Home » » ලෙව්කේ මැතිදු අද තනියම වෙල මැද්දේ............

ලෙව්කේ මැතිදු අද තනියම වෙල මැද්දේ............

Written By Sri Lanka Guardian on Tuesday, June 30, 2009 | 9:44 AM

By Shan-June 30

ස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ද එක්සත් ජාතික පක්ෂයට නියත පරාජයක් හිමිවන බව කවුරුත් දැන සිටියහ. නමුත් බල කදවුරු බිදෙමින් පවුරු පදනම් මෙතරම් භයානක ලෙස කැඩී බිදී යාවි යැයි කිසිවෙක් නොසිතන්නට ඇත. මේ පරාජයත් සමග රනිල් වික්‍රමසිංහට එරෙහි කැරුල්ල නැවතත් වටයකින් හිස ඔසවන බව නො අනුමානය.

පසුගියවර රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වයට අභ්‍යන්තරයෙන් එල්ල වූ අභියෝගය පරදවමින් කිරුළ රුක ගැනීමට ඔහු සමත් විය. එහෙත් ඔහු හා පක්ෂ ක්‍රියාධරයන් අතර මතු වූ නොමනාපකම් තවදුරටත් ඔඩු දිව්වේය. බස්නාහිර පළාත් සභා ඡන්දයේ පරාජයත් සමග මේ විරසකය තවත් උග්‍ර විය හැකි අතර ඒ නිසාම රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය, නායකත්වයට හිමි නීත්‍යයානුකූල බලය මත මිස ඔහුගේ පෞර්ෂය මත රදා නොපවතිනු ඇත.

රනිල් වික්‍රමසිංහයන්ට පක්ෂ කේඩරයන්ගෙන් එල්ල වී ඇති බරපතලම චෝදනාව වන්නේ පක්ෂය දිගින් දිගටම පරාජය වීම වැළැක්වීමට ඔහුට නොහැකි වී ඇති බවය. එසේ වන්නේ ජන මනස තේරුම් ගැනීමට රනිල් වික්‍රමසිංහට නොහැකි නිසා යැයි මේ කේඩරයන්ගෙන් ප්‍රකාශ වී ඇත. කෙසේ හෝ අවසානයේ සිදුවන්නේ පක්ෂ ඒකාධිපති බලය මත නායකත්වය රුක ගැනීමට රනිල් සමත් වීමත් පක්ෂයට රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකිවීම මත පක්ෂය දුර්වලවීමත් පමණි.

පංති දේශපාලනයේ අකාරාදීන් නොදන්නා ළාමක ආණ්ඩු පාක්ෂිකයන්ටත් එහි පරපුට්ටන්ටත් මේ නිසා එළඹ ඇත්තේ ස්වයං වින්දනාත්මක අවස්ථාවක් විය හැකිය. එහෙත් මේ රටේ ධනපති පංතියට එසේ සතුටුවීමටවත් එසේ වගකීම් විරහිතව කටයුතු කිරීමටවත් නොහැකි වන්නේ පංති අභිලාෂයන් හි වගකිම් ඉටු කිරීමේ කාර්ය භාරය ධනපති පන්තිය මත පැටවී ඇති බැවිනි.

එක්සත් ජාතික පක්ෂ කැරළිකාරීන් ක්‍රමවත්ව හදුනාගෙන ඇති බවක් පෙනෙන්නට නැතත් රටට නායකත්වය දීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ නම් දේශපාලන චරිතයේ අඩු පාඩු නිසාම යැයි පැවසිය නොහැක. එසේම ඇතමෙක් පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ඒකාධිපති ව්‍යවස්ථාව නිසාම යැයි ද පැවසිය නොහැක. පැහැදිලිවම පැවසිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයත් රනිල් වික්‍රමසිංහත් ඇතුළු එහි ක්‍රියාදරයනුත් ඹ්නෑවටත් වැඩියෙන් ජන මනස හා ඒකාත්මික වීමට යෑම නිසා මේ පරාජයන් අත්විදීමට සිදුවී ඇති බවය.

රාජපක්ෂ රෙජීමයේ ක්‍රියාකාරීත්වය තුළ එක්සත් ජාතික පක්ෂය ස්වයං නිෂ්ක්‍රීය තත්ත්වයට පත්වූයේ දේශපාලන ගතිකයේ අනිවාර්ය ප්‍රථිපලයක් වශයෙනි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය ලෙස පරාජය කිරීම එකම අරමුණ බවටත් සාමය උදා කිරීමේ එකම ක්‍රමය බවටත් රාජ්‍ය මතවාදය ගො නැංවීමෙන් පසුව න්‍යායාත්මකව ද ක්‍රියාකාරීව ද එක්සත් ජාතික පක්ෂය අසරණ විය. යුද්ධය ද සාමයෙන්ම අවසන් කිරීමේ තම ප්‍රතිපත්තිය පවා අමතක කරමින් රාජපක්ෂ රෙජීමයේ යුද ක්‍රියාවලියට කොන්දේසි විරහිතව සහාය දීමට රෙජීමය හා එක පෙලට සිට ගත්තේ ය. අවසානයේ දී එක්සත් ජාතික පක්ෂය යනු රාජපක්ෂ රෙජීමයේ පාලනයෙන් අසරණ වන ජනතාවගේ විපක්ෂය වූවා නොව රෙජීමයේම තවත් පරපුටු පක්ෂයක් විය.
රාජ්‍යයත් සමග න්‍යායාත්මකව එකග වී ක්‍රියාකාරීත්වයේ දී ඇතිවන ප්‍රශ්නවලට විරෝධය පෑම විපාක්ෂික දේශපාලනයකට ලඝු කිරීමට යමෙක් කැමැත්තේ නම් වර්තමානයේ දී මෙරට ප්‍රබලම විපක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවට තර්කයක් නොමැත. එහෙත් එවැනි දේශපාලනයක් මනා ලෙස ගැලපෙන්නේ රාජපක්ෂ රෙජීමයේ පරපුටු පක්ෂයන්හි ක්‍රියාකාරීත්වයන්ට ය. අවාසනාවකට එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේ දී යොමු වූයේ රාජ්‍යය මත යැපෙන එවැනි පරපුටු දේශපාලන ක්‍රියාකාරීත්වයකට ය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේ දී අවශ්‍යයෙන්ම නොතකා හරින ලද විෂයයන් බොහෝ ය.

(a) දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීම වඩා දියුණු ක්‍රමයක් බව,
(b) මානව හිමිකම් ඇතුළු සිවිල් පුරවැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තහවුරු කළ යුතු බව හා රුක ගත යුතු බව,
(c) ආර්ථික ප්‍රතිසංස්කරණ ජනතා හිතවාදීව ක්‍රියාත්මක කිරීම හා ආර්ථික ක්‍රියාකාරීත්වයට පොදු ජනතාවට සක්‍රීයව දායක විය හැකි ලෙස ආර්ථිකය ප්‍රජාතාන්ත්‍රිකකරණයට ලක් කළ යුතු බව,
(d) සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වයෙන් මග හැරෙන දිළිදු ජනතාව නගා සිටුවීම රජයේ අත්හල නොහැකි වගකීමක් බව,
(e) ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය වහා වෙනස් කළ යුතු බව.

පසුගිය කාල වකවානුව තුළ එක්සත් ජාතික පක්ෂය මෙවැනි කරුණු ඇතුලත් සංයුක්ත දේශපාලනයක නොයෙදුන අතර සංයුක්ත දේශපාලන කතිකාවක ද නොයෙදුනි. මහජනතාව හා දේශපාලන ගනුදෙනුවක යෙදෙන සෑම මාධ්‍යයකදීම ඔවුන්ගේ බුද්ධි හීන තර්ක ගොඩ නැගුනේ රාජපක්ෂ රෙජීමයේ අඩුපාඩු දුර්වලතා මත මිස න්‍යායාත්මක හා මතවාදී කරුණු මත නොවේ.

මේ අනුව මේ වැරදි දේශපාලන භාවිතයට වගකිව යුත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පමණක් නොවේ. ඔහුට ශ්‍රී ලංකාව ගැන මනා මතවාදී දැක්මක් පවතී. පවත්නා දේශපාලනඥයන් අතුරින් ධනේෂ්වර ක්‍රමය සම්බන්ධයෙන් ඔහුට ඇති අවබෝධය විද්‍යාත්මක ය. එහෙත් ඔහුගේ දේශපාලන සංස්කෘතිය නිර්ප්‍රජාතන්ත්‍රවාදී ය. ඔහුගේ ක්‍රියාකාරීත්වය වඩාත්ම සමීප වන්නේ ඒකාධිපතිත්වයටයි. එසේම ජනතාවගේ ආකර්ශනය දිනා ගත හැකි පෞර්ෂවත් චරිතයක් ඔහුට නැත. ඔහු වඩා ලොල් කරන්නේ වෙහෙස මහන්සි වී වැඩ කර අමාරුවෙන් දිනා ගන්නා ජයග්‍රහණයන්ට නොව බැලුම් බෝල චරිතයන්ට හා සබන් බෝල ජයග්‍රහණයන්ට ය. ඔහු බලය ලබා ගැනීමේ උපක්‍රමයන් නොදන්නවා පමණක් නොව බලය රුක ගැනීමේ උපක්‍රමයන් ද නොදනී.

රනිල් වික්‍රමසිංහයන්ට ආවේනික මේ දුර්වලතා ඊටත් වඩා ප්‍රබල ලෙස ඔහුගේ පක්ෂ අභ්‍යන්තර ප්‍රතිවාදීන් තුළ ද පවතී. විශේෂයෙන් යුද්ධය සම්බන්ධයෙන් රාජපක්ෂ රෙජීමය හා එකට සිට ගැනීමට රනිල්ට සිදුවූයේ ජනමනස හා ඒකාත්මිකවීමට තැත් කිරීමේ පක්ෂ ක්‍රියාදරයන්ගේ ප්‍රතිපත්තිය නිසා ය. රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට උත්සාහ ගන්නා කිසිම ක්‍රියාදරයෙක් යුද්ධයට එරෙහිව වචනයක් කතා කරන්නේ නැත. අවම වශයෙන් දේශපාලන විසදුමක අවශ්‍යතාවක් ගැන හෝ කතා කරන්නේ එස්.බී.දිසානායක පමණි.

