජපක්ෂ රෙජීමය ලබන යුද ජයග්‍රහණ සැමරීම සදහා මේ අන්දමින් වීථි පුරා රතිඤ්ඥා පත්තු කරමින් ප්‍රීතිවීමට එක්තරා ඉතිහාසයක් මෑත අතීතය තුළ ගොඩ නැගී තිබේ. රාජ්‍යයේ යුද ජයග්‍රහණ භුක්ති විදීම සදහා රතිඤ්ඥා පමණක් නොව ගිනි අවි ද බෝම්බ ද පත්තු කළ අවස්ථාවක් විය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන් ආණ්ඩුවේ කුළී හමුදා විසින් ඝාතනය කළ විට ය. ප්‍රේමදාස රෙජීමයේ පරපුට්ටන් විජේවීර ඝාතනයේ ප්‍රීතිය භුක්ති විදීමට වීථි වලට බැසීමට තරම් එඩිතර නොවූවද ඔහුන් වෙනුවෙන් ඒ කාර්යය ආණ්ඩුවේ කුළී හමුදා ද අතුරු හමුදා ද වෙනත් මිනීමරු කල්ලි ද විසින් මනා ලෙස ඉටු කරන ලදි. ඒ වීථි පුරා හමුදා වාහන පදවමින් අහසට වෙඩි තබමින් හා බෝම්බ පත්තු කරමිනි. ප්‍රේමදාස රෙජීමයේ ගෙස්ටෆෝව මෙහේය වූ ප්‍රධානියා වූයේ හිටපු අමාත්‍ය රන්ජන් විජේරත්නයි. ඔහු විජේවීර ඝාතනයේ ප්‍රීති සැණකෙළිය නම් කළේ "මැච් එක හමාරයි" යනුවෙනි.
එහෙත් "මැච් එක" හමාර වූයේ නැත.
අනතුරුව සිංහල සමාජයට ප්‍රීතිය භුක්ති විදීම සදහා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය කදිම අවස්ථාවක් විය. නගර හා වීථි පුරා රතිඤ්ඥා පත්තු කරමින් රටේ ජනාධිපතිවරයාගේ ශෝක ජනක අභාවය සැමරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ ද එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයෝ ද නොපසුබට වූහ.
එවරද "මැච් එක" හමාර වූයේ නැත.
දැන් දැන් නිතර නිතර රතිඤ්ඥා පත්තු කරන්නේ ජයග්රහණයන්ගෙන්ම සිංහල සමාජය පිරී ගොස් ඇති නිසාවත් ද?
එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් ඝාතනය කිරීමේ සිට අලිමංකඩ ප්‍රදේශය අල්ලා ගැනීම දක්වා සියළු අවස්ථාවන් හි දී නගර වීථි පුරා රතිඤ්ඥා පත්තු කළේ ආණ්ඩුවේ නායකයන්ගේ මෙහේයවීමෙනි.
එහෙත් තවමත් "මැච් එක" හමාර වී නැත.
නුදුරු දිනක දී එල්.ටී.ටී.ඊ ග්‍රහණයේ පවතින ඉතිරි බිම්කඩ ද රජයේ හමුදාවේ පාලනයට යටත් කර ගත් පසුව නගර වීථි පුරා පිපිරෙන රතිඤ්ඥා හඩ තවත් වටයකින් ස්ථිර ලෙසම ඇසිය හැකි වනවා නො අනුමානය.
එවිට හෝ "මැච් එක" හමාර වේවි ද?
කිනම් ආකාරයකින් හෝ රාජ්‍යයට එල්ල වන අභියෝගයන් පරාජය කිරීමට රජයේ කුළී හමුදා දරන වෙහෙස මහන්සියේ දී මනුෂ්‍ය ඝාතන, මානව අයිතීන් උල්ලංඝණය කිරීම් හා ප්රජාතන්ත්රවාදී යහ පාලනයට තර්ජන කිරීම් සිදුවුව ද ඒ සියල්ල ඉවසා සිටීමට සමාජයේ බහුතරය පෙළඹී තිබීම සමාජ සංස්කෘතියේ නව මානයන් පෙන්නුම් කරන ලක්ෂණයකි. එහිදී ඇතැම් විට සතුරාටත් වඩා රාජ්‍යය හැසිරෙන්නේ ත්‍රස්තවාදී ලෙස විය හැකිය. සතුරාටත් වා අමානුෂිකව විය හැකිය. එහෙත් ඒ නිසා සමාජයේ බහුතරයකට රාජ්‍යය ප්රජාතන්ත්ර විරෝධිව කටයුතු කිරීම එතරම් ගැටළු ඇතිකරන්නක් නොවේ.
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි සටනේ දී නොව දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් සමග පවා ආණ්ඩුව කටයුතු කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය තරම්ම හෝ ඊටත් වඩා හෝ ප්රජාතන්ත්ර විරෝධි ලෙසය. ඒ සදහා ආණ්ඩු කළ හෝ කිරීමට සහාය දුන් හෝ කල්ලි කණ්ඩායම් ඩ්නෑ තරම් සක්ෂි සපයා ඇත. පාර්ලිමේන්තුවේ කතානායකවරයා විරුද්ධ පක්ෂයෙන් තේරී පත් වූ විට එය නිහතමානීව විද දරා ගැනීමට හෝ දේශපාලන සංයමයක් ආණ්ඩුවට නැත. අවම වශයෙන් සමූපකාර සමිතියක අධ්යක්ෂ මණ්ඩල නිලවරණයක දී හෝ ගැටුමකින් තොරව එය අවසන් වූයේ නම් ඒ කලාතුරකිනි.
2005 වර්ෂයේ සිට රාජ්‍ය මෙහේයවන රාජපක්ෂ රෙජීමයට ද මේ ඒකාධිපති හැසිරීමෙන් ගැලවීමට හැකි වී නැත. ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.
(අ) ජනාධිපතිවරයා චේතනාන්විතව රාජ්‍යයේ මුලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරයි.
(ආ) ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කරන අතර අවශ්‍ය නම් ඝාතනය කරයි.
(ඇ) මූලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගනියි.
(ඈ) මැතිවරණ වල දී මැර බලය යොදා කෙසේ හෝ ජයග්‍රහණය ලබා ගනියි.
(ඉ) ප්රජාතන්ත්රවාදී සාරධර්ම නොඉවසන අතර ප්රචණ්ඩත්වයෙන්ම ප්‍රතිවාදියා ජය ගැනීමට කටයුතු කරයි.
මෙම සියළු ප්රජාතන්ත්ර විරෝධි කටයුතු තම පක්ෂයේත් තමන්ගේත් හිතසුව පිණිස වන අතර සමාජයේ විවිධ කොටස් පීඩනයට පත්වීම එහි අනිවාර්ය ප්රථිපලයයි. එසේනම් එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව සිදු කරන සටනේ දී රාජපක්ෂ රෙජීමයට ද ප්රජාතන්ත්රවාදයක් ගැන හෝ මනුෂ්‍ය ඝාතන ගැන හෝ වෙනත් ප්රචණ්ඩ කටයුතු හෝ හුවා දක්වමින් ත්රස්තවාදයක් ගැන කතා කිරීමට ඉඩක් නොමැත. එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් හෝ රාජපක්ෂ රෙජීමය ද දේශපාලන කටයුතු කරන්නේ ත්‍රස්තවාදී ආකාරයෙනි. ඒ අර්ථයෙන් වන්නිය මිලිටරි ලෙස බිද දැමීම යනු එක් යකෙකුගේ පාලනය බිද දමා තවත් යකෙකුගේ පාලනය ස්ථාපිත කිරීමකි.
ඒ නිසා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ෆැසිස්ට් පාලනය මිලිටරි බලයෙන් බිද හෙළූ පමණින් යම් කිසිවකුට ප්රජාතන්ත්රවාදී ලෙස සතුටු විය නොහැක. යමෙක් එසේ සතුටු වන්නේ නම් එය දේශපාලන කුහක කමකි. මානව හිමිකම් අගයන, ප්රජාතන්ත්රවාදී සාර ධර්මයන්ට ගරු කරන හා විනය ගරුක සමාජයක් ඇති කිරීමේ අර්ථයෙන් සතුටු වීමට නම් රාජපක්ෂ රෙජීමය ද ප්රජාතන්ත්රවාදී ලෙස බිද දැමිය යුතු වීම අනිවාර්ය සාධකයකි.
රාජපක්ෂ රෙජීමයේ යුද ජයග්‍රහණ සැමරීම සදහා වීථි පුරා රතිඤ්ඥා පත්තු කරමින් ප්‍රීතිවන ආණ්ඩුවේ පරපුට්ටන්ට නොතේරෙන්නේ ද මේ සත්‍යයයි. -Sri Lanka Guardian
Home »
» කොළඹ අල්ලන්නේ කවදාද? එතෙක් රතිඤ්ඥා ඉතුරු කරගන්න.
Post a Comment