ජනපති මහින්ද පවිත්රාට කියයි
(September 27, Colombo, Sri Lanka Guardian) දකුණු පළාත් සභා ඡන්දය ළඟ ළඟම පැමිණෙමින් තිබේ. අද වන විට මුළු රටේම ජනතාව නෙතු පිය නොහෙළා බලා සිටින්නේ දකුණේ සිදුවන දේ පිළිබඳවය.
එහෙත් රටේ ජනතාව වැඩිපුර උනන්දු වී ඇත්තේ දකුණේදී ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර ඇතිවී තිබෙන දේශපාලන සංවාදය ගැන බලන්නට නොව එහිදී සන්ධාන කණ්ඩායමේම අපේක්ෂකයන් අතර ඇතිවී තිබෙන අලකලංචි ගැන තොරතුරු විමසන්නටය.
මේ නිසා හැන්දෑවට රූපවාහිනි නාලිකාවල හතේ අටේ ප්රවෘත්ති බලන්නට අපේ ජනතාව වැඩිපුර වාඩි වන්නේ අනර්කලී කියන්නේ මොනවාදැයි කියා අසන්නටය. ඊට මුතුහෙට්ටිගම දෙන උත්තරය මොකක්ද කියා බලන්නටය. දුමින්ද සිල්වා හෝ රන්ජන් රාමනායක පිටින් සිටිමින් කියන්නේ කරන්නේ කුමක්ද කියා බලන්නටය. මේ නිසා අද වන විට දකුණ තුළ ඇත්තේ පක්ෂ අතර දේශපාලන බල අරගලයක් නොව, ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින අපේක්ෂකයන් කිහිප දෙනෙක් අතර ඇතිවී තිබෙන දේශපාලන විහිළු සපයන විකට කතිකාවතක් බව ජනතාවට වැටහී ගොස් අවසන්ය.
මතුපිටින් එළියට එන ජනප්‍රිය ආරංචිය එය වුවත් ඊට යටින් ප්‍රබල දේශපාලන මෙහෙයුම් සමූහයක් ද සන්ධානයේ ප්‍රබල නායකයන් කිහිප දෙනකුගේ අධීක්ෂණයෙන් දකුණේ ක්‍රියාත්මක වන බවද රහසක් නොවේ. මේ සඳහා ඩලස්, සුසිල්, නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන, ජෝන් සෙනෙවිරත්න, ජී. එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, චමල් රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයෝ ගණනාවක් ද දිවා රැයේ වෙහෙසෙමින් දකුණේ ඉතා විශිෂ්ට ජයක් සන්ධානයට ලබාදෙන්නට වෙහෙසෙති.
ජනපති සටනට
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියාකාරීව දකුණේ ඡන්ද සටනට අවතීර්ණ වී සිටියේ ඉතා සූක්ෂ්මව සැලසුම් සහගතවය. මේ අනුව පසුගිය සතිය පුරාම කෙරුණේ විවිධ වෘත්තීය ක්ෂේත්රවල සිටින දකුණේ ඡන්ද දායකයන් එ එ කාණ්ඩවලට වෙන්කර අරලියගහ මන්දිරයේදී වෙන වෙනම මුණ ගැසීමය.
මේ අනුව 19 වැනි සෙනසුරාදා උදේ දකුණු පළාතේ රජයේ බැංකුවල සේවක සේවිකාවන් හමුවීමක් අරලිගහමැඳුර තුළ පැවැත්විණි. ඊට අමතරව උදය වරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ යෞවන සමාජවල තරුණ තරුණියෝද පැමිණ සිටියහ. ඊට පසුව සවස තංගල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් විශාල පිරිසක් පැමිණ ජනාධිපතිවරයා හමුවී සන්ධානයට එක්වූහ.
සෙනසුරාදා සවස දකුණු පළාතේ නීතිඥයෝ විශාල පිරිසක් අරලියගහ මැඳුරේදී ජනාධිපති හමු වුණහ.
ඉරිදා දිනය ද ජනාධිපති මහින්ද වෙලාව වෙන්කර තිබුණේ දකුණේ විවිධ තරාතිරම්වල අය මුණ ගැසීමටය. මේ අනුව කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරුන්, ගොවි නියාමකයන්, සමෘද්ධි සහකාරවරුන්, ධීවර ප්‍රජා නියෝජිතයන් සුළු අපනයනකරුවන් ආදී වශයෙන් කණ්ඩායම් ගණනාවක්ම පැමිණ සිටියහ. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සාමදාන විනිශ්චයකරුවන් පිරිසක් ද සිටියහ.
21 වැනි සඳුදා උදේ ද ජනාධිපතිවරයා ගාල්ල දිස්ත්‍රික් කාන්තා නියෝජිත සමිතිවල පිරිසක් හමු වුණේය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා මේ පිරිස සමග සුහද කතාබහක නිරතව සිටියේය. අවසානයේ ඊට සහභාගිව සිටි නිමල් සිරිපාල, පවිත්‍රා වන්නිආරච්චි, අනර්කලී ආකර්ශා ඇතුළු කිහිප දෙනෙක්ම සිටියහ.
ජනාධිපතිවරයා අනර්කලීගේ ඉදිරිපත් වීම ගැන කතා කරන්නට විය.
මැතිවරණවලට කාන්තාවෝ සහභාගි වනවා කියන එක ඉතා හොඳ දෙයක්. මම අත්දැකීමෙන්ම දන්නවා කාන්තාවෝ වැඩිපුර සහභාගි වුණාම එක ප්‍රතිඵලවලට බලපාන හැටි.
ඔව් සර්... කාන්තාව කියන්නේ මේ වගේ මැතිවරණ ව්‍යාපාරවලදී ප්‍රබල හඬක්. කාන්තාවට තමයි හුඟක් ගැඹුරට ගිහින් ජනතාවගේ හදවතට කතා කරන්න පුළුවන් හඬ තියෙන්නේ. එක නිසා කාන්තාව කියන්නේ ප්‍රබල බලවේගයක්... හරිම ප්‍රබලයි.
පවිත්‍රා කාන්තාව ගැන මහත් අභිමානයකින් කතා කරද්දී එ දෙස මඳක් බලා සිටි ජනාධිපති මහින්ද, නිමල් සිරිපාල දෙසට හැරී....
ඔව්... ඔව්... කාන්තාවෝ මහ ප්‍රබල බලවේගයක්. එක ඉතින් මෙතන ඉන්න කාටත් වඩා අපේ නිමල් සිරිපාල ඇමැතිතුමා එහෙම දන්නවා ඇතිනේ.
එ උපහැරණය තේරුම් ගත් සමහරු කොක් හඬලා සිනා සෙන්නට පටන් ගත්හ.
විමලුත් වැඩ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා මේ දිනවල ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ද සිටින්නේ දකුණු පළාතේය. 19 වැනිදා හම්බන්තොට පළාත් රැස්වීම් ගණනාවක් ඇමතූ විමල් 20 වැනිදා මාතරට පැමිණ එහි රැස්වීම් ගණනාවකටම සහභාගි වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට තරග වදින තම සහෝදරයා වන සරත් වීරවංශ, ඇතුළු අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම පිණිසය.
21 වැනිදා ඔහු ගාල්ලට පැමිණ කරන්දෙණිය හා ඇල්පිටිය ප්‍රදේශවල ජනහමුවලට සහභාගි වූයේය. විමල් ගාල්ලට පැමිණ සිටින බව ආරංචි වූ, මේ දිනවල කාගේත් කතාබහට ලක්ව සිටින අමුතුම පුද්ගලයෙක් මේ වෙලාවේ ඔහු හමුවන්නට පැමිණියේය. ඔහු නිශාන්ත මුතුහෙට්ටිගමය.
නිශාන්ත පැමිණ විමල් හමුවී කතාබහ කළත් මේ දිනවල නිශාන්ත සම්බන්ධයෙන් රට තුළ පැතිර පවතින ආන්දෝලනාත්මක ප්‍රශ්න ගැන කතා නොකරන්නට විමල් ප්‍රවේශම් විය.
21 වැනිදා රාත්‍රියේ කොළඹට පැමිණි විමල්ගේ දුරකථනයට හදිසි දුරකථන ඇමතුමක් ලැබිණි.
විමල්... හෙට හොඳ වැඩක් තියනවා. හෙට වාකරේ අපි වැඩ නිම කරපු වාකරේ මහා විද්‍යාලය ජනාධිපතිතුමාගේ අතින් විවෘත කෙරෙනවා. මේක හොඳ අවස්ථාවක්. ඔයාටත් ඇරයුම් කරන්නයි කතා කළේ... එ කතා කළේ බැසිල් රාජපක්ෂය.
එ අනුව පසුදා උදේ වාකරේ පැවති රාජ්‍ය උත්සවයට ජනාධිපති මහින්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ, කරුණා අම්මාන් හා පිල්ලෙයාන් යන අය සමග විමල් වීරවංශ ද සහභාගි වී සිටියේය.
වාකරේ මහා විද්‍යාලයේ පැවැති උත්සවයට ජනාධිපති මහින්ද ඇතුළු පිරිස පැමිණියේ උදේ 11.00 ට පමණය. මේ විවෘත කිරීම නැගෙනහිර පළාතට ඉතා විශාල ආශිර්වාදයක් බව ජනතාව ද තේරුම් ගෙන සිටියහ. ජනාධිපතිවරයා විවෘත කිරීමෙන් පසු ජනතාව අමතා කතාවක්ද කළේය.
ඒ අතර ජනාධිපතිවරයා ළඟට නිලධාරියෙක් පැමිණ මෙසේ කීවේය.
ඔබතුමා කලින්පාර වාකරේට ආපු වෙලාවේ ඔබතුමාව පිළිගත්තේ මෙහේ කෝවිලේ ප්‍රධාන පූජකයා. ඔබ ගියාට පස්සේ එල්. ටී. ටී. ඊ. එක ඇවිත් ඔබව පිළිගත් වරදට ඒ පූජකයාව මරල දැම්මා. දැන් මෙතනට ඔහුගේ බිරිය ඇවිත් ඉන්නවා.
ආ... ඇත්තද... එන්න කියන්න එයාට.
ජනාධිපතිවරයා ඇයට සිය කනගාටුව ප්‍රකාශ කළේය. ඒ අතර ජනාධිපතිවරයා සමග සිටි යුරෝපීය සංගමයේ තානාපතිවරයාට කතා කළේය.
