Home » » සරසවි ශිෂ්‍යාගේ මරණය ඔස්සේ බෑන් කී මූන්ට උඩගෙඩි දීමේ වෑයමක්!

සරසවි ශිෂ්‍යාගේ මරණය ඔස්සේ බෑන් කී මූන්ට උඩගෙඩි දීමේ වෑයමක්!

Written By Sri Lanka Guardian on Sunday, July 25, 2010 | 2:10 PM

මානෙල් මල් ව්‍යාපාරය නැවත උඩට ගෙන ව්‍යාප්ත කරන්නට අදහසක් අපට තිබේ. ඒ ‍පොලීසියේ හා ආරක්ෂක අංශ විසින් මේ දවස්වල දිගින් දිගට කරනු ලබන දේශප්‍රේමී කටයුතු උදෙසා උන්ට පළදවන්නට ය. ඒ සදහා කලින් මානෙල් මල් පළන්දා පළපුරුදු අය පමණක් නොව මේ දිනවල දිගට හරහට පොලීසියෙන් හා හමුදාවෙන් ආරක්ෂාව ලබන සරසවි ශිෂ්‍ය ප්‍රජාව ද කැදවීමට අපේක්ෂිත ය.

(මාතර කලබල ඇති කළ ශිෂ්‍යයින්ගේ ආරක්ෂාවට ද අවසානයේ යොදවන්නට සිදුවුනේ පොලීසියේ හා හමුදා‍වේ මුර දේවතාවුන් ය).

පරණ මානෙල් මල් දැන් පරවී තිබෙන නිසා අලුත් මල් සොයා ගැනීමේ මෙහෙයුමක් මේ වනවිටත් ආරම්භ කර තිබේ.

සාමාන්‍යයෙන් ලංකාවේ එක් යුද්ධයක් ඉවර වෙන්නේ තවත් යුද්ධයකට අත වනමිනි. ඒ නිසාම පොලීසියේ හා ආරක්ෂක හමුදාවල ඉන්නා ජාතියේ මුර දේවතාවන්ට දිගින් දිගට මානෙල් පළන්දා තබා ගැනීම වැදගත් ය.

(එය උන් අන්දවීමට කරන වැඩක් ලෙස දේශද්‍රෝහීන් විසින් විස්තර කරන්නට පුළුවන. එහෙත් ‍දැන් දේශද්‍රෝහී හඩ බාල වෙලා නිසා එය කාටවත් ඇහෙන එකක් නැත.)

අප හදිසියේ මේ වැඩේට අත දැම්මේ දේශද්‍රෝහීන් විසින් අපේ ජාතියේ මුරදේවතාවන් හෑල්ලු කරන වැඩ පිළිවෙලක් මාතර පැත්තෙන් වාර්ථා වූ නිසා ය. සරසවියේ ශි‍ෂ්‍යයෙක් මැරුණාය කියා ලොකු හාහෝවක් කරමින් මාතර පැත්තේ දී සරසවි සිසුන් පිරිසක් විසින් තොවිලයක් නටා තිබේ. මේ දේශද්‍රෝහීන් කියන්නේ ජූනි මාසේ කළ පොලිස් පහර දීමකින් ඊයේ සරසවි ‍ශිෂ්‍යයෙක් මියගියා කියා ය. එතැනින්ම බොරුව පෙනෙන්නේ ය. මාසයක් කියන්නේ ලොකු කාලයකි. වෙන මොකද්දෝ ප්‍රශ්නයක් නිසා සිදුවු මියයාමක් මෙසේ ජාතියේ මුරදේවතාවුන් පිට දමන්නේ බෑන් කී මුන්ගෙන් හෝ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලංකා ශාඛාවේ ඉදන් පොලීසියට පාගා දුන්නා යයි කියූ උගේ නියෝජිතයාගෙන් මුන්ට ද ඩොලර් ලැබුනු නිසා විය යුතු ය.

(අල්ලස් හා දූෂණ කොමිසමවත් ක්‍රියාත්මක වෙලා තිබුනා නම්, දනී මූට කරන හරිය. ඒවාත් කඩාකප්පල් වූයේ අපේ කරුමට ය. ඒක පිටිපස්සේත් රනිල් හෝ සරත් ෆොන්සේකා හෝ ඒ දෙදෙනාම හෝ ඉන්නවාට සැක නැත.)

පාගා ගත්තේ නැත්නම් මේ වෙලාවේ වහගෙන තියා ගත යුතු දෙයක් මෙසේ ලෝකෙට අඩ හැර පා පෙන්නන්නේ කාගේ වුවමනාවට ද?

මානෙල් මල් ව්‍යාපාරය නැවත ගොඩගෙන ජාතියේ මුර දේවතාවුන්ට මානෙල් පළදවන්නට දහස් ගණනින් ඉදිරිපත් වන්නේ නම් එය මේ ඩොලර් කාක්කන්ට දිය හැකි හොදම උත්තරයයි. ඒ සදහා දහස් ගණනින් එක්රොක් වන ලෙස අපි ජනතාවගෙන් විශේෂයෙන් ඩොලර්වල මිලට ගත නොහැකි දේශප්‍රේමී සරසවි සිසුවන්ගෙන් ඉල්ලා සිටිමු.

මේ ඔබේ වාරයයි.

(විමලේ වුනත් තවම මානෙල් මල් පළන්දන්නට ආසා ය. ඒත් දැන් ඇමතිවරයෙක් නිසා විමලේට වැඩ වැඩිය. ඒ නිසා විමලයා ආවත් නාවත් මානෙල් පැලැන්දීම කරගෙන යාම අපේ බලාපොරොත්තුව ය).
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger