Home » » කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ බල අරගලය කරා …

කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ බල අරගලය කරා …

Written By Sri Lanka Guardian on Tuesday, October 20, 2009 | 12:34 PM

ලාංකික සමාජය මුහුණ දෙන්නා වූ දේශපාලන අර්බූදයට ජනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් ගොඩනැගෙන දේශපාලන බලවේගය මගින් විසදුමක් ලැබෙන්නේ යැයි සිතීම සුන්දර සිහිනයක් පමණි.
_____________________

By Shan
Writer's blog:Bumuthurunu

(October 20, Colombo, Sri Lanka Guardian) මැතිවරණයකින් තොරව තවත් විසි පස් අවුරුද්දකට මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ධූරයේ තබා ගත යුතු යැයි මල්වතු මහ නාහිමියන් යෝජනා කළේ මීට පස් මසකට කලිනි. ශ්‍රී ලංකා රාජ්‍යයට භෞතිකව අභියෝග කළ එල්.ටී.ටී.ඊ සංවිධානය ලෙයින් හා යකඩෙන් මර්දනය කළ පසුව සමාජයේ බහුතරයකගේ අදහස වූයේ ද රාජපක්ෂ රෙජීමය යාවජීවව පවත්වා ගත යුතු බවය. එහෙත් ඒ සොදුරු සිහිනයට අභියෝග කරමින් තැන තැන ඇති වූ කසු කුසුව රාජපක්ෂ රෙජීමයට එල්ල කළ ප්‍රබල පහරක් බවට පත් කළේ දකුණු පළාත් සභා මැතිවරණයෙනි.


පාලක පක්ෂය 67% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම හෝ එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට ලක්වීම හෝ රෙජීමයේ ජයග්‍රහණය සැමරීමට තරම් අති විශේෂ දේශපාලන කාරණා නොවන බව රෙජීමය විසින්ම තහවුරු කර ඇත. ඔවුන් දකුණෙන් බලාපොරුත්තු වූයේ 80% ඉක්මවන ජයග්‍රහණයකි. ඒ සදහා දකුණ තමන්ගේ නිජ බිම යයි ද දකුණේ මිනිසුන් අති විශේෂිතයන් බව ද පුන පුනා ප්‍රකාශ කළේ වැඩවසම් හැගීම් වලට ද නැවත පණ දෙමිනි. එසේම දකුණේ දිස්ත්‍රික්ක තුනටම රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් ඉදිරිපත් කළහ. එහෙත් මේ සියල්ල දකුණු පළාත් සභා මැතිවරණයේ දී ප්‍රතික්ශේප කෙරිණි.

රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් ප්‍රතික්ශේප කරමින් ද අන්ත වර්ගවාදී අපේක්ෂකයන් පරාජය කරමින් ද දකුණේ දී ජයග්‍රහණය කළේ සම්ප්‍රදායි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික අපේක්ෂකයන් හා සම්ප්‍රදායි වාමාංශික අපේක්ෂකයන් ය. ඒ අර්ථයෙන් රාජපක්ෂ රෙජීමයේ ක්‍රියාකාරී සැලස්ම වන මහින්ද ච්න්තනයට ද රාජපක්ෂ රෙජීමයේ මතවාදී දෘෂ්ඨිය වන ඒකීය වර්ගවාදය ද ප්‍රබල අභියෝගයක් දකුණෙන් ඉල්ල වී ඇත. ඒ අවිඥ්ඤාණික අභියෝගයට සවිඥ්ඤාණිකත්වයක් ලබා දීම අද දවසේ දේශපාලන අභියෝගය වුවත් ඒ අභියෝගය ජය ගැනීම සදහා ධනේශ්වරය මෙන්ම පීඩිතය ද කිසිම සූදානමක් නොදක්වන බව දෙපන්තියේම මහ පොදු සාධකයයි.

සිව් අවුරුද්දක් පුරා රාජපක්ෂ රෙජීමය විසින් ලාංකික සමාජය තුළ ඇති කළේ බරපතළ විනාශකාරී නොගැලපීමකි. එය එක් අතකින් යුද්ධයක් දියත් කරමින් පුරවැසියන් මර දැම්මේ තොග වශයෙනි.එසේම මානව හිමිකම් වලට ගරු නොකළ අතර ජාත්‍යන්තර සම්මූතීන් පවා නොපිළිගැනිණි. ආර්ථිකය කඩා වැටුන අතර සමාජයේ පරිධියේ ජීවත්වන්නන් නොතකා හැරිණි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කළ අතර වර්ගවාදී, අන්තවාදී හා මහ ජාතිවාදී වෙමින් ඒකාධිපති ක්‍රමයක් කරා රාජ්‍යයේ හරය වෙනස් කරන ලදි. රෙජීමයේ මේ දේශපාලන පෙරලියට විකල්පයක් ඉදිරිපත් කිරීමට ලාංකික ධනේශ්වරයට කෙලෙසවත් හැකි වූයේ නැත. වාමාංශිකය ඒ සදහා මෝරා තිබුණේ නැත. මේ දෙපාර්ශවයම රාජපක්ෂ රෙජීමයේ වඩාත් සොදුරු විවේචකයා වූවා මිස විකල්පයේ භූමිකාවට රුච්කමක් නොදැක්වීය.

විසෙන් විස නැසීමේ දේශපාලන ක්‍රමවේදය පන්ති බාධා ඉක්මවමින් සාකච්ඡාවට ලක් වෙමින් ඇත්තේ මෙවන් මොහොතකය. එක්සත් ජාතික පක්ෂය ද ජනතා විමුක්ති පෙරමුණ ද පොදු අපේක්ෂකයා ලෙස ඉදිරියට ගැනීමට උත්සාහ කරමින් සිටින්නේ ජනරාල් සරත් ෆොන්සේකා ය. පෙල ගැස්වෙන දේශපාලන ධ්‍රැවීකරණයන් අනුව හුදු පක්ෂ පාට ඉක්මවමින් දේශපාලන බලවේගයන් ෆොන්සේකා වටා එක් වෙනු පෙනේ. දේශීය ධනේශ්වරයේ ඝෘජු නියෝජිතයා වන එක්සත් ජාතික පක්ෂය ද රුඩිකල් වාමාංශිකයේ ජව සම්පන්න නියෝජිතයා වන ජනතා විමුක්ති පෙරමුණ ද නන්නත්තාර වර්ගවාදීන් ද ෆොන්සේකාගේ ජයග්‍රහණය පතා එක්වෙනු නො අනුමානය.ඒ අර්ථයෙන් ඒකීය වර්ගවාදී මුල ධර්මවාදී රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සමාජ තීරුවට යම් බලපෑමක් කිරීමට ජනරාල් ෆොන්සේකාට හැකිවනු ඇත.

කෙසේ වෙතත් රාජපක්ෂ රෙජීමය තුළ දැන් අලුත් ආකාරයක අර්බූදයක් නිර්මාණය වී ඇත. රෙජීමයේ පැවැත්ම පිළිබද මෙතෙක් නොතිබූ බියක් දැන් නිර්මාණය වෙමින් පවතී. මෙතෙක් සමාජය තුළ කසු කුසු කතාවකට සීමා වී පැවති රෙජීමය විවේචනය කිරීමේ දේශපාලනයට දකුණු පළාත් සභා මැතිවරණයෙන් යම් සමාජ වලංගුභාවයක් ද ලැබී තිබේ.දිගින් දිගටම තමන් සමග ළාමක හා බොළද අරගලයක නිරත වූ රාජපක්ෂ රෙජීමය සදහා නව නායකත්වයක් බටහිර රාජ්‍යයන්ට ද අවශ්‍යව තිබුණි. එම අවශ්‍යතාව ශක්තිමත් සමාජ ව්‍යාපාරයක් දක්වා පුළුල් කිරීම ගෝලීය ධනේශ්වරයේ අද දවසේ න්‍යාය පත්‍රයේ පළමු කාරණාව බව හොදින් පැහැදිලි වෙමින් තිබේ.

ජනරාල් ෆොන්සේකා තම නිල තත්ත්වය ඉක්මවා දේශපාලන අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය නිලධාරියෙකි. ඔහුගේ දේශපාලන ආකල්ප අනුව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ගේ රටකි. සුළු ජාතීන් එහි වාසය කළ යුත්තේ මහ ජාතියේ අභිමතය අනුවය. බලය බෙදීම දිනා ගත් යුද ජයග්‍රහණයන් පාවා දීමකැයි ඔහු පුන පුනා පවසන්නකි. තමන් වෙත පැවරෙන්නා වූ මිලිටරිමය කාර්යභාරය රාජ්‍යයේ අවශ්‍යතාව මත ඉටු කිරීමෙන් නො නැවතී දේශපාලනඥයන්ගේ කාර්යට ද ඔහු අත ගැසීය.

ගොඩනැගෙන්නාවූ දේශපාලන බලවේගය මතවාදීමය වශයෙන් අතිශය වර්ගවාදී ආන්තික දක්ෂිණාංශික බලමුළු ගැන්වීමක් බව නොරහසකි. එම දේශපාලන බලවේගය සිංහල බෞද්ධ මතවාදී ඒකීය රාජ්‍යය තවදුරටත් ශක්තිමත් කරන්නකි. එසේම ආර්ථික සාධකයේ දී පරිධියේ සිටින්නන් තවදුරටත් දුර්වල කරන්නකි. ඒ අනුව එම බලවේගයට කිසිම අයුරකින් දෙමළ මුස්ලිම් සමාජ තීරුවේ ද ආර්ථික පීඩිතයන්ගේ ද විශ්වාසය දිනා ගත නොහැක.දෙමළ ජනතාව තවදුරටත් අනාථ කදවුරු තුළට ද සිංහල ජනතාව තවදුරටත් සිර කදවුරු තුළට ද ගාල් කිරීම හැර මේ නව දේශපාලන බලවේගයට වෙනත් යමක් ඉටු කළ නොහැක. ඒ අර්ථයෙන් ලාංකික සමාජය මුහුණ දෙන්නා වූ දේශපාලන අර්බූදයට ජනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් ගොඩනැගෙන දේශපාලන බලවේගය මගින් විසදුමක් ලැබෙන්නේ යැයි සිතීම සුන්දර සිහිනයක් පමණි.

කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ එතිහාසික කාර්ය භාරය අවසන් කළ යුතු යැයි ගෝලීය ධනේශ්වරය තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. දැන් ඔවුන් සොයමින් සිටින්නේ ඒ සදහා වූ විකල්පයකි. ජනරාල් සරත් ෆොන්සේකා ඒ කාර්ය භාරය සදහා තෝරා ගැනීමට නියමිතය. ගෝලීය ධනේශ්වරයේ මේ තීරණය ඒ ආකාරයෙන්ම පිළිගැනීම හැර ලාංකික ධනේශ්වරයට වෙනත් විකල්පයක් ද ඉතිරි වී නොමැත.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger