Home » » ජාතියට අවශ්‍යම ජාතිය ජනපති අනුරාධපුරේදී හෙළි කරයි.

ජාතියට අවශ්‍යම ජාතිය ජනපති අනුරාධපුරේදී හෙළි කරයි.

Written By Sri Lanka Guardian on Wednesday, July 21, 2010 | 8:28 AM

ජාතියට අවශ්‍යම ජාතිය කුමක්දැයි ජනපති අනුරාධපුරේදී හෙළිකරයි. මේ ජූලි 17 දා ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති විකාශනය ස්වර්ණවාහිනිය විසින් සිය ප්‍රේක්ෂකයින්ට හදුන්වා දුන් අකාරය ය.

ඒ කුමක් දැයි හිතමින් ඉන්නා මට බොහෝ දේ අනුමාන කරන්නට සිදුවිය. එකත් එකටම මේ කියන්නේ දේශප්‍රේමය ගැන විය හැකි ය. තුන්මුල්ලේ දී මියයන්නට ගිය දේශප්‍රේමය වතුර පොවා ගොඩගත් එකේ මතක සටහන් එකත් එකටම තවමත් ඇතැයි සිතන්නට පුළුවන.

කවුද දන්නේ, මේ කියන්නේ ජනපති පදවිය ගැන විය නොහැකි ද? හැම එකාම අයින් කරන්නැයි කියන නිසාම එය ජාතියට අවශ්‍යම ජාතිය යයි කියා දෙන්නට සිත් දුන්නා වත්ද? ඒත් මෑත කාලයේ දී එය අමතක කර දමන්නට සූදානම්වන බවක් හැගෙන නිසා එය වෙන්නට බැරි ය.

හැමදාම ජනතාව උද්යෝගයෙන් තියා ගත හැකි සතුරෙක් වන්නට බැරි ද? ප්‍රභාකරන් සිටි කාලයේ රට නැගල ගියේ ඒ නිසා ය. ඊළග සරත් ෆොන්සේකාගේ ද්‍රෝහීකම කියා තවත් ටික කාලයක් හුස්ම ගන්නට පුළුවන් වුනේ ය. දැන් බෑන් කී මූන් ය. මෙහෙම එකෙක් නැතිව ජාතියට පැවැත්මක් නැත. ජාතියට නැතිවම බැරි යයි කියන්නේ ඒ ගැන විය යුතු ය.

ඒ සියලු අපේක්ෂා බිද වට්ටමින් ජනපති කිව්වෙ වෙන හරුපයකි. ඒ ජාතියට අවශ්‍යම ජාතිය විනය කියා ය.

මේ නම් ඇදහිය නොහැකි කාරණයකි.

මේ කියන්නේ නාවලපිටියේ විනය පරීක්ෂණය තුළින් වැරදි කාරයන් වූ අයට ඇමති පදවි දුන් ජනපති තුමා ද? මේ කියන්නේ මාධ්‍ය සම්බන්ධයෙන් විනය විරෝධීව හැසිරුණු මර්වින්ට මාධ්‍ය ඇමති කමකින් සංග්‍රහ කළ ජනපති තුමන් ද? මේ කියන්නේ තුන්මුල්ලේදී විනය කඩා ගොන්පාට් දැමු සිය ඇමැත්තාට වතුර පෙවූ ජනපතිම ද? මෙසේ කියන්නේ තුන්මුල්ලේ විනය ස්ථාප්තිත කිරීමට ගිය පොලීසියට විරුද්ධව විමර්ශනක් පවත්වන ආණ්ඩුවේ ප්‍රධානියා ද? මෙසේ කියන්නේ පාස්පෝට් වංචාවකට හසුවූ පුද්ගලයෙක්ට ඒ දඩුවම අවසන් වූ වහාම ඇමති පදවියකින් තෑගි පිරි නැමූ ජනපති තුමාම ද?

අපේ රජතුමා ඩ්රීම් පචයා සදහාවත් තරග වදිනවා ද?

අහස පොළොව ගැටලමින් සිටි වෙලාවේ පිහිටට පැමිණියේ මායියා ය. ඒකි කොහොමටත් කුස්සියට සම්බන්ධ කර මිස වෙන විදිහකට ඕවා ගැන හිතන්නේ නැත. ඇය කීවේ ජනපති කීවේ “විනය ගැන නොව වී ණය” ගැන බව ය. ණයට හෝ වී මිලට ගත්තේ නැත්නම් ගොවියන් සිය දිවි නසාගෙන ජාතිය වැනසෙන බව ය. ඒ නිසා පාන් ගිලින්නේ නැතිව අපත් බත් කන්නට පුරුදු විය යුතු බව ය.

“අම්මට පිස්සු. ජනපති විනය කියල කිව්වේ වී ණය ගැන නොවෙයි.” ඒ පොඩි එකා ය. ඌ මොකාටද මේ එන්න හදන්නෙ.

“ජනපති කිව්වෙ වි. ණය ගැන. ඒ කියන්නේ විදේශ ණය ගැන. ජාතියට නැතිවම බැරි විණය තමයි විදේශීය ණය.”

බලාගෙන ගියහම ජනපති බොරුවක් කියා නැත. මා එතුමාට බැන්නේ නිරපරාදේ ය. ජාතියට නැතිවම බැරි ජාතිය විදේශ ණය නැත්නම් විණයයි. පොඩි එකා නොහිටින්නට මාත් ආණ්ඩුවට බණින මිනිසුන්ගේ ගොඩටම වැටෙනවා ය.

විදේශ ණය අපගේ ජාතියට ඇති සම්බන්ධය හරියට මරණාසන්න ලෙඩෙකු හා‍ ලෙඩාට බට ගසා සපයන කෘතිම ඔක්සිජන් අතර සම්බන්ධය වැනි ය. බටය ගැලවුනොත් ලෙඩා මැරෙන්නේ ය. ටක්කෙටම ඒ බව කීමට අපේ රජතුමාට මොළයක් තිබීම ගැන අප ආඩම්බර විය යුතු අතර පැකිලීමක් නැතිව එය පිළිගන්නට ඉදිරිපත් වීම ගැන එතුමාට අ‍පගේ ගෞරවය අමතර වශයෙන් පුද කළ යුතු ය.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger