Home » » දේශප්‍රේමී ඇබෑර්තුවක් තිබේ!

දේශප්‍රේමී ඇබෑර්තුවක් තිබේ!

Written By Sri Lanka Guardian on Friday, July 23, 2010 | 9:47 PM

සර්ව පාක්ෂික සමුළුව අවසන් වූයේ යුද්ධය අවසන් වීමට පෙර ය. එහෙත් යුද්ධය අවසන් වීත් වසරකට වැඩියෙන් අප ගෙවා ඇතත් සර්ව පාක්ෂික සමුළුවට වූ දෙයක් නැත. ඇත්තටම එය බොහෝ දෙනෙකුට අමතකව ගොස් තිබිණි.

ජූලි 20 දින පාර්ලිමේන්තුවේදී එය නැවත මතක් කිරීමට එජාපයේ යෝගරාජන් මන්ත්‍රීවරයාට ඕනැ විය.

වළ දාපු මිනී ගොඩ ගන්නට ඥාතීන්වත් කැමති නැත.

ඒ නිසා ඊට දැඩි විරෝධයක් මතු විය. එකෙක් කියා ඇත්තේ යෝගරාජන් මහතා එහි සමාජිකයෙකු වු නමුත් එහි සභාපති නොවූ නිසා එවැන්නක් කිරීමට ඔහුට අයිතියක් නැති බව ය. තවත් අයෙක් කියා ඇත්තේ යෝගරාජන් සර්ව පාක්ෂික සමුළුව නියෝජනය කළේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් නිසා දැන් එජාප මන්ත්‍රීවරයෙකු හැටියට සිටිමින් එවැන්නක් නොකළ හැකි බව ය.

සර්ව පාක්ෂික සමුළුව රජතුමාගේ නිර්මාණයකි. එහෙත් එය ප්‍රයෝගයක් විනා එයින් රජතුමා අපේක්ෂා කළ දෙයක් නැත්තේ ය.

සැමට අමතකව ගොස් තිබූ මේ පැරණි කුණු කූඩය නැවත ඇවිස්සුවහම ගද ය. සියලු වෙර යොදා විරුද්ධව තිබෙන්නේ එය වසා තබා ගැනීමට ය. නැතිනම් අප කලින් සදහන් කළ බොළද තාක්ෂණික විරෝධතා ඉදිරිපත් කරමින් ජවුසං නටන්නට ඕනෑ නැත.

ඉන්දියාව ලාංකික දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් විසදුමක් ලබා දීම සදහා තම රජය මැදිහත් විය යුත්තේ කෙසේදැයි කරුණානිධිගෙන් උපදෙස් පතා ඇත. දැනටමත් ටීඑන්ඒ නියෝජිත පිරිසක් ඉන්දීය රජය සමග සාකච්ඡා පවත්වමින් සිටී. විරුද්ධ පක්ෂයේ නායකයා ද ඉන්දීය රජයේ ආරාධනාවක් අනුව එහි සංචාරයක නිරත වීමට නියමිත ය. යෝගරාජන් සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා අදින්නේ මෙවැනි සංවේදී වාතාවරණයක් මැද්දේ ය.

බෑන් කී මූන් ගේ කමිටුව ඉන්දීය සූදානම ඉදිරියේ හිරු අභියස කණමැදිරියෙකු යයි ‍දේශප්‍රේමීන්ට හිතුනොත් එහි පුදුම වෙන්නට දෙයක් නැත.

රටේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියාව තබන්නට සූදානම් වන අත ඉවතට ගන්නා තෙක් තවත් මාරාන්තික උපවාසයක් කරන්නට මේ නිසා සිදුවනු ඇත්තේ ය. ඒ සදහා ඉදිරිපත් වන්නට කැමති එහෙත් හිතේසීන්ගේ පීඩනයට හදවත නොනැමෙන ශක්තිමත් චරිතයක් මේ තත්වය යටතේ දේශප්‍රේමීන්ට හදිසියේ අවශ්‍යව තිබේ.

ඒ ඔබ නම් කරුණාකර ඔබේ අයැදුම්පත අදම දේශප්‍රේමී ජාතික සභාවට ඉදිරිපත් කරන්න (දැන් අප වැඩ කරන්නේ එතැන ය).
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger