Taboo
(February 16) වැලන්ටයිනොෆෝබියාව අපේ රටේම නිෂ්පන්නයක් නොවෙයි. තවමත් වැඩවසම් ආකෘතිය ඉක්මවා යන්නට අසමත් වූ භාරතයෙනුත්, මුස්ලිම් රටවලිනුත් (සාපේක්ෂව ලිබරල් මැලේසියාවෙන් පවා) කොමියුනිස්ට් රටවලිනුත් මේ ව්‍යාධිය වාර්තා වෙනවා, සමහරවිට අපේ රටේ දකින්නට ලැබෙනවාට වඩා බරපතළ රෝගලක්ෂණ සහිතව. මුම්බායේ හින්දු අන්තවාදී ශිවසේනා බලකායේ වැලන්ටයින් විරෝධී ක්‍රියා නතර වන්නේ අතින් පයින් කෙරෙන පහරදීම්, දේපොළ අලාභ හානි වලින් පසුව.
මේ තලේබාන් සමාජ තවමත් විශ්වාස කරන්නේ ආදරය (ලිංගිකත්වය පසෙක තියමු) ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ යුතු හැඟීමක් හැටියට. ඔවුන්ට අනුව ආදරය ප්‍රකාශ කිරීම යනු මළපහ කිරීම වැනි පෞද්ගලිකව නියැළිය යුතු අසභ්‍ය (= සභාවන්ට අනෞචිත්‍ය) ක්‍රියාවක්. අපේ පටු කල්තර රාමු තුළ, ඉතාම තියුණු තරගයකින් පසුව රටේ නායකයා බවට පත්වන ජනාධිපතිවරයකුවත් සිප වැළඳ සුභ ප්‍රාර්ථනා කරන්නට ඔහුගේ නීත්‍යානුකූල භාර්යාවටවත් ආචාරාත්මක වරමක් නැහැ. දීර්ඝ කාලයකට රටින් බැහැරවන තම ප්‍රියයාට අපේ රටේ සාම්ප්‍රදායික පතිනියකට සමු දිය හැක්කේ ඇස් වලින් පමණයි; තොල් වලින් නොවෙයි.
ආදරය හා ලිංගිකත්වය කෙරෙහි සමාජය දක්වන මේ දැඩි භීතිකාව සමහර තිරිසන් සතුන්ගේ (උදා: බළලුන්ගේ) ශිශ්නය තුළ ඇති කුඩා අස්ථිය සිහි ගන්වන්නක්. මේ අස්ථියේ එකම පරිණාමික අවශ්‍යතාවය සංසර්ගයේදී ගැහැනු සතුන්ට සියුම් වේදනාවක් ඇති කිරීම. මේ නිසා හැම විටම සංසර්ග අවස්ථාවන් සීමා කර ගැනීමට බැළලියන් වෙහෙසෙනවා. ඔවුන් අවනත වන්නේ ඒ වේදනාව ඉක්මවා ගොස් ලිංගික තෘප්තියක් ලබා දීමට හැකියාවක් ඇති බළලුන්ට පමණයි. මෙය වර්ගයා පවත්වාගැනීමේ හා වර්ධනය කර ගැනීමේ පරිණාමික ක්‍රමෝපායයක්. බැළලියන් මහළු ලොම් හැළුණු රෝගී බළලුන් පිළිකෙව් කොට, කඩවසම්, තරුණ, නීරෝගී බළලුන්ට සංසර්ග අවස්ථාවන් ලබාදීම තුළින් විකෘති බළල් පැටවුන් බිහිවීම අවම කෙරෙනවා.
නමුත් මානවයාට තවදුරටත් මෙවැනි කෘතිම පරිණාමික හෝ පරිණාමික නොවන ක්‍රම මඟින් සංසර්ගය පාලනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. පැටවුන් බිහි කිරීමේ මැසිමේ භූමිකාවෙන් බටහිර දියුණු රටවල මානවිකාවන් මිදුණේ මීට දශක ගණනාවකට ඉහත උපත් පාලන ක්‍රම (වඩා ප්‍රචලිත ලෙස Pill හෙවත් ‘පෙත්ත’) ජනප්‍රිය වීමත් සමඟයි. මේ නිසා තවදුරටත් කාන්තාවන්ට අනවශ්‍ය දරු උපත් කෙරෙහි බියෙකින් සංසර්ගය පාලනය කරන්නට ඕනෑකමක් නැහැ. ඇයට අද පිරිමියකුට සේම නිදහස්ව තම ලිංගික ජීවිතය සැලසුම් කර ගැනීමේ නිදහස තිබෙනවා. දියුණු රටවල කාන්තාවන් ලැබුවා වූ මේ නිදහස උපරිම ලෙස භුක්ති විඳින සමයක් මේ. ඔවුන්ට එරෙහිව ඇති සමාජ තහංචි අවමයි. නමුත් තවමත් පරිණාමික හණමිටිය බිම තියන්නට නොහැකි වූ, අපේ රටේ ඇත්තාක් බඳු, තලේබාන් සමාජ ආදරයට චිරාගත සම්ප්‍රදායානුකූල තහංචිම පනවනවා. උපත් පාලන ක්‍රම සඳහා අපේ රටේ (නූගත්, දිළිඳු) කාන්තාවන්ට බටහිර කාන්තාවන්ට ඇරී ඇති ද්වාරයන් විවෘත නැති බව කෙනකුට මෙහිදී තර්ක කළ හැකියි. එහෙත් මීට පිළියම ඔවුන් දැනුම්වත් කිරීම හා මේ ක්‍රම සුලබ කිරීම තුළින් ඒ බාධකය ජය ගැනීම මිසක සාධාරණ මානුෂීය අවශ්‍යතාවයන්ට වැට බැඳීම නොවෙයි.
වැලන්ටයින් දිනය සැමරීම අඩු වැඩි වශයෙන් චිරාත් කාලයක් පැවතුනත්, අපේ රටේ වැලන්ටිනෝෆෝබියාව ඉස්මතු වන්නේ පසුගිය වසර හත අටක කාලය තුළයි. එහි එක් ප්‍රකට මං සළකුණත් උපුල් ශාන්ත සන්නස්ගල විසින් සංවිධානය කරන ‘ආදර වැස්ස’. සන්නස්ගල කියන්නේ වෙළෙන්දෙක්. එහි තර්කයක් නැහැ. හැම වෙළෙන්දකු සේම ඔහුද තමන්ට ගැළපෙන වෙළදපොළ තෝරාගෙන ඊට ගැළපෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. සෝමරත්න දිසානායක එය කිරීමේ වරදක් නැතිනම් සන්නස්ගල එය කිරීමේ වරදක්ද නැහැ. සන්නස්ගල මෙයින් එපිටට ගිහින් අවංක වීමටත් උත්සාහ කරනවා. ඔහුට අනුව ඔහුගේ අරමුණ මෙතෙක් සමාජයේ ධනපති පංතියට පමණක් විඳින්නට ලැබුණු ආදරයේ රසය සීමිත කාල පරාසයකට හෝ ඊට පහළ පංති වලටත් පරිභෝජනය කරන්නට ඉඩ ලබාදීම.
මේ ප්‍රකාශයේ අපේ රටේ පීඩිතයන් තවමත් හඳුනා නොගත් ගැඹුරු සත්‍යයක් තිබෙනවා. (මෙහි පීඩිතයන් කීවේ වෘත්තීය සංගම් නායකයින් එය භාවිතා කරන අර්ථයෙන් නෙවෙයි. ලංකාවේ සමස්ත තරුණ ජනගහණයෙන් 90%කට වඩා පීඩිතයන් ගණයටයි වැටෙන්නේ.) තවමත් අපේ රටේ ලිංගික නිදහස ලබා ඇත්තේ යමක් කමක් ඇති, ජනගහණයෙන් ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි. මේ පංතියට ආදරය හෝ රමණය සුඛෝපභෝගය පිණිස වැලන්ටයින් දින එනතුරු බලා සිටිය යුතු නැහැ. අන්තර්ජාතික පාසල්වල මානව මානවිකාවන් සංවිධානය කරන යුනිෆෝම් සාද ගැන මින් පෙර සඳහනක් කළා. මීට අමතරව ඔවුන්ට යව්වනයේ රස විඳින්නට අවශ්‍ය සියළුම මාවත් විවරව තිබෙනවා. කම් සුවය ඇත්තේ SMS කිහිපයක දුරින්. ඊට අවස්ථාව ලබා දෙනවා නම් දිය යුත්තේ ඊට පහළ පංතීන්හි තම යව්වනය දරිද්‍රතාවයට යටකොට දියකර හරින තරුණ තරුණියන්ටයි. ඒ අරුතින් සන්නස්ගල කළේ ලොකු පිංකමක්. අනික් අතට මේ ‘ආදර වැස්ස’ වැලන්ටයින් දිනවල තරුපහේ සාද වල සිදුවන දේවල් අහළින් යන්නේ නැහැ. ඔන්න වැඩිම උනොත් දීර්ඝම හාදුව දෙන තරගයක් තියේවි. එච්චරයි. එක් වසරක දීර්ඝම හාදුව දුන් මානවිකාවියකගේ තොළින් ලේ ආවායි ඒකටත් කවුදෝ පිංවන්තයකු සත්ත්ව කරුණාවෙන් යුතුව ලියා තිබුණා මතකයි.
‘ආදර වැස්ස’ කඩාකප්පල් කිරීමට මුල් වන්නේ එකළ ජාතික හෙළ උරුමයේ නයුවකු වන ගලගොඩ අත්තේ ඥානසාර නම් චීවරධරයායි. (පසු කාලයක හෙළ උරුමයෙන් ඉවත් වී යූ එන් පියට ඉව අල්ලා හොට දාගන්නට බැරිවූ තැන මොහු දැන් දේශපාලන අනාථයකු වී සිටිනවා. ගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා වෙනුවෙන් කඩේ ගිය ජොකියෙක්.) ඉන්පෙර ගංගොඩවිල සෝම වැනි ජනප්‍රිය චරිතයක් විසින් පවා උත්සාහ කොට අතහැර දමන ලද මේ ව්‍යායාමය මෙවර සාර්ථක වන්නේ ජාතික හෙළ උරුමයේ නැඟී එන දේශපාලන බල පුළුවන්කාරකම් හමුවේයි.
වැලන්ටයින් දිනය සමරනවාට එරෙහිව නැඟෙන සරල චෝදනාදෙකක් තමා;
(i) ආදරය වසරේ එක් දිනෙකට සීමා නොවිය යුතුය යන්න හා
(ii) එය වෙළෙන්දන් තම භාණ්ඩ හා සේවාවන් විකුණා ගැනීමට යොදාගන්නා අවස්ථාවක් පමණක්ය යන්න.
මේ බොල් චෝදනා පිළිගන්නවා නම් අප මුලින්ම කළ යුත්තේ වෙසක් උත්සවය (හා පුර පසළොස්වක පෝය නිවාඩු) අහෝසි කිරීම. මොකද ආගම ඇදහීමත් එක් දිනකට සීමා විය යුතු නැහැනෙ. අනෙක් අතට වෙසක් උත්සවය වෙළෙන්දන්ගේ උත්සවයක් වුනේ අද ඊයෙයැ. වැලන්ටයින් දිනයට වගේම වෙසක් එකටත් කාඩ් ගහනවා. මාස ගණනකට හරියන්නට ගතම් එකක් හොයා ගන්න තොරණ බඳිනවා, කූඩු හදනවා. වෙසක් කලාප ගහනවා. බෞද්ධාලෝක මාවතේ මහා වෙසක් සංදර්ශනවලට සම්පත් බැංකුව වගේ දිවයිනේ ප්‍රමුඛ ‘බෞද්ධ’ වෙළෙඳ සමාගම් විසින් අනුග්‍රහය සැපයෙනවා. ගමේ ගොඩේ පන්සල්වලත් සල්පිල් පවත්වනවා. ඇහැට කණට පේන ගැටිස්සියන් මහපු ලේන්සු පොඩි දහස් ගණන් වලට වෙන්දේසි වෙනකොට පුණ්‍යවන්තයින් කට වසා ගෙන හිනාවෙනවා. වෙසක් උත්සවය වෙළෙන්දන්ගේ කෙළි මඬලක් වීම ගැන වචනයක් වත් කතා නොකරන අපේ ගනින්නාසේලාට ඇකේ පුම්ම හැදෙන්නේ වැලන්ටයින් දවසට විතරයි.
පුරාණ ලක් ඉතිහාසයේ කවර දුර්දාන්ත පාලකයකුවත් ආදරයට වර්තමානයේ මෙන් තහංචි දැමූ අවස්ථාවක් වාර්තා වී නැහැ. මේ තහංචි එල්ල වන්නේ රාජ්‍යයෙන් පමණක් නෙවෙයි. රාජ්‍යය සමඟ මතවාදී ලෙස ගැටෙන ජනතා විමුක්ති පෙරමුණ හා කොටි සංවිධානය පවා තම කාඩරයන්ට ආදරයට හා ලිංගිකත්වයට තහංචි පැනවූ අවස්ථා ඕනෑතරම් වාර්තා වෙනවා. (හැබැයි මේ බලවේගයන්ගේ අනුත්තර නායකයින් වූ රෝහණ විජේවීරටසේම වේලුපිල්ලෙයි පිරබාහරන්ටද මේ තහංචි වලංගු වුනේ නැහැ.)
කලින් පෝස්ටයකද සඳහන් කළ පරිදි අපේ මානව මානවිකාවන්ගේ මානුෂීය හා ලිංගික අවශ්‍යතා හඳුනාගන්නා දේශපාලන බලවේග එකක් වත් නැති රටක ඔවුන්ට කළ හැක්කේ දියසේන කුමාරයා එනතුරු සිහින මවමින් හස්තය හා සරණ යාම පමණයි. සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමට තරම් ඉදිරියට ගොස් ඇති ලෝකයක අප තවමත් ආදරය හා ලිංගිකත්වය හමුවේ තිරිසනුන් ලෙසයි හැසිරෙන්නේ. මානව මානවිකාවන්ගේ සැබෑ නිදහස් දිනය විය යුතු වැලන්ටයින් දිනයේ උරුමය ඔවුන්ට හිමිවන දිනය වර්තමාන තත්ත්වයන් යටතේ පේනතෙක් මානයක වත් නැහැ. -Sri Lanka Guardian
Home »
» වැලන්ටයින්ට පාඩුවෙ ඉන්න දෙන්න
Post a Comment