Home » » සෙත් පිරිත් මැද්දේ සිරසට ගල්!

සෙත් පිරිත් මැද්දේ සිරසට ගල්!

Written By Sri Lanka Guardian on Tuesday, March 23, 2010 | 2:21 PM

නීතිපති මොහාන් පීරිස් මහතා රට හැර ගිය ජනමාධ්‍යවේදීන්ට නැවත එන ලෙස ආරාධනා කළ බව ඇත්ත ය. එසේ පැමිණෙන අයට ආරක්ෂාව සළසන බව පොරොන්දුවූ එක ද බොරු‍ නොවේ. එහෙත් එතුමා කුමන අවස්ථාවකදී වත් එසේ ගිය අයට ඇවිත් සිරස මාධ්‍ය ජාලයට සම්බන්ධ වෙන්නැයි කීවේ නැත.

ඒ නිසා සිරසට ඊයේ ගැසූ ගල් මුල් ප්‍රහාරය ගැන නීතිපති මතය නැවත විමසීම නිශ්ඵල ය.

තමන්ටම ගසා ගැනීමේ පුදුමාකාර ලෙඩක් ඇති සිරසට සම්බන්ධ වෙන්නේ නම් ඇත්තටම මොහාන් පීරිස් මහතාට කළ හැකි දෙයක් නැත.

ජනමාධ්‍යවේදීයෙකු පොලිසිය විසින් අල්ලා ගැනීමට යන්නේ නම් ඊට පෙර ජනාධිපති දැනුවත් කරන ලෙස ජනාධිපති තුමා උපදෙස් දී තිබුණි. එහෙත් කවරෙකු විසින් හෝ ජනමාධ්‍ය ආයතනයකට ගල් ගසන්නේ නම් ඊට පෙර තමන් ‍විමසන ලෙස කියන්නට ජනාධිපති තුමාට අමතක විය. ඒ ඉස්පාසුව අල්ලා ගෙන මෙසේ ගල් ගැසීම හොද නැත.

මේ ගහන්නේ බෑන් කී මූන් ගහන්නට බැරි ගල් යයි කට කැඩිච්චි එකෙක් නොහොබිනා කතාවක් කීවේ ය.

මට මතක් වුනේ මරියා මග්දලේනා ය. ඒ ගැහැණියටත් මිනිස්සු වටකොට ගල් ගැසූහ. එදා ජේසුස් වහන්සේ පිහිටට නොපැමිණෙන්න මරියා මියයන්නට ඉඩ තිබිණි.

ජේසුන් ආවත් අද නම් කරන්නට දෙයක් නැත. ඇත්තටම ගල් ගැසුවේ කිසිම වැරැද්දක් නොකරන පිරිසක් විසින් බැවිනි. උන් ගල් ගැසුවේ පිරිත් සජ්ජායනයක් මැද්දේ බුද්ධාගමේ අනුග්‍රාහකයත්වය ඇතිව බැවිනි.

බුදුන්ගේ දේශ‍ය මෙසේ ගල්වරුසාවක් යොදා ‍යක්ෂයින් එළවා පිරිසිදු කිරීම බුදුහාමුදුරුවන් හිටියානම් කෙසේ ඉවසා වදාරයිද යන්න අහගන්නට රතන හාමුදුරුවන් හෝ එල්ලාවල මේධානන්ද හිමියන් සම්බන්ධ කරගන්නට උත්සහ ගත්තත් ‍නොහැකි විය. ඒ දෙපළම ධාන්‍යයන්ට සම වැදී භාවනානුයෝගීව ගත කරන බව උවැසියන් ගෙන් දැන ගන්නට ලැබිණි.

සිරසට කළ මේ ගල් ගැසීම ස්වර්ණවාහිනියේ ඇන්ටෙනාවට අහුවුනේ නැත. තමන් විසින් සාදා පිළියෙල කළ කළුතර දරුවාගේ ශෝකාන්තය නැමැති භෝජන සංග්‍රහයට කටයුතු සූදානම් කරමින් සිටි නිසා සිරසට ගහන බවවත් ස්වර්ණවාහිනිය නොදත්තේ ය.

ජාතික රූපවාහිනිය තුළ සාකච්ඡා වෙමින් තිබුනේ මෙය තායිලන්තයේ වූ සිද්දියක් විය හැකි බවත් එය විකෘති කර ලංකාවේ වූ දෙයක් ලෙස පෙන්නීම මගින් සිරස අප රටට ජී ඇස් පී ලබා ගන්නට බැරිවෙන්නට කටයුතු කරන බව ය.

මේ සිත්තර පටය චැනල් 4 ගැන විමර්ශනය කළ නිලධාරීන්ටම පවරා එහි සැබෑතත්වය ගැන වාර්ථාවක් වහාම ලබා ගත යුතු යැයි මේ අතර රජයේ ප්‍රවෘත්ති අංශය තුළ දැඩි ලෙස සාකච්ඡා වී තිබේ.

සසිරි බර මෙ‍සිරි ලක කොළොම්පුරයට නුදුරු ගමක සිදූවූ මේ අලකලංචිය නිසා කිසි කෙනෙක් තමන්ගේ සාමාන්‍ය කටයුතු නතර නොකළ යුතු ය.

ඇත්තටම වෙන දේවල්වල හැටියට තුනෙන් දෙකක් නොව තුනම දුන්නාත් කමක් නැත. උඹත් මාත් ඕක නොදුන්නාය කියා අපට ඉතිරිවන ඇට බෝලයක් නැත.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger