"නීතියේ ආධිපත්‍යය පිළිගත යුත්තේ මුළු මහත් සමාජය පමණක් නොවේ. රාජ්‍ය පාලකයන් ද නීතියේ ආධිපත්‍යය පිළිගත යුතුය. එහෙත් ලාංකික සමාජයේ අත්දැකීම වන්නේ පාලකයන් නීතියේ ආධිපත්‍ය නොපිළිගැනීමයි. එවන් අවස්ථාවන්හි දී නීතියේ උත්තරීතරභාවය රුක ගැනීමට රාජ්‍යයේ කිසිවෙක් උත්සාහ දරා නොමැත."
By Shan from Bumuthurunu
(September 08, Colombo, Sri Lanka Guardian) බඩගින්නේ මියගිය ද ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ දෑත ශක්තිමත් කිරීමට ජනතාව අවසන් තීරණයක් ගෙන තිබේ.කැපුවත් කොළ පාට ලේ ගැලූ මිනිසුන් සිටින ප්‍රදේශ පවා මැතිවරණයන්හි දී ආණ්ඩුව ජය ගන්නේ එබැවිනි. ඒ අර්ථයෙන් ආණ්ඩුව ශක්තිමත් වී ඇත්තේ පුදුමය උපදවමිනි.එහෙත් තැන තැන නොසිදුවිය යුතු දෑම සිදුවේ.
පුතුගේ වයසේ තරුණයකුගේ ශරීරය මත නැග තම දේහ මස් මාංශයන්ගේ බර කිරීමට ගිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ බිරියක් ගැන පසුගිය දා වාර්තා වුණි. එසේම තරුණ පාසල් ශිෂ්‍යාවකගේ පෙම්වතා දුන් ජංගම දුරකථනය නවාතැන් හිමිකාරියගේ ඇස ගැටුණ බව ඇසීමෙන් නුවර ප්‍රධාන පෙළේ බාලිකාවක විදුහල්පතිනියකගේ හිරිඔතප් බිදුනේ ද ඊට කලින් සතියේ ය. තම සන්තකයේ ඇති ගිනි අවි පෙන්වීමට ගොස් එවන් ගිනි අවි හීනෙන් හෝ දැක නැති පොලිස් නිලධාරීන් ඉදිරියේ ලය පැලී මිය යන පාතාලයන් ගැන යහමින් වාර්තා වූයේ ද මේ අතරතුරේ දී ය. එපමණක් නොවේ,
ජංගම දුරකථනයක් නිසා පාසල් සිසුවියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර ඒ නිසා පාසල් තුළ ජංගම දුරකථන තහනම් කළේ හදිසියේවත් ස්ත්‍රී දූෂණයක් වුවහොත් පුරුෂ ලිංගය කපා ඉවත් කිරීමේ වාසිය ද තබා ගැනීමේ අධිෂ්ඨානයෙනි. එසේම පෝස්ටර් අලවමින් සිටි ශිෂ්‍ය නායකයන් රුසක්ම අත් අංගුවට ගැනුණේ ඒවා හි සදහන් වැකිවල අක්ෂර වින්‍යාසයේ වැරුද්දක් තිබූ බැවින් විය හැකිය.
මේ අපරාධ වැළැක්වීමට නම් නීතියේ ආධිපත්‍ය යළි පිහිටුවිය යුතුය.එහෙත් මේ අපරාධයන් ද ඒ අපරාධයන් පිටුපස ඇති නීතියේ ආධිපත්‍යය බිදවැටීම ද අමතක කරමින් අපට සිදුවී ඇත්තේ ඒ පිටුපස ඇති උපහාසය හා හාස්‍ය, රස වීදීමට ය. එහෙත් ඒ කළ යුත්ත නොදැන නොවේ. කළ යුත්ත දැන දැනම නොකළ යුත්ත කිරීමට බල කරන්නේ ද මේ රටේ ජනතාවමයි. දහසක් අසාධාරණයන් මැද රාජපක්ෂයන්ගේ දෑත ශක්තිමත් කිරීමට ජනතාව පෙරට එද්දී සාධාරණය වෙනුවෙන් කටයුතු කිරීම දේශද්‍රෝහීයකු වී සදාකාලික නින්දට යෑමට හේතුවක් වෙද්දී සිදුවන ඔනෑම අපරාධයක උපහාසය හා හාස්‍ය රසවිදීම හැර කළ හැකි අනෙකක් ද නැත.
වැරද්ද කර ඇත්තේ ජේෂ්ඨ පොලිස් අධිකාරී වාස් තිලකරත්න, ඔහුගේ බිරින්දෑ හා පුත්‍රයා නොවේ. එසේත් නැතිනම් බාලිකා විද්‍යාලයන්හි විදුහල්පතිනියෝ ද නොවේ. ඊනියා වැරදිකරුවන් අත් අංගුවට ගත් පොලිස් නිලධාරීහු ද නොවේ. එහෙත් තරුණයන් දෙදෙනෙකු අත් අංගුවට ගෙන අමු අමුවේ මරා දැමූ පසු අගුලානේ කුපිත වූ ජනතාව ලෙයට ලෙයින් පලි ගැසීමට උත්සාහ ගත්තේ ද පොලිස් නිලධාරීන් ගෙනි. Do not kill the messenger (පණිවුකරුවා නොමරනු) යැයි කියමනක් ඇත. එහෙත් අපේ මිනිස්සු මරන්න උත්සාහ ගන්නේම පණිවුකරුම ය.
නීතිය අතට ගනිමින් නීතියේ හයිය සමාජයේ පීඩිතයන්ට පෙන්වීමට බලය අත දරන්නන්ට හැකිවී ඇත්තේ එම බලධාරීන්ගේ විනය පිළිබද ප්‍රශ්නයක් නිසාම නොවේ. සමාජයේ නීතියට ඇති ආධිපත්‍ය බිදවැටීම, රාජ්‍ය පාලනයේ විනයක් නොමැතිවීම පිළිබද ප්රශ්නයකි. රාජපක්ෂ රෙජීමය ආරම්භ වූ දා පටන් රාජ්‍ය පාලනයේ විනය බිදවැට්ටවීමට රාජ්‍ය පාලකයන්ම කටයුතු කළ අවස්ථා බොහොමයකි. ඒ අතරිනුත් රෙජීමයේ ඉහළම නායකයන් පිළිකුලකින් තොරව ඊට සම්බන්ධවීම කනගාටුදායක ය. එවැනි පිළිකුල් සහගත ක්‍රියා කිහිපයක්ම මෙසේ පෙල ගැස්විය හැකිය.
1. ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම,
2. අමාත්‍ය මර්වින් සිල්වා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී බලහත්කාරකම් කිරීම හා හැකි සෑම විටම බලහත්කාරය පෑම,
3. පළාත් සභා මැතිවරණයන්හි දී රෙජීමයේ බහුතරයක් දේශපාලකයෝ මැරවර ක්‍රියාවන්හි යෙදීම,
4. බලය දරන සියළුදෙනා දරන්නා වූ බලයේ ප්‍රමාණයට නීතිය නොතකා කටයුතු කිරීම.
නීතියේ ආධිපත්‍යය පිළිගත යුත්තේ මුළු මහත් සමාජය පමණක් නොවේ. රාජ්‍ය පාලකයන් ද නීතියේ ආධිපත්‍යය පිළිගත යුතුය. එහෙත් ලාංකික සමාජයේ අත්දැකීම වන්නේ පාලකයන් නීතියේ ආධිපත්‍ය නොපිළිගැනීමයි. එවන් අවස්ථාවන්හි දී නීතියේ උත්තරීතරභාවය රුක ගැනීමට රාජ්‍යයේ කිසිවෙක් උත්සාහ දරා නොමැත. අවසානයේ සිදු වන්නේ සමාජය නීතිය අතට ගැනීමයි. එහි භයානකත්වය දැකිය හැකි කිසිවෙක් රෙජීමය තුළ සිටී නම් මෙවන් අවස්ථාවන් හි දී සමාජයේන් ලැබෙන පණිවුය තේරුම් ගත යුතුය.
1. අමාත්‍ය චමල් රාජපක්ෂයන්ට කුරුණෑගල ප්‍රදේශයේ දී වරක් ගල් මුල් වලින් පහර දීම,
2. අමාත්‍ය මර්වින් සිල්වාට ජාතික රූපවාහිනී පරිශ්‍රයේ දී පහර දීම,
3. අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට හා රජයේ උසස් නිලධාරීන්ට විවිධ අවස්ථාවන් හි දී පිළිකුල් සහගත ප්‍රතිචාර ලැබීම.
4. අගුළාන පොලීසිය වටලා ඊට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම.
එහෙත් මේ කිසිම අවස්ථාවක දී සමාජයට සංවේදීවීමට රෙජීමය සමත් වන්නේ නැත. ඒ නිසා නැවත නැවතත් නීතියට අභියෝග කිරීම ඉහළම නායකයන් විසින් හෝ ඔහුන්ගේ ආශීර්වාදය මත හෝ සිදුවීම ස්ථිර ය. 1994 දී පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් බලයට පත් වූ පසුත් පැවැති එ.ජා.ප ආණ්ඩු සමය තුළ සිදුවූ අමිහිරි දෑ සමහරක් එළෙසින්ම සිදුවූයේ ද මේ අන්දමින්ම ය. ඒ අවස්ථාවේ එම අපරාධයන්හි වගකීම චන්ද්‍රිකා රෙජීමය මත පැටවීමට ලාංකික අගනාගරිකයෝ අකමැති වූහ. අද මෙන්ම එදාත් පණිවුකරුගෙන් පලි ගැසීමට ඔවුහු පෙළගැසුණහ. පැරණි එ.ජා.ප ආණ්ඩුවේ සාරය උරා බී වැඩුණු සමහර රාජ්‍ය නිලධාරීන් චන්ද්‍රිකා රෙජීමය අපහසුතාවට පත් කිරීමට ඒ අන්දමින් කටයුතු කරතැයි යන මතය කොළඹ අගනාගරිකය පුරා පලමුවත් ගම් මට්ටමින් දෙවනුවත් ප්‍රචාරය කළහ. ඒ ඉතිහාසය ආ පිට කැරකැවෙමින් තිබේ. දැන් මේ සිදුවන අපරාධයන් සිදුකරන්නේ ද රාජපක්ෂයන් අපහසුතාවයට පත් කිරීමට මාන බලන්නන් යැයි ඔවුහු පවසති.
කැබිනට් තීරණ දැනුම් දීමේ ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේ දී එය දෙවනක් කරමින් මාධ්‍යවේදීහු සටන් කළේ රාජපක්ෂයන් මේ කුමන්ත්රණයෙන් ගලවා ගැනීමට මිස අනෙකක් සදහා නොවේ. එහෙත් රාජ්‍යයේ ඉහළම අනුදැනුම මත හෝ ආශීර්වාදය මත හෝ සිදුවන නීතිය බිද දැමීම් පවා රාජපක්ෂයන් අපහසුතාවට පත් කිරීමට කරන්නාවූ කුමන්ත්‍රණ යැයි පැවසීම විහිලුවකි.
රාජපක්ෂ රෙජීමය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණනය කිරීමත්, අමාත්‍ය මර්වින් සිල්වා වැන්නන් නීතිය නොතකා කටයුතු කිරීමත් වැනි අවස්ථාවන් හි දී නිහව සිටින ඊනියා මාධ්‍යවේදීහු රාජ්‍ය නිලධාරීන් නීතිය නොතකා හැරීමේ දී පමණක් අතාර්කික ප්‍රශ්න මතු කරති. ඒ අර්ථයෙන් ඔවුහු නපුංසක මාධ්‍යකරණයක යෙදී සිටිති.
නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට ක්‍රියා කිරීම දේශපාලනික කටයුත්තකි. එහෙත් විපාක්ෂික දේශපාලනයක් නොමැති සමාජයක රාජ්‍යයේ ආධිපත්‍යයම අවනීතිය වීම ස්වභාවිකය. -Sri Lanka Guardian
Home »
» කකුළුවන්ගේ කෙළින් ගමන
Post a Comment