ඇසළ පෝය ප්‍රසිද්ධ පෙරහැරවලට ය. මාත් පෙරහැරවල් බලන්නට ආස ය. ඒ නිසා දෝ හීනෙන් එකක් පෙනුනේ ය.
ඒ පෙරහැරේ මුලින්ම ආවේ මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි ය. ඒ දෙපළ එකිනෙකා පරයමින් කස ගැසුවේ පෙරහැර ළග බව කියන්නට වගේ ය. කොහොමටත් කස කාරයෝ එහෙම ය. කස පහරක් වැරදී එකෙක් එලොව ගිය අතර අනෙකා පෙරහැරෙන් විසිවී ගියේ ය. අනේ අපොයි කස කාරයින්ට වෙච්චි වැඩේ.
ඊළගට ආවේ ජවිපෙ කට්ටිය ය. විමලයාත් ඒ අතර සිටියේ ය. පුදුම වෙන්න දෙයක් නැත. පොර අතීතයේ ජවිපෙ පෙරහැරවල ඉස්සරහින්ම ගිය එකා ය. උන් ළග තිබුනේ ගිනි බෝල ය. ඒවා දීප්තිමත් ය. ඇස් කඩා ගෙන යන සුළු ය. ගිනි කන වැටිල වගේ ඒ දිහා දිගටම බලා හිටියහම අනිත්වා පෙනෙන්නේ අදුරුවට ය. සෝමවංස කැරකූ එක් ගිනිබෝලයක් වීරවංශගේ ඇගේ වැදුනේ ය. පන එපා කියා විමලේ පස්සට ම දිව්වේ ගිනි බෝල කෙළියෙන් නම් වැඩක් නැතැයි කියා ය.
ගිනි බෝල කට්ටිය පෙරහැරෙන් හෙමිහිට මාරුවනු දකින්න ලැබුනේ ය.
ඊළගට ආවේ ලී කෙලි කට්ටිය ය. කට්ටියේ දාහතක්ම හිටියේ ය. පෙරහැර අලංකාර වුනේ උන් නිසා යයි සමහරෙක් කී අතර තාලය අප්සෙට් යයි සමහරු මුණු මුණු ගෑහ. ඒ අය පෙරහරට එක් වී තිබුනේ පස්සෙන් පහු ය.
ඒ මොනවා වුනත් කාගේත් ආකර්ෂණය ඩැහැගත්තේ යම රජ්ජුරුවන් ය. කැළණිය පැත්තේ පොරිසාදයෙක් යමයාට ඇද (සමාවෙන්න පුංචි වැරදීමක් -අන්දවා) තිබුනේ ය.
නිලමේවරු පෝලිමක් ඊළගට ගමන් කළෝ ය. උන්ගේ බඩවල් ලොකු ය. හරියට නිකම් අලි වගේ ය. සමහරක් ඉස්සර අලියාට ඇන්ද වුන් බව බලා සිටි අය කීවෝ ය. සරීර සෝබාව දැක්කම නම් උන් අලියන්ට අදින්නට ඇති බව නම් ඇත්ත වෙන්න පුළුවන. උන්ගේ ගමන උජාරු ය. වට පිටාවේ හිටියේ තමන්ගේ නින්දගම්වල වෙසෙන දාසයන් බව පෙරහැර බලන අයට පසක් වෙන පරිද්දෙන් උන් අත් දෙපැත්තට වනමින් ආඩම්බරයෙන් ගියෝ ය.
එක් කැහැටු නිලමේ කෙනෙක් පමණක් හදක් පෙන්වමින් ඒකට බැණ බැණ ගියේ ජනයා හිනස්සමිනි.
ආමි සූට් එකක් ඇදගත් කෙනෙක් පෙරහැරේ ඉස්සර වෙන්නට උත්සහ ගන්නවාත් ඒ සමගම ඔහු ඇදගෙන ගොස් හිර කර ඇද ගෙන යන කරත්තයක තබනවාත් දුටුවෙමි. එය ද පස්සේ පෙරහැරට එක්ව ගමන් කළේ ය. යකඩ කූරු අතරින් පෙනුනු විදිහට නම් ඉස්සර රජතුමන් සමග එක පෙළට කටවුට්වල පෙනී සිටි කෙනෙක් බවට ඡායාවක් ඒ රූපයේ තිබුනේ ය. හීනයක් නිසාදෝ ඒ කවුදැයි හරියට පෙනුනේ නැත. තව වරක් හොදින් බැලූවිට පෙනුනේ ඔහුව කට්අවුට්වලින් නොව කටුවලින් එල්ලා ඇති බවක් ය. ඒ වනවිටත් අලුත්කටු ඇගපුරා ගසමින් තිබුනේ ය.
ඊළගට ආවේ කරත්තයකි. ඒකේ විමලයා පත බෑවී සිටියේ ය. බලන්න දුක වෙස් මුහුණක් විමලයාට අන්දා තිබුණු අතර පැත්තක ලෙමන් පෆ් පෙට්ටියක් තිබුනේ ය. පෙරහැර බලමින් සිටි ගැහැණු දුක් මුහුණක් දමා සිටි විමලයා දැක කම්මුලේ අත ගසාගෙන අනේ අපොයි කියමින් විස්සෝපය පළ කළහ. එහෙනම් ගිනි බෝල දාල මූ ආවේ පැත්තක් ගහල නින්දක් දාන්න තමයි මට හිතුනේ ය.
ඊට පිටුපස්සෙන් ආවේ අලි පෙරහැරකි. උන් නන්නත්තාර වෙලා හැම පැත්තටම යමින් සිටියෙන් පෙරහැර බලන්නට ආ අය හිටිහැටියේ තැති ගැන්මකිනි.
ධාතු කරඩුව වඩමවන ඇතා නම් ඌට හිමි සාන්ත දාන්ත ගතියෙන් ගමන් කළේ ය. අනිත් අලින් එකෙල මෙකෙල වෙන බවවත් මේ ඇතාට තේරුනේ නැත. ඇත්තටම රජපෙරහැරේ තමන්ටත් ස්ථානයක් ලබා දී තිබීම ගැන ඌ ආඩම්බරව සිටියේ ය.
අවසානයට වැඩියේ රජ පෙරහැරය. රජතුමා රථයක නැගී හැමටම ආයුබෝවන් කියමින් සිටි අතර වට පිටාවේ ළමුන් අල්ලා කිති කැව්වේ ය. ගැහැණුන්ගෙන් ප්‍රශ්න ඇසුවේ ය. උන්ට විහිළු කළේ ය. මිනිසුන්ට නම් කියා කතා කළේ ය.
ලස්සන රාජාභරණයෙන් සැරසුනු යුවරජවරුන් කීපදෙනෙක් සිටි අතර හැමෝගේම අවධනය යොමුව තිබුනේ නාමලක් උඩ සිය මුව කමල යෝධ සිනාවකින් සරසාගෙන වඩින පුංචි යුව රාජ කුමාරයා ගැන ය.
අනාගත රජතුමාට ජය වේවා. අපේ රජ පැටියාට ජය වේවා. ඝෝසාවෙන් මුලු පළාතම ඇළලී ගියේ ය.
ඇත්තටම පෙරහැරේ ලස්සන නිසා බඩගින්නවත් දැනුනේ නැත. දුක සතුට සන්ත්රාසය විහිළු සියල්ල රැගත් එය රූපවාහිනී නාටක මාලාවක් මෙන් වීය. රූපවාහිනියෙන් ද පෙරහැර රටටම පෙන්වනවා ඇත. මම එය හැබැහින් දැක්කෙමි. එයත් වේල් කීපයක් ෂේප් වෙන්නට ඇති ය.
මෙහෙම පෙරහැර කරනවා නම් ඇත්තටම ජනතාවට බඩගිනි දැනෙන එකක් නැත. අවශ්‍ය කුස පුරවනවාට ද වඩා හිත පුරවා තැබීම ය. ගෑණුන් කුස්සියේ අගහිග ගැන කියා ගෝරි බෝරි දාන්නේ නැත්නම් අපට මේ විදිහට තවත් කාලයක් ජිවත් විය හැකි ය. හොද වෙලාවට මගේ ගෑණි තවමත් නිදි ය. නැත්නම් මේ හීනයවත් දිගට බලාගන්නට ලැබෙන්නේ නැත. මොකක් හෝ වගකීමක් මතක් කර ඇහැරනවා ය.
මට ඕකි පේන්න බැරිව ඇත්තේ ෂපාන් එකේ ඉන්න කොට වගකීම් මතක් කරන්න එන නිසා ය. අද ඇසළ පෝය දා දෙන්නාම සිල් ගන්නා නිසා මා ඒකේන් ද ෂේප් ය. දවසේ කෑමත් එතනින්ම ෂේප් ය. රෑට දන්සැල් තිබුනොත් තවත් ෂේප් ය. මොකෝ අපි හද අල්ලන්න යනවැයි?
Home »
» හීනෙන් දුටු ඇසළ පෙරහැර
Post a Comment