(October 20, Colombo, Sri Lanka Guardian) ලංකාව යනු භූමියක් ලෙස සියයට සියයක්ම පාහේ මනුෂ්‍ය වාසය සදහා හිතකර වූ පරිසරයකින් යුක්ත වූවකි. කොළඹ කේන්ද්‍රීය කොන්ක්‍රීට් වනාන්තරයේ බිම් අගලක් සොයාගැනීම ගැටළුවක් විය හැකි වුවත් ඉන් කිලෝමීටර 10ක් 15කට ඔබ්බෙන් ඕනෑතරම් ඉඩකඩම් හමුවේ. ඒවායේ ගස්කොළන් සරුවට වැඩෙන අතර මේ නිසා මුළු සියළු ලාංකිකයින් තම අසීමිතව වූ අවශ්‍යතාවන්, වුවමනාවන් සපුරාගැනීමට තරම් වත්කමක් නොවුනද තමන්ගේ කුසගින්න නිවා ගැනීමට තරම් ආහාරද, පිපාසය නිවාගැනීමට තරම් ජලයද, යම් උත්සාහයක් මගින් නිපදවා ගැනීමට හැකිය. සරල දිවිපෙවෙතකට හිමි, ආගන්තුක සත්කාරයට ලැදි ශිෂ්ඨාචාරයේ නොමැකුණු සටහන් නිසා කුමන වූ ආබාධයක් සහිත වූවෙක් වුවද කුසගින්නේ මියගිය පුවතක් වාර්තාවන්නේ නැත.
මෙවැනි වටපිටාවක් සහිත රටක නිශ්චිත පිරිසක් එක්තරා පිරිසක් එක්තරා ජාතියක ඉපැදීමේ පාපය නිසාවෙන් මුළු ලෝකයටම හොර රහසේ කුසගින්නේ සිටිති. පිපාසයෙන් දුක්විදිති, ලෙඩට බෙහෙත් නොමැතිව අකාලයේ මියැදෙති. තම තමන්ගේ දූ දරුවන්, දෙමාපියන්ගෙන් වෙන්ව බලාපොරොත්තු රහිතව ඔහේ බලාසිටිති.
වියැලුනු කර්කශක පොළොවේ ගස්කොළන් කපා ඩොසර් කර සමතලා කොට ඇති කාන්තාරයක් වන් භූමියට එන සුළගින් තැඹිලිපාට දුහුවිල්ල මුළු ප්‍රදේශයම වසාගනියි. වර්ග අඩි 10ක් 15ක් පමණ වන කූඩාරමක පවුලක 06ක් 07ක් පමණ සාමාජිකයින් පිරිසකට වාසස්ථාන සපයමින් සමස්තයක් ලෙස පනස්දහසක පමන පිරිසක් එක් කදවුරක වාසය කරති. අඩි හතරකට පහකට වඩා උස නැති මෙආකාරයේ කූඩාරමක සිටින මිනිසුන් දහවලට ගිනියම්ව රත්වන විට ගහක් කොළක් ළගට යෑමට හෝ වතුරපොදක් ඇගට හලාගැනීමට තරම් මෙකී මිනිසුන් වාසනාවන්ත නැත. (මේ ගංවතුර එන්නට පෙර තත්ත්වයි)
හතර අතින් කම්බිගසා වටකොට වරදක් නැතිව සිරබත් කන ලක්ෂ සංඛ්‍යාත පිරිස හිගා නොකා හිගා කමින් අනුන්ගෙන් යමක් ඉල්ලාගෙන කෑමට සිදුව ඇත්තේ තම අත පය ශක්තිමත්ව තිබියදීය. තාවකාලිකව කකුල් අතපය දුර්වල වූවන් සිටියද, ඔවුහු මිනිසුන් ලෙස අන් අයගෙන් ඉල්ලං කනවාට වඩා තමන්ගේ ශක්තියෙන් දෙයක් උපයාගෙන කෑම ආත්මඅභිමානයක් ලෙස සළකති. ඇගපත නොසොල්වා, ශ්‍රමය වැය නොකරමින් පවුල් පිටින් හොරාකමින්, අන් මිනිසුන්ගෙන් සූරාකා ජීවත් වන්නන්ට වඩා මේ මිනිසුන් ශ්‍රේෂ්ඨ වෙති.