මේ බලන්න මේ අම්මගේ ස්වාමි පුරුෂයා වාකරේ කෝවිලේ පූජකතුමා. ගියපාර මම වාකරේට ආපු වෙලාවේ මාව තිලකයක් තියල පිළිගත්තේ එතුමා. මාව පිළිගත්තය කියන පුංචි වරදට ඊට පසුදාම කොටි ඇවිල්ලා එතුමාගේ ඔළුවට වෙඩි තියල මරල දැම්මා. කොටින්ගේ හැටි අන්න එහෙමයි.
උත්සවයෙන් පසු පැමිණ සිටි විශේෂ අමුත්තන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි. මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් අලුතෙන් ඉදිකළ සංචාරක නිවාසයක් සූදානම් කර තිබිණි. ආරාධිත අමුත්තන් සියලුම දෙනාට ඒ නිවසට ආරාධනය කර තිබිණි.
මෙතනදී මාතෘකා ගණනාවක්ම කතාබහට ලක්විය. අපේ රටේ රාජ්‍ය නායිකාවක් ඉන්දියාවේදී පසුගියදා කළැයි කියන අපූරු පූජාවක් ගැන ද ජනාධිපතිවරයා විස්තර කීවේය.
ඒ උත්තමිය ඉන්දියාවේ මේ කෝවිලට ගිහින් අපිට සාප කරලා. මටයි ගෝඨාභයටයි. අපි දෙන්න හැඳිගෑවිලා යන්න කියලයි පූජාව කරල තියෙන්නේ. අපරාදේ.. ඒකට අර අහිංසක මී ගවයෝ දෙන්නෙක් ගෙන්නලා උන්ගේ බෙලි කපල තමයි මේ පූජාව කරල තියෙන්නේ. මහ මීහරක් වැඩ.. ජනාධිපති මහින්ද ඒ ගැන කතා කළේ තද සිත් වේදනාවකිනි.
මේ අතරතුර නිශාන්ත මුතුහෙට්ටිගමගේ ක්‍රියාකලාපය ද මෙතනට රසවත් මාතෘකාවක් වූයේය.
මම පොලිසියට කිව්වා. කවුරුහරි අයථා විදියට වැරදි විදියට ක්‍රියාකරනවා නම් එයාලගේ තරාතිරම බලන්න එපා කියලා. කියන දේ අහන්නේ නැත්නම් වෙන මොනවා කරන්නද? පොලිසිය නිසි පියවර අරන් තියෙනවා.
රනිලුත් බරට වැඩ
ජනාධිපති මහින්ද දකුණ පළාතේ විවිධ ජන කොටස් හමුවෙමින්, විටින් විට එහි යමින් පළාත් සභා ඡන්ද සටනට නව පණක් පොවමින් හිටි අතරතුර එක්සත් ජාතික පක්ෂයේ නායක කාරකාදීහු ද දකුණට ගොස් සිටියහ. පසුගිය 19 වැනිදා සෙනසුරාදා ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂක හමුවක් ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත් වූයේ තිස්ස, කරු, වජිර, ගයන්ත, රවී හා රාජකරුණාගේ සහභාගිත්වයෙනි. මෙහිදී තිස්ස කතා කරමින් කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය.
මේ ගාල්ල දිස්ත්‍රික්කයේ අද අපට කරන්න අමුතුවෙන් දෙයක් නැහැ. මොකද මේකේ ඉන්න අපේක්ෂකයෝ එක එක ජාතියේ අය. කිසිම විටක සමගියෙන් වැඩක් කරන්න බැරි ජාතියක්. එක එකා ගහගන්නවා. අද ජනතාව කල්පනා කරනවා මේ අයට ඡන්දේ දීල පළාත් සභාවට ඇරියොත් එතනත් ගිහින් සමගියෙන් වැඩක් කරන එකක් නැහැ කියලා. ඒක නිසා අපට අද සටන් කරන්න විපක්ෂයක් නැහැ.
තිස්සලා, කරුලා, වජිරලා ගාල්ලේ අපේක්ෂක රැස්වීම පැවැත්වෙන අතරවාරයේ එජාප නායක රනිල් සිටියේ යටියන්තොට ආසනයේ සුජිත් පෙරේරාගේ ජනහමු 3 කට සහභාගි වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් ක්‍රියාදාමය සන්ධානයේ ක්‍රියාදාමයට වඩා තරමක් වෙනස් එකක් වූයේය. සන්ධානය මුලූ ක්රියාකාරිත්වයම ඡන්දය තිබෙන පළාතට යොමුකර අමතර බලයක් යොදා ක්‍රියාත්මකව සිටින අතරවාරයේ එජාපය කළේ ඉතා සූක්ෂම ලෙස අදාළ පළාතේ ඡන්ද සටනත් පිට පළාත්වල මෙහෙයුම් කටයුතුත් යන දෙකම එකවර ඉදිරියට තල්ලු කිරීමය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ දකුණේ සිටින විට රනිල් ඊට පරිභාහිර ප්‍රදේශවලට යමින් මහ ඡන්දය ඉලක්ක කොට සැලසුම් සකස් කළේ එහෙයිනි.
රනිල් මෙහිදී යටියන්තොට ආසනයේ බුලත්කොහුපිටිය, යටියන්තොට, කිතුල්ගල යන තැන් තුනේ රැස්වීම් අමතා එක්තරා කරුණක් කීවේය.
අපි මේ රජය කරන මහ ලොකු දූෂණ වංචා වැඩ ගැන කරුණු හෙළිදරව් කරනකොට ජනතාව දැනුවත් කරන කොට ආණ්ඩුව තමන්ගේ ඇමැතිවරු තුන්දෙනෙක් යොදවගෙන මට ෙද්‍රdaහියා ෙද්‍රdaහියා කියනවා. මේ රටේ මහජන මුදල් ගසා කන ෙද්‍රdaහියෝ කවුද කියල වැඩි කලක් යන්න කලින් ජනතාව දැනගනීවි.
මේ අතරතුර එදාම රාත්‍රියේ කරු ජයසූරියට අයත් කොළඹ අමරසේකර මාවතේ නිවසේ ද ලොකු සෙනගක් රැස්ව සිටියහ.
1994 දී සන්ධාන ආණ්ඩුවක් පැමිණියාට පසු ඊට පෙර රාජ්‍ය සේවයේ ඉඳිමින් එජාපය වෙනුවෙන් වැඩ රාජකාරි කළ ග්‍රාම නිලධාරීන් 284 දෙනකු අනිවාර්ය නිවාඩු යවනු ලැබුවේය. කරු රාජ්‍ය පරිපාලන ඇමැතිවරයාව සිටි කාලයේ මේ අය වෙනුවෙන් කෘතගුණ සලකන්නට පියවර ගත්තේය. ඔහු ඔවුන්ව යළි සේවයේ පිහිටුවන්නට කටයුතු කළේය. එදින රාත්‍රියේ මේ පිරිස අතරින් 150 කට අධික පිරිසක් කරුගේ නිවසට පැමිණ සිටියේ කරුට කෘතගුණ සලකන්නටය.
කරු මේ පිරිස වෙනුවෙන් රාත්‍රි ආහාරය ද සූදානම් කර තිබිණි.
විදේශ කුමන්ත්‍රණ
බටහිර රටවල් කිහිපයක් එකතුවී ශ්‍රී ලංකාවට එරෙහිව ලෝකය පුරා ගෙනයමින් තිබෙන දැවැන්ත කුමන්ත්‍රණයක් ගැන පසුගිය සතියේ අප දේශපාලන කතිකාව තුළ ද කතා බහ වෙන්නට පටන් ගැනිණි.
ඇමරිකානු තානාපති කාර්යාලයට සම්බන්ධ වෙබ් අඩවියක ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ලබාගත හැකි අයදුම්පතක් පළව තිබිණි. එම අයෑදුම් පතෙහි පිටපතක් ලබාගත් හෙළ උරුමයේ ජාත්‍යන්තර ලේකම් නරේන්ද්‍ර ගුණතිලක පක්ෂයේ නායකත්ව මණ්ඩලයට යොමු කළේය.
මේකේ කියල තියෙනවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් මාධ්‍ය නිදහස ප්රජාතන්ත්රවාදය යහ පාලනය වගේ විෂයයන්වලට ආධාර කරන බව.
මේක මාස්ටර් ප්ලෑන් එකක්. අපේ අභ්‍යන්තර කටයුතුවලට අත පොවල ආණ්ඩුවටත් ඇඟිලි ගහන්නයි ඔය හදන්නේ රතන හිමි කීය.
ඇමරිකාව අපිට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික යුද්ධයක් ආරම්භ කරන්නයි ලෑස්තිය. අපේ රට ඇතුළේ කු=ලී සේනාංක බිහිකරල උන්ට ඩොලර් දීල ඔක්සිජන් දීල පණ ගස්සල ගන්නයි හදන්නේ...... නිශාන්ත වර්ණසිංහ කීවේය.
විපක්ෂයේ සන්ධාන හැදෙන්නේත් ඔන්න ඕවට තමයි. ලොරිය ඇතුළේ මස්වලට හරක් අරගෙන යනකොට ඉස්සරහින් බුදු සරණයි කියල ගහල තියෙනවා වගේ මංගලලා චන්ද්‍රිකාලා මනෝල තනිවෙලා යන වාහනේ එලවනවා ඇත්තේ ඇමරිකන් සුද්දෙක් නම් ආයේ ඉතින් මොන කතාද?
මානව හිමිකම් යුද අපරාධ චෝදනා දාලා මෙයාල අපට දඬුවම් කරන්න ආවොත් ඉතින් වියට්නාමේ ක්වාන් ඩක් හිමියෝ ගත්ත මාර්ගය තමයි අපටත් ගන්න වෙන්නේ. ගම්මන්පිල කීවේය. මෙම කතාබහ තවදුරටත් ඉදිරියට ඇදී ගියේය.
ජවිපෙ
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමක්ද 21 වැනිදා පැවැත්විණි. ඔවුන් කතා කළේද විදේශ කුමන්ත්‍රණ කතාව ගැනය.
ආණ්ඩුව දැන් විදේශ කුමන්ත්‍රණයක් තියෙනවා කිය කියා කෑගහන්න පටන් අරන්..... සෝමවංශ අමරසිංහ කීවේය.
කුමන්ත්‍රණයක් තියෙනවා නම් මැතිවරණ වේදිකාවල කෑගහල හරි යන්නේ නැහැනේ. ඒක ගැන පරීක්ෂණයක් තියල ඔප්පු කරගෙන උත්තර දෙන්න ඕන. ටිල්වින් කීවේය.
මේ කුමන්ත්‍රණයට විපක්ෂය හවුල් කියල ප්‍රවාහන ඇමැති කියනවා. ඩලස් පොදුවේ විපක්ෂය කියනවා මිස කුමන්ත්‍රණකරුවෝ මොන පක්ෂයේ ද කියන්නේ නැහැ. විජිත කීය.
ඒ කාලේ ඇමරිකාවට ගිහින් එහේ පදිංචිවෙලා කුමන්ත්‍රණ කළේ කවුද කියල අපි දන්නවානේ..... ලාල් කාන්ත කීය.
කුමන්ත්‍රණ ගැන කතා කිය කියා මේ ආණ්ඩුව කරන්න හදන්නේ විපක්ෂ බලවේගවලට පහර දෙන්න. කියන්න කතන්දර නැති නිසා කතන්දර හොයනවා අනුර කුමාර කීවේය. පහුගිය කාලේ අපේ කාර්යාලවලට පහර දුන්නා. දැන් ඒ පහර දීම් කළේ කවුද කියල මුතුහෙට්ටිගමලම කියනවා. චන්ද්‍රසේන විඡේසිංහ කීය.
ඔව්. මහ ඇමැති කරන්න ඕන අත් දෙකෙන්ම වෙඩි තියන්න පුළුවන් කෙනෙක්ව කියල මුතුහෙට්ටිගම කියන්නේ. ........මෙයාල තුවක්කු අරන් තමයි මැතිවරණ තියන්නේ. ලාල් කාන්ත කීවේය.
රාජපක්ෂ මහත්තයා ඉස්කෝලේ ළමයින්ට විනය කියා දිදී කතා පවත්වනවා. ගෝලයෝ කරන දේවල් පේනවානේ...... විජිත කීය.
මේ කතා බහ අවසානයේ සෝමවංශ අමරසිංහ කතා කරමින් තමන්ට ඊට පසුදා කසකස්ථානයේ සංචාරයකට සහභාගි වීමට සිදුව ඇති බව ප්‍රකාශ කළේය.... ඒ අයුරින් එම කතිකාවද හමාර වූයේය.
පසුගිය ඉරිදා දිනයේ රනිල් සිටියේ නුවරඑළියේය. ඔහු නුවරඑළියේ සිටිමින් තවත් සංවාදශීලී ජනහමු කිහිපයකට සහභාගි වූයේය. ඔහු එහිදී ද තවත් කතාවක් කීවේය.
අපි රජයේ කුමන්ත්‍රණ වංචා දූෂණ හෙළිදරව් කරනකොට අපට බනිනවා. අද මේ ආණ්ඩුව ණය ගන්නවා. නමුත් ණයවලට කරන දෙයක් පේaන්න නැහැ. ඉස්සර අපේ ආණ්ඩු තියෙන කාලේ ගත්ත ණයට මොකක්ද වුණේ කියල අහනකොට පෙන්වන්න දේවල් තිබුණා. කෝ ස්වීඩන් ආධාර කියල ඇහුවාම එදා ඡේ. ආර්. පෙන්නුවේ කොත්මලේ ජලාශය. කෝ බ්‍රිතාන්‍ය ණය කියල ඇහුවාම එදා වික්ටෝරියා පෙන්නුවා. කෝ ජර්මනිය දුන්න ණය කියල ඇහුවාම පෙන්නන්න රන්දෙණිගල ජලාශය තිබුණා. කැනඩාව දුන් ණය කෝ කියල ඇහුවාම මාදුරුඔය පෙන්නුවා...... අපිට අද මේ වගේ ආණ්ඩුවෙන් ගත්ත ණය කෝ කියල අහන්නවත් පුළුවන්ද......
මේ අතරතුර එජාපයේ අනෙකුත් නායකයන් සහභාගි වන රැස්වීම් 2 ක් හම්බන්තොට හා මාතර ද පැවැත්විණි. හම්බන්තොට රැස්වීමට තිස්ස, ජයවික්‍රම, සජිත් හා ශාන්තිනී කෝන්ගහගේ පැමිණ සිටි අතර මාතර රැස්වීමට එස්. බී., සාගල, රේණුකා ඇතුළු අපේක්ෂකයන් රැසක් සහභාගි වී සිටියහ.
සඳුදා දිනයේ කරු ජයසූරිය මහනුවර බලා පිටත්ව ගියේය. ඒ අභාවප්‍රාප්ත වූ ඩී. බී. විඡේතුංග ජනාධිපතිවරයා මියගොස් වසරක් සපිරීම නිමිත්තෙන් නිවසේ පැවැති පින්කමට සහභාගි වීමටය.
කණ්ඩායම් රැස්වීම
අඟහරුවාදා උදේ රනිල්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්විණි. පළමුව කතා කළේ පාර්ලිමේන්තු කටයුතු ගැනය. ඉන්පසුව රනිල් කතා කළේය.
මම පහුගිය දවස්වල ආණ්ඩුවේ රත්තරන් විකිණිල්ල ගැන කතා කළා. ජනාධිපති මට ඊට පෞද්ගලිකව පහර දුන්නා. දැන් කලබල වෙලා. මේ පාර ඔන්න ආණ්ඩුව අයවැය සාදාගන්න 13% ක පොලියට රුපියල් කෝටි 10,000 ක් විදේශ බැංකුවකින් ණයට ගන්න යනවා. මේක ජාතික අපරාධයක්.
රනිල් එසේ කියන විට මන්ත්‍රීවරු කීවේ හැකි තරම් රජයේ දූෂණ වංචා මේ දිනවල හෙළිදරව් කළ යුතු බවය...
ඊට පසුදා එනම් බදාදා පාර්ලිමේන්තු දිනයකි. එජාපයට වැඩි වැඩක් තිබුණේද නැත. එහෙත් එජාපයේ විනය කමිටුව, ව්‍යාපෘති කමිටුව, ආර්ථික කමිටුව ආදී කමිටු රැස්වීම් නම් ගණනාවක්ම පැවැත්විණි.
සන්ධාන ගැටලූ
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් බිහි කරන්නට යන විපක්ෂයේ පක්ෂ අතර සන්ධානයේ මේ දිනවල අලුත්ම තත්ත්වය පිළිබඳ ඇත්තේ එතරම් සුබදායි කරුණු නොවේ.
මේ සන්ධානයට 27 වැනිදා වනවිට ගිවිසුම් අත්සන් කරන්නට සියල්ල සැලසුම් කර තිබිණි. ඒ පිළිබඳ තීරණයක් ගැනීමට විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ද 24 වැනිදා පවත්වන්නට යෙදීගෙන තිබිණි. එහෙත් හදිසියේම 24 වැනිදා පවත්වන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අත් හරින්නට එජාප නායකයන්ට සිදුවූයේ ගැටලු රැසක්ම පැනනැඟුණු නිසාය.
අනතුරුව 27 වැනිදාට යෙදී තිබුණ මේ ගිවිසුම අත්සන් කිරීම පසුවට කල් දැමීමට එජාප නායකයාට සිදුවූයේ මුස්ලිම් කොන්ග්රසයේද මතු වූ බරපතල ගැටලුවක් නිසාය. ඊට හේතුව මුස්ලිම් කොන්ග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ අනුමැතිය එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට හකීම්ට ලබා නොදීමය. සේගු= දාවුද් වැන්නවුන් ඉතා ප්‍රබල හඬක් නඟමින් කියා සිටියේ මේ සන්ධානය රනිල් සමග වේ නම් හෝ රනිල් ඊළඟ ජනාධිපති අපේක්ෂයා නම් මේ සන්ධානය ඇති කිරීමෙන් පලක් නොමැති බවය.
මේ අතරතුර එක්සත් ජාතික පක්ෂයේ කැරලිකාර පිලේ මන්ත්‍රීවරු පිරිසද පසුගියදා එකට එක් රැස්වී පැය 6 ක සාකච්ඡාවක් කළේය. එහිදී මන්ත්‍රීවරු ගත් තීරණය වූයේ ළඟ එන ජනාධිපතිවරණය සඳහා රනිල් ඉතා ඉක්මන් තීන්දුවක් ගත යුතු බවය.
මේ ඡන්දෙත් රනිල් ඉල්ලනවා නම් අපි මීට හොඳයි කෙලින්ම මහින්දට වැඩ කරල දිනවන එක. මොකද රනිල්ට වැඩ කරනවා කියන්නේ මහින්ද දිනවන එක තමයි.
මේ පිරිස ඉදිරියේදී එක්වී මෙම මාතෘකාව ගැන සතියකට දවසක්වත් කතා කරන්නට තීරණයක් ගත්හ.
බදාදා උදේ ජනාධිපති මහින්ද ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධානයේ අපේක්ෂකයන් පිරිස අරලියගහ මැඳුරට එක් රැස් කළේ පසුගිය දිනවල ඔවු"නොවුන් අතර ඇතිව තිබෙන ආරවුල් විසඳීමට හිතාගෙනය. එහිදී ජනාධිපතිවරයා අපේක්ෂකයන්ට දැඩි ලෙස අවවාද කළේය.
බදාදා සවස සුපුරුදු පරිදි කැබිනට් රැස්වීම පැවැත්විණි. නිල වශයෙන් පැවති කැබිනට් රැස්වීමේදී සිදු කෙරුනේ සම්ප්‍රදායිකව කෙරෙන කැබිනට් පත්‍රිකා සැලකිල්ලට ගැනීමය.
ඉන්පසුව ජනාධිපති මහින්ද ඇමැතිවරු කිහිප දෙනෙක් සමග ආගිය තොරතුරු කතා කරන්නට පටන් ගත්තේය.
පසුගිය දවසක හරි වැඩක් වුණා. බණ්ඩාරනායක මහත්තයාගේ 50 වන ගුණ සැමරුම වෙනුවෙන් යවන ආරාධනා පත්‍රයක් අරගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න මම දන්න කෙනෙක් ආවා, මාව හමුවන්න. එAකෙ හරි පුදුම අදහසක් තිබුණා ආරාධනා පත්‍රය පිටිපස්සේ.
එහි සඳහන් කරල තිබුණේ බණ්ඩාරනායක මහත්තයා විවිධ අවස්ථාවලදී රටට බලපාන විවිධ දේවල් ගැන දක්වපු අදහස් කීපයක්. එක තැනක දක්වලා තියෙනවා "යුද්ධය නතරවීමෙන්ම පමණක් රටකට සාමය උදා නොවේ. සාමය වූ කලි ඊට වඩා සක්‍රීය වූ ක්රියාමාර්ගයකි...." කියලා.
මේ දේශනය පවත්වලා තියෙන්නේ 1957 දවසක පේරාදෙණිය සරසවියේදී. මාව හම්බවෙන්න ආපු කෙනාත් මේ කතාව වෙලාවෙ එතන ඉඳල තියනවා. නමුත් මෙබඳු අදහසක් එතුමා කිව්වෙ නැහැලු.
අපි හොයල බැලුවා කවුද මේ වගේ වැරදි අදහසක් දාල මේ ඉන්විටේෂන් එක හදල තියෙන්නේ කියලා. බැලින්නම් මංගල සමරවීර. මෙයාල මේ යුද ජයග්‍රහණය නොවැදගත් දෙයක් බවට පෙන්නන්න බණ්ඩාරනායක මහත්තයාගෙ නම පවා පාවිච්චි කරල රට පුරා වැරදි අදහස් මතු කරල පෙන්නනවා.
ඔව් සර්..... එතුමා එ කාලෙ ඔය වගේ අදහස් කිව්වේ නැහැ... ඇමැතිවරු කීහ.
එහෙම අදහසක් තියෙන්න එ කාලෙ යුද්ධයක් තියෙන්න එපායෑ... මහින්ද කීය. අද වන විට මංගලලා, චන්ද්‍රිකාලා තව තව අය එක්ක එකතු වෙලා හරි හරි දේවල් කරගෙන යනවා.
මට මේ පසුගිය දවසක මම දන්න ඉන්දියාවේ කෝවිලක පූසාරි කෙනෙක් කතා කළා. එයා කිව්වා අපේ හිටපු රාජ්‍ය නායිකාවක් ගිහිල්ලා ඉන්දියාවේ කෝවිලක කරන්න හදන පූජාවක් ගැන... හරිම පුදුම හිතෙන දෙයක්.ම
එයා ගිහිල්ල කරන්න යන්නෙ. එයාගේ ජීවිතේට මරණ තර්ජන තියෙනවය. කරදර හිරිහැර එල්ල වෙලා තියෙනවයි කියල මෙහේ ඉන්න දෙන්නෙක් හැඳිගෑවිලා යන්න කියල තමයි මේ පූජාව තියන්නේ. කවුද මේ. ගෝඨාභයයි මාවයි නේ. මේකට හේතු හැටියට කියල තියෙන්නේ. ඒයාගේ ආරක්ෂාව ඉවත් කරල අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරීම තමයි ගෝඨාභයට පලිගහන්න හේතුව. මට පලිගහන්න හේතුව එයාගේ කීර්ති නාමයට හානි කරමින් උතුර නැගෙනහිරට විශාල විනාශයක් කිරීමලු.
මම කිව්වා ඔයගොල්ල ඕන කෙහෙල්මලක් කරගත්තුවාවේ කියල. නමුත් මේ පූජාවට අහිංසක හරක් දෙන්නෙක් කපනවලු. ඒකනේ නරක. අපරාදේ අපි නිසා නිකරුණේ හරකුන්ට මැරෙන්න වෙන එක...
ඉන් පසුව ජනාධිපති ආර්යාවගේ නමින් ලිපි ශීර්ෂ යොදාගෙන එජාපයේ මන්ත්‍රීවරයෙක් එක් එක් සංවිධාන වලින් මුදල් එකතුකර ගැනීමේ වංචාවක් පිළිබඳවද ජනාධිපතිවරයා හෙළිදරව් කළේය.
මම ඒක ගැන අවශ්‍ය තැන්වලට දැනුම් දුන්නා. වහාම මේ වැඩේ නතර කරන්න කියලා...
ඉන් අනතුරුව ගාල්ලෙන් පැමිණි පිරිස කරන ලද පැමිණිල්ලක් ගැනද ජනාධිපතිවරයා කතා කළේය.... ඔහු කීවේ නිශාන්ත මුතුහෙට්ටිගම ගැනය.
මම කිව්වා තරාතිරම බලන්නේ නැතිව ගන්න ඕන පියවර ගන්න කියලා.
මට බේරිල්ලක් නැහැ. මේ කෙහේද යන මිනිහෙක් නිසා... පොලිස්පතිටත් බැනලා මේ මිනිහා. පොලිසියටත් නින්දා අපහාස කරලා...
ඒ වුනාට සර් ඔය නිශාන්ත අපේ පක්ෂය අපහසුතාවට පත්වුන වෙලාවලදZS පක්ෂය වෙනුවෙන් පෙනී හිටල ලොකු වැඩ කොටසක් කරපු තරුණයෙක්...
අපි ඡන්ද කීපයක් කළා. හොඳට කළා. උතුරුමැද, මධ්‍යම, වයඹ, බස්නාහිර, ඌව අපි හොඳට කරල දිනාගත්ත. නමුත් දකුණට ගියාම ඒ රිදම් එක කැඩුනා. මේ මනුස්සයාගේ වැඩ නිසා...
මෙයාල වැඩ කරන්නේ රඡ්ජුරුවො ළඟට ආපු මෝඩ වඳුරෝ වගේ. විනය කඩනවා නම් කොහොමද එයාල මහ ඇමැතිවරු වෙන්නේ. මේ වගේ අයට කොහොමද මහ ඇමැති අපේක්ෂකයෝ කියල කියන්නේ....
ජනාධිපති එසේ කතා කළේ මුතුහෙට්ටිගම ගැන බලවත් නොමනාපයෙනි.
ඉන් අනතුරුව අනර්කලී ගැන ප්‍රශ්නයද කතාවට ගැනිණි...
මේකනේ... අනර්කලීව අපි නොදැම්මා නම් මංගල එයාව අරන් මාතරට දානවා. කතා කරලත් තිබුණා. මේ කෙල්ල ගියේ නැහැ.
දැන් බලන්න. අපේ රටේ ළමයි එකතු කරල පිටරටවලට විකුණන බිස්නස් එක කරපු අම්මන්ඩිලා කොළඹින් ඡන්දෙ ඉල්ලුවා. එයාල ගැන කතාවක් නැහැ. නමුත් මේ කෙල්ලට මඩ ගහන්න පටන් අරන්... ජනාධිපති එසේ කියන්නට පටන් ගත්තේය.
ජනපති හක්මන
ජනාධිපති මහින්ද බ්‍රහස්පතින්දා දිනයේ උදෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ගොස් සිටියේ මැතිවරණ මෙහෙයුම් කටයුතුවලට සහභාගි වන්නටය.
එදා එක්සත් ජාතික පක්ෂයෙන් සන්ධානයට පැමිණි විශාල පිරිසක් හමුවූ ජනාධිපතිවරයා ඊට පසු මැදමුලන නිවසේ සිටින අතර විශේෂ පණිවිඩයක් ලැබිණි.
පණිවිඩයෙන් කියෑවුණේ හම්බන්තොට ඡන්ද ව්‍යාපාර කටයුතුවල නිරතව සිටි සෝමා කුමාරි තෙන්නකෝන්ට හදිසි පපුවේ අමාරුවක් හැදුණු බවය.
සෝමා බය වෙන්න එපා. හම්බන්තොට රෝහලට වහාම යන්න. මම රෝහලට කතා කරල ඔක්කොම පහසුකම් ලෑස්ති කරන්නම්....
නමුත් ඊට මොහොතකට පසු ජනාධිපතිවරයාට අහන්නට ලැබුණේ ඇය අභාවප්‍රාප්ත වූ බවය. ඒ වනවිට ජනාධිපතිවරයා සිටියේ හක්මන ජනතා රැලිsයට යැමට සූදානමිනි. එම කටයුත්ත මදකට පසෙක තැබූ ජනාධිපතිවරයා වහාම හම්බන්තොට රෝහලට ගොස් සෝමා කුමාරිගේ දේහය පිළිබඳ සොයා බැලීය. හක්මන රැස්වීමට ගියේ ඉන් අනතුරුවය.
ජනාධිපතිවරයා මේ කලබැගෑනිය අතරතුර ඩලස් ඇමැතිවරයාට කතා කළේය. ඒ වනවිට ඔහු සිටියේ දිවා ආහාර ගනිමින් හක්මන ගාමිණි සේනරත්නලාගේ නිවසේය. ඔහු සමග ලක්ෂ්මන් යාපා බන්දුල ගුණවර්ධන හා ධනසිරි අමරතුංග ද සිටියහ.
සෝමා කුමාරිට පුංචි කරදරයක්. මම එයාව බලන්න යනවා. ඔයාලා හක්මන රැස්වීම කරගෙන යන්න මම ඉක්මනට එනවා.
ජනාධිපති ඒ කීවා සේම සවස 5.00 ට පැමිණ රැස්වීමට සහභාගි වූයේය.
හක්මන නගරය ඉතා විශාල මුදලක් වියදම් කිරීමෙන් අනතුරුව අලුත් හක්මන නගරයක්ව තිබිණි. හක්මන රජයේ විද්‍යාලය ඇතුළු රජයේ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් අලුතින් ඉදිකර මංමාවත් ඉදිකර අලුත් සංවර්ධනයක් හක්මනට ලබාදී තිබෙන බව පෙනිණි. හක්මනට මේ වෙනස අත්පත් කර දෙන්නට මුල් වී සිටියේ ගාමිණි සෙනරත් බව ජනාධිපතිවරයා කීවේය.
විශේෂයෙන්ම රජයේ ප්‍රතිපාදන පවා නොමැතිව ඩයලොග්, ටෙලිකොම් නවලෝක වැනි ආයතනවල ආධාරයෙන් ඔහු හක්මන විද්‍යාලය කොළඹපාසලක තරමටම දියුණු කර තිබීම දුටු ජනපතිවරයා වඩාත් සතුටු විය. මේ සියලු විවෘත කිරීම් හා රැස්වීම් නිම කර ජනාධිපති මහින්ද කෙළින්ම ගියේ ගාමිණි සෙනරත්ගේ නිවසටය. බන්දුල, ඩලස්, ලක්ෂ්මන් යාපා, ධනසිරි ඇතුළු පිsරිසද ඔහු හා සිටියහ.
ඒ වනවිට ගාමිණි සෙනරත්ලගෙ නිවසට අහළ පහළ විශාල ඥතීහු පිරිසක් රැස්ව සිටියහ. විශේෂත්වය වූයේ ඉන් බොහෝ දෙනෙක් ජනාධිපතිවරයා පුද්ගලිකව දැන සිටීමය.
එදින රාත්‍රී ආහාරය ගාමිණිගේ නිවසෙන් ලබාගත් ජනපති රාත්‍රි 10.30 පමණ වනතුරුත් එහි ඉතා සැහැල්ලුවෙන් සිට ආපසු මැදමුලන නිවසට ගියේය. -Sri Lanka Guardian
Home »
» කාන්තා බලෙවිගය ගැන අපට වඩා හොදට දන්නේ නිමල්
Post a Comment