Home » » දරුවා ඉගෙනගන්නේ ඉගැන්වීමෙන් පමණක්‌ම නොවේ

දරුවා ඉගෙනගන්නේ ඉගැන්වීමෙන් පමණක්‌ම නොවේ

Written By Sri Lanka Guardian on Thursday, October 1, 2009 | 9:42 PM

ලෝක ළමා දිනය වෙනුවෙනි

නිරෝෂා සෙපරමාදු

(October 01, Colombo, Sri Lanka Guardian) දරුවකු යනු ජීවිතයට ක්‍රමයෙන් එකතු වෙන දේට අමතරව ඊට වඩා වැඩි වේගයකින් තමන්ගේ ජීවිතයට දේ එකතු කර ගැනීමට නොපැකිළව ඉදිරිපත් වන කෙනෙකි. ඔහුගේ වැඩීමේ වේගය අභිබවමින් පරිසරයෙන් අත්දැකීම්, දැනුම, අලුත් දේ එකතු කර ගැනීම ස්‌වභාවයෙන්ම ඔහුගේ නැඹුරුවයි. මෙම පරිසරයෙන් දරුවා ඉන්ද්‍රියන් හරහා ලබා ගන්න දේ තමන්ගේ ජීවිතයට සුදුසු හෝ යහපත් ද එසේ නැතිනම් නුසුදුසු හෝ අයහපත් ද යන දේ විනිශ්චය කළ නොහැකි නිසා කෙසේ වුවත් සියලු දේ තමන්ට ලැබෙන වටිනාම දෙයක්‌ ලෙස භාරගනී. මේ නිසා දරුවා යමෙකුගේ ඉගැන්වීමකින් නොවුවත් පරිසරයෙන් ලැබෙන දේ තුළින් ද බොහෝ දේ ඉගෙන ගන්නා බව ඔහුගේ පරිසරයේ වගකිව යුතු ජීවී සාධක වන අප හොඳින් අවබෝධ කර ගත යුතුය.


ගුරුවරයින්, දෙමව්පියන් හෝ ඕනෑම කෙනකුගෙන් කෙරෙන විධිමත් ඉගැන්වීමකට මෙන්ම දරුවාගේ අවටින් ලැබෙන ඕනෑම අවිධිමත් දැනුම හා අත්දැකීම්වලට දරුවා සංවේදී කර ගැනීම ඉතාමත් පහසුය. කවුරුන් හෝ කෙනෙක්‌ දරුවකු ළඟින් තබාගෙන පාඩමක්‌, කවියක්‌, කථාවක්‌ මේ කුමන ආකාරයක හෝ දෙයක්‌ සීරුවෙන් ඉගැන්වීමක්‌ කිරීමට වඩා පහසුවෙන් මාධ්‍යයකින් හෝ ඔහුගේ වට පිටාවෙන් ලැබෙන එවැනි යමක්‌ දරුවා පහසුවෙන් ග්‍රහණය කර ගනී. ප්‍රශ්න අසමින් අලුත් දේ සොයාගැනීම තුළින් ඉදිරි පියවරකට යැමට ඇති නොඉවසිල්ල ළමා කාලයේ ඇති සුවිශේෂි ලක්‌ෂණයකි. මේ නිසා විශේෂ වූ අවධානයකින් හා සංවිධානයකින් යමක්‌ දරුවාට නොලැබුණත් යමක්‌ අසා හෝ දැක බොහෝ දේ ඉගෙනීමට දරුවෝ දක්‍ෂයෝ වෙති.

කුතුහලය යනු හොඳින් අවබෝධ කර ගැනීමට හා මතක තබා ගැනීමට බලපාන ප්‍රධාන මෙන්ම ප්‍රබල සාධකයකි. කුතුහලය නොඅඩුව සෑම දරුවකු තුළම වාගේ පවතී. තමන් හැකි සෑම අවස්‌ථාවකම අලුත් දෙයකින් පෝෂණය කර ගැනීම ඔහුගේ පළමු අරමුණයි. එම දැන ගැනීමෙන් පසුව එය අත්හදා බැලීම දරුවාගේ දෙවන අරමුණයි. තමා කිරීමට යන සියල්ලම නිවැරදි ද යන්න නිශ්චිත විනිශ්චයකට පැමිණිය යුතු ද යන්නවත් දරුවා නොදනී. කෙමෙන් වැඩෙමින් හිස්‌තැන් පිරෙමින් තිබෙන පුංචි මනසට ඔවුන්ට අවශ්‍ය වන්නේ එම හිස්‌තැන් පුරවා ගැනීම පමණක්‌ ම නිසා ඔවුන් අසන දකින දේ ගැන මෙන්ම එම සියලු දේ අත්හදා බැලීමට තමා තුළ තිබෙන ශක්‌තිය හා හැකියාව ගැන පමණක්‌ විශ්වාස කරයි. එම නිසා ඔවුන්ගේ ඉන්ද්‍රියන් පාවිච්චි කරමින් අසා බලා ඔවුන්ම ක්‍රියාත්මක වේ.

පන්ති කාමරයක ගුරුවරියක්‌ වර්ණවත් කොළයක්‌ ඒ මේ අත නවමින් යම් නිර්මාණයක්‌ කරයි. මෙය දරුවන් සඳහා විශේෂ දැනුම් දීමක්‌ නොකර ඔවුන් ඔවුන්ගේ විවිධ නිදහස්‌ කටයුතු වල නිරත වී සිටිය දී ගුරුවරිය මෙය කරයි. මේ දෙය අහඹු ලෙස දකින දරුවෝ කිහිප දෙනෙක්‌ ගුරුවරිය වටා එකතු වී ඒ ක්‍රියාව දෙස හොඳින් බලා සිටී. ඇතැම් විට ඔවුන්ට මෙය කුමක්‌ ද කියාවත් දැනගැනීමට අවශ්‍ය නොවේ. නමුත් තමා අසල කොළයක්‌ තිබේ නම් ඔවුන්ද ගුරුවරිය කළ අයුරින් කොළය ඒ මේ අත නවමින් එම නිර්මාණය කිරීමට උත්සාහ කරනු දැකිය හැක.

මෙය අත්හදා බැලීමට ඔවුන් ඉදිරිපත් වූයේ කිසියම් හෝ පෙළඹවීමකින් නොවේ. ඔවුන්ගේම කැමැත්තෙනි. ඉන්පසු එම නිර්මාණය නිම කළ දරුවන් එය තම පන්තියේ අනෙක්‌ දරුවන්ට පෙන්වමින් තමන් පිළිබඳව හා තමන් ගේ හැකියාව පිළිබඳව අගය කිරීමක්‌, ආත්ම අභිමානයක්‌ ඇති කර ගනී. එය දකින අනෙක්‌ දරුවන්ද ඔවුන්ගේ මිතුරන් හරහා හෝ ගුරුවරිය වෙත පැමිණ මෙම නිර්මාණය කිරීමට උනන්දු වේ. මේ සියල්ල සිදුවන්නේ කිසිම කෙනෙකුන් පෙළඹවීමක්‌, බල කිරීමක්‌ හෝ නැතිව නිදහස්‌ හා සතුටු සිතිනි. සත්‍ය වශයෙන්ම ගුරුවරියට අවශ්‍ය වූයේද මෙම ක්‍රියාකාරකම එදා දිනයේ දරුවන්ට ඉගැන්වීම වේ. එහෙත් එය ඉගැන්වීමක්‌ ලෙසමත් නොව පරිසරයෙන් දරුවා දකින දෙයක්‌ අත්හදා බැලීමක්‌ ලෙසට පත්කර ගැනීමට ගුරුවරිය සමත් විය. දරුවා ඉගෙන ගන්නේ ඉගැන්වීමකින්ම පමණක්‌ නොවන බවට මෙම සාකච්ඡා කළ සිද්ධිය පැහැදිලි සාක්‌ෂියක්‌ වේ.

දරුවා පියවර ඉදිරියට තබන්නේ අප අතරම සිට අපෙන් දේ ලබාගනිමිනි. එම නිසා දරුවාගේ වට පිටාව, ඔහුට අසන්නට, දකින්නට ලැබෙන දේ පිළිබඳව කල්පනාකාරී වීමත්, එය මනා බුද්ධියකින් හැසිරවීමත් අප දරුවාට ලබා දෙන ආදරයේ ප්‍රධානව අන්තර්ගත විය යුතුය. හොඳ, නරක හෝ වැරදි නිවැරදි යන දෙයින් නිශ්චිත විනිශ්චයන්ට පැමිණ තමන් නිවැරදි දේ කිරීමට අවබෝධයක්‌ ලබා ගැනීමට ගන්නා කාලය තුළ වැඩිහිටි අප දරුවා ඉගෙන ගන්නේ ඉගැන්වීමෙන්ම පමණක්‌ නොවන බව හෙඳින් අවබෝධ කර ගනිමින් ඔහුගේ වට පිටාව ඔහුට ජීවිතයට වටිනා යමක්‌ එකතු කර ගැනීමට හැකි අයුරින් සකස්‌ කර දීමට වග බලා ගත යුතුයි.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger