(February 16) අපේ රටේ ජනප්‍රිය ඉතිහාසය වූ කලී මිථ්‍යා ආකරයක්. දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා, බොහෝ දෙනකු අසන්ට රිසි මේ මිථ්‍යාවන්ට පොහොර දමමින් වර්ධනය කිරීම දැන් මෙරට දේශපාලන වශයෙන් ආධානග්‍රාහී ‘ඉතිහාසඥයන්ගේ’ එදාවේල ජොබ් එක බවට පත්ව තිබෙනවා.
ජනාධිපතිවරණයේ උණුසුම අඩුවෙමින් පවතින මේ මොහොතේ තව දුරටත් දේශපාලනය කතා නොකරන්නැයි කෙරෙන ඉල්ලීමට කන්දෙමින් ජනප්‍රිය ඉතිහාසයේ මේ මිථ්‍යාවන් කිහිපයක් ගැන කතා කරන්ටයි කල්පනාව.
අද මාතෘකාව පරාක්‍රමබාහු I (1153-86). මේ සමහරවිට දුටුගැමුණු හැරුණු විට අපේ ජනප්‍රිය ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන වීර චරිතය විය හැකියි. එහි පුදුමයක් නැහැ. මෞර්ය, ථෙරවාදී, මහාවිහාර භික්ෂූන් අතින් චෝළ ආක්‍රමණිකයන්ට පමණක් නොව ලම්බකර්ණිකයන්ට හා මහායානිකයන්ටද එරෙහිව ලියැවෙන මහාවංශයේ වීරයා දුටුගැමුණු වන්නාක් සේම චූලවංශයේ වීරයා වන්නේ පරාක්‍රමබාහු . මීට හේතුව පැහැදිළියි. අටවන හා නවවන සියවස් තුළදී අපේ රටේ බිහිවන මහායාන-තන්ත්‍රයානග්‍රාහී දියුණු ශිෂ්ටාචාරයේ චිතකයේ අවසාන ඇණය ගසා ස්ථිවිරවාදීන්ට සියවස් ගණනාවක් තිස්සේ නැතිව ගිය ආගමික ආධිපත්‍යය යළි අත්කර දෙන්නේ පරාක්‍රමබාහු . එහිදී මහා විහාර භික්ෂූන් ඉතාම කෘතවේදීව කෙන්ද කන්ද කරමින් අද ජැක්සන් ඇන්තනි රඟපාන භූමිකාවම රඟපාන්නට පටන් ගන්නවා.
චූලවංශය නිර්මාණය කරනු ලබන මිථ්‍යාවන් පසු කළෙක තව වර්ධනය වෙනවා. කොටින්ම අද වන විට පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට නුදුරුව පොත්ගුල් විහාරය ආසන්නයේ ඇති පිළිමය පවා බොහෝදෙනකු විශ්වාස කරන්නේ පරාක්‍රමබාහු පිළිමයක් ලෙසයි. මීට කිසිම පිළිගත් සාක්ෂියක් නැහැ. දක්ෂිණ භාරතයේ ඇති සමාන පිළිම හා සංසන්දනයෙන් මෙය බොහෝවිට චෝළ ආක්‍රමණ සමයේ කරන ලද ඍෂිවර පිළිමයක් බව පැහැදිළියි. මෙය පුලස්ති හෝ අගස්ති ඍෂිවරයාගේ පිළිමයක් බවයි වඩාත් පිළිගත් පුරාවිද්‍යා මතය.
මේ පරාක්‍රමබාහු පිළිමයක් බව කියන්නට ආචාර්ය සෙනරත් පරණවිතාන උන්නැහේ පවා ඉදිරිපත් වෙනවා. (අපේ රටේ පුරාවිද්‍යාවට ප්‍රාමාණික මෙහෙවරක් කළද, දැන හෝ නොදැන පරණවිතාන නිර්මාණය කර ඇති මිථ්‍යාවන් ගැන කියන්නට නම් පොතක්වත් ලිවිය යුතුයි.) ඔහු එසේ කියන්නේ මේ පිළිමයේ අතෙහි ඇත්තේ මුණින් නැමූ වියගහක් බව කියමින්. කෘෂිකාර්මීය දිවිපෙවෙත නියෝජනය කරන වියගහ එකළ රාජ්‍යත්වයේ සංකේතයක් බව කියන්නට ඔහු රුකුල් කර ගන්නේ පනාකඩුව තඹ සන්නසෙහි “තමා සොවුරු ඈපා මායා යුව රජ ඈ රජගණා ප‍්‍රමුඛයෙන් සිහවිකුම් යහළ යුවළතිනුක” කොටස. මෙහි ‘යහළ’ (=වියගහ) යන වචනය සඳහන් වීම පමණක් යන සරල කාරණාව මත පමණක් පදනම්ව පරණවිතාන පොළොන්නරු යුගයේ තිබුණාය කියා උපකල්පිත නම්බු නාම ප්‍රදානයේදී වියගහ අතට දීමේ චාරිත්‍රයක් ගැන රාජකීය ආසියාතික සංගමයට පර්යේෂණ පත්‍රිකාවක් පවා ලියනවා. නමුත් අද අප දන්නේ ඔහු සන්නසෙහි ‘යහළු’ යන වචනය වරදවා ‘යහළ’ ලෙස කියවා සම්පූර්ණ වැරදි අර්ථකථනයක් දුන් බවයි. මේ පිළිමයේ අතෙහි ඇත්තේ වියගහක්ය කියන කතාවේ කිසිම පදනමක් නැහැ. එය බොහෝවිට පුස්කොළ පොතක් විය යුතුයි.
පරාක්‍රමබාහු සම්බන්ධ තවත් මිථ්‍යාවක් නම් ඔහු විසින් ගල් විහාරය හෝ අඩු තරමින් එහි ඇති පුරාණ ලාංකීය මූර්ති ශිල්පයේ කැඩපතක් බඳු බුදු පිළිම ත්‍රිත්වය නිර්මාණය කළේය යන්න. බොහෝ ඉතිහාසඥයින්, පුරා විද්‍යාඥයින් පවා මෙය ප්‍රශ්න නොකර පිළිගන්නේ ඔවුන් තුළ සිටින පර්යේෂකයා ඉක්මවා ‘සිංහලයා’ මතුවීම නිසා විය හැකියි.
අපේ රටේ අනෙකුත් මෙවැනි දැවැන්ත සෙල්මුවා බුදු පිළිම සියල්ලම අයත් වන්නේ කිතුවසින් 8-9 සියවස් සමයේ පැවති මහායාන-තන්ත්‍රවාද ශිෂ්ටාචාරයට. (උදා: අවුකන, වෙස්සගිරිය, මාළිගාවිල, බුදුරුවගල) මීට හේතුව පැහැදිළියි. කලා ශිල්ප කෙරෙහි ඍණාත්මක ආකල්පයක් දක්වන ලද ස්ථිවිරවාදය මෙන් නොව මහායානය තුළ ඊට ලැබුණු ධනාත්මක දිරිගැන්වීම තුළ හැම කලාවක්ම වර්ධනීය තත්වයක් ලබා ගැනීමේ පුදුමයක් නැහැ. එනිසා මේ පිළිම ත්‍රිත්වය පමණක් දොළොස්වැනි සියවසට අයත් වූයේ කෙසේදැයි අනිවාර්යයෙන්ම ගැටළුවක් මතුවනවා. ඒ සැකය තවත් තහවුරු වන්නේ මේ පිළිම වලින් දෙකකට ඉතාම සමාන ‘නිවුන්’ පිළිම දෙකක් (සැතපෙන හා හිඳි පිළිම) දිවයිනෙහි අනෙක් කොණෙහි 8-9 සියවස් වලට අයත් යැයි සැලකෙන තන්තිරිමලේ විහාරයේ දක්නා ලැබෙන නිසයි. ශෛලිය අතින් බැලූවිට පොළොන්නරු ගල් විහාරයේ පිළිම පැසුළු අනුරාධපුර (මහායාන) යුගයේ පිළිමවලට ඉතාම සමානයි. මේ නිසා මේ පිළිම ත්‍රිත්වය පමණක් දොළොස්වන සියවසට දාතමකරණයේ තර්කාණුකූල භාවයක් නැහැ. සමහරවිට මේ පිළිම සහිත පෙර ගල් විහාරය නැවත ප්‍රතිසංස්කරණය කළේ පරාක්‍රමබාහු විසින් විය හැකියි. නව විහාර තනනවාට වඩා පැවති විහාර වලට අළුතින් කොටස් එකතුකරලීම මේ යුගයේ රජවරුන් තුළ පැවති සම්ප්‍රදායයක්.
මෙහිදී පැණ නැඟිය හැකි එක් ප්‍රශ්නයක් නම් එකොළොස්වන සියවසේදී අගනගරය බවට පත්වන පොළොන්නරුවෙහි අටවන හා නවවන සියවසට අයත් වෙහෙර විහාර තිබිය හැකිද යන්න. මෙහිදී අප අමතක නොකළ යුත්තේ අගනගරය වීමට පෙරාතුව පොළොන්නරුව රටේ ප්‍රධාන වෙළෙඳ නගරයක් සේ සමාන්තරව සියවස් ගණනාවක් පැසුළු අනුරාධපුර යුගයේද පැවති වග. මෙනිසා පොළොන්නරුවෙහි පැසුළු අනුරාධපුර යුගයට අයත් පුරාවස්තූන් හමුවීමේ කිසිම අරුමයක් නැහැ.
අවසාන වශයෙන් අපි බලමු වංශ කතා කරුවා විස්තර කරන්නාක් සේ පරාක්‍රමබාහු ‘මහා’ යන අභිධානයෙන් පිදිය යුතු තරමේ ශ්‍රේෂ්ඨ නරපතියෙක්ද යන්න.
රටේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔහු මහඟු මෙහෙවරක් කළ බැව් පැහැදිළියි, පරාක්‍රම සමුද්‍රය ගොඩ නැඟීම තුළින්. එහෙත් මෙවන් වාරිකර්මාන්ත අනුරාධපුර හා පොළොන්නරු යුගයේ රජකළ බොහෝ නරපතීන් අතින් සාමාන්‍යයෙන් කෙරුණු දෙයක්. එවකට දියුණු වාරි කර්මාන්තයක් තාමපර්ණියේ තිබූ බවද පැහැදිළියි. මේ නිසා පරාක්‍රමබාහු විසින් පරාක්‍රම සමුද්‍රය ගොඩ නැංවීම ධාතුසේන විසින් කලා වැව හෝ මහසෙන් විසින් මින්නේරිය වැව ඉදි කිරීමට වඩා වෙනස් වන්නේ නම් ඒ පරාක්‍රම සමුද්‍රයේ විශාලත්වයෙන් පමණයි. කිලෝමීටර දහහතරක් දිග මීටර් දොළහක වැව් බැම්මකින් වටවූ පරාක්‍රම සමුද්‍රය අතීත ලක් ඉතිහාසයේ ගොඩ නඟන ලද දැවැන්තම වාපියයි. සියවස් ගණනාවක් මුළුලේ වර්ධනය වෙමින් ආ දේශීය වාරි කර්මාන්තය මේ යුගයේදී සිය කූටප්‍රාප්තිය ලබා ගත් බවයි පෙනෙන්නේ.
රණ ශූරයකු ලෙසින් පරාක්‍රමබාහු ලක් ඉතිහාසයේ යම් සලකුණක් තැබුවද ඔහුට තම සටන් වලින් අඩකටත් වඩා වැඩි ගණනක් කරන්නට සිදු වූයේ අභ්‍යන්තර සතුරන්ට විරුද්ධවයි. මේ ගෝත්‍රික සටන් සමස්තයක් ලෙස ලක් ඉතිහාසයට වැදගත් නැහැ. සමහර විට ඊට වඩා වැදගත් ඔහු කලාපීය දේශපාලනයෙහි ලා විදේශීය රාජ්‍ය සමඟ ඇතිකරගත් අපූරු යුද සම්බන්ධතාවයන්. අපේ ඉතිහාසයේ මෙවැනි සාර්ථක විදේශීය යුද සම්බන්ධතා ඇති කොටගත් නර පතීන් හමුවන්නේ අතළොස්සක් පමණයි. පොදු සතුරා සේ සැලකිය හැකි චෝළයන් හා සටන් කිරීම පිණිස පරාක්‍රමබාහු පාණ්ඩ්‍යයන් හා එක් වෙනවා. මේ සටන් විස්තර අතිශයෝක්තියෙන් චූලවංශයෙහි විස්තර කොට ඇති බවත් පරාක්‍රමබාහුගේ හමුදා පරාජය වූ අවස්ථාවන් ගණනාවක් විස්තර කිරීම අත්හැර ඇතිබවත් දක්ෂිණ භාරතීය මූලාශ්‍ර ඇසුරින් කියන්නේ භාරතීය ඉතිහාසඥයකු වූ නීලඛන්ඨ ශාස්ත්‍රි. නමුත් එයින් ඒ කටයුත්තේ වැදගත්කම නැති වන්නේ නැහැ. තම බලපරාක්‍රමයන් කෙසේ වුවද පාණ්ඩ්‍යයන් හා එක් නොවීම තුළින් පරාක්‍රමබාහුගේ රාජ්‍යය පවා යළි සොළීන් අතට පත්විය හැකිව තිබුණා. ඔහු දූරදර්ශී රාජ්‍යතාන්ත්‍රිකයකු සේ මෙහිදී කටයුතු කර ඇති බැව් පැහැදිළියි.
ඉතාම වැදගත් ප්‍රශ්නය දේශයේ ආර්ථිකය නැංවීම උදෙසා පරාක්‍රමබාහුගේ කාර්යභාරය කවරේද යන්න.
පොළොන්නරු යුගයේ රටේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් දෙක හඳුනාගත හැකියි. එකක් ගොවිතැන. අනෙක විදේශීය වෙළඳාම. රජයට ආදායම් එක් වන්නේ මේ දෙයාකාරයෙන්. රටේ වැඩි ප්‍රමාණයක් කුඹුරු අයත් වන්නේ රජතුමන්ට. මෙයින් රජයට විශාල නියත ආදායමක් ලැබෙනවා. පුද්ගලික ඉඩම් අයිතිය අහිමි කර නැති මුත් පරාක්‍රමබාහු ඒ සඳහා සැලකිය යුතු මට්ටමේ ඉඩම් බද්දක් අයකර ගන්නවා. අස්වැන්න ලැබීමෙන් පසු ගෙවිය යුතු වූ මේ බද්ද සාමාන්‍යයෙන් මුළු අස්වැන්නෙන් හයෙන් එකක් වූ මුත් නියඟය නිසා සමස්ත අස්වැන්න වැටුණු අවස්ථාවල මීට වැඩි කොට තිබෙනවා. මෙහිදී ලංසුකිරීමේ හැකියාවක් නැති ගොවියා පත් වන්නේ ඉතාම අසීරු තත්ත්වයකටයි.
මීට අමතරව පරාක්‍රමබාහු ගොවිතැන සඳහා සපයන ජලය වෙනුවෙන් ‘දියදඩ’ නම් බද්දක් අය කරනවා. මෙය අනුරාධපුර යුගයේ ප්‍රචලිත ‘දියදෙදුම්’ බද්දට සමානයි. මේ බදු දෙකට අමතරව තෙවන බද්දක් පැනැවෙන්නේ අස්වැන්නෙන් කොටසක් විදේශයන්ට වෙළෙඳාම් කරන්නට යාමේදී. (ප්‍රමාණය නොදන්නා මුත් අපේ රට ‘පෙරදිග ධාන්‍යාගාරය’ ලෙස හැඳින්වූ මේ යුගයේ කෘෂි නිෂ්පාදනයෙන් යම් කොටසක් විදේශයන්ට අලෙවි කළා විය හැකියි.) මෙසේ බදු තුනකට යටත්ව, සමහරවිට නියඟයෙන් බැට කමින්, තම නිෂ්පාදනයන් කරන්නට වූ ගොවියා මොනතරම් අසීරුතාවයකට පත් වූවාද වටහා ගත හැකියි.
මේ සාධක වලින් ඉතාම පැහැදිළි පරාක්‍රමබාහු රටේ දේශපාලන හා ආර්ථික (හා සමහරවිට ආගමික) සංවර්ධනයක් ඇති කළත් එය කොට ඇත්තේ ස්වකීය ජනතාව මත ඉතාම දැඩි ලෙස බර පැටැවීමෙන් බවයි. මේ නිසා ඔහු හැම අර්ථයකින්ම නර ශ්‍රේෂ්ඨයකු වන්නේ නැහැ. මේ නිසා චූලවංශය විසින් ඔහුට ලබාදෙන ‘මහා’ ආඛ්‍යානය විවාදාපන්නයි.
දීර්ඝ කාලයක් තිස්සේ කර ඇතැයි සිතෙන වාරි කර්මාන්තයන්, ආර්ථික ප්‍රතිසංස්කරණ යනාදිය ඉතාම කෙටි කාලයක් තුළ ඉටුකිරීමට පරාක්‍රමබාහුට (හා පොළොන්නරුවේ අනෙකුත් පාලකයන්ට) හැකිවුවද, ඔහු එය කර ඇත්තේ රටේ සම්පත් දැඩි ලෙස මිරිකීමෙන් පසුව බව කියන්නේ ඉතිහාසඥ ආචාර්ය කේ. එම්. ද සිල්වා. මේ ඔහුගේම වචන:
” There was such a tremendous amount of constructive achievement in administration, economic rehabilitation, religion and culture in the reigns of Parakramabahu I (1153-86) and Nissanka Malla (1187-96) that it could easily have taken place over a much longer period of time and still deserve to be called splendid and awe-inspiring. But in retrospect, the activity appears to have been too frenetic, with and over-extension of the island’s economic resources in the restoration of its irrigation network and the architectural splendors of the city of Polonnaruva, and of its political power in overseas adventures. “ - K. M. De Silva, A History of Sri Lanka, 2005
Home »
» මහා පරාක්‍රමබාහු මිථ්‍යාව
Post a Comment