Home » » පැනනැගීමට නියමිත කුනාටුව සදහා පෙරවදනක්

පැනනැගීමට නියමිත කුනාටුව සදහා පෙරවදනක්

Written By Sri Lanka Guardian on Tuesday, September 29, 2009 | 8:56 PM

රාමචන්ද්‍ර

(September 29, Colombo, Sri Lanka Guardian) රුපියල් 500 ක අවම වැටුපක් වෙනුවෙන් වතු ජනතාව අතරින් පැන නැගුනු අරගලය මේ වනවිට තාවකාලිකව යටපත් කරගන්න හාම්පුතුන්ගේ සංගමය සහ රජය සමත් වී තිබෙනවා.කෙසේ නමුත් හාම්පුතුන්ගේ සංගමය සමග තොන්ඩමන් එකගතාවයකට පැමිනයත් තමන් 500 සටන නොනවත්වන බව චන්ද්‍රසේකරන්ගේ වෘත්තිය සමිතිය ඇතුලු සමිති කිහිපයක් ප්‍රකාශ කොට තිබෙනවා.රුපියල් 500ට මෙහා සටන නැවැත්වීමට විරෝධය දක්වමින් සිය ගනන් වතු ජනයා පසුගිය දිනවල විරෝධතා ව්‍යාපාර වලට සම්බන්ධ වුනා.පොලිසිය විසින් ඒවාට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මෙම විරෝධතා ව්‍යාපාර ආකාර දෙකකින් වැදගත් වෙනවා.


එක පැත්තකින් මෙය තමන් ගොදුරු වී සිටින පීඩනයට එරෙහිව වතු ජනයා අතරින් පැන නැගුනු විරෝධයක්.අනිත් අතින් තොන්ඩමන්ගේ අවස්ථාවාදී වෘත්තිය සමිති ක්‍රියාකලාපයට එරෙහි කැරැල්ලක් ලෙසත් මෙම විරෝධතා වැදගත් වෙනවා.

වතුකරයේ ජනයාගේ පීඩනය තොන්ඩමන් වර්ගයේ අවස්ථාවාදීන් විසින් තමන්ගේ පැවැත්ම බවට ශත වර්ෂයකට අධික කාලයක් පුරා පත්කරගෙන සිටිනවා.වතුකරයේ ජතතාව ගොදුරු වී සිටින අධික පීඩනය පුපුරා යන්න නොදී පාලකයන්ට වාසිදායක විදිහට කලමනාකරනය කරගන්න තොන්ඩමන් විසින් විශාල වැඩකොටසක් කරනු ලබන අතර ඉතිහාසය පුරා පාලකයන් ඇමැති ධූර වලින් පුදනු ලැබ තොන්ඩමන්ලාට මේ සදහා කෘතගුන සලකා තිබෙනවා.වඩා යහපත් ජීවිතයක් ලබාගන්න නම් වතු ජනයා පලමුව පුපුරවා දැමිය යුතු විලංගුව වන්නේ තොන්ඩමන්ලාගේ මෙම අවස්ථවාදී නායකත්වයයි.

කොහොම වුනත් වැඩ වැරුම නතර කරන්න තොන්ඩමන් තීන්දු කලත් එම තීරනය නොතකා පෙලපාලි යාමට වතුකරයේ ජනයා පෙලඹීම තුලින් පැහැදිලි වෙන්නේ තොන්ඩමන්ලාගේ සාම්ප්‍රදායික නායකත්වය ඉවසා සිටීමට එම ජනයා අතර සිටින සටන්කාමී කොටස් තවදුරටත් සූදානම් නැති බවයි.ඇමතිවරයෙක් වන චන්ද්‍රසේකරන්ටත් වැඩවර්ජනය දිගටම ගෙනයාමට බල කොට තිබෙන්නේ වතු කම්කරු ප්‍රජාව පතුලෙහි කැකෑරෙමින් තිබෙන විරෝධාත්මක මනෝභාවයයි.

ඉල්ලීම් 8 ක් පදනම් කරගනිමින් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය වි‍රෝධාත්මක ක්‍රියාවලියකට අවතීර්නය වෙන්නේ මෙම පසුබිම තුල.ඇත්තම ගත්තොත් රටේ බහුතර වැඩකරන ජනයා ජිවත් වෙන්නේ ඉතාම අපහසුවෙන්.රට තුල නිෂ්පාදන ආර්ථිකයක් නැති නිසා රජයට ආදායම් ලැබීමට තිබෙන එකම ක්‍රමය බවට පත්වෙලා තියෙන්නේ ජනතාව මත බදු පැටවීම.පෙට්‍රල් ලීටරයක රුපියල් 80ක් අඩංගු වෙන්නේ බදු.කිරිපිටි වැනි අත්‍යාවශ්‍ය භාන්ඩ මත පවා විශාල වශයෙන් බදු පනවා තිබෙනවා.ස්වකීය පැවැත්ම උදෙසා රජය සමාජය බදු හරහා සූරාකන අතර මෙසේ උපයනු ලබන බදු මුදල් අනිත් අතට වියදම් කෙරෙන්නේ සුබසාදන වාදී පදනමකින් නෙමෙයි.

විදේශ ඇමැති සිය දියනිය උදෙසා ලක්ෂ 45 ක උපන් දින සාදයක් දැමීම,කෝටි ගනන් වියදම් කරමින් රටේ ප්‍රත්‍යන්ත ප්‍රදේශ වල රජ මාලිගා තැනවීම වැනි දේවල් සරල ලෙස බාර ගත යුතු සිදුවීම් නෙමෙයි.සමාජය බදු හරහා සූරාකන රජය එම බදු හරහා ඉතාම පසුගාමී වර්ගයේ දේශපාලන හා නිලධාරී තන්ත්‍රයක් නඩත්තු කරමින් සිටිනවා.ජනතාවගේ විදවීම සහ දේශපාලක ප්‍රභූ තන්ත්‍රයේ පැවැත්ම කියන දේවල් මේ නිසා එකිනෙක වෙන් කල නොහැකියි.මේ දෙක එකිනෙකට සම්බන්ධයි.

රටේ පොදු ජනයා මත බදු පැනවූවත් ඊට සමානුපාතිකව සාධාරන ලෙස වැටුප් ඉහල යාමක් දකින්නට නැහැ.මේ තත්වය අන්තිම නරක ලෙස පවතින්නේ පුද්ගලික අංශය තුල.මේ නිසා රටේ වැඩකරන ජනයා ඇත්ත අමාරුකම් ගනනාවකින් බැටකමින් සිටිනවා යන්නත් එම අමාරුකම මතුවෙන්නේ රජයේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තීන් වල ප්‍රතිඵලයක් ලෙස බවත් පැහැදිලියි.

මහා පරිමාන වෘත්තීය අරගලයක් සදහා මේ අනුව විෂය මූලික පරිසරයක් රට තුල ඇති වෙමින් තිබෙනවා.

වෘත්තිය අරගලයක් ගැන ඇසෙන සැනින් උපහාසාත්මක වෙන අමාත්‍ය වර්ගයා වහා මතක් කර දෙන්නේ අවසන් වරට රටේ පැවැති ජාතික මට්ටමේ වැඩවර්ජනය වන 2008 ජූලි 10 වර්ජනය පිලිබදව.එය අපේක්ෂා කල පරිදි සාර්ථක නොවූ බව සත්‍යයක්.ගිය පාරත් වර්ජනේ කලානේ,මේ පාරත් කොරලා බලමු වර්ගයේ පාරම් බාන ඇමතිවරුන් ඇතිවෙමින් තිබෙන වෘත්තිය අරගල සූදානම අඩුතක්සේරු කරන බව -අඩුම තරමින් එහෙම අඩුතක්සේරු කරන බව පෙන්වන බව - පෙනෙන්නට තිබෙනවා.

කෙසේ නමුත් ජූලි 10 වර්ජනය අවස්ථාවේ රටේ දේශපාලන සන්දර්භය සහ මේ මොහොතේ රටේ දේශපාලන සන්දර්භය තීරනාත්මක ලෙස වෙනස්.2008 රට තුල සිවිල් යුද වාතාවරනයක් තිබුනු නිසා පාලකයන්ට වෘත්තිය අරගලයට මුහුන දීමට යුද්ධය හොද කඩතුරාවක් වුනා.එවිට පාලකයන් පැවසුවේ "දැන් කලබල කරන්න එපා.යුද්ධය ඉවර වුන ගමන් අපි උඹලාට සලකනවා"වැනි කතාවක්.

මේ කතාව සැලකිය යුතු ලෙස සමාජය එම අවස්ථාවේදී ගිල දැමූ බව රහසක් නෙමෙයි.කොහොම වුනත් පාලකයන්ට එම මොහොතේදී පැවති යුද්ධය නමැති "වාසිය" තවදුරටත් භූමිය මත වලංගු නැහැ.

දැන් යුද්ධය නිම වී සැලකිය යුතු කාලයක් ගත වී තිබෙනවා.යුද්ධය දිනූ මහ රජා ගැන වර්නනාවන් සහ ජාත්‍යන්තර කුමන්ත්‍රන,ජනපති ඝාතන කුමන්ත්‍රන ගැන ත්‍රාසජනක කතා මිස පොදු සමාජයට කිසිවක් ලබාදෙන්නට ආන්ඩුවට හැකියාවක් ලැබී නැහැ යන්න අතිශය පැහැදිලි සත්‍යයක්.

යුද්ධය දිනුවාම දෙනවා කිව්ව සහන කෝ?යන ප්‍රශ්නය මිනිසුන් අතරින් පැන නැගීම මේ අනුව ඉතාම තර්කානුකූලයි.මේ නිසා වෘත්තිය සමිති ව්‍යාපාරයට 2008 ජූලි වල නොතිබුනු විශාල ඉඩක් 2009 ඔක්තෝබර් වල නිර්මානය වී තිබෙන අතර වෘත්තිය සමිතිවලට සටන් භූමිය වාසි වන තරමට පාලකයන්ට භූමියේ තත්වය අවාසිදායක වී තිබෙනවා.

කෙසේ නමුත් එසේ සාපේක්ෂව වාසිදායක පරිසරයක් තිබුන පමනින් වෘත්තිය අරගලයක් සාර්ථක වෙතැයි පැවසිය නොහැකියි.සාර්ථක ලෙස සටනකට යාමට නම් රටේ වැඩකරන ජනයා සහ වෘත්තිය සමිති සලකා බැලිය යුතු කාරනා කිහිපයක් තිබෙනවා.

1.පැන නැගෙන වෘත්තිය සමිති සටන වචනයේ නියම තේරුමින්ම "ජාතික" එකක් බවට පත්කර ගැනීම වෘත්තිය සමිති ව්‍යාපාරය ඉදිරියේ තිබෙන වගකීමක්.2008 වර්ජනයට පක්ෂ දේශපාලන ලේබලයක් ඇලවීමට පාලකයන්ට අවස්ථාව ලැබුනු අතර එය වර්ජනයට ජනයා ගොනු කිරීමේදී අවාසිදායක ලෙස බලපෑවා.මෙය JVP වැඩක් හෝ UNP වැඩක් නෙමෙයි පොදුවේ වැඩකරන සියලු ජනයාගේ වැඩක් කියන මනෝභාවය ඇති කිරීම අතිශය වැදගත්.
අරගලයේ හරය දේශපාලනිකයි.නමුත් එම හරය අමු අමුවේ මතු වෙන්නට ගියහොත් එය පාලකයන්ගේ වාසියක් බවට පත්වෙන්න ඉඩ තිබෙනවා.

2.යුද ජයග්‍රහන වල ප්‍රතිඵලයක් ලෙස රජයේ මිලිටරි යාන්ත්‍රනයට විශාල බලයක් ආරෝපනය වී තිබෙනවා.හදිසි නීතිය වැන මර්ධන නීති නොවැලැක්විය හැකි ලෙස වෘත්තිය අරගලයකට එරෙහිව එල්ල වන බව උපකල්පනය කිරීමට අමුතු ඥානයක් අවශ්‍ය නැහැ.මෙම මර්ධන තන්ත්‍රය සමග පොර බැදීම ඉදිරි සටනකදී ඉතාම තීරනාත්මකයි.මේ නිසා මෙම මර්ධන නීති වල ඇත්ත ස්වරූපය සමාජයට හෙලිදරවු කිරීමෙන් තොරව වෘත්තිය සටනකට පිවිසීම ප්‍රායෝගිකව නිෂ්පලයි.

3.ඇත්ත වශයෙන්ම වැඩ වර්ජනයකදී අවසාන වශයෙන් සලකා බැලෙන්නේ "බලය" පිලිබද කාරනයයි.වැඩිම බලය පෙන්වීමට හැකියාව ලැබෙන පාර්ශවයට සමාජයේ සහය ලැබෙනවා.

රජය සතුව විශාල යාන්ත්‍රනයක් තිබෙනවා.මේ නිසා විශාල බලයක් යෙදවීමට ඔවුනට නිසග අවකාශයක් තිබෙනවා.වෘත්තිය සමිති ව්‍යාපාරය ජය ගත යුතු තීරනාත්මකම අභියෝගය මෙයයි.තමන් බලවත් බව සමාජයට ඒත්තු ගන්වන තරමට වෘත්තිය සටනට අවශ්‍ය කරන සමාජ සහය ලැබෙනවා.
රාජ්‍ය බලය අබිබවා ස්වකීය බලය පෙන්වන්නේ කෙසේද?

අවිවල විවේචනය විවේචනයේ අවිවලින් පරාජය කල නොහැක.ද්‍රව්‍යමය බලයක් පෙරලා දැමිය හැක්කේ පෙරලා යෙදෙන ද්‍රව්‍යමය බලයකින් පමනි - කාල් මාක්ස්

වැඩ කරන ජනතාව "අහිංසක" වුවහොත් රජය යොදන බලය සමග ගැටීමට කිසිදාක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.ආන්ඩුව ස්වකීය සාධාරන ඉල්ලීම් ඉදිරියේ දන ගැස්වීමට නම් මේ අනුව අහිංසක නොවන ක්‍රියාමාර්ග වලට එලඹීමට (කැමති වුනත් නැතත්) වැඩකරන ජනයාට සිදුවෙනවා.ආන්ඩුව ඇදලා දෙන කොටුව තුල රැදී නොඉද රාමුව කඩා දැමීමට වෘත්තිය සමිති ව්‍යාපාරය සමත් වෙන තරමට සමාජයේ අනුග්‍රහය ලබා ගැනීමට ඔවුනට අවකාශ ලැබෙනවා.

කොහොම නමුත් එලඹෙමින් තිබෙන මොහොත දේශපාලනකිව කිසිවෙකුට සනීප සුවදායී සාමකාමී මොහොතක් නම් නෙමෙයි යන්න පැහැදිලියි.යුද ජයග්‍රහනයේ ඝෝෂාවෙන් යටපත් කල නොහැකි තරමට සමාජයේ ප්‍රශ්න සමාජය පතුලේ පැසවමින්,කැකෑරෙමින් තිබෙනවා.

වැඩකරන ජනතාව ඉතිහාසය පුරාවට පාලකයන් විසින් රවටනු ලැබුවා.දැනටත් රවටමින් තිබෙනවා.

නමුත් සමාජයක බලසම්පන්නම බලවේගය වැඩකරන ජනතාවයි.වැඩකරන පංතිය නිදා සිටින යෝධයෙක්.මෙම යෝදයා අවදි වුන දවසට කල හැකි දේ කෙතරම් දැයි අවම වශයෙන් එම යෝදයාවත් නොදන්නවා ඇති.

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger