තුෂාරී කළුබෝවිල
(October 01, Colombo, Sri Lanka Guardian) ගෝලීයකරණය දඩමීමා කර ගනිමින් වර්තමානයේ විද්යුත් මාධ්‍යවල ක්‍රියාකාරිත්වය විසින් ඉතා සූක්‍ෂම ලෙස ළමා ලෝකයේ සෞන්දර්යය කෙළෙසෙන අයුරු දකිමින් වැඩිහිටි සමාජය මුනිවත රැකීම දැයේ දරුවන්ගේ අවාසනාවක් ම වන්නේය.සෑම වසරකම ඔක්‌තෝබර් 01 වැනිදා ලෝක ළමා හා වැඩිහිටි දිනය සමරණ තුන්වැනි ලෝකයේ රටවල් බොහෝමයකට විද්යුත් මාධ්‍ය හරහා සිදු කරන්නාවූ මෙකී බලපෑම සුළු කොට තැකිය නොහැකිය.
ආර්ථික, සමාජයීය, දේශපාලන පීඩනයන්ගෙන් ඔද්දල්වන වැඩිහිටි පරපුරට පවුලේ අඹුදරුවන් සමග නිදහසේ දුක සැප බෙදා ගන්නට තරම් මානසිකත්වයක් නැත. එසේ ම එවැනි වැඩිහිටියන් සිටින නිවසක දරුවන්ගේ ඉරණම ද ඊට දෙවැනි නැත. සමාජය විසින් නිරතුරුව හුදෙකලා කරවන මෙකී දෙපාර්ශ්වයේ ම සහන සේවකයා බවට නිරායාසයෙන් පත් වන්නේ විද්යුත් මාධ්‍යයයි.
දෙමවුපියන්ගේ ආදරය, උණුසුම, රැකවරණය දුරස්‌වීම පමණක් නොව තරගකාරී අධ්‍යාපන රටාව, විලාසිතාවක් වූ ටියුෂන් රැල්ල, සමාජයට විවෘත වන විලාසිතා, මත්පැන්, මත් ද්‍රව්‍ය, ලිංගික උත්තේජනය වඩවන දර්ශනපට හා ඡායාරූප ජංගම දුරකථන ආදී බොහෝ දේ හේතුකොටගෙන විකෘති කරවන ළමා මනස එක අරමුණකට එකම ඉරියව්වකට ගෙන එමින් බහුජාතික සමාගම්වල හොඳම පාරිභෝගිකයින් බවට ළමා පරපුර පරිවර්තනය කරවීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ විද්යුත් මාධ්‍ය විසිනි.
මීටර් සියයේ දුර සීමාව ඇතුළත පළමු වසරට ඇතුළත් කර ගන්නා ළමයින් පැය දෙක තුනක් සැතපුම් හතළිහක් පනහක් පාසල් වෑන් රථවල අතපය හකුලාගෙන ගමන් කරනු ඇත. ප්‍රායෝගික නොවූ විෂයය නිර්දේශය කටපාඩම් කර තරගකාරී විභාග ජය ගැනීම සඳහා පාසල් කාලයෙන් පසුව අමතර පන්තිවලට දෙමවුපියන් විසින් ඇදගෙන යන දරුවන් හිරු එළිය දකින්නේ පන්ති කාමරයේ වීදුරු කවුළු අතරින් පමණි. කට්‌ට අව්වේ වේලි වේලි දෙපා දවන බොරළු පාරක, පොත් මිටියක් අතේ අරන් ගඩා ගෙඩි කඩා කමින් පාසල් ගිය අතීතයේ අපේ මුතුන් මිත්තන් සතුව තිබු ළෙන්ගතුකම, මනුස්‌සකම, ඕණෑම අභියෝගයක් උපේක්‍ෂාවෙන් දරාගැනීමේ හැකියාව වත්මන් ළමා පරපුරෙන් ගිළිහී ගියේ මීට වසර ගණනකට පෙර සිට ක්‍රම ක්‍රමයෙනි.
හිරු එළියේ පහස නොලබන ශාරීරික වශයෙන් ක්‍රියාකාරී නොවන දරුවන්ගේ ස්‌නායු වර්ධනය, මොළයේ ක්‍රියාකාරිත්වය, බුද්ධි වර්ධනය සිදු වන්නේ සාපේක්‍ෂ වශයෙන් අඩුවෙනි. ළමා මනසට ඔරොත්තු නොදෙන බරක් කාලාන්තරයක් තිස්‌සේ ළමයින්ට පැටවීම හේතු කොටගෙන ඔවුන් වැඩිහිටියන් බවට පත්වීමෙන් පසුව වුවද සමාජයට යහපතක් සිදු කරනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැක.
මෙකී සමාජ වටාපිටාව හා එහි අතරමං වන දරුවන්ගේත්, වැඩිහිටියන්ගේත් මනසේ ක්‍රියාකාරිත්වය හොඳින් අධ්‍යයනය කර ඇති බහු ජාතික සමාගම් ඔවුන්ගේ රාජකාරිය අඩුපාඩු නැතුව ඉටු කරනු ඇත.
අද විද්යුත් මාධ්‍ය ඔස්‌සේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය මෙගා නාට්‍ය පිළිබඳ මොහොතක් වැඩිහිටි ඔබ කල්පනා කර තිබෙනවාද කොහේ හෝ තිබෙන චරිත දෙකක් නිවසේ රූපවාහිනිය ඉදිරිපිට දවසේ දැඩි වෙහෙසකර හා පීඩාකාරී කාල පරිච්ඡේදයක් නිම කර මොහොතක විවේකයක් සඳහා අසුන්ගෙන සිටින ඔබ ඉදිරිපිටට පැමිණ ඔබට ඇත්ත වාගේ රඟ දක්‌වන්නේ මොනවාද? අඹු සැමියන් සමගියෙන් සිටීම වෙනුවට සෑම පවුලක් ම දෙකඩ වන ආකාරය, අනියම් සබඳතා සූක්‍ෂම අයුරින් පවත්වාගෙන යන අයුරු දෙමවුපියන්ට හොර රහසේ දරුවන් සිය ප්‍රේම සබඳතා පවත්වාගෙන යන්නේ කෙසේද? පරිගණක ජංගම දුරකථන ආදියෙන් ලබා ගත හැකි අනියම් ප්‍රයෝජන මොනවාද? හතුරාට පහර දෙන පැහැරගෙන යන, සමාජ දූෂිත ක්‍රියා සාර්ථකව පවත්වාගෙන යන මිනී මරණ ආකාරය නොවේද? වැඩිහිටියන් සමග වත්මන් සමාජයේ බොහෝ පවුල්වල දරුවන් ද මෙම ටෙලි නාට්‍ය එකට වාඩිවී නරඹනු ඇත. මේ සියල්ල වැඩිහිටි මනසට ග්‍රහණය වන ආකාරයට වඩා හාත්පසින් වෙනස් ආකාරයකට ළමා මනසට ග්‍රහණය වනු ඇත. ඒ අතරට ළමයින්ගේ සුන්දරත්වය මතු කරමින් ද තාරුණ්‍යයේ ආදරය ඉක්‌මවා ගිය ලිංගිකත්වය ඉස්‌මතු කරමින් ද සිදු කරන්නා වූ අලෙවි ප්‍රවර්ධන කටයුතු හරහා ළමා වැඩිහිටි දෙපාර්ශ්වයම ඊට ගොදුරු වනු ඇත.
ළමයින් වෙනුවෙන්ම කියා විකාශය කරන කාටූන් වැඩසටහන්වලද වැඩිහිටි පරපුර නොදන්නා බොහෝ දේ ඇත. දරුවන් සමග එකට වාඩිවී මේවා නරඹමින් දරුවන්ට එය සුදුසුද නැද්ද නුසුදුසුනම් දරුවන් එයින් මුදවා ගන්නේ කෙසේද යන්න විසඳුම් සොයන්නට මෙවැනි සමාජයක වැඩිහිටියන්ට අවස්‌ථාවක් නැත. බොහෝ විට දෙමවුපියන්ට පෙර නිවසට පැමිණෙන දරුවන් එක්‌කෝ මෙහෙකරුවන්, එක්‌කෝ ආච්චි සීයා, නැත්නම් තනිවම නිවසේ ගත කරනු ඇත. එම කාල පරාසය සවස හරතයි තිහේ සිට සවස හය හෝ හයයි තිහ දක්‌වා කාලයයි. බොහෝ දරුවන් උදෑසන අවදිවී පාසල් යැමට පෙර කාටූන් නැරඹීමට හුරුවී සිටී. එම කාලය මව මුළුතැන්ගේත් එක්‌කෝ පියා ද ඊට සහාය වෙමින් හෝ වෙනත් නිවසේ කටයුත්තක නිරත වෙමින් හෝ නැත්නම් නිනදේ පසුවනු ඇත. දරුවන් මේ කාලය ද ටෙලිවිෂනය ඉදිරිපිට සිට කාටූන් නරඹන්නේ තනිවම ය. බහු ජාතික වෙළෙඳ සමාගම් මෙම කාල කළමනාකරණය සිදු කර ඇත්තේ මනා අධ්‍යයනයකින් පසුවය. දෙමවුපියන්ගේ නිරික්‍ෂණයට හසු නොවී දරුවන්ව ගොදුරු කර ගන්නා සූක්‍ෂම ක්‍රියාවලියක් බවට අද කාටූන් පත්ව ඇති අයුරු සැබවින්ම වැඩිහිටියෝ නොදනිති.
ළමයින් වැඩිපුරම නරඹන්නට කැමති කාටූන්වල දර්ශනය වන්නේ සතුන් අතර සිදුවන ද්වන්ධ සටන්ය. තුවක්‌කුවලින් වෙඩි තබා ගන්නා අයුරු, බෝම්බ ගැසීම්, අසාමාන්‍ය ලෙස ප්‍රතිවාදියා පීඩනයටත්, හිංසනයටත් හසුකරන ආකාරයයි. ළමයින්ට නුසුදුසු වචන ඉතා බහුලව මෙම කාටූන් වැඩසටහන්වල භාවිත වනු ඇත. ලෝකයේ දියුණු රටවල මේ තත්ත්වය දක්‌නට නොලැබීම පිළිබඳව දෙමවුපියන් දෙවරක් කල්පනා කළ යුතුය. ඔවුන් දරුවන් වෙනුවෙන් පොත් පත්, රූපවාහිනී වැඩසටහන්, අධ්‍යාපන ක්‍රමවේදයන් ඇතුළු සියල්ල සකසනුයේ ළමා මනසට ගෝචර වන අයුරිනි, ළමයින්ගේ බුද්ධිය වර්ධනය වන අයුරිනි. එසේ කරන්නාවූ ඔවුන් ම අප වැනි රටවලට අඩු මිලට බාල වර්ගයේ වැඩසටහන් අලෙවි කිරීම පිටුපස වෙනත් ප්‍රබල අරමුණක් ඇති බව පැහැදිළිය. සෑම විටෙකම ලෝක බලවතුන්ගේ ගොදුරු බවට නැතහොත් ඉලක්‌ක පිරිස වන්නේ දුප්පත් රටවල ජනතාවයි. ඔවුන් සියල්ල අලෙවි කරන්නේත්, අඩුමිලට ඔවුන්ගේ වහල් සේවයට යොදා ගන්නේත් දුප්පත් රටවල ජනතාවයි. අපේ රට ද ඔවුන්ගේ ඉලක්‌කයෙන් මිදී නැති බව වර්තමානයේ විද්යුත් මාධ්‍ය පිළිබඳ මනා අධ්‍යයනයක් කරන කෙනෙකුට තහවුරු වනු ඇත.
සෑම වසරකම ලෝක ළමා දිනයේදී දරුවන්ට සිදුවන අතවර, ලිංගික හිරිහැර, මහමග සිඟමනෙහි යෙදෙන දරුවන්, අඩු ආදායම් ලාභී පවුල්, විදේශගතවන මවුවරුන් නිසා දරුවන් පීඩාවට පත්වන ආකාරය ආදී දෑ පිළිබඳ සමාජය දැනුවත් කිරීම, දේශන පැවැත්වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙත් මේ සියල්ලට මුල් වන්නා වූ අක්‌මුල් සොයා යමින් අපේ දර පරපුර රැක ගැනීමටත් දරුවන් හා වැඩිහිටියන් අතර බැඳීම් වර්ධනය කර ගැනීමෙන් රටක් වශයෙන් ඒකීයව නැගී සිටින ආකාරය පිළිබඳවත් අපි මීට වඩා ගැඹුරින් සිතිය යුතුය.
දයාබර වැඩිහිටියනි......., දරු පවුලක් පමණක් නොව අවසානයේ මුළු රටක් වනසන්නට තරම් විෂ බීජ ගෙනැවිත් ඔබේ නිවසේ සාලයට ඇද දමන ටෙලිවිෂනයේ ස්‌විචය නිමා දමන්නට ඔබ පළමුවත්, දෙවනුව දරුවන්වත් හුරු කරවන්නට මේ උදා වූ ලෝක ළමා හා වැඩිහිටි දිනයේදීවත් අදිටන් කරගනු මැනවි. -Sri Lanka Guardian
Home »
» ලෝක ළමා දිනයට පමණක් මතක්‌වන අපේ ළමයි
Post a Comment