මෙකී සියළු අනාත කරවූවන් හට ආහාර, ඇදුම්, නිවාස, සනීපාරක්ෂක පහසුකම් යනාදී සියළුම දෑ සපයනු ලබන්නේ සිය කෙරුවාවන් පිළිබද කුප්‍රකට ඉතිහාසයන් සහිත වන ආණ්ඩුව සහ දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන මගිනි. මුදල් නාස්තිය, අතිසුඛෝපභෝගී ජීවන පැවැත්ම, යටත් විජිත වුවමනාවන් සහිත වීම, ව්‍යාපෘතිගත ක්‍රියාකාරකම් යනාදී මානුෂීය නොවන ලක්ෂනයන්ගෙන් සමන්විත රාජ්‍ය නොවන සංවිධානද, අකාර්ක්ෂම, වංචාකාර, බොරුකාර පටු දේශපාලන වාසි ඉදිරියට ගත්, සිංහල ජාතීවාදී ආණ්ඩුව විසින් ලක්ෂ සංඛ්‍යාත පිරිකගේ අවශ්‍යතා පිරිමසයි යන්න කෙසේ නම් විශ්වාස කරමුද?
මේ ආකාරයේ අසාර්ථක පාලනයක් තුළ ලක්ෂ ගණනක ජීවිත වල පාලනය සියතට ගෙන සිටින බාහිර පාර්ශව, වසර ගණනක දුෂ්කර කාලපරිච්ජේදයක් නිසා දැඩි ලෙස දුර්වල වී ඇති ජනතාව වෙත ඉතා ඉක්මණින්ම මරණය ළගා කර දීමට කටයුතු පිළියෙළ කොට ඇත. නියමිත පෝෂණ පහසුකම් රහිතව බිහිවූ බිළිදුන්, නොයෙකුත් රෝගී තත්ත්වයන් නිසා පීඩා විදින පිරිස්, තුවාල ලබා රෝහල් වෙතින් අර්ධ සුවයෙන් පැමිණි පිරිස, වයසින් වැඩි මහළු පිරිස, ක්‍රම ක්‍රමයෙන් මරණයේ දොරටු වෙත පියනගන අතර සමස්තයක් ලෙස සියළු ජනතාව ශරීර සෞඛ්‍ය පිරිහෙමින් දුර්වල වෙමින් සිටී.
මෙතෙක් කලක් කටකම්බි තුල සිරගත කොට දැඩි අව්රශ්මියෙන්, දුහුවිල්ලෙන් පීඩා විදි මැණික්ෆාම්හි ජනතාව ඊට ප්රතිවිරුද්ධව විදිය හැකි දරුණුතම ස්වභාවික උවදුර වන ගංවතුර තත්ත්වයකට මුහුණදෙමින් සිටිති. ප්‍රමිතියක් රහිතව ඉදිකිරීම් කරඇති මැණ්කෆාම් කදවුරු වල ඇති පස් ජලයට යටවීමෙන් මඩගොහොරුවක් බවට පත්ව ඇති භූමිය තුල තවදුරටත් ලක්ෂ ගණනක මිනිසුන්ට ජීවත්වීමට සිදුව ඇත. ජීවත් වනවාට වඩා ටිකෙන් ටික මරණය කරා පියනගන මෙකී මිනිසුන් ගැන දකුණේ ජනතාව අංශු මාත්‍රයක තරම් වත් සංවේදීතාවයක් නොමැති තරම්ය.
ලක්ෂ තුනකට අධික ජනතාවක් මෙසේ සිරගත කොට ඇත්තේ වරදක් කරයැයි ඔප්පුකිරීමකින් නොවේ. ඔවුන් සිදුකොට ඇති එකම වරද එල්ටීටීඊ ප්‍රදේශය තුළ උපතලැබීම හෝ ජීවත්වීමය. මේ පිළිබදව දකුණේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මතය නම් එල්ටීටීඊ ප්‍රදේශයේ ජීවත්වීමද වරදක් බවයි.
"උන් ඔය පහුගිය අවුරුදු ගානක් කරපුවට තමයි ඔය විදවන්නේ, දිටිඨධම්මවේදනීය කර්ම"
මා දන්නා හාමුදුරුනමක් මැණ්කෆාම් පිළිබදව බෞද්ධ විචාරයක් සිදුකළේය. අහන්නට දකින්නට ලැබෙන පරිදි රටේ මේ පිළිබදව වන බෞද්ධ කියැවීම මීට වඩා වෙනස් නැත. හිංදු හෝ ක්‍රිස්තියානි ආගමිකයින් බහුලව සිටින මැණික්ෆාම් ජනතාවට බෞද්ධාගමට අනුව ඵල විපාක ලබන්නට සිදුව ඇත්තේ මේ ධර්මද්වීපය වන්නට නිසාවෙනි. කෙසේ වුවද මා විසින් පුද්ගලිකව හදුනන එකී භික්ෂුව විසින් පවත්වාගෙන යනු ලබන අනියම් කාන්තා ඇසුර නිසා අත්වන කර්මඵලවිපාකය උන්වහන්සේ වත් දන්නේද යන්න ගැටළුවකි. බොදුබණ දෙසා බාන සැමටම මෙය අදාළය.
මැණික්ෆාම් ඡායාරූප දුටු තවත් මාගේ සමීපතමයෙකුගේ අදහස මෙසේය.
"සිංහල රටට වින කරපු හතුරන්ට ස්වභාව ධර්මයෙන් දඩුවම් දීලා" යන්නයි.
ඔහුගේ ප්‍රකාශයට අනුව දෙමළුන්ට දඩුවම් දී ඇත්තේ සිංහල සොබාදහම විසින්ය. සිංහල සොබාදහම සහ මහරජාණන් එක්ව ගෙන ගිය හවුල් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ගංවතුර තත්ත්වය හටගෙන ඇත. මන්ද මැණ්ක්ෆාම් හි ගංවතුරට හේතුව වැස්ස පමණක් නොව කදවුරු භූමිය ඉදිකොට ඇති අක්‍රමවත් විධිපිළිවෙලත් නිසාවන බැවිනි.
දකුණේ පලවන කිසිදු සිංහල ජාතික පුවත්පතක් හෝ විද්‍යුත් මාධ්‍යයක ප්‍රධාන පුවත බවට පත්නොවූ උතුරේ ලක්ෂ 03ක මිනිසුන්ගේ ඛේදවාචකය දකුනේ සමාජය තුල සාධාරනීකරනය වන ආකාරය පුදුමාකාරය. සිමෙන්ති පොලොවක් නැතිනිසා තෙත්ව පවතින අමුපොලොව මත රාත්‍රිය ගත කරන්නට සිදුවන මිනිසුන් ගැන, කොටුකර ඇති භූමියේ ගංවතුරගැලීම නිසා වැසිකිලි, කැසිකිලි, සියළු අපද්‍රව්‍ය විසිරී යාම නිසා කදවුරු භූමිය මිහිපිට අපායක් බවටපත්වූ ලක්ෂ ගණනකගේ ජීවිත පින්නවලින් අලිපැටියෙකු පැහැරගෙන යාම තරම්වත් සැළකිල්ලට භාජනවූයේ නැත. දකුණේ මිනිසුන්ගේ සංවේදී බව කෙසේ වෙතත් දකුණේ මිනිසුන් ඒ පිළිබදව දැනුවත් නොකිරීමට අවස්ථාවාදී තක්කඩි මාධ්‍ය ඉඩඅහුරා දැමුණු ආකාරය සක්සුදක් සේ පැහැදිලිය.
දැඩි මිලිටරි පාලනයකට යටත් කොට කම්බිවලින් හිරකොට ජීවත් වන මැණික්ෆාම් වැසියන්ගේ ජීවන තත්ත්වය ගැන විවිධාකාරයේ මතිමතාන්තර සිංහල ජනතාව අතර වේ. ඉන් එකක් මෙලෙසය.
"ප්රභාකරන්ගේ යටතේ ඉන්නවට වඩා ඔය මිනිස්සුන්ට ඔහොම ඉන්න සැපතක්"
සැබැවින්ම ප්රභාකරන්ගේ විනාශයෙන් හිත නිදහස් වුයේ සිංහලයින්ගේද, දෙමළුන්ගේද යන්න පිළිබද මෙකී පුද්ගලයා සවිඥානිකද යන්න ගැටළුවකි. මෙවැනි අහේතුවාදී කතා සාමාන්‍ය සමාජයේදී ඇසීම පුදුමයක් නොවන්නේ මහින්ද අබේසුන්දරගේ අමන බණ ඇසීමෙනි.
මේ අතර සිංහල නාසිවාදී දිවයින පත්තරයට අනුව කරුණා අම්මාන් සදහන්කර ඇත්තේ ලංකාවේ ජනවාර්ගික ගැටළුව අවසන් කිරීමට නම් උතුරේ දෙමළ ජනයාට සමාන්තරව සිංහල ජනතාව පදිංචිකළ යුතු බවයි. දිවයින වාර්තාකරුගේ අදහස සිංහල නොකියවන කරුණාගේ කටින් පිටකොට ඇතැයි සැකකල හැකි මෙවැනි අදහසක බරපතල කම මෙවැනි මාධ්‍ය තක්කඩියන්ට නොදැනීම අතිශය ඛේදජනකය. ජනගහණ වාර්ගික අනුපාතයන් භූමි ප්‍රදේශයන් තුළ වෙනස් කිරීමේ බලදේශපාලනික බලපෑම ගැන මෙම වෘෂභයන් ඉගෙන ගත යුතුය.
මර්වින් ආචාරියා කැළණියේ භාරකරුගේ සිට අයිතිකරු බවට පත්වන විට, වැලේ වැල් නැතිව සිටි රාජපස්සලා රටේ බලය පවුලවටා කේන්ද්‍රගත කිරීමට උත්සාහකරන විට සිංහල වර්ගවාදීන් සමස්ත ලංකාවම සියතට ගැනීමට උත්සාහ කරන සෙයකි. ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානය පැරද වූ මහරාජාණන් ලක්ෂ තුනක් වන ආයුධ රහිත හතුරන්ට ඉක්මණින් වගකියනු ඇති බව සිංහල මූලධර්මාවාදීන් අතර මේ වන විට ඇති වී ඇති කතිකාවයි. ආයුධ සහිත පිරිස අවුරුදු 02ක් තුළ විනාශ කළපසු ඉතිරි ලක්ෂ 03 මෙආකාරයෙන් යුද්ධ නොකොට වසර කිහිපයකදී විනාශ කෙරෙන බව ඔවුන්ගේ අදහසයි. මෙකී අභියෝගය සිංහල සොබාදහමේ මහගු උපකාරයද සමගින් වසර 02ක් යන්නටත් මත්තෙන් කළහැකි බව දැන් දැන් පෙනෙන්නට ඇති තත්ත්වයයි.
ලෝකෙන් උතුම් රට ලංකාවයි! (?) -Sri Lanka Guardian
Home »
» භයානකම උන්ට කෙලපු අපිට නිකම්ම නිකං ලක්ෂ 03 කජ්ජක්ද?
Post a Comment