ඒ අර්ථයෙන් සංයුක්ත විකල්ප දේශපාලන වැඩ පිළිවෙලක් ගැන එක්සත් ජාතික පක්ෂයේ කිසිම ක්‍රියාදරයකුට අදහසක් නොපවතින බව නො අනුමානය. ඔවුන් සියල්ල රාජපක්ෂ රෙජීමය හා එක පෙලට සිට ගන්නේ කිසිම පිළිකුලකින් තොරව ය. ඔවුන් රනිල් එළවා දමා නව නායකත්වයකින් යුතුව සටනට බැසීමට උත්සාහ ගන්නේ රාජ්‍ය බලය ලබා ගැනීමට පමණි. අනතුරුව රාජපක්ෂ රෙජීමය මෙතෙක් කර ගෙන ආ රාජකාරිය ඊටත් වඩා හොදින් කර ගෙන යෑමට ය.

රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් දීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ රනිල්ගේ ප්‍රතිවාදීන් බලාපොරුත්තු වන පරිදි හුදු රාජ්‍ය බලය ලබා ගැනීමේ උපමාරුවක් සදහා නම් නොවේ. ඒ සදහා සංයුක්ත දේශපාලන වැ පිළිවෙලක් කැරළිකරුවන් සතුවිය යුතුය. නමුත් පෙනෙන්නට ඇති පරිදි නම් ඔහුන් අත එවැන්නක් නොමැත. ඒ අර්ථයෙන් රනිල්ගේ ප්‍රතිවාදීන් උත්සාහ ගන්නේ රනිල්ටත් වඩා අසාර්ථක දේශපාලන ක්‍රියාකාරීත්වයකට ය. එක්සත් ජාතික පක්ෂය දිනවීම සදහා රනිල් එළවීම කැරළිකාර කණඩායමේ තනි අයිතියට පත් නොවිය යුතුවා මෙන්ම රනිල්ගේ කිරුළ බේරා ගැනීම ද ඔහුගේ තනි අයිතියට පත් විය යුතු නොවේ. මේ සියල්ල එක්සත් ජාතික පක්ෂයේ මහා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ අංගයන් විය යුතුය. මෙරට ධනපති පන්තියේ දේශපාලන බලයේ ප්‍රකාශකයා වන්නේ එක්සත් ජාතික පක්ෂය යි. එසේනම් එම පක්ෂය ප්‍රති සංවිධානය කිරීමේ මහා ව්‍යාපෘතිය ද පක්ෂ කේඩරයන්ට පමණක් සීමා කළ යුතු නොවේ. එය ධනපති සමාජයේම පුළුල් සාකච්ඡාවකින් ඇති කර ගත යුතු සම්මුතියකි.

එය සංයුක්ත විපාක්ෂික දේශපාලන වැ පිළිවෙලක් විය යුතු අතර ඒ තුළ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සදහා යුද්ධයෙන් තොර සාකච්ඡාමය දේශපාලන විසදුමක් ද මානව අයිතීන්ට ගරු කරන හා මානව අයිතීන් රුක දෙන ප්‍රතිපත්තියක් ද ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීය කරමින් බහුතර ජනතාවකට ඊට සක්‍රීව සම්බන්ධවීමේ ක්‍රමවේදයක් ද ආර්ථිකය හා සම්බන්ධවීමට නොහැකිව අතරමං වන සමාජයේ දිළිදු කොටස් රුක ගැනීමේ රාජ්‍ය ව්‍යාපෘතියක් ද අඩංගු විය යුතුය. එපමණක් නොව එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරී සැලස්මක් ද (action plan) සකස් කර ගත යුතුය.

මෙරට ප්‍රධානතම ධනපති දේශපාලන පක්ෂයේ මේ අරාජිකත්වය වාසි සහගත වන්නේ පංති දේශපාලනය ගැන අවබෝධයක් නැති රාජපක්ෂ රෙජීමයට හා එහි පරපුට්ටන්ට පමණි. නමුත් දීර්ඝ කාලීනව ධනපති පංතියට කරන්නා වූ හානිය අති මහත් ය. ඒ අර්ථයෙන් ධනපති පංතිය සමාජ ප්‍රගමනයේ දී ඉටු කළ යුතු කාර්යය භාරයට ද බාධා ඇති කර ගනිමින් සිටිති. ඒ නිසා තම පංතියට ලැබිය යුතු දේශපාලන නායකත්වය ශක්තිමත් කර ගැනීමටත් ප්‍රබල කර ගැනීමටත් මේ රටේ ධනපති පංතිය පෙරමුණට පැමිණිය යුතු කාලය එළඹ ඇත. එක්සත් ජාතික පක්ෂයේ පැවැත්ම තීරණය වනු ඇත්තේ ඒ මත පමණි.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger