Home » » අභියෝගය ජය ගැනීමේ මඟ

අභියෝගය ජය ගැනීමේ මඟ

Written By Sri Lanka Guardian on Sunday, July 5, 2009 | 11:41 AM

By Gamini Sumanasekara| Irida Divaina

(July 05, Colombo, Sri Lanka Guardian) 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ විවාදය යළිත් ආරම්භ වී තිබේ. මේ සම්බන්ධයෙන් අන්ත දෙකක සිට කෙරෙන විවේචන පමණක්‌ නොව තර්ජන ගර්ජනද ඇසෙයි. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගෙන් බහුතරය වැඩට වඩා විවාදයට දක්‌ෂ බවද අපි දනිමු.

මේ විවාද, "බලය බෙදාහැරීම" සඳහා කෙරෙන ඒවාය. "බලය බෙදා හැරීම" යන යෙදුම දැන් දේශපාලන ක්‌ෂේත්‍රයේ පමණක්‌ නොව පොදු ජනතාව අතරද භාවිත වේ. දේශපාලන න්‍යායාචාර්යවරුන් විසින් සමාජගත කරන ලද "බලය බෙදීම" පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ කිසියම් ගුප්ත කුතුහලයක්‌ද තිබිය හැකිය.


දේශපාලනඥයන් විසින් මතුරනු ලබන "බලය බෙදීම" මෙන්ම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය දෙසද ජනතාවගේ අවධානය යොමුව තිබේ. එහෙත් මේ කිසිවක්‌ අද තිබෙන ප්‍රශ්නය ක්‌ෂණිකව විසඳීමට ඉවහල් විය හැකිද? සියලු අර්බුද ලිහී විසඳී යන අදෘෂ්‍යමාන ශක්‌තියක්‌ එහි ගැබ් නොවන බව නම් අපිද දනිමු.

තිස්‌ වසරක ශාප ලත් යුද්ධය වෙනුවෙන් අවතැන්වී කඳවුරුවල ගාල් වී සිටින කිසිම අහිංසක දෙමළ මිනිසකුගේ හෝ ගැහැනියකගේ ප්‍රශ්නයක්‌ මේ මගින් වහා විසඳේ නම් රජය පළමුවෙන්ම කළ යුත්තේ බලය බෙදීම හෝ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම හෝ බව අපටද යෝජනා කළ හැකිය. එහෙත් කිතුනු බැතිමතුන් එක හෙළා පිළිගනු ලබන බයිබලය මෙන් බලය බෙදීම යන්න දේශපාලන පක්‌ෂ පවා එක හඬින් පිළිනොගන්නා බවද පැහැදිලිය. එසේ නම් කළ යුත්තේ කුමක්‌ද?

13 වන සංශෝධනය ඇලඩින්ගේ පුදුම පහන මෙන් සකලවිධ අර්බුද හා රෝග නිවාරණය කෙරෙන ප්‍රත්‍යක්‌ෂ ඖෂධයක්‌ බවට කිසිවකුට සහතිකයක්‌ දිය හැකිද? කොළඹ ජීවත්වන ඉංගී්‍රසි කතාකරන දෙමළ මැද පන්තිය හා උතුරේ අවතැන්වී සිටින සාමාන්‍ය දෙමළ ජනතාව අතර වුවද පරස්‌පරයක්‌ තිබෙන බව නොරහසකි. එසේම උතුරේ අවතැන්වූ දෙමළ ජනතාව අතරද විවිධ ප්‍රභේද තිබේ.

සමහරු ප්‍රභාකරන්ගේ පීඩාකාරී භීෂණය සමගම ජීවත් වූවෝය. සිය ගෙවල් දොරවල් පමණක්‌ නොව දූ දරුවන් පවා කොටින්ගේ දේපළ බවට පත්වීම ඉවසා දරා ගන්නට තරම් පදම් වූ සිත් ඔවුන්ට තිබිණි. තවත් සමහරු කොටි පීඩනයෙන් හෙම්බත්ව කොයි මොහොතේ හෝ හිස මතට කඩා පාත්වන මරණය දකිමින් ජීවත් වූවෝය. ඒ හැර මහාවීර පවුල් ලෙස ජීවත්වූ අයද වූහ. එහෙත් මේ කිසිදු අයෙකුට එල්ටීටීඊ යකඩ තිරයෙන් මෙපිට ලෝකයක්‌ නොවූ බව නම් නිසැකය.

කෙසේ හෝ ප්‍රභාකරන් ඝාතනය වීමත් සමගම ඔවුන්ගේ ජීවිත ක්‌ෂණික වෙනසකට භාජන වූ බව අපගේ අදහසයි. එදා ප්‍රභාකරන්ට විරුද්ධව "හ්ම්" හඬක්‌ නොනැගූ ජනතාව අතර අද එල්ටීටීඊයේ විනාශය ගැන සතුටු වන අයද සිටිති. එය පෙරලුන පිට හොඳ යෑයි කීමට වඩා ඔවුන්ගේ අවංක සිතිවිලි විය නොහැකිද?

ප්‍රභාකරන්ගේ රූකඩ බවට පත්ව සිටි දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ වුවද තවමත් හෘදය සාක්‌ෂිය අවදි වූ බවක්‌ නොපෙනේ. පසුගිය තිස්‌වසර මුළුල්ලේම එල්ටීටීඊයේ නගුටක්‌ බවට පත්ව සිටි දෙමළ නායකයෝ තවමත් සිය ජනතාවගේ හද ගැස්‌ම හඳුනා ගෙන සිටිතියි අපට නම් නොහැඟේ. එසේ වූවා නම් උතුරේ කඳවුරුවල සිටින ඒ අහිංසක ජනතාව වෙනුවෙන් මෙයට වඩා සප්‍රයෝජන ක්‍රියා මාර්ගයකට ඔවුහු යා යුතු නොවෙත්ද?

ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සිහිනයක්‌ පමණක්‌ බව ප්‍රබල එල්ටීටීඊ හිතවාදියකු වු තමිල්නාඩු මහ ඇමැති එම්. කරුණානිධි ද ප්‍රකාශ කර ඇත. එහෙත් සිය ඊළාම් නයිමල්ල බිම තැබීමට අකමැති අයද සිටිති. ඊළාම්වාදය සිය යෑපීම් මාර්ගය කරගත් අය තවමත් සිත තුළ ඊළාම් කොඩිය දරා ගෙන සිටීම අපට තේරුම් ගත හැකිය. එහෙත් එයින් ලැබෙන ප්‍රතිඵලයක්‌ තිබේද?

පසුගිය බ්‍රහස්‌පතින්දා (02 දා) ඉතා වටිනා දෙයක්‌ ආරම්භ විය. ඒ සර්ව පාක්‌ෂික කමිටු රැස්‌වීම සඳහා සියලුම දේශපාලන පක්‌ෂ සහභාගි වීමය. එහි මෙයට පෙර නොවූ විශේෂත්වයක්‌ද විය. ඒ දෙමළ සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන නායකයන්ද එම රැස්‌වීමට සහභාගි වීමය. එය ඉතිහාසගත වාර්තාවක්‌ වැන්න.

තිස්‌ වසරක්‌ තිස්‌සේ සාමය සඳහා සාකච්ඡා කරමින්ද විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්ද නාස්‌තිකර දැමූ සියල්ලටම වඩා ඒ වෙනුවෙන් කා දැමූ කාලය කොතරම් අපරාධයක්‌ද? මේ කමිටුව ඒ සියල්ල වෙනස්‌ කර අලුත් හා සාධනීය ආරම්භයක්‌ ලබාදී තිබෙන බව පෙනේ.

මෙම කමිටුවේ අරමුණ රටේ සංවර්ධනය හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ තීරණ ගැනීමය. එහි ප්‍රධානත්වය දරන්නේද රාජ්‍ය නායකයා වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාය. උතුරේ අවතැන් ජනතාව හා සහන මධ්‍යස්‌ථාන පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ. අද රටේ තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ කඳවුරුවල සිටින දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විස¹ ගැනීමය. ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා සැලසුම් සම්පාදනය කිරීමය.

මෙම ජනතාව සිය ජීවිතයේ බිහිසුණු හා අප්‍රසන්නම අත්දැකීම්වලට මුහුණ දුන් පිරිසකි. ඔවුන්ගේ භෞතික ලෝකය කැබලි වී ගොස්‌ තිබේ. ඔවුන්ගේ අධ්‍යාත්මයද එකම වේදනාවකි. එහෙත් මෙම කමිටුව බුද්ධිමත්ව හා ස්‌ථානවෝචිතව ක්‍රියාකරන්නේ නම් ඔවුන්ගේ භෞතික හා අධ්‍යාත්මික ජීවිත යළි ගොඩ නැගිය හැකි බව අපි ඉඳුරා කියමු.

මේ රට තුළ මෙම දේශපාලන සන්දර්භය තුළ තමන්ට හා තම ජීවිත වලටත් අගයක්‌ වටිනාකමක්‌ ලැබෙන බවට විශ්වාසයක්‌ ඒ ජනතාව තුළ ඇති කළ හැක්‌කේ වචනවලින්, සංකල්පවලින් හෝ බලය බෙදීමකින් හෝ වෙනත් දෙයකින් හෝ නොව මනුෂ්‍යත්වයේ ද සමානත්මතාවයේ හා සහෝදරත්වයේද සුබ ආරංචිය යථාර්ථයක්‌ ලෙස ඔවුන්ටම තහවුරු වූ විට පමණි.

මේ කමිටුව ඒ ස්‌වර්ණමය සිහිනය සැබෑකරන අලුත් රටක්‌ සඳහා අපට යැමට විවර වන රන් දොරටුවක්‌ වන්නේ නම් ඒ සියලු අභියෝග නිසැකවම ජයගත හැකිය.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger