Home » » ආණ්ඩුවේ මාධ්‍ය සංවර්ධන අධිකාරිය - මර්ධනයට අලූත් නමක්

ආණ්ඩුවේ මාධ්‍ය සංවර්ධන අධිකාරිය - මර්ධනයට අලූත් නමක්

Written By Sri Lanka Guardian on Friday, July 30, 2010 | 7:36 AM

අපට කිසිදු බියක් නැතිව කිව හැකි අනාවැකියක් තිබේ. එනම් ආණ්ඩුව රාජ්‍ය ජනමාධ්‍යයේ අගතිගාමී සහ වෛර සහගත, දුරාචාර වාර්තාකරණ පිළිවෙත කිසිසේත්ම වෙනස් නොකරනු ඇති බව ය. ඒ එය දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් නිසා ය. මාධ්‍ය ආචාර ධර්ම උදේ සිට රෑ වනතුරුම කෙළසන ආණ්ඩුවක් අනෙක් ජනමාධ්‍ය ආයතනවලට මාධ්‍ය ආචාර ධර්ම ලබා දීමට යැයි කියා මාධ්‍ය සංවර්ධන අධිකාරියක් ගෙන එන විට එහි යටි අරුත දැකීම දුෂ්කර නොවේ. මන්ද යත් සැබෑ අරුතින් ආචාර ධාර්මික මාධ්‍ය භාවිතයක් ආණ්ඩුවට අවශ්‍ය නැති නිසා ය.
............................

සුනන්ද දේශප්‍රිය


ඉන්දියාවේ හින්දුස්ථාන් පුවත්පත ශ්‍රී ලංකාණ්ඩුවේ අලූත්ම අධිකාරිය වන මාධ්‍ය සංවර්ධන අධිකාරිය - පිළිබඳ සිය ලිපිය ආරම්භ කලේ මෙලෙස ය: —කොළඹ ජනමාධ්‍ය ගැන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කනස්සල්ලට පත්ව ඇති බව පෙනේ. ජනමාධ්‍යවේදීන් අතර වෘත්තීයබව සහ නිපුණතා වර්ධනය කිරීම පිණිස හදිසියේ ම මඟ පෙන්වීම් හදුන්වා දීමට ආණ්ඩුව පෙළඹෙන්නට ඇති අන් හේතුවක් තිබිය හැකි ද? මෙම මඟ පෙන්වීම් ඉක්මණින් ම ස්ථාපිත කරනු ඇති මාධ්‍ය සංවර්ධන අධිකාරිය යටතේ එනු ඇති අතර අධිකාරිය අර්ධ වශයෙන් හෝ සිංගප්පූරුවේ මාධ්‍ය සංවර්ධන අධිකාරියේ අනුරුවක් වනු ඇත.

වැඩි දුර නොයා ශ්‍රී ලංකප්පූරුවේ සහ සිගප්පුරුවේ මාධ්‍ය සංවර්ධන අධිකාරි දෙස හැරි බලමු. සිංගප්පූරුවේ මෙම අධිකාරිය පිහිටුවන ලදදේ 2003 දී එරට ජනමාධ්‍ය මත ඇති රාජ්‍ය පාලනය වඩා විධිමත් කිරීම පිණිස ය. සිංගප්පූරුවෙහි ඇති සියළුම ජනමාධ්‍ය පවතින්නේ රාජ්‍ය පාලනය යටතේ ය. අන්තර් ජාලය සහමුලින්ම පාලනය කර තිබේ. විසංවාදය සහ විවේචනය සළකනු ලබන්නේ දඩුවම් දිය යුතු රාජ්‍ය ද්‍රෝහී කි්‍රයාවක් ලෙස ය.

දෙරටෙහි ම මෙම අධිකාරයන් ජනමාධ්‍යවේදීන් ලියා පදිංචි කිරීම සිය අරමුණක් සේ දක්වා තිබේ. එමෙන්ම ජනමාධ්‍ය විසින් ව්‍යවසාය මිතුරු පරිසරයක් ගොඩ නැගිය යුතු බව ද එය යෝජනා කරයි. සිංගප්පූරුවේ ලියා පදිංචි නැති ජනමාධ්‍යවේදින්ට ජනමාධ්‍යවේදියේ යෙදිය නොහැක. මෑත දී ශ්‍රී ලංකප්පූරුවේ ජනමාධ්‍ය ඇමැති ඇඟවූයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හැදුනුම් පත නොමැති කිසිවකු ජනමාධ්‍යෙවිදියකු නොවන බව යි.

ශ්‍රී ලංකප්පූරුවේ මාධ්‍ය සංවර්ධන අධිකාරිය සිංගප්පූරුවේ මාධ්‍ය සංවර්ධන අධිකාරිය හදුන්වා දී ඇති ඉංග්‍රිසි භාෂා වාක්‍ය එළෙසම උපුටා ගෙන ඇත්තේ කිසිදු ලැජ්ජාවක් නැතිව ය. මේ බලන්න.

ශ්‍රී ලංකාණ්ඩුවේ නිල වෙබ් අඩවිය මෙම අධිකාරිය හදුන්වා දෙන්නේ මෙසේ ය: —අධිකාරිය, නව ආසියානු මාධ්‍යය සඳහා විශ්වාසවන්ත ලෝක අගනගරය බවට ශ්‍රී ලංකාව පත් කිරීමෙහි ලා සියළු ජනමාධ්‍යයන්හි ඒකාබද්ධ සංවිධානය ලෙස කටයුතු කරනු ඇත. ඒ අවස්ථාවේ දී ම කේන්ද්‍රීය හරයන් මහජන උවමනාවන් ආරක්ෂා කිරීම පිණිය පැහැදිලි, නිත්‍ය සහ පාලන පිළිවෙත් එය විසින් සහතික කරනු ඇත. අධිකාරිය කර්මාන්තකරුවන් සඳහා ව්‍යවසාය මිතුරු පරිසරයක් නිර්මාණය කරනු ඇත˜

පුදුමයි ඒත් ඇත්ත. සිංගප්පූරුවේ අධිකාරිය හදුන්වා දී ඇත්තේ ද එළෙසම ය: —අධිකාරිය, නව ආසියානු මාධ්‍යය සඳහා විශ්වාසවන්ත ලෝක අගනගරය බවට සිංගප්පූරුව පත් කිරීමට කටයුතු කරනු ඇත. ඒ අවස්ථාවේ දී ම කේන්ද්‍රීය හරයන් පාර්භෝගික උවමනාවන් ආරක්ෂා කිරීම පිණිය පැහැදිලි, නිත්‍ය සහ පාලන පිළිවෙත් එය විසින් සහතික කරනු ඇත. අධිකාරිය කර්මාන්තකරුවන් සඳහා ව්‍යවසාය මිතුරු පරිසරයක් නිර්මාණය කරනු ඇත. ˜

තවත් සාක්ෂි අවශ්‍ය ද? අලංකාර වචන යටතේ සැඟවීමට උත්සාහ කරන යෝජිත මාධ්‍ය සංවර්ධන අධිකාරිය සිංගප්පූරුවෙහි මෙන් ජනමාධ්‍ය මත ඍජු පාලනයක් පවත්වා ගෙන යෑමට දරනු ලබන උත්සාහයක් බවට වෙනත් සාක්ෂි අවශ්‍ය ද? යුද්ධ කාලයෙහි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යටතේ පවත්වා ගෙන ගිය මාධ්‍ය පාලන ආයතනය වූ ජාතික ආරක්ෂාව සඳහා මාධ්‍ය මධ්‍යස්ථානය වෙනුවට දැන් මෙම මාධ්‍ය සංවර්ධන අධිකාරිය පිහිටවෙනු ඇති බවට සැකයක් නැත.

යුද්ධ කාලයෙහි ආණ්ඩුව කියා සිටියේ යුද්ධය දිනීම පිණිස ජනමාධ්‍ය පාලනය කළ යුතු බව යි. එකළ අමාත්‍ය රඹුක්වැල්ල කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඊශ්‍රාලයේ ජනමාධ්‍යමෙන් රාජ්‍යයේ යුද්ධය විවේචනය නොකළ යුතු බව යි. රාජ්‍ය පාලිත අයි.ටී.එන්. නාලිකාව 2007 මාර්තු 06 දින විකාශනය කළ එම ප්‍රකාශයෙහි අමාත්‍යවරයා මෙසේ කීවේ ය: —මට එක උදාහරණයක් දෙන්න පුලූවන්. ඊශ්‍රාලය (අරාබි රටවලට) ප්‍රහාර එල්ල කළ විට මුලූ ලෝකය ම එය හෙළා දැක්කත් එරට කිසිදු නාලිකාවක් එය හෙළා දැක්කේ නැහැ. ඔවුන්ට දේශප්‍රේමය තිබුණා.˜ සිය රට කොතරම් දුෂ්ඨ ක්‍රියාවක නිරතවුවත් ජනමාධ්‍ය විසින් එය විවේචනය නොකළ යුතු ය. අමාත්‍යවරයාට අනුව දේශප්‍රේමය යනු එය යි. දැන් ඊශ්‍රාලය වෙනුවට සිංගප්පූරුව ආදර්ශය බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව ආසියාවේ විස්මය බවට පත් කිරීම පිණිස ගනු ලැඛෙන කිසිදු පියවරක් දැන් ශ්‍රී ලංකප්පූරුවේ ජනමාධ්‍ය විසින් විවේචනය නොකළ යුතු ය. අලූත් අධිකාරියේ පණිවිඩය වනු ඇත්තේ එය යි. එය වචන වලින් පැහැදිළි ය.

සති අන්ත ජනමාධ්‍යක් වාර්තා කළේ ආණ්ඩුවට අනුව මෙම යෝජිත අධිකාරිය ජනමාධ්‍යවේදීනට සිය නිපුණතා ඉහළ නංවා ගැනීමට සහාය වනු ඇති බව යි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආරියරත්න ඇතුගල මෙසේ කියා තිබුණි. — සමහර ජනමාධ්‍ය ආයතන අයාලේ යනු අප දැක තිඛෙනවා. මෙවැනි අධිකාරියක් පිහිටුවීමෙන් දේශිය ජනමාධ්‍ය ආයතනයන්ට මාධ්‍ය ආචාර ධර්ම වැඩි දියුණු කර ගැනීමට නියතවම සහායක් වනවා ඇති.˜

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට ආචාර ධර්ම අවශ්‍ය බවත් යෝජිත අධිකාරිය එම කාරිය සපුරනු ඇති බවත් කියන්නේ පසුගිය කාලය පුරා රාජ්‍ය පාලිත රූපවාහිනිය කිසි කළෙක නොවූ පරිදි පාලක දේශපලනඥයින්ගේ හොරනෑවක් බවට පත් කළ අප මිතුරු මහාචාර්්‍යවරයා ය. zඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහටා සිටZ යන ඔවදන මීට වඩා යෝග්‍ය අවස්ථාවක් තිබිය හැකි ද? පසුගිය මහා මැතිවරණය සහ ජනාධිපතිවරණය අවස්ථාවන්හි දී මැතිවරණ කොමසාරිස්වරයගේ නිර්දේශ පවා අමු අමුවේ කෙළසූ රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන අයාලේ යන බවත් ඔවුන්ට මාධ්‍ය ආචාර ධර්ම උගැන්විය යුතු බවත් පුවත්පතකට කියා බේරී යාම පුදුමයක් නොවන්නේ ද? අවසානයේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ නිර්දේශ අනුගමනය කළ යුතු බව කියා සිටි ජනමාධ්‍යවේදීන් තිස් ගණනාවක් රහස් පොලීසියට යොමු කර එහි ප්‍රධානත්වය ගත් ජනමාධ්‍ය ප්‍රධානීන් ගෙදර යැවීමට කටයුතු කළේ ද එම පාලනය යටතේ ය. ආචාර ධර්ම ෟ

ශ්‍රී ලංකාවේ රජයෙන් නිදහස් ජනමාධ්‍යට ආචාර ධර්ම උගැන්වීමට පෙර යෝජිත අධිකාරිය රාජ්‍ය ජනමාධ්‍යට අඩුම ගනනේ මූලික මානූෂිය පිළිවෙත් සහ ප්‍රාථමික ආචාර ධර්ම අනුගමනය කිරීමට උගන්වන්නේ නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සදාචාරයට කළ හැකි මහත් සේවාවක් බවට එය ම පත්වනු ඇත. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ ආචාර ධර්මීය හැසිරීම ගැන අවංක උනන්දුවක් දක්වන්නේ නම් ප්‍රථමයෙන් ම කළ යුත්තේ ඔහු යටතේ ඇති රාජ්‍ය ජනමාධ්‍ය විසින් ලැජ්ජාවක් බියක් නැතිව කරගෙන යන ආණ්ඩුවේ ක්ෂමාලාපක ප්‍රචාරයන් සහ විරුද්ධ පාක්ෂිිකයින් කෙරෙහි දක්වන වෛරීය දුරාචාරාත්මක ප්‍රචාරයන් නතර කිරීමට පියවර ගැනීම යි. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යටතේ ඇති සියළු රාජ්‍ය ජනමාධ්‍ය විසින් අප සම්බන්ධයෙන් පළ කර ඇති අමූලික බොරු ලැයිස්තුවක් ම අවශ්‍ය නම් ලබා දිය හැකි ය.

එම පුවත් අතරට අමාත්‍යවරයා විසින්ම කරන ලදුව රාජ්‍ය ජනමාධ්‍ය විසින් පළ කරන ලද සාවද්‍ය ප්‍රකාශ ඇතුල් කළ හැකි බව ද සදහන් කළ හැකි ය. ඉන් එන් අවස්ථාවක් නම් 2008 අවසානයේ දී ගුවන් තොටුපොළහිදී ව්‍යාජ ගමන් බලපත්‍රයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද සහ එල්ටීටීඊ සහායකු යැයි නම් කරන ලද දෙමළ ජාතික නිදහස් ජනමාධ්‍යවේදියකුට එකී ව්‍යාජ හැදුනම් පත් ලබා දී ඇත්තේ අප විසින් යැයි ජනමාධ්‍යට කරන ලද ප්‍රකාශය යි. අනතුරුව ජනමාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති රාත්‍රී භෝජන කතාබහක දී ජනාධිපතිවරයා ද කියා සිටියේ එල්ටීටීඊ සම්බන්ධයක් ඇති එම ජනමාධ්‍යවේදියාට එකී ව්‍යාජ හැදුනුම් පත් ලබා දී ඇත්තේ මා විසින් බව යි. නමුත් පසුව පොලිස් පරීක්ෂනවලින් ඔහු එල්ටීටීඊයට සම්බන්ධ නැති බවත් මා විසින් කවර හෝ ව්‍යාජ හැදුනුම්පතක් ලබා දී නැති බවත් සනාථ විය. නමුත් අද දක්වාම අමාත්‍යවරයා හෝ රාජ්‍ය ජනමාධ්‍ය එම ව්‍යාජ පුවත නිවැරදි කර නැත. එල්ටීටීඊයෙන් මුදල් ලබා ගත් ජනමාධ්‍යවේදීන් සිටින බවටත් එම නම් දෙසතියක් තුළ හෙළිදරව් කරන බවටත් කරන ලද ප්‍රකාශය ද එවැනි එකකි. මේ ලැයිස්තුව බොහෝ දිග ය.

අපට කිිිසිදු බියක් නැතිව කිව හැකි අනාවැකියක් තිබේ. එනම් ආණ්ඩුව රාජ්‍ය ජනමාධ්‍යයේ අගතිගාමී සහ වෛර සහගත, දුරාචාර වාර්තාකරණ පිළිවෙත කිසිසේත්ම වෙනස් නොකරනු ඇති බව ය. ඒ එය දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් නිසා ය. මාධ්‍ය ආචාර ධර්ම උදේ සිට රෑ වනතුරුම කෙළසන ආණ්ඩුවක් අනෙක් ජනමාධ්‍ය ආයතනවලට මාධ්‍ය ආචාර ධර්ම ලබා දීමට යැයි කියා මාධ්‍ය සංවර්ධන අධිකාරියක් ගෙන එන විට එහි යටි අරුත දැකීම දුෂ්කර නොවේ. මන්ද යත් සැබෑ අරුතින් ආචාර ධාර්මික මාධ්‍ය භාවිතයක් ආණ්ඩුවට අවශ්‍ය නැති නිසා ය. එයට අවශ්‍ය සිංගප්පූරුවේ මෙන් පාලිත ව්‍යවසාය මිතුරු ජනමාධ්‍ය හැසිරීමක් ලංකප්පූරුවේ ද ඇති කිරීමට ය.

යෝජිත සංවර්ධන අධිකාරිය පිළිබද අදහස් සහ යෝජනා එවන ලෙස එම පුවත පළ කළ ජනමාධ්‍ය අමත්‍යාංශයට අදාළ වෙබ් අඩවිය කියා සිටින බැවින් අප විසින් දිය යුත්තේ එකම එක යෝජනාවකි. එනම් මෙම යෝජනාව එහෙම පිටින්ම හකුළා ගන්නා ලෙස ය.